2021 අයවැය හැරවුමක ඇරඹුමක් | සිළුමිණ

2021 අයවැය හැරවුමක ඇරඹුමක්

- කොවිඩ් නිසා රැකියා අහිමිවූවන්ට රක්ෂණයක්
- තෝරාගත් ආයෝජකයන්ට වසර දහයක බදු විරාම
- රාජ්‍ය- පෞද්ගලික විශ්‍රාම වයස හැට දක්වා ඉහළට
- වෘත්තීය පුහුණු සිසුන්ට රුපියල් 4000ක මාසික දීමනාවක්

* වතු කම්කරු දෛනික වැටුප දහස දක්වා ඉහළට
* රාජ්‍ය සේවකයන්ට සියයට 7ක නිවාස ණයක්
* ගල් අඟුරු, වායු විදුලි බලාගාර දෙකක් කඩිනමින්
* සෞඛ්‍ය ක්ෂේත්‍රයට මිලියන 18,000ක්
* කෘෂි, ධීවර, සත්ත්ව ක්ෂේත්‍ර ආදායම් බද්දෙන් නිදහස්
* රාජ්‍ය සේවකයන්ට වෙනත් රැකියාවල යෙදීමටත් ඉඩ
* සමෘද්ධිලාභීන්ට සියයට 7 පොළියට සහන ණයක්
* සූරියවැවට නවීන ක්‍රීඩාගාරයක්
* මහජන ආරක්ෂාවට රුපියල් මිලියන 2500ක ප්‍රතිපාදන

රාජ්‍ය ලේඛන අතර රටේ ආර්ථික තත්ත්වය සහ ඉදිරි ගමන්මගේ දිශානතිය විදහා පාන කැඩපතක් බඳු රාජ්‍ය අයවැය ලේඛනයට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. වාර්ෂික අයවැයක් ඉදිරිපත් කිරීම සම්ප්‍රදාය වුවද මැතිවරණ හා කොවිඩි 19 වසංගත තත්ත්වය හමුවේ 2020 වසර සඳහා අයවැය යෝජනා සහිත රාජ්‍ය අයවැය ලේඛනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවීය. කොවිඩ් 19 ගෝලීය වසංගතය ඇතිකළ ආර්ථික අභියෝග රැසක් හමුවේ වුවද 2021 වර්ෂය සඳහා වන රාජ්‍ය අයවැය ලේඛනය මුදල් ඇමතිවරයා ලෙස අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පසුගිය 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

අගමැති මහින්ද රාජපක්ෂ විසින් ඔහුගේ පාර්ලිමේන්තු කාලය තුළ ඉදිරිපත් කරනු ලැබූ 11 වැනි අයවැය වාර්තාව මෙය වන අතර එය මෙරට 75 වැනි අයවැය වාර්තාවයි. මෙවර අයවැය ඉදිරිපත් කිරීමත් සමඟ අගමැති මහින්ද රාජපක්ෂ විසින් මෙරට හිටපු මුදල් ඇමතිවරයකු වන රොනී ද මෙල් විසින් අයවැය වාර්තා 11ක් එනම්, වැඩිම අයවැය වාර්තා සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් තබා තිබූ වාර්තාව සම කිරීමද විශේෂත්වයකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ නව රජයේ පළමුවැනි අයවැය වාර්තාව ලෙස එම වාර්තාව ඉදිරිපත් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ පැවසුවේ, මෙය කඩාවැටුණු ආර්ථිකයක් ඔසවා තැබීමට ඉදිරිපත් කරන සංවර්ධන අයවැයක් මෙන්ම ‘සෞභාග්‍යෙය් දැක්ම’යථාර්ථයක් කරමින් සාර්ව ආර්ථික දැක්මක් තුළ සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සකස් කළ අයවැයක් බවයි. "මෙම අයවැය කඩා වැටුණ ආර්ථීකයක් ඔසවා තැබීමට ඉදිරිපත් කරන සංවර්ධන අයවැයක්. එය ‘සෞභාග්‍යයේ දැක්ම’ යථාර්ථයක් කරමින් සාර්ව ආර්ථික දැක්මක් තුළ සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සකස් කළ අයවැයක්. ගෝලීය ආර්ථිකයක් තුළ තරගකාරී දේශීය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා අපේ ව්‍යාපාරික ප්‍රජාවට හිමිකරන ලද විශේෂ ආයෝජන අවස්ථා රාශියක් විවෘත කරන අයවැයක්. දේශීය ආර්ථිකය තරගකාරී ලෙස ගෝලීය ආර්ථිකයට පිවිසීම සඳහා ඉදිරි වසර 3 තුළ අපේ රටේ සෑම තරාතිරමක නිෂ්පාදකයන් මේ සඳහා කැපවිය යුතුයි. රාජ්‍ය සේවය එයට දිරි ගැන්විය යුතුයි" යනුවෙන් එහිදී අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

2021 වසර සඳහා ඇස්තමේන්තුගත රජයේ ආදායම රුපියල් බිලියන 1961ක් වන අතර මුළු වියදම රුපියල් බිලියන 3,525 කි. ආදායම් වියදම් පරතරය වන අයවැය හිඟය රුපියල් බිලියන 1,564කි. රජයේ සාර්ව ආර්ථික ගමන්මග වන ‘සෞභාග්‍යයේ දැක්ම’ තුළ ඉදිරි වසරේදී සියයට 6ක ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීම රජයේ ඉලක්කයයි.

ලෝකයේ බලවත්ම රටවල් පවා කොවිඩ් වසංගතය හේතුවෙන් දැඩි ආර්ථික පසුබෑමකට මුහුණ දී තිබෙන තත්ත්වයක් තුළ මෙය මෙරට අයවැය ඉතිහාසයේ අභියෝගාත්මකම අයවැය ලෙස හැඳින්වීම වරදක් නොවේ. පසුගිය වසර කිහිපය තුළ කඩාවැටුණු ආර්ථිකය යළි නඟා සිටුවීමේ විශාල අභියෝගය උර දරාගෙන බලයට පත්වූ වත්මන් රජයට ඊට පෙර භයානක ගෝලීය වසංගතයකින් රටේ ජනතාව ආරක්ෂා කරගැනීමේ අභියෝගයට මුහුණ දෙන්නට සිදු විය. එවැනි තත්ත්වයක් තුළ රටේ සමස්ත ජනතාවගේ ජීවන මට්ටම් ඉහළ නැංවීම කේන්ද්‍ර කරගනිමින් සකස් වී ඇති 2021 අයවැය ජනතාවාදී අයවැයක් ලෙස බොහෝ දෙනාගේ පිළිගැනීමට ලක්වී ඇත.

රටේ ආර්ථිකය නැංවීමට දායක වන සියලු පාර්ශ්ව හඳුනා ගනිමින් පහළ මට්ටමේ සිට ඉහළ මට්ටම දක්වා ශක්තිමත් කිරීම සඳහා ඉදිරිපත් කර ඇති යෝජනා රාශියකින් මෙවර අයවැය සමන්විත වේ.

රටේ අවම ආදායම්ලාභීන් වන සමෘද්ධිලාභින් සවිබල ගැන්වීම සඳහා ස්ථාවර ඉතුරුම් ක්‍රමයක් සහ ස්ථර සේවාවල නොයෙදෙන පුද්ගල සඳහා සමාජ ආරක්ෂණයක් හඳුන්වා දීම, ගොවි, ධීවර ප්‍රජාව සඳහා ස්ථාවර ඉතිරුම් ක්‍රම හඳුන්වා දීම ආදී යෝජනා ඒ අතර වේ. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප 2021 ජනවාරි සිට රුපියල් රුපියල් 1,000 දක්වා වැඩි කිරීමටත් එම වැටුප ගෙවීමට නොහැකි වතු සමාගම්වල කළමනාකාරීත්ව ගිවිසුම් වෙනස් කර සාර්ථක ව්‍යාපාර සැලසුම් සහිත සමාගම් සඳහා ඉඩ ප්‍රස්ථා සැලසෙන නීති රාමුවක් ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද අපේක්ෂිතය. කිරිපිටි ආනයනය සඳහා ඩොලර් මිලියන 300කට අධික වාර්ෂිකව වැයවන විදේශ විනිමය අඩු කරගැනීමේ අරමුණින් දියර කිරි ආශ්‍රිතව ගොවීන්ට සහන සැලසීමට යෝජනා කර තිබේ. ඒ යටතේ කිරි ගවමඩු සකස් කරගැනීම හා උපකරණ මිලදී ගැනීමට සියයට 7.5 ක වාර්ෂික පොලී යටතේ රුපියල් ලක්ෂ 5 ක් දක්වා විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත.

වී සඳහා පොහොර නොමිලේ සැපයීමටත් අනෙකුත් වගාවන් සඳහා කිලෝ ග්‍රෑම් 50ක පොහොර මිටිය රුපියල් 1500 ක මිලකට ලබාදීමටත් යෝජනා කිරීම කෘෂි කර්මාන්තය වෙනුවෙන් ගත් හිතකර පියවරකි. එමෙන්ම වගා නොකරන පුරන්කුඹුරු සහ නොසලකා හැර ඇති කෘෂිකාර්මික ඉඩම් ඵලදායී කෘෂිකාර්මික කටයුතුවලට යොමු කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරයාට බලය පැවරෙන පරිදි 2000 අංක 46 දරණ ගොවිජන සංවර්ධන පනත සංශෝධනය කිරීමට ද යෝජනා කර තිබේ.

කහ සහ ඉඟුරු ආනයනය මුළුමනින්ම තහනම් කර ඇති අතර මෙම බෝග නිෂ්පාදන ඉහළ නැංවීමට පොල් හා රබර් වතුවල අතිරේක බෝග වගාවන් වගා කිරීම සඳහා වගා ආධාර ක්‍රමයක් ද යෝජනා කර තිබේ. නව ව්‍යවසාකයන් සඳහා සියයට හතරක සහන පොළියට රුපියල් ලක්ෂ 5ක ණයක් ලබාදීමද අගනා යෝජනාවකි.

කාර්යක්ෂම සහ ඵලදායී රාජ්‍ය සේවයක් සඳහා රාජ්‍ය අංශය ශක්තිමත් කිරීම සඳහා වන යෝජනා ගණනාවක් මෙවර අයවැය ලේඛනය තුළ ඇතුළත්ය. රාජ්‍ය සේවකයන්ගේ විදුලි බිල්පත් වියදම් අඩු කිරීම සඳහා සූර්ය බල විදුලි පහසුකම් ලබා දීමට විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය සේවකයන්ගේ පත්වීම් හා ස්ථාන මාරු ලබා දීමේදී තම ගම් ප්‍රදේශවලට අදාළ දිස්ත්‍රික්කයන් වෙත යොමු කිරීම, මාණ්ඩලික නොවන ශ්‍රේණිවල කාර්යාල රාජ්‍ය සේවකයන්ට රාජකාරි වේලාවෙන් පසු වෙනත් රැකියාවල නිරත වීමට අවසර දීම, විදේශ රැකියාවන්හි නිරත වීමට අපේක්ෂිත සේවකයන්ට වසර 2ක නිවාඩු ලබාදීම, රාජ්‍ය සේවකයන් සඳහා බැංකු මගින් ලබා දෙන නිවාස ණය හා අත්තිකාරම් අරමුදල් යටතේ දෙනු ලබන නිවාස දේපල ණය සඳහා උපරිම පොළී අනුපාතය සියයට 7 දක්වා අඩු කිරීමට ද යෝජනා කර තිබේ. අනිවාර්ය විශ්‍රාම ගැනීමේ වයස කාන්තාවන් හා පිරිමින් වශයෙන් වෙන් කිරීම සාධාරණ නොවන බව පැවසූ අගමැතිවරයා සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ කාන්තා හා පිරිමින් සඳහා විශ්‍රාම ගන්නා වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමටද යෝජනා කළේය.

කොවිඩ් වසංගතය හේතුවෙන් ගෝලීය ආර්ථිකය පවා දැඩි පසුගාමී භාවයකට පත්ව තිබෙන තත්ත්වයක් තුළ ගෝලීය ආර්ථික අර්බුදයටද මුහුණ දෙමින් ජාතික ආර්ථිකය හැසිරවීමේ අභියෝගය ජය ගැනීමට රජය මූලික වශයෙන් මෙම අයවැය ලේඛනය තුළින් ප්‍රයත්න දරා ඇති බවක් පැහැලිව දක්නට ඇත.

පසුගිය වසර කිහිපය තුළ මෙරට පැවති පාරිභෝජනවාදී ආර්ථිකය වෙනුවට රටට ස්වශක්තියෙන් නැඟී සිටිය හැකි නිෂ්පාදන ආර්ථිකයක් බිහි කිරීම සඳහා වැදගත් යෝජනා රාශියක් මෙවර අයවැය ලේඛනය තුළ ඇතුළත්ය. ඒ අනුව ඉදිරි වසර පහ සඳහා කෘෂිකර්ම, සත්ත්ව හා ධීවර ක්ෂේත්‍ර ආදායම් බදුවලින් නිදහස් කිරීමට යෝජනා කර ඇත.

කොවිඩ් මර බිය සමඟ ජීවත් වන ජනතාවට මෙම අයවැය තුළින් බදු බර ද පැටවෙනු ඇතැයි ප්‍රලාප කී ඇතමුන්ට අතුල් පහරක් දෙන්නටද රජය සමත් වී ඇති බවක් දක්නට ඇත. ඒ, හදිසියේ බදු සංශෝධනයකට නොගොස් 2020 ජනවාරි මාසයේදී රජය හඳුන්වා දුන් බදු ප්‍රතිපත්තිය අඛණ්ඩව ඉදිරි වසර 5 තුළද ක්‍රියාත්මක කිරීමට මෙම අයවැය ලේඛනය තුළින් යෝජනා කර තිබෙන නිසාය. රුපියල් මිලියන 25ට වැඩි ආදායමක් උපයන ආයතන සඳහා ඇති සියයට 8 වැට් බද්ද එලෙසම පවත්වා ගැනීමටත් අපේක්ෂිතය. දේශීයව නිපදවිය නොහැකි කෘෂි ද්‍රව්‍ය හැර අනෙකුත් කෘෂි භාණ්ඩ ආනයනය සීමා කිරීම, දේශීය නිෂ්පාදන සැපයුම හා ඉල්ලුම තුලනය කිරීමට අදාළ තෝරාගත් කෘෂි නිෂ්පාදන සඳහා විශේෂ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක කිරීම, ආනයන හා අපනයන සඳහා දේශීය නිෂ්පාදනවලට අවශ්‍ය ආරක්ෂණය සඳහා CESS බදු ක්‍රියාත්මක කිරීම, භාණ්ඩ අපනයන හා දේශීය කර්මාන්තවල එකතු කළ අගය වැඩි නිෂ්පාදනයන්ට යොමුවීම දිරිගැන්වීම සඳහා දේශීයව ලබාගත නොහැකි අමුද්‍රව්‍ය, නවීන තාක්ෂණික යන්ත්‍ර හා උපකරණ හා ප්‍රාග්ධන භාණ්ඩ ආනයනය සඳහා තීරුබදු ඉවත් කිරීම වැනි යෝජනා මෙහි ඇතුළත්ය. එහෙත් ජාතිය ගොඩනැඟීමේ බද්ද විනිවිද භවයකින් යුතුව ගෙන යෑමට මෙන්ම බදු කළමනාකරණය සඳහා බදු නියාමනය එක් අංශයක් යටතේ සිදුකිරීමට පියවර ගෙන තිබීමද කාලෝචිතය.

අනාගත ආයෝජනයක් වන අධ්‍යාපනය වෙනුවෙන් මෙවර අයවැයෙන් වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 126කි. එය මුළු වියදමෙන් සියයට 3.58ක් වන අතර 2018 වසරේදී අධ්‍යාපනය වෙනුවෙන් වෙන් වූයේ සියයට 1.9ක් පමණි. බුද්ධිමය දේපළ හා දත්ත ආරක්ෂා කිරීම වෙනුවෙන් නව නීති සම්පාදනය කරන බව අගමැතවරයා සිය අයවැය කතාවේදී ප්‍රකාශ කළේය. එපමණක් නොව ගාල්ල, කුරුණෑගල, මඩකලපුව, අනුරාධපුර, මහනුවර සඳහා නව තාක්ෂණ උද්‍යාන පහක් ඇති කිරීම, හෙද විදුහල උපාධි ලබාදෙන ආයතනයක් බවට උසස් කිරීමට හා සේවක සංඛ්‍යාව 50ට වැඩි කර්මාන්ත සහ ව්‍යාපාරවල සේවකයන්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමටද යෝජනා කළේය.

දුෂ්කර පාසල්වල දුරස්ථ අධ්‍යාපනය ඉහළ දැමීම සඳහා රූපවාහිනි යන්ත්‍ර ලබාදීමටත් දිස්ත්‍රික්කයට එක බැගින් නේවාසික නගර විශ්වවිද්‍යාල පිහිටුවීමට පියවර ගැනීමටත් යෝජිතය. ක්‍රීඩා සංවර්ධනය ජාතික ආයෝජනයක් ලෙස සලකා ඒ යටතේ ක්‍රීඩා පාසල් 10ක් දියුණු කිරීමට මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කර ඇත.

කොවිඩ් වසංගයෙන් රටම බැට කමින් සිටියදී පවා රටේ අනාගතය වෙනුවෙන් සියයට 3.58ක මුදලක් වෙන් කිරීමේ රජය කටයුතු කර ඇත. එමෙන්ම වසංගතය මැඬලීම සඳහා දැඩි උත්සාහයක නිරතව සිටින සෞඛ්‍ය අංශය ශක්තිමත් කිරීම සඳහා රුපියල් බිලියන 159න් එනම් සියයට 4.52ක් මෙවර අයවැයෙන් වෙන්කර තිබේ.

මහජන ආරක්ෂාව සහතික කිරීම මෙම කොවිඩ් වසංගත සමයේදී රජය හමුවේ ඇති තවත් අභියෝගයක් බවට පත්ව තිබෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ යාන්ත්‍රණයේදී ශ්‍රී ලංකා පොලිසියෙන් ඉටුවන කාර්යභාරය අසීමිතය. ඒ අනුව මහජන ආරක්ෂාව සඳහා උපකාරී වන විවිධ වැඩසටහන් සඳහා රුපියල් මිලියන 2500ක අතිරේක ප්‍රතිපාදන ආබාධිත රණවිරුවන්ගේ සුබසාධන කටයුතු සඳහා රුපියල් මිලියන 700 ක් වෙන් කිරීමටත් මෙවර අයවැයෙන් යෝජනා කර ඇත.

එමෙන්ම රටේ ආරක්ෂාව තහවුරු කිරීම සමබන්ධයෙන් මෙවර අයවැය ලේඛනය සකස් කිරීමේදී රජයේ දැඩි අවධානය යොමු කර ඇත. ආරක්ෂක අංශ දිරිගැන්වීමට සහ බලගැන්වීමට රජයේ සමස්ත වියදමින් රුපියල් බිලියන 355ක් හෙවත් සියයට 10.07ක් වෙන්කර තිබේ. ජාතික ආර්ථිකයේ දැනුම හා වෘත්තීය සේවා දායකත්වය පුළුල් වන අයුරින් ව්‍යවාසය සංවර්ධනය ඇති කිරීම සඳහා තාක්ෂණ කේෂ්ත්‍රය පුළුල් කිරීම සඳහාද රුපියල් බිලියන 8ක් මෙවර අයවැයෙන් වෙන්වී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණු ‘ගම සමඟ පිළිසඳරක්’ජනතා සංවාදාත්මක වැඩසටහනට මෙවර අයවැය තුළින් යෝජනා රාශියක් ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි. ඒ අනුව ‘සැමට ජලය’රජයේ තුන් අවුරුදු ඉලක්කය ඉටුකර ගැනීම සඳහා රුපියල් මිලියන 5000ක අතිරේක ප්‍රතිපාදන වෙන් කිරීම, සෑම ගමක්ම ආවරණ වන පරිදි මාර්ග ලක්ෂයේ වැඩසටහන අතිරේක ප්‍රතිපාදන වෙන්කිරීම, ග්‍රාමීය පාලම් දහසක් ඉදිකිරීම ඇතුළු යෝජනා රාශියක් ඊට ඇතුළත්ය. මහාමාර්ග අමාත්‍යාංශය සඳහා 2021 දී රුපියල් බිලියන 330 ක් වෙන්කර ඇත.

විදේශ විනිමය උයමින් මෙරට ආර්ථිකයට දායක වන ලක්ෂ පහළොවක් පමණ වන විදේශ රැකියා නියුක්තිකයන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගන්නා බවද අගමැතිවරයා අයවැය කතාවේදී පැවසීය. විදේශ රැකියාවල නිරත වන්නන් මෙරට බැංකු වලට එවනු ලබන විදේශීය විනිමය මුදල් සඳහා සාමාන්‍ය විනිමය අනුපාතයට වඩා ඩොලරයට රුපියල් දෙක බැගින් අමතරව ගෙවීමට ද යෝජනා කර ඇත.

මෙවර අයවැය මඟින් ඉදිරිපත් කර ඇති ග්‍රාමීය, නාගරික, සම්ප්‍රදායික, තාක්ෂණික, ක්ෂුද්‍ර මූල්‍ය මෙන්ම ප්‍රාග්ධන වෙළෙඳපොළ ලෙස එකිනෙක ගැළපෙන අයුරින් සකස් කර ඇති සංවර්ධන යෝජනා මඟින් ඉතා පහළ මට්ටමක පවතින ආර්ථික ධාරිතා උපයෝජනය වැඩිකර ගැනීමට හැකි වන බව අගමැතිවරයාගේ විශ්වාසයයි.

2021 අයවැය ලේඛනයේ අයවැය හිඟය වන රුපියල් බිලියන 1564 පියවා ගන්නේ කෙසේද යන්න ඉතා වැදගත්ය. එය රටට හා ජනතාවට බරක් නොවන ආකාරයෙන් ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති මාලාව අනුව සිදු කිරීමට යෝජනා කර තිබීම රජයේ දූරදර්ශී භාවය ප්‍රකට කරන්නකි. එම හිඟයෙන් රුපියල් මිලියන 2900ක් දේශීය හා විදේශීය වශයෙන් හානිදායක නොවන ණය ක්‍රම යටතේ සපයා ගන්නා බව සඳහන් ය.

"2025 වන විට අයවැය හිඟය සියයට 4ක් ඉලක්ක කර ඇත්තේ ආර්ථික ප්‍රසාරණය තුළින් පුළුල් කරන බදු ආදායම වර්ධනත්, රාජ්‍ය වියදම් හා රාජ්‍ය ව්‍යාපාර කළමනාකරණය සඳහා වැඩි විශ්වාසයක් තබා ඇති නිසාත්ය. ආර්ථික පුනර්ජීවනය සමඟින් දිළිඳුකම පිටුදැකීමේ සංවර්ධන අයවැයට ඔබ සියලු දෙනාගේ ආශිර්වාදය මා ඉල්ලා සිටිනවා" අගමැතිවරයා අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රකාශ කළේය. එම ඉලක්ක වෙත ළඟාවීම සඳහා පක්ෂ, විපක්ෂ මහජන නියෝජිතයන්ගේ මෙන්ම පොදු ජනතාවගේද කැපවීම සහ සහයෝගය රජයට අත්‍යවශ්‍ය වේ. මන්ද ගෝලීය වසංගත තත්ත්වය තුළ රටක් ලෙස එම අභියෝගවලට මුහුණ දීමට සියලුදෙනා එක්ව නැඟී සිටිය යුතු තීරණාත්මක අවස්ථාවක් එළැඹ ඇති බැවිනි.


Comments