‘RDA’ ප්‍රහාරය දේශපාලනය කලඹයි | සිළුමිණ

‘RDA’ ප්‍රහාරය දේශපාලනය කලඹයි

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වශයෙන් දිවුරුම් දීමෙන් පසු වසරක පමණ කාලයක් ගතවී අවසන්ය. ජනාධිපතිවරයා වශයෙන් ඔහු පත්වීමෙන් පසු රාජ්‍ය ආයතන ඇතුළු අංශ ගණනාවක් ඔස්සේ වෙනස්කම් රාශියක් කරනු ලැබුවේය.‍ ගෝඨාභය රාජපක්ෂයන් ජනාධිපතිවීමෙන් පසු පත් කළ අමාත්‍යවරුන්ගේ පළමු සංශෝධනය ඉකුත් සතියේ සිදු කෙරිණි. මේ සංශෝධනයේදී කැපී පෙනුණ සිද්ධියක් බවට පත් වූයේ ජනාධිපති ඉතා ළඟින්ම ඇසුරු කළ පුද්ගලයන් දෙදෙනකු නව අමාත්‍යධුර සඳහා දිවුරුම් දෙනු ලැබීය. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඉකුත් 26 වැනිදා පෙරවරුවේ දිවුරුම් දෙනු ලැබුවේ හිටපු ඇමැතිවරයකු වන චමල් රාජපක්ෂ සහ හිටපු රාජ්‍ය ඇමැතිවරයකු වන සරත් වීරසේකරය.‍ 

ගෝඨාභය ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සිටියදී සරත් වීරසේකර සමඟ ඉතා සමීපව වැඩ කරමින් නාවික හමුදාවේ රියර් අද්මිරාල් තනතුරේ සිටි සරත් වීරසේකර, සිවිල් ආරක්ෂක බළකායේ ප්‍රධානියා ලෙස පත් කළ අතර ඔවුන් යුද ජයග්‍රහණය වෙනුවෙන් ඉතා අමිල සේවයක් කරනු ලැබීය‍. ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පෙර ශ්‍රී ලංකාවටම ආවරණය වන පරිදි පැවැති රැස්වීම් මාලාවේ ප්‍රධාන දේශකයකු වශයෙන් ද එළිය සංවිධානයේ ප්‍රධානියා ලෙස ද සරත් වීරසේකර කටයුතු කළේය.

පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සරත් වීරසේකර මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දෙනු ලැබීය. චමල් රාජපක්ෂ රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය. ජනපතිගේ සොහොයුරා මෙලෙස දිවුරුම් දෙනු ලැබුවේ කැබිනට් අමාත්‍යවරයකු වශයෙන් සිටිමින් ඊට අමතරවය.

අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු කැබිනට් සංශෝධනයක් සිදුවන බවට මාධ්‍ය වාර්තා කිහිපයකම සඳහන් වූ අතර අමාත්‍යවරුන් රැසක් එලෙස දිවුරුම් දෙන බව මුලදී කියවිණි. එහෙත් සංශෝධනයට ලක්වූයේ අමාත්‍යාංශ දෙකක් පමණි.

මීට අමතරව ඉකුත් සතියේදී විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ජනාධිපති රාජ්‍ය ආයතන ඇතුළු අමාත්‍යාංශ කිහිපයක් තමා අතට ගනු ලැබීය. මේ අතරට රටේ දැනට ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ද ඇතුළත්වීම විශේෂත්වයකි.

ඉකුත් සතියේ ජනාධිපතිවරයා කාර්ය බහුල සතියක් වූ අතර ඔහු නිරන්ත‍රයෙන් කොරෝනා මර්දන බළකාය සමඟ ද සම්බන්ධ වෙමින් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද; දැනට මේ සම්බන්ධව ක්‍රියාත්මක වන ක්‍රියාකාරකම් සම්බන්ධව ද අදාළ අංශ සහ පුද්ගලයන් සමඟ දුරකතනයෙන් මෙන් ම උදෑසන හමුවී සාකච්ඡා කිරීම ද සිදු කරගෙන යයි.

“ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන් ධර්ම ඥානය සිල්වත්කම සහ ගුණවත්කම සමාජයට ආශිර්වාදයක් සහ ආදර්ශයක් වූ බව ජනාධිපති ගෝඨාභය පැවසීය.

“උන්වහන්සේ අපවත්වීම සම්බුද්ධ ශාසනයට රටට සමස්ත ලෝක බෞද්ධ ජනතාවට මෙන්ම පෞද්ගලිකව තමාට ද පිරිමැසිය නොහැකි පාඩුවක්.”

ඉකුත් (22) පස්වරුවේ මහනුවර කුණ්ඩසාලේ එස්. ඩබ්ලිව්. බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක හුරිකඩුව මැණික්හින්න විද්‍යාසාගර පරිවෙණාධිපති අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් එසේ පැවසීය.

මේ අතර ජනාධිපතිවරයා බෞද්ධ විහාරස්ථාන වැඳ පුදා ගැනීමට ද ඉකුත් සතියේ ක්‍රියා කළේය.

ඉකුත් අඟහරුවාදා සවස උඩුගම්පළ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරයකු එහි සේවිකාවකට පහර දීමේ සිද්ධියක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. සිද්ධිය වී තිබුණේ ඇමැති ප්‍රසන්න රණතුංගගේ නිවසට යාබදව පිහිටි පළාත් සභාවට අයත් කාර්යාලයක් තුළය‍.

මෙම ඉංජිනේරුවරයා සහ සේවිකාව අතර කාලාන්තරයක් තිස්සේ පැවැති පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් සිදුවූ මෙම සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූයේ ඇමැති ප්‍රසන්නගේ ගෝලයකු කළ පහරදීමක් හැටියටය. විපක්ෂය මෙහෙයවන බව කියන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මේ සිද්ධිය සමඟ ආණ්ඩුවත් ඇමැති ප්‍රසන්න රණතුංගත් දැඩි ලෙස විවේචනයට ලක් කරන්නට විය.

“සිද්ධිය වාර්තා වූ විගස බැසිල් වහාම දුරකතන ඇමතුමකින් ඇමැති ප්‍රසන්නට කතා කළේය.

“මොකක්ද ප්‍රසන්න අවුල, අර සෝෂල් මීඩියාවල යන සිද්ධිය මොකද්ද? උඩුගම්පළ කාර්යාලයක නිලධාරියෙක් සේවිකාවකට ගහන” බැසිල් ඇසුවේය.

“ඔව් සර් මාත් දැක්කා. ඒක මේ මොකක් හරි ඒ අයගේ ප්‍රශ්නයක්. හැබැයි දැන් එකට මඩ ගහන්නේ ආණ්ඩුවටයි මටයි” ප්‍රසන්න සිද්ධිය බැසිල්ට විස්තර කළේය.

“ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ ප්‍රසන්න ඕවා ගණන් ගන්න එපා” බැසිල් ප්‍රසන්නව සනසාලමින් කීවේය.

ප්‍රසන්න වහාම බස්නාහිර ආණ්ඩුකාර එයාර් වයිස් මාර්ෂල් රොෂාන් ගුණතිලකට දුරකතන ඇමතුමක් ගත්තේය.

“ආණ්ඩුකාරතුමා උඩුගම්පළ පීආර්ඩීඒ ඔෆිස් එකේ ඉංජිනියර් සමාගමේ වැඩ කරන ගැහැනු කෙනෙකුට ගහනවා‍. ඔබතුමා ඉක්මනින් මේ ගැන පියවරක් ගන්න පුද්ගලයා කවුරු වුණත් තරාතිරම නොබලා දඬුවම් ලබාදෙන්න ප්‍රසන්න ඉල්ලා සිටියේය.

පසුදින පාර්ලිමේන්තුවේ ලොබියේදී ද ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර මේ පිළිබඳව කතාබහක් ඇති විය.

“උඩුගම්පළ අර කාන්තාවකට ගහන ඉංජිනේරුවා ඔබතුමාගේ ගෝලයෙක්ලු නේද ඇමැතිතුමා” ප්‍රසන්නගෙන් එසේ ඇසුවේ රාජ්‍ය ඇමැති පියල්ය.

“මොන පිස්සුද? ඔය මනුස්සයා උඩුගම්‍පළ කාර්යාලයට ආවෙත් යහපාලන කාලේ ප්‍රසන්න කීවේය.

“විපක්ෂය බලන්නේ ආණ්ඩුවේ මුල් පුරුක් මඩ ගහලා වට්ටන්න. ඒක තමයි මේ සිද්ධියට ප්‍රසන්නව ඈදා ගත්තේ. අපි ඉංජිනේරුවාගේ වැඩ තහනම් කළා” ඇමැති ජොන්ස්ටන් කීවේය.

“විපක්ෂය අපේ මහ ඇමැතිතුමාට හොඳටම බයයි. ඒකයි මේ සිද්ධිය එළියට ආපු ගමන් මහ ඇමැතිතුමා මේකට පැටලුවේ” ලන්සා කීවේය. මගේ ගේ ළඟ ඔෆිස් එකක එහෙම දෙයක් වුණා කියලා මම ඒකට සම්බන්ධ වෙන්නේ කොහොමද විකාර” ප්‍රසන්න කීවේ ය.

“ඔය වැඩේ පිටිපස්සේ ඉන්නේ විපක්ෂයේ මඩ බළකාය. හොඳ වෙලාවට ඔබතුමා කෙළින්ම ඕකට උත්තර දුන්නේ. ඔබතුමා උත්තර දුන්න ගමන් විපක්ෂයේ මඩ බළකායේ කටවල් වැහුණා” මන්ත්‍රී ඩිලාන් කීවේය.

ශ්‍රී ලංකා ‍රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය ‍නාපානේ පේමසිරි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට එම විහාරස්ථානයට ගිය සජිත් ඉන් අනතුරුව කුණ්ඩසාලේ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයට පැමිණියේය. එහිදී මහාවිහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය දාහතර වැනි මහානායක පදවියට පත්වූ මීරිගම ශ්‍රී විද්‍යාවාස මහා පිරිවෙනේ විහාරාධිපතීශ්වර ශාසනසෝභන සිරි සරණංකර රොපසෙන වංසාලංකාර ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද සාහිත්‍ය ශ්‍රී පරියත්තිධර අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමලාභිධාන ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

මහානායක ධුරයට පත් උන්වහන්සේ බැහැදැකීමට මුලින්ම පැමිණියේ ද සජිත්ය. උන්වහන්සේ පිළිබඳව කලක සිට දැන සිටි සජිත් ඊට පසුදින පුවත්පතකට උන්වහන්සේ පිළිබඳව ලිපියක් ද ලියනු ලැබීය.

සජිත් සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග අතර විශේෂ හමුවක් ගිය සඳුදා සිදු විය. සජිත් හිටපු ජනාධිපතිනියගේ නිවසට යනවිට ඈ ඉතා සුහදශීලී ලෙස ඔහුව පිළිගත්තාය. දෙදෙනා අතර පැයකට ආසන්න කාලයක් සුහදශීලී කතාබහක් සිදුවූ අතර සජිත් විපක්ෂ නායකයා වූ පසු ඈ හමුවූ පළමු අවස්ථාවද එය විය.

ලෝක ව්‍යසනයක්ව පවතින කොරෝනා උවදුර පිළිබඳව එම හමුවේදී විශේෂ අවධානයක් යොමු විය. කොරෝනා වසංගතය දේශීයවත් ජාත්‍යන්තරවත් බරපතළ ව්‍යසනයක් බවට ඇති තත්ත්වයක් තුළ එයින් උද්ගතව ඇති අභියෝග පිළිබඳවත් ඒවා ජයගත යුතු ආකාරය පිළිබඳවත් එහිදී සාකච්ඡාවට ගැනිණි. එමෙන් ම ශ්‍රී ලංකාවට උචිත ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් සැකසීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු වූ අතර ලෝකය පුරා උද්ගතව ඇති දේශගුණික විපර්යාස පිළිබඳව ද එහිදී, අදහස් හුවමාරු කරගනු ලැබීය.

සජිත්ගේ කතාව නිසා හැරෙන තැපෑලෙන් විසඳුම රජයේ රැකියා ස්ථානයකදී එහි සේවිකාවකට එක්තරා පුද්ගලයෙක් පහරදෙමින් පීඩාවට පත් කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වෙමින් පැවති අතර එය දුටු සජිත් වහාම ඒ පිළිබඳව සොයා බැලුවේය. ඔහු මුලින් කළේ ඒ අමානුෂික ක්‍රියාව පිළිබඳව සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තැබීමය. මෙම බිහිසුණු සාපරාධි ක්‍රියාව සියලු දෙනා විසින් දැඩි ලෙස හෙළා දැකිය යුතු අතර මෙම ක්‍රියාව සිදු කළ පුද්ගලයාට එරෙහිව කඩිනම් හා දැඩි දඬුවම් ලබාදෙන ලෙස මම රජයෙන් තරයේ ඉල්ලා සිටිමි. එමෙන් ම එවැනි ක්‍රියාවන්ට දඬුවම් ලබාදෙන නීති ශක්තිමත් කළ යුතු අතර රැකියා ස්ථානයේ කාන්තාවන්ගේ අයිතිවාසිකම්වල සුරක්ෂිත භාවය සහ සුබසාධනය වඩා හොඳින් ආරක්ෂා කළ යුතුය. සජිත් එම සටහන තබා ඉන් නොනැවතී පසුදා පාර්ලිමේන්තුවේදී මේ බව නැවත මතු කළේය.

“කාන්තාවට පහරදුන් මේ පුද්ගලයා වහාම අත්අඩංගුවට ගෙන උපරිම දඬුවම් දෙන්න” සජිත් කීවේය.

ඉන් පැය භාගයක් යනවිට ලැබුණු ප්‍රවෘත්තිය වූයේ අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවය.

“සර්, කතා කරලා පැය භාගයක් ගියේ නෑ මෙන්න අර මනුස්සයා අල්ලලා.”

ජේ.සී. අලවතුවල කීවේය.

“ඕක තමයි හැමදාම වුණේ.” කලිනුත් සර් පාර්ලිමේන්තුවේදී යම් යම් දේවල් හෙළිදරව් කළාම ආණ්ඩුවට ඒවට ක්‍රියාත්මක වෙන්න වුණා.”

මනුෂ කීවේ කොරෝනා ව්‍යසනය සම්බන්ධයෙන් සජිත්ගේ මැදිහත්වීම ද සිහිපත් කරමිනි.

“ඉස්සර නම් සමහරු ආණ්ඩුව එක්ක ඩීල් දාගෙන තමන්ට උදවු ගත්තා. ඒත් දැන් විපක්ෂ නායකතුමා ජනතාව වෙනුවෙන් ආණ්ඩුවේ ඇස් අරවනවා. ඒකයි වෙනස” එහෙම කීවේ කිංස් නෙල්සන්ය.

“හතර වටෙන්ම ඇහෙන්නේ සර් ෆේල් කියන කතාව, පොඩි දරුවා පවා ඒක කියනවා.”

මහලේකම් රංජිත් කියද්දී “ඒකේ ගෞරවය යන්න ඕන හරින්ලා ඇතුළු තරුණ මන්ත්‍රීවරුන්ට” යැයි සජිත් කීවේය.

“මේ යන විදියට සර් විතරක් නෙවේ ආණ්ඩුවත් ෆේල්”

හරින් කීවේ සතිය තුළ ආණ්ඩුව කළ කරුණු කිහිපයක් සිහිපත් කරමිනි. වැඩ කරපු සතිය මෙන්න.

නොවැම්බර් 19 උදෑසන මැතිවරණ අල්ලස් ලෙස භාණ්ඩ බෙදූ බව කියපු අනූෂ පැල්පිට සහ ලලිත් වීරතුංග සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස්. එදා හවස කෝටි 100 ක බදු වංචාවක් කියලා චෝදනා පිට සීල් තැබූ අමාත්‍ය ජොන්ස්ටන්ගේ මත්පැන් ෆැක්ටරියට අදාළ බලපත්‍රය කිසිදු ඇපකර ගැනීමකින් තොරව නැවත ලබාදුන්නා. 20 උදේ ඇමැති ජනක බණ්ඩාරට එරෙහි නඩු දෙකක චෝදනා පත්‍ර බල ශුන්‍ය කළා. එදාම රජයට කෝටි විස්සක වංචාවක් සිදු කළ බවට චෝදනා ආව “ලක්පොහොර” සභාපති ඇප මත නිදහස් කළා‍.

හරින් කියද්දී ඉතිරි ටික කීවේ නලින් බණ්ඩාරය. නොවැම්බර් 21 නීති විරෝධී අවි ගනුදෙනු සහ මුහුදු ආරක්ෂක සේවාව නීති විරෝධී ලෙස ලබාගෙන රජයට පාඩු සිදු කළ විදෙස්ගත ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වීම හරහා අසාධාරණ ලෙස මුදල් ඉපයීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඇවන්ගාඩ් සමාගමට බඩඉරිඟු වගාව සඳහා ඉඩම් අක්කර 5000 ක් ලබාදුන්නා.

නොවැම්බර් 23 රු. මිලියන 2991 ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට ලක්ව සිටි බැසිල් රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම ඉවත් කළා. පිල්ලෙයාන් නිදහස් වුණා‍. රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයෙක් ලෙස හිතවතෙක් දැම්මා. 24 දවල් පිල්ලෙයාන් නිදහස් කළා. එදා දහවල් අතිගරු ජනාධිපතිතුමාට එ‍රෙහි ලලිත් - කූගන් නඩුවේ සිතාසිය අභියාචනාධිකරණය විසින් බල රහිත කළා.” 

සතියේ වැඩ නලින් කියාගෙන ගියේය.

“බලාගෙන ගියාම එක දවසට වැඩ දෙකක් කියලා ප්‍රොජෙක්ට් එකක් ආණ්ඩුව කරනවා වගේ” සජිත් කීවේය.

මඩ ගහන අය ගැන සජිත් කී කතාව

“අය වැය විවාදයේදී ආණ්ඩුව සම්පූර්ණයෙන් ම කරන්නේ ඔබතුමා ඉලක්ක කරලා මඩගහන එක.”‍

මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ම සජිත්ට කීවේය.

“ඔව් පාර්ලිමේන්තුවේ වරප්‍රසාදවලට මුලා වෙලා මහ ජරා විදිහට බොරු බේගල් කියනවා.” මහලේකම් රංජිත් කීවේය.

“සර්, මේ මඩවලට අපි උත්තර දෙමු” රන්ජන් කීවේය.

සජිත්ගේ ට්වීටර් සටහන

මේ අතර සමාජය තුළ ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවූයේ ‘සනීපාරක්ෂක’ තුවා සඳහා ආණ්ඩුව බදු වැඩි කළ බවට වූ ප්‍රවෘත්තියයි.

ආණ්ඩුවට එරෙහිව හතරවටින් ප්‍රහාර එල්ල වීමට එය ඉවහල් විය.

“ඔබතුමාට මොනතරම් මඩ ගැහුවද පසුගිය කාලේ. හැබැයි ඒ අයට දැන් තේරෙනවා ඇති” සජිත්ට මේ බව කීවේ රෝහිණී විජේරත්නය.

“දේශපාලනයයි ජීවිතෙයි දෙකම මඬවලින් ගෙවන අය මොනවා කීවත් මං කවදාවත් රටට හරි ජනතාවට හරි අබමල් රේණුවක වරදක් වෙන දෙයක් කියලා නෑ.” සජිත් කීවේය.

සජිත් එදින දැමූ ට්වීටර් සටහන ගැන බොහෝ දෙනා ප්‍රසාදයකින් කතා කළහ.

මීට දෙවසරකට පෙර ස්කොට්ලන්තය සිය සිසුවියන්ට සනීපාරක්ෂක නිෂ්පාදන නොමිලේ ලබාදීමේ නිර්භීත පියවර ගත්තේය. අද ඔවුන් සැමට ඒවා නොමිලේ ලබාදීමට සූදානම්ව සිටී. මානව වර්ගයා කෙරෙහි එවැනි මානුෂීය ප්‍රවේශයක වටිනාකම වටහා ගැනීමට ශ්‍රී ලංකාවට කොපමණ කාලයක් ගතවේ දැයි මම කල්පනා කළේ.

සෙනසුරාදා රුවන් අනුරාධපුරයට ගියේ පක්ෂය හැර ගිය සාමාජිකයන් යළිත් පක්ෂයට ‍එකතු කර ගැනීමේ වැඩසටහනටය. වැඩසටහන සාර්ථකව අවසන් කළ පිරිස පසුව මහානාහිමිවරුන් බැහැ දුටහ. එහිදී මිරිසවැටිය විහාරාධිකාරි ඊතලවැටුණවැවේ ඥානතිලක හිමියන් වැටුණු අලියෙකු නැගිටවන්නේ කෙසේද යන පාඩම කියා දුන්නේ කිසිවකු නොසිතූ පරිදිය.

“පක්ෂ නායකත්වයට සුදුස්සා ඔබතුමා ඔබට හොඳ අනාගතයක් තිබෙනවා. වැටුණු අලියෙක්ව නැගිට්ටවන්න පුළුවන් ක්‍රම ගණනාවක් තිබෙනවා. හොඳ ඇත්ගොව්වෙක්ට අලියාගේ ලෙඩේ හොයාගන්නත් පුළුවන්. ඊට ප්‍රතිකාර කරන්නත් පුළුවන්. ඇත්ගොව්වා දන්නවා අලියට තියෙන්නේ බඩේ අමාරුවක්ද, හමේ අමාරුවක්ද කියන කාරණය ලෙඩේට ඕන බෙහෙත දුන්නාම අලියා නැඟිටිනවා විතරක් නොවෙයි සතා හිටියටත් වඩා ජව සම්පන්නව ඉදිරියට යනවා. දැන් අලියාගේ අයිතිකාරයට පුළුවන් අලියාගේ පිටේ යන්නේ කවුද, ළඟින් යන්නේ කවුද කියලා තීරණය කරන්න. හැබැයි ඉන්න ඇත්ගොව්වෝ වගේ ම හිටපු අත්ගොව්වොත් ළං කරගෙන මේ ගමන යන්න මහා සංඝරත්නය ඔබ සමඟ ඉන්නවා.”

මේ අතර “දැනට ලංකාවේ ඉන්න පරිණතම දේශපාලනඥයා නායකතුමා. ඒ නිසා මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ ඔබතුමායි. අපි සැවොම කියන්නේ ඔබතුමා මේ තනතුරට පත් වෙන්න කියලයි” අර්ජුන කීවේය.

ඊට අලගු තබමින් නවීන් දිසානායක, වජිර අබේවර්ධන ඇතුළු පිරිසක් කතා කිරීමෙන් පසු නායකයා සිය මතය ප්‍රකාශ කළේය.

“මුලින්ම කියන්න ඕනෑ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට යන්න මගේ අදහසක් නෑ. අපි කතා වුණේ ජාතික ලැයිස්තුවේ පළමු නියෝජිතයා වූ ජෝන් අමරතුංගව යවමු කියලනේ. නමුත් ඒක වුණේ නැහැ. පාර්ලිමේන්තුවේ දැන් කාරක සභා අවස්ථාවේ විවාදය ඇවිල්ලා තියෙන්නේ. අපේ කවුරු හරි දැන් ගියා කියලා කරන්න දෙයක් ඉතිරි වෙලත් නැහැ. කොහොම වුණත් කට්ටිය කතා කරලා සුදුසු කෙනෙක් මේකට යෝජනා කරන්න හැමෝම කැමැති කෙනා අපි පාර්ලිමේන්තුවට යවමු” නායකයා කීවේය.

තමන් මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව අකිල කීවේය.

“අයින් වෙන්න ඕනෑ නම් අවුරුද්දේ අන්තිමට ඒ තීන්දුව ගන්න. දැන් මේක කිව්වා කියලා තේරුමක් නැහැ. අලුත් නිලධාරි මණ්ඩලය පත්වෙන කොට මොනවද කරන්නේ කොහොමද කරන්නේ කියලා අපි සාකච්ඡා කරමු.” එලෙස කී නායකයා රැස්වීමෙන් නැගිට ගියේය.

මේ අතර චන්ද්‍රිකා කුමාරතුංග සහ මංගල සමරවීර අතර සුහද සාකච්ඡාවක් පවත්වා තිබේ. පිල්ලෙයාන් නොහොත් ශිවකාන්තන් චන්ද්‍රතුරෙයි ඉකුත් සතියේදී අධිකරණයෙන් ඇප ලබා ගැනීමෙන් පසු දෙමළ පක්ෂ සාමාජිකයන් සමඟ සාකච්ඡා කිහිපයක්ම පැවැත්වීය.

Comments