දේශපාලන වංශකතාව අලුත් කළ පොහොට්ටුවේ සිව් වසර | සිළුමිණ

දේශපාලන වංශකතාව අලුත් කළ පොහොට්ටුවේ සිව් වසර

- මහින්දගේ ජනතා ආකර්ෂණයෙන් දැවැන්ත දේශපාලන ව්‍යාපාරයක් බිහි වෙයි
- අඩුම කාලයකින් රටේ පාලනය හිමි කරගත් ආසියාවේ එකම පක්ෂය
- සොහොයුරන් දෙදෙනකු රජ කරවු බැසිල් රාජපක්ෂ

පොහොට්ටුව නිර්මාණය කරන විට යහපාලන ආණ්ඩුවේ දේශපාලන න්‍යායාචාර්යවරුන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එවකට සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයන් ඇතුළු කණ්ඩායම විශ්වාස කරනු ලැබුයේ පොහොට්ටුව පක්ෂයට ඉතිහාසයේ අනෙක් තුන්වන බලවේගවලට සිදු වූවා සේ ඉදිරියට ඒමට නොහැකි වනු ඇතැයි කියාය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුන්වන දේශපාලන බලවේගයක් ලෙස වේගයෙන් ඉදිරියට පැමිණියේ කෙසේද යන්න විග්‍රහ කළ යුතු වන්නේ ඒ නිසාය.

2015 ජනවාරි 08 පැවැති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂයන් පරාජයට පත්වීමත් සමඟම පරාජයේ වගකීම බොහෝදෙනා පැවැරුවේ එවකට ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන ඇමැතිවරයාව සිටි බැසිල් රාජපක්ෂයන් වෙතය. ඉන්පසුව ජනවාරි 11 වැනදා වන විට බැසිල් රාජපක්ෂයන් සිය බිරියද සමගින් රටින් පිටව ඇමරිකාව බලා පිටත්ව ගියේය. වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීමේ අවශ්‍යතාව හා වසර දෙකකට ආසන්න කාලයක් සිය දරුවන් දැකීමට නොහැකි වීමත් දේශපාලන වශයෙන් තිබූ අවිවේකීකමත් හේතුවෙන් බැසිල් රාජපක්ෂයන් විදෙස්ගත වුව ද සමහරුන්ට එය හොඳ දේශපාලන මාතෘකාවක් විය. කෙසේ වෙතත් 2015 අප්‍රේල් 21 වැනිදා බැසිල් රාජපක්ෂයන් යළිත් දිවයිනට පැමිණියේය. ඔහු දිවයිනට පැමිණි පුවත ඇසු පාක්ෂිකයෝ දහස් ගණනක් ගුවන්තොටපලට එක්රැස් වූහ. පැමිණි පිරිස පාලනය කර ගත නොහැකිව ගුවන්තොටුපල පර්යන්තය පැය තුනක් පමණ වසා දමන්නට සිදුවිය.

අප්‍රේල් මස 22 වැනිදා උදෑසන බැසිල් රාජපක්ෂයන් යහපාලන ආණ්ඩුවේ දේශපාලන පළි ගැනීමේ ඒකකය වූ එෆ්. සී. අයි. ඩීයට කැඳවා තිබිණි. එදින රාත්‍රිය වන තුරු බැසිල් රාජපක්ෂයන්ගෙන් කටඋත්තර ලබා ගෙන එදින රාත්‍රියේ කඩුවෙල උසාවියට ඉදිරිපත් කළේය. එෆ්.සී.අයි.ඩී ය විසින් මෙහෙය වු නඩු තුනක් සදහා අප්‍රේල් 22 සිට මැයි 5 දක්වා ප්‍රථම වතාවට බැසිල් රාජපක්ෂයන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණි. ඉන් පසුව වරින් වර විවිධ අසත්‍ය චෝදනා ගොනු කරමින් වරින්වර රිමාන්ඩ් කරමින් තුන්වෙනි වරටත් 2015 ජුලි 18 ඔහු යළිත් රිමාන්ඩ් බන්ධනාගාරගත කළේය. කෙසේ වෙතත් ඔහු විසින් ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් කීපයකට පසුව අගෝස්තු මස 08 වැනිදා රිමාන්ඩ් සිර බාරයෙන් ඇප කොන්දේසි මත නිදහස් කෙරිණි.

බැසිල් රාජපක්ෂ මහතා සිපිරිගෙදරින් එළියට පැමිණෙන්නේ නව දේශපාලන පක්ෂයක් බිහි කිරීමේ පන්නරය සහ දැඩි අවශ්‍යතාවයද සමගිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් පක්ෂය පිහිටුවීමේ කටයුතු සහ පොහොට්ටුවේ ලාංජනය බැසිල් රාජපක්ෂ මහතා සියතින්ම ඇඳ තිබුණේ සිපිරිගෙදරදීමය.

2015 ජුනි 26 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද අතර අගෝස්තු මස 17 වැනි දින මහා මැතිවරණය පැවැත්වීමට දින ප්‍රකාශයට පත් කර තිබිණි. මාර්තු මස නුගේගොඩ පැවැති “මහින්ද සමග නැගිටිමු ජන රැළියට“ පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන නායකත්වය යළිත් රටම ඉල්ලා සිටින බව කාටත් පසක් වී තිබිණි. එවැනි පසුබිමකදී මහින්ද රාජපක්ෂයන්ට හිතවත් දේශපාලන නායකයන් විසින් නව දේශපාලන ව්‍යාපාරයක් මගින් මහා මැතිවරණයට ඉදිරිපත් වීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබිණි. කෙසේ වෙතත් අවසානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහන් සන්ධානය යටතේ මහින්ද රාජපක්ෂයන්ගේ දේශපාලන නායකත්වයෙන් මහා මැතිවරණයට ඉදිරිපත් වීමට තීන්දු විය.

මහින්ද රාජපක්ෂ මහතා වටා ගොඩනැඟී තිබු දේශපාලන කඳවුර නව දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාව දැඩිව පෙන්වා දුන්නේය. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහා මැතිවණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 96 දෙනකු පත් වු අතර මහින්ද රාජපක්ෂයන් වටා එක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 56 දෙනකු පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගෙන ඒකාබද්ධ විපක්ෂය නමින් පෙනී සිටියේය. කෙහෙලිය රඹුක්වැල්ල,විමල් වීරවංශ , දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, ප්‍රසන්න රණතුංග, ඩලස් අලහප්පෙරුම සහ වාසුදේව නානායක්කාර ඇතුළු නායකයෝ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිස ඒකාබද්ධ විපක්ෂයේ භූමිකාවට පණ පෙවූහ.

ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතදීත් ආණ්ඩුවට එරෙහිව දැඩි බලපෑමක් එල්ල කරමින් ආණ්ඩු විරෝධී ජනමතය ගොඩනැඟීමට සමත් විය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම් චීනයට පැවැරීමට එරෙහි දැවැන්ත උද්ඝෝණ මාලාව, ඛණිජ තෙල් සංස්ථාවේ සේවක වැඩ වර්ජනය, මහ බැංකුවේ මංකොල්ලය ඇතුළුව යහපාලන ආණ්ඩුවේ දුර්වලතා ඉස්මතු කරමින් ආණ්ඩු විරෝධය දිනෙන් දින වැඩි කිරීමට ඒකාබද්ධ විපක්ෂයට හැකි විය. ඒකාබද්ධ විපක්ෂයේ නායකයා ලෙස දිනේෂ් ගුණවර්ධනයන් පෙනී සිටියත් ඒ සඳහා නායකත්වය සැපයුයේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ය. එතැන් පටන් මහින්ද රාජපක්ෂයන් වටා ගොඩනැඟී තිබු ජනතා බලවේගය ඉල්ලා සිටියේ නව දේශපාලන පක්ෂයක් බිහි කර රටේ පාලන බලය අල්ලා රට වේගවත් සංවර්ධන මාවතකට සහ රටේ ආරක්ෂාව තහවුරු කරන ලෙසය. නව දේශපාලන ව්‍යාපාරයක් බිහිකිරීමේ වගකීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් බාර දෙනු ලැබුයේ සිය සොයුරු බැසිල් රෝහණ රාජපක්ෂයන්ටය. එහි වගකීම එතුමා අකුරටම ඉටු කළේය.

සැබවින්ම මහින්ද රාජපක්ෂ මැතිතුමා වටා ගොඩනැඟී තිබු ජනතා ආකර්ෂණය ක්‍රමානුකූලව සංවිධානය කිරීමේ තිරය පිටුපස මහ මොළකරු බැසිල් රාජපක්ෂයන්ය. සිපිරි ගෙදරින් එළියට පැමිණි බැසිල් රාජපක්ෂයන් එක්සත් ජනතා නිදහස් සන්ධානය වටා එක්ව සිටි මහින්ද රාජපක්ෂයන්ට ආදරය කළ සාමාජිකයන්, පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්, සභාපතිවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක් කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙරට දැවැන්ත දේශපාලන ව්‍යාපාරය බවට පත් කිරීමේ භාරදූර වගකීම කරට ගත්තේය. 2016 වසරේ නොවැම්බර් 01 දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි වන්නේ ඒ අනුවය. පක්ෂයේ නිර්මාතෘ සහ ජාතික සංවිධායකවරයා ලෙස බැසිල් රාජපක්ෂයනුත් , පක්ෂ සභාපතිවරයා ලෙස මහාචාර්ය ජී. ඇල්. පීරිස් සහ පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස නීතීඥ සාගර කාරියවසම් පක්ෂයට නායකත්වය ලබා දුන්නේය.

පක්ෂ මුලස්ථානය වූ නෙළුම් මාවත පක්ෂ මුලස්ථානයේ සිට සිය සංවිධාන කටයුතු ආරම්භ කළ බැසිල් රාජපක්ෂයන් රට වටා යමින් මහින්ද රාජපක්ෂයන්ට ආදරය කළ ක්‍රියාකාරීන් සමග පක්ෂයට සාමාජිකයන් බඳවා ගනිමින් ශාඛා සමිති පිහිටුවීමේ කටයුත්ත මුලින්ම ආරම්භ කළේය. ඉන්පසුව පක්ෂයේ වෘත්තීය සමිති ව්‍යාපාරයට නායකත්වය දෙමින් පක්ෂය ශක්තිමත් වෘත්තීය සමිති ව්‍යාපාරයක් බිහි කිරීමේ වගකීම හිටපු කම්කරු ඇමැතිවරයකු වූ ගාමිණී ලොකුගේට බාර දුන්නේය. මහින්ද රාජපක්ෂයන්ගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂකවරයා වු නීතීඥ සුමිත් විජේසිංහ හා දිවංගත හේමසිරි ජයලත් පක්ෂයේ වෘත්තීය සමිති ව්‍යාපාරය ගොඩනැඟීමට කැපවුහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භයේදී පක්ෂයේ සාමාජික ප්‍රවර්ධන කටයුතු ආරම්භ කර තිබුණේ සැලසුම් සහගත ආකාරයකටය. පක්ෂයට සාමාජිකයන් බඳවා ගැනීමේ මුලික පියවර ලෙස ලංකාවේ සියලු ග්‍රාමසේවක වසම් ආවරණය වන පරිදි 20 කණ්ඩායම් සැකසිණි. ඒ සාමාජික පෝරම පිරවීමකින් තොරවය. නම , ලිපිනය සහ අස්සන පමණක් යොදමින් විස්සේ කණ්ඩායම් සකස් විය. ඇතැම් ග්‍රාමසේවා වසම් වල 20 කණ්ඩායම් වෙනුවට100, 200 ,300 සහ 400 කණ්ඩායම් බිහි වෙමින් නව ජනතා ආකර්ෂණය දිනා ගන්නට සමත් විය. අනතුරුව දේශපාලන පක්ෂයක් ලෙස සාමාජිකයන් බඳවා ගැනීම සාමාජික අයදුම්පත් පිරවීමෙන් වඩාත් විධිමත් ලෙස සිදු කෙරිණි. මහනුවර සිට කොළඹ දක්වා පැවැති ආණ්ඩු විරෝධී “පා ගමන“ , පසුව රට වඩා ගෙන ගිය “මහින්ද සුළඟ ජන රැළි මාලාව“ සමඟ පොහොට්ටුව කෙරෙහි ජනතා ආකර්ෂණය දිනෙන් දින වැඩි වීය.

පක්ෂය 2016 නොවැම්බර් 01 දා ආරම්භ වී මාස 6 ක් ගත වෙන විට 2017 වසරේ මැයි දිනය වඩාත් සංවිධානශීලීව සහ ආකර්ෂණීය ලෙස පැවැත්වීමේ අවශ්‍යතාව පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂයන් පෙන්වා දෙනු ලැබිණි. ඒ අනුව පොහොට්ටුවේ සහෝදර දේශපාලන පක්ෂවල තීරණය කර තිබුණේ එම මැයි දිනය ලංකාවේ තිබෙන විශාලතම ක්‍රිඩාංගණයක පැවැත්වීමටය. සියලු සැලසුම් තිරය පිටුපස සිට පක්ෂයේ නිර්මාතෘ සහ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂයන් මෙහෙයවනු ලැබිණි. රැස්වීම සඳහා ගාලු මුවදොර පිටිය තෝරා ගැනිණි. එවකට ආණ්ඩුවේ ප්‍රධානීන් සහ මැති ඇමැතිවරු කියා සිටියේ හැකි නම් ගෝල්ෆේස් පිටියේ භාගයක් පුරවන ලෙසය.

අනතුරුව 2017 වසරේ මැයි පළමුවැනිදා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂයන්ගේ සිහිනය සැබෑ කරමින් ගාලු මුවදොර පිටියට ජනතා ගඟක් ගලන්නට විය. ගාලු මුවදොර පිටිය පමණක් නොව ගාලු මුවදොර පිටිය අසලින් දිවෙන ගාලු පාර ඇතුළුව කොළඹ නගරයේ සියලු මාර්ග ජනතාවගෙන් පිරී ඉතිරී ගියේය. යහපාලන ආණ්ඩුවේ ගමනක අවසානය එදින ආරම්භ වුවා යැයි කිවහොත් එය නිවැරැදිය.

එතැන් සිට පොහොට්ටුවට රටේ මහජනතාවගෙන් විශාල ශක්තියක් ලැබිණි. බැසිල් රාජපක්ෂ පක්ෂයේ නිර්මාතෘවරයා සහ පක්ෂයේ එවකට අධ්‍යාත්මික නායකයා වූ ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ ඊළඟ ඉලක්කය වුයේ එතෙක් වසර දෙකහමාරක් තිස්සේ කල් දමා තිබු පළාත් පාලන මැතිවරණය ලබා ගැනීමය. යහපාලන ආණ්ඩුව අවසානයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තීන්දු විය. එහෙත් යහපාලන ආණ්ඩුවේ එවකට පළාත් පාලන ඇමැතිවරයා තම පියා මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කළේය. ඒ පළාත් පාලන මැතිවරණය කල් දැමීමටය. පොදුජන පෙරමුණ එම නඩුව නම් කර තිබුණේ ‘ෆයිසර් වර්ස් අ ෆයිසර්‘ යනුවෙනි. ඒ එවකට පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාෆා මහතාගේ පියා විසින් නඩුව ගොනු කිරීම නිසාය. එම නඩුවටද මැදිහත් වී නඩුව ජයග්‍රහණය කිරීමට පොදුජන පෙරමුණේ නීතීඥවරුන්ට හැකියාව ලැබිණි. ඒ අනුව 2018 වසරේ පෙබරවාරි 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණය විශිෂ්ට ලෙස ජය ගැනීමට පොහොට්ටුවට හැකි විය. පළාත් පාලන ආයතනවලින් සියයට 70 ක බලය කොට්ඨාශ අතරින් සියයට 90 ක බලය පොහොට්ටුව දිනා ගත්තේ නව ගමනක ආරම්භය සටහන් කරමිනි. අනතුරුව 2019 වසරේදී ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණ පැවැත්වීමට නියමිත විය. එහෙත් ජනාධිපතිවරණය කල් දමා ගැනීමට යහපාලන ආණ්ඩුව උත්සාහ කළේය. ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු 5 නොව 6 ක් බවට ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලබා ගැනීමට ඔවුහු උත්සාහ කළහ. එම නඩුවෙන්ද ජය ගැනීමට ඊට මැදිහත් වු පොදුජන පෙරමුණේ නීතීඥ කණ්ඩායමට හැකි විය. ඒ සමඟම ජනාධිපතිවරණය ඉලක්ක කර ගෙන සංවිධාන කටයුතු ඇරඹිණි. දිස්ත්‍රික් , ආසන සහ ඡන්දපොළ මට්ටමින් සංවිධාන කටයුතු සිදු වීය. ජනාධිපතිවරණය උදෙසා ආකර්ෂණීය ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීමේ අභියෝගය ඉන් අනතුරුව විණි. ජන මූල ප්‍රතිපත්ති සම්පාදනය කරමින් වියත් මග ඇතුළු විවිධ කණ්ඩායම් සමඟ සාකච්ඡා කොට පුවත්පත් දැන්වීම් මඟින් පුළුල් ප්‍රචාරයක් ලබා දී ජනතා අදහස්ද ලබා ගැනිණි. ගම් මට්ටමට්ටමින් “ ගම සමඟ පිළිසඳරක් වැඩසටහන ආරම්භ කෙරුණේ එලෙසය. පසුව විශේෂඥ කමිටු පිහිටුවිණි. එම කමිටු මගින් දැනුම ගෙන ජාතික මට්ටමේ යෝජනා ලබා ගැණිනි. සියලු තොරතුරු පදනම් කොට ගෙන ජනාධිපතිවරණයේ ප්‍රතිපත්ති ප්‍රකාශය වු “සෞභාග්‍ය යේ දැක්ම“ පිළියෙල කෙරිණි.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමට බැසිල් රාජපක්ෂයන් තීන්දු කර තිබිණි. 2019 අගේස්තු 3 සහ 4 දිනවල “ඊ කැන්වසින්“ සමඟ “වී කැන් නම් වු ඇප් එක“ සමග ‍ජනාධිපතිවරණ ඡන්ද ප්‍රචාරක කටයුතු රට පුරා එකම වේලාවකදී ආරම්භ කෙරෙනුයේ ඒ අනුවය. මෙතෙක් පැවැති ගෙන් ගෙට යෑමේ ක්‍රමයට වඩා නිවැරැදි ලෙස ගෙන් ගෙට යමින් පොදුජන පෙරමුණට හිතවත් නිවෙස් හඳුනා ගැනීමටත් පක්ෂයේ ශක්තිය හඳුනා ගැනීමටත් “ වී කැන් ඇප් එක “ මගින් ඉන් පහසු විය. ඊ කැන්වසින් මගින් සංවිධායකවරුන් ගෙන් ගෙට යෑම පවා පක්ෂ මුලස්ථානයේ සිට අධීක්ෂණය කෙරිණි. පොදුජන පෙරමුණ ජනාධිපතිවරණය පිවිසියේ එවැනි ශක්තිමත් අඩිතාලමක් සමගිනි.

ජනාධිපතිවරණයේ විද්‍යාත්මකව මැතිවරණ ව්‍යාපාරය ආරම්භ වුයේ ඉන් පසුවය. 2018 පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවට ලක්ෂ 50 ක ඡන්ද ප්‍රමාණයක් ලැබී තිබිණි. 50 ප්ලස් 50 යනුවෙන් පක්ෂයට ඉලක්කයක් බැසිල් රාජපක්ෂ ජාතික සංවිධායකවරයා ලබා දුන්නේ සැලසුම් සහගත ඉලක්කයකි. එහි අරමුණ වුයේ පක්ෂයට ජනාධිපතිවරණයේදී අමතර ඡන්ද ලක්ෂ 15 ක් එකතු කර ගැනීමය.

ජනාධිපතිවරණ මැතිවරණයට මුහුණ දීම සඳහා පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂ නායකයා ජාතික සම්මේලනයකින් තෝරා ගැනීමට සිදු විය. 2019 වසරේදී පක්ෂයේ ජාතික සම්මේලනය පැවැත්වුයේ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගනයේදීය. එතෙක් පොදුජන පෙරමු‍ණේ පරමාදර්ශී නායකයා වූ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂයන් පක්ෂ නායකයා ලෙස නම් කෙරිණි. එදිනම මහින්ද රාජපක්ෂයන් විසින් විපක්ෂයේ චෝදනා සුනු විසුනු කරමින් ජනාධිපති අපේක්ෂකයා ලෙස සිය සොයුරු ගෝඨාභය රාජපක්ෂයන් නම් කළේය. පසු දින අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනාමාන කිරීමෙන් ආරම්භ වු ගෝඨාභය රාජපක්ෂයන්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය වඩාත් ශක්තිමත් ලෙස සිදු කෙරිණි. ඒ අතරතුර දෙමළ ජාතික සංවිධානයේ මන්ත්‍රීවරයකු, රාජ්‍ය මාධ්‍ය ආයතනයක සභාපතිවරයකු සහ කර්තෘවරියක ඇතුළු කණ්ඩායමක් විසින් සංවිධානාත්මක ලෙස ගෝඨාභය රාජපක්ෂයන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වැළැක්වීමට පුරවැසිභාවය ප්‍රශ්න කරමින් ශ්‍රේෂ්ඨාධිකාරණයේ නඩුවක් පවා ගොනු කළේය. වඩාත් නිවැරැදි තීන්දුවක් සමඟින් ගෝඨාභය රාජපක්ෂයන්ගේ ජයග්‍රහණයේ පෙර නිමිති එතැන් සිට පහළ විය.

පක්ෂයේ අනු සංවිධාන රැසක ජාතික සම්මේලන , වෘත්තීය සමිති ජාතික සම්මේලන සියල්ල ජනාධිපතිවරණය ඉලක්ක කර ගෙන පැවැත්විණි. පක්ෂයේ වෘත්තීය සමිති ව්‍යාපාරය දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි තැපැල් ඡන්ද මෙහෙයුම් කටයුතු සඳහා සෘජු දායකත්වයක් ලබා දී තිබිණි. අවසනයේ පොහොට්ටුවේ සියලු දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධානවල සහයෝගයෙන් වැඩි ඡන්ද ලක්ෂ 19 ලබා ගෝඨාභය රාජපක්ෂයන් ජනාධිපති ධුරයට පත්විය. සාමාන්‍යයෙන් ජනාධිපතිවරයකු පත් වු සැණින් සිදු වන්නේ තමන්ට පක්ෂ පාර්ලිමේන්තුවක් බිහි කර ගැනීමය. නමුත් 19 වැනි ව්‍යවස්ථාව අනුව ගෝඨාභය රාජපක්ෂයන්ට එම අවස්ථාව නොලැබිණි. ඒ අවුරුදු හතර හමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය නොලැබීමය. පොහොට්ටුවට පාර්ලිමේන්තුවේ බහුරය නොතිබු නිසා කිසිදු පනතක් හෝ අයවැයක් සම්මත කර ගැනීමට තිබු ගැටලුව නිසා ලැබු පළමු අවස්ථාවේදීම මේ වසරේදී එනම් මාර්තු 01 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරිණි. 2020 මේ වසරේදී මහා මැතිවරණයට දින නියම වුවත් කොවිඩ් 19 වසංගත තත්ත්වය උපයෝගී කර ගෙන මැතිවරණ කොමිසම විසින් මහා මැතිවරණය කල් දැම්මේය. පසුව ලෝකයේ දිර්ඝතම මැතිවණ ප්‍රචාරණ කාලයට පසුව මේ වසරේ අගෝස්තු මස පැවැති මහා මැතිවරණයෙන් පොහොට්ටුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් හිමි විය. සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දුන් පසුව මෙතෙක් කිසිම පක්ෂයකට ලබා ගත නොහැකි වු තුනෙන් දෙකක පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාවකින් ලබා ගැනීමට හැකිවීම ඉතිහාස ගතවන්නකි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර නොවැම්බර් 02 දා විජයග්‍රාහී සිය සිව්වන උපන්දිනය සැමරීමට පක්ෂයේ සිව්වන මහා සම්මේලනය සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට සැලසුම් කර තිබිණි. නමුත් සියලු සැමරුම් කොවිඩ් වසංගත තත්ත්වය නිසා අවලංගු කිරීමට පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂයන් තීන්දු කර තිබිණි. පක්ෂයේ සිව්වන සම්මේලනයට සමගාමීව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබිණි. ඉන් පළමු වැන්න වුයේ සාමාජික ප්‍රවර්ධනයයි. ජනාධිපතිවරණයේදී ලැබු ඡන්ද ලක්ෂ 59 න් සියයට හැටක් දක්වා සාමාජික ප්‍රවර්ධනය කිරීමය. එනම් ලක්ෂ 40 ක් දක්වා සාමාජිකයන් බඳවා ගැනීමය. එසේම සෑම ගෙදරකටම සෞභ්‍යාග්‍ය යේ තිළිණයක් ලබා දීමය. සෞභාග්‍ය යේ තිළිණයක් ලෙස පවුලේ ආර්ථිකයත් ශක්තිමත් පොල් , දෙල් , කොස් සිට පළතුරු පැළ ලබා දීමටත් ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ රාමු කළ හැකි පිංතූර දෙකක් ලබා දීමටද නියමිත වීය. 2015 ජනවාරි 08 වැනිදාට පසුව මහින්ද රාජපක්ෂ පස්වන විධායක ජනාධිපතිතුමා වටා ගොඩ නැඟී තිබු ජනතා ආකර්ෂණය ශක්තිමත් සහ සංවිධානශීලී දේශපාලන ව්‍යාපාරයක් බවට පත් කිරීමේ ගෞරවය බැසිල් රාජපක්ෂයන්ට හිමි විය යුතු බව අවිවාදිතය. එවැනි දැවැන්ත කැපවීමක් කළ ඔහු යළිත් ක්‍රියාකාරී දේශපාලනයට පැමිණීම කෙරෙහි පාක්ෂිකයන් දෑස් දල්වා බලා සිටින බවද කිව යුතුය.

බැසිල් රාජපක්ෂයන් ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණ රටේ ආර්ථික සංවර්ධනය උදෙසා වු වගකීමක් බාර ගෙන සිය සහෝදරයන් වන වත්මන් අග්‍රාමාත්‍යතුමාට සහ ජනාධිපතිතුමාට ශක්තියක් වනු දැකීම පාක්ෂිකයන්ගේ අපේක්ෂාව බවද කිව යුතුය.

 

Comments