අලුත් ඉරක් යට අලුත් හෙටක් | සිළුමිණ

අලුත් ඉරක් යට අලුත් හෙටක්

හ මැති­ව­ර­ණ­යට ඇත්තේ දින තුනකි. වෙන කව­ර­දා­ටත් වඩා වෙනස් මැති­ව­රණ සම­යක් අපි ගත කළෙමු. වෙනදා තාප්ප­යක්, ගහක්, ගලක් පම­ණක් නොව දිය අග­ල­ක්වත් පෝස්ටර් මාෆි­යා­වෙන් ගැල­වුණේ නැත. ටිකක් රෑ වෙන්නට එළි­යට බැස්සොත් තාප්ප බාල්දි කර­තියා ගත්, පෝස්ටර් මිටි ඔස­වා­ගත් මිනි­සුන්ගේ දසුන අරු­ම­යක් නොවනු ඇත. ඡන්දය හා පෝස්ට­රය අතර පැව­තියේ එවන් අවි­යෝ­ජ­නීය සම්බ­න්ධ­තා­වකි.

මනාප සට­නද එප­රි­දිය. වෙනදා මෙන් වේදි­කා­වක් වේදි­කා­වක් ගානේ කුලල් කා ගන්නා අපේ­ක්ෂ­ක­යන් මෙදා දක්නට නැත. හත්මුතු පර­ම්ප­රාවේ ගුණ වරු­ණාව කිය­මින් ගෙන් ගෙට යන අපේ­ක්ෂ­ක­යන් ද වෙන­දාට සාපේ­ක්ෂව අඩුය. කට­වුට් බැනර් නැති, පෙළ­පාලි නැති මාධ්‍ය සාකච්ඡා ඇති අපූරු මැති­ව­රණ සම­යක් ගෙවී යමින් තිබේ. හව­ස්වන විට කණ පැලෙ­න්නට ඇසෙන සංගී­ත­යත්, කළ හැකි නොහැකි පොරොන්දු දෙන මැති­ව­රණ රැස්වී­මුත් වෙනදා තරම් නැත. කොටින්ම කිව­හොත් මේ සෑම අතින්ම සාම­කාමී මැති­ව­ර­ණ­යකි.

පෝස්ටර්, කට­වුට් නැති මැති­ව­ර­ණ­යක් ගැන අසා­වත් නැතැයි සිතෙන තර­මට ඒවා අත්‍ය­ව­ශ්‍යව තිබූ සම­යෙක එක­ව­රම මෙත­රම් පරි­සර හිත­කාමී මැති­ව­ර­ණ­යක් පැවැ­ත්වී­මට සිතී­මම ආන­න්ද­යට කරු­ණකි. කොවිඩ් 19 වෙනස් කළ දෑ අත­රට මැති­ව­රණ එක්වීම නම් කොරෝ­නා­වෙන් මතුවූ රිදී ඉරකි. ඊටත් වඩා මේ වෙනස සඳහා බල­පෑම් කළ තවත් කාර­ණ­යක් තිබේ. මේ අලුත්ම වෙනස ඇති වන්නට බල­පෑවේ ජනා­ධි­ප­ති­ව­ර­ණය බැව් ඔබට මතක ඇත. පරි­සර හිත­කාමී මැති­ව­රණ ප්‍රචා­රණ කලා­වක් බිහිවීමේ පද­නම වැටුණේ වත්මන් ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ආද­ර්ශය නිසාය. වර්තමානයේ මේ ගෙන යන්නේ එහිම දිගු­වකි.

කොරෝ­නාව පැවති පසු­ගිය මාර්තු මස සිට මේ දක්වා දකුණු කොරි­යාව සහ සිංග­ප්පූ­රුව ඇතුළු රට­වල් 14ක් මැති­ව­රණ පවත්වා තිබේ. ශ්‍රී ලංකාව ඒ අතර පහ­ළොස් වැන්නයි. වසං­ග­ත­යක් අත­ර­තුර මැති­ව­ර­ණය පව­ත්වන්නේ කෙසේද යන්නට ඉතාම නිවැ­රදි ආද­ර්ශය සැප­යූවේ දකුණු කොරි­යාව විසිනි. දකුණු කොරි­යානු රජය නිවැ­රදි සෞඛ්‍ය පිළි­වෙත් නිසි­යා­කා­ර­යෙන් ක්‍රියා­ත්මක කර­මින් මෙකී මැති­ව­ර­ණය පව­ත්වන ලද අතර; එරට වැසි­යෝද ඊට මනා සහ­යෝ­ග­යක් දුන්හ. පසු­ගිය ජූලි 10 වැනිදා සිංග­ප්පූ­රුව පැවැත්වූ පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යද විශේ­ෂිත වූවකි. එහිද කට­වුට්, බැනර්, විශාල රැස්වීම් තිබුණේ නැත. ඡන්දය සද්ද­යක් නැතිව විත් සද්ද නැති­වම සිය කාර්යය ඉටු කළේය. මෙය අප­ටද කදිම ආද­ර්ශ­යකි. ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ආරක්ෂා කර ගැනීම වෙනු­වෙන් මැති­ව­ර­ණය පැවැ­ත්වී­මට බොහෝ රාජ්‍ය ක්‍රියා කළේ වයි­ර­සය සමඟ තව කොතෙක් කාල­යක් අපට ජීවත් වීමට ලැබේ­දැයි නොදන්නා නිසාය.

දශක හත­ක­ටත් අධික කාල­යක් තිස්සේ ඡන්දය දීමට පුරු­දුව සිටි ජන­තා­වක් සිටින අප රටට ද ඡන්දය පාවිච්චි කළ යුත්තේ කෙසේද යන්න පෝස්ටර් හෝ බැනර් වලින් පෙන්වා දීමට අවැසි නැත. කොරෝනා නිසා කළා යැයි කීවාට මේ නීති කලක් තිස්සේ ම තිබු­ණේය. එහෙත් ඒවා ක්‍රියාවේ යෙද­වුණේ නැත. මෙතෙක් කල් තාප්ප, බිත්ති, කම්බි වැට, ගස්, ගල් පම­ණක් නොව මාවත් පුරා පවා ඇල­වුණු පෝස­ටර් හා කට­වුට් නිසා වැන­සුණු පරි­ස­ර­යට ඉසි­ඹු­වක් ලැබී­මම භාග්‍ය­යකි. ඡන්ද සටන ආර­ම්භ­යේ­දීම එකම පක්ෂයේ මනාප සටන ප්‍රති­ක්ෂේප කළ අග­මැ­ති­ව­රයා තම තමන් නොව පොදුවේ පක්ෂය ගැන සිත­න්නැයි පැව­සී­මම වෙනස් මැති­ව­ර­ණ­යක පූර්වා­ද­ර්ශ­යක් විය.

මේ අනුව රටේ ජන­තා­ව­ගෙන් වැඩිම පිරි­සක් එකම දිනයේ එළි­යට බසින්නේ මැති­ව­ර­ණය දාය. මේ සංඛ්‍යාව දළ වශ­යෙන් කෝටි­ය­කට වැඩි වනු ඇතැයි ගණන් බලා තිබේ. 2019 වර්ෂ­යේදී මැති­ව­රණ කොමි­සම මඟින් සහ­තික කරන ලද ඡන්ද හිමි නාම ලේඛ­ණ­යට අනුව 16,263,885 දෙ‍ෙන­කුට ඡන්දය පාවිච්චි කිරීමේ අව­ස්ථාව තිබේ. විවිධ හේතු මත ඡන්ද පොළට නොඑන සේම ඡන්දය පාවිච්චි නොක­රන පිරිස පසෙ­කින් තැබූ විට 85%ක පිරි­සක් ඡන්දය පාවිච්චි කරනු ඇතැයි කොමි­සමේ අපේ­ක්ෂා­වයි.

‘යහ­පා­ලන‘ විග­ඩ­මෙන් පසු තමන් කැමති, තමන්ගේ ඉදි­රිය වෙනු­වෙන් යමක් කරනු ඇතැයි අපේක්ෂා කරන ජනතා නියෝ­ජි­ත­යන් පිරි­සක් තෝරා ගැනී­මට ජන­තා­වට ලැබෙන පළමු අව­ස්ථාව මඟ නොහ­රිනු ඇතැයි අපි උදක්ම සිතමු. ‘යහ­පා­ලන‘ සමයේ කෝලම්, නාඩ­ගම් හා කඹ ඇදීම් නිසා කල­කි­රී­මට පත්ව සිටි ජන­තා­වට මේ ලැබෙන අව­ස්ථාව මසු­රන් වටි­න්නේය. පාර්ලි­මේ­න්තු­වට නියෝ­ජි­ත­යන් තෝරා පත් කර ගැනී­මේදී ස්වකීය පෙර අත්දැ­කීම් නැවත ස්මර­ණය කිරීම වැද­ගත් වන්නේ, වෙන­සක් බලා­පො­රො­ත්තු­වෙන් කළ හදි­යක ප්‍රති­ඵල ඕනෑ­ව­ටත් වඩා ජන­තාව විඳි නිසාය.

රටක අනා­ග­ත­යක් තීර­ණය වන දිනය අත­ළ­ඟය. පළමු ඡන්ද ප්‍රති­ඵ­ලය පසු­වදා තේ බොන වේලා­වට ලබා­දිය හැකි බව මැති­ව­රණ කොමි­සමේ සභා­ප­ති­ව­රයා පව­සා තිබිණි.

ලංකාවේ වැඩිම සංඛ්‍යා­වක් එළි­යට බසින මැති­ව­රණ දිනය වෙනු­වෙන් ලොව ප්‍රමු­ඛ­තම සෞඛ්‍යා­ර­ක්ෂිත ක්‍රම ක්‍රියා­ත්ම­කය. මැති­ව­රණ කොමි­සම් සභා­ප­ති­ව­රයා කියන පරිදි ඔබට ඡන්ද ස්ථානය තරම් ආර­ක්ෂිත වෙන කවර හෝ ස්ථාන­යක් නැති තරම්ය. එබැ­වින් මේ තීර­ණා­ත්මක මැති­ව­ර­ණ­යේදී ඔබේ ඡන්දය පාවිච්චි කිරීම ඔබ රටට ඉටු කරන යුතු­ක­මක් සේම එය ඔබේ වග­කී­මකි. එකි­නෙ­කාගේ කුණු අවු­ස්ස­මින්, පිට කස­මින්, රෙදි සෝද­මින් ගෙවන පාර්ලි­මේන්තු සංස්කෘ­ති­යට තිත තබා රට වෙනු­වෙන් එකට පෙළ ගැසිය යුතු මොහොත එළැඹ ඇත. මෙරට සියලු පුර­වැ­සි­යන් ජාති, ආගම්, කුල හෝ වෙනත් බේද­ය­කින් තොරව සමාන අයි­ති­වා­සි­කම් ඇති අය ලෙස සැල­කීම ශ්‍රී ලාංකීය අන­න්‍ය­තා­වක් ඇති ජාති­යක් ගොඩ­නැ­ගීම සඳහා අත්‍ය­වශ්‍ය මූලික කරු­ණකි. නිද­හස ලැබී 72 වස­රක් ගතව ඇතත් අපට ඒ සඳහා මෙතෙක් අව­කා­ශ­යක් ලැබී නැත. තමන් ජාති, ආගම්, කුල හෝ වෙනත් කිසිදු බේද­යක් නොස­ල­කන ශ්‍රී ලාංකේය අන්‍ය­න­තාව ඇති පුර­වැ­සි­යකු බව ලෝක­යට කිය­න්නට සෑම අය­කු­ටම ශක්ති­යක් ලැබෙන ආකා­රයේ පසු­බි­මක් රටේ ඇති කළ යුතුව තිබේ. එය අද නොක­ළ­හොත් යළිත් ඊට සුදුසු අව­ස්ථා­වක් කවදා පැමි­ණෙ­තැයි කිසි­ව­කු­ටත් පැව­සිය නොහැ­කිය. ඇතැම් විට මේ ඒ සඳහා වන අව­සන් අව­ස්ථාව විය හැකිය.

අද වන­විට රටට නිසි නාය­ක­ත්ව­යක් ලැබී ඇත. එකී නාය­ක­ත්වය විසින් අනා­ග­තය සඳහා සැල­සුම් කරන උපාය මාර්ගික ඉලක්ක සපුරා ගැනී­මට නම් ශක්ති­මත් පාර්ලි­මේ­න්තු­වක් අවැ­සිය. රට පිළි­බඳ හැඟී­මක් ඇත්තා වූද, රටට ආද­රය කරන්නා වූද, අන්ත­ර්ජා­තික සබ­ඳතා සීමාව දැන පව­ත්වන්නා වූත්, එකී සහ­යෝ­ගීතා සම්බ­න්ධ­යේදී කොල්ල­කන රාජ්‍ය හා සංවි­ධා­න­ව­ලට යට නොවී­මට තරම් ශක්ති­ස­ම්පන්න වූත් නාය­ක­ත්ව­යක් මේ වන විට අප සතුය. ඒ නාය­ක­ත්වය ශක්ති­මත් කර­න්නට මේ ස්වර්ණ­මය මොහො­තයි. පර­පු­රක උරු­මය ආරක්ෂා කර­ග­නි­මින්, පර­පු­රක කර­මත පැට­වුණු ස්වේච්ඡා වග­වීම ඉටු කර­මින් සභ්‍යත්ව රාජ්‍ය­යක් ගොඩ­නැ­ඟීම අව­ශ්‍යව තිබේ. මේ මහ පොළවේ සුවඳ දැනෙන, වැඩ­ක­රන ජන­තා­වගේ දහ­දිය කඳු­ළු­වල බර හඳු­නන නාය­ක­ත්ව­ය ශක්තිමත් කිරීමේ අව­කා­ශය ඔබ මඟ නොහැර ගත යුත්තේ මේ කරුණු නිසාය.

Comments