මහින්ද රාජපක්ෂ සාධකය මහ මැතිවරණයේදී දෙගුණයක් වෙලා | සිළුමිණ

මහින්ද රාජපක්ෂ සාධකය මහ මැතිවරණයේදී දෙගුණයක් වෙලා

රට දියුණු කරන එක ගැන අලුතින් හිතල අලුත් වැඩපිළිවලක් ක්‍රියාත්මක කරනවාට එජාපය ප්‍රමුඛ ඊනියා විපක්ෂය කැමති නෑ

- එදා අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති යටතේ බුලත් කොළයෙන් තරඟ කරන්න ගත්තු තීරණය අපේ කඳවුර ගත්තු මෝඩ තීරණයක් කියලයි මම හිතන්නෙ 
- හිටපු ජනාධිපතිවරයා 2015දි මහින්ද රාජපක්ෂ මහතාට කළ ද්‍රෝහිකම් අපට අමතක නෑ 
- ඡන්දයක් අත ළඟ තියාගෙන අපි මේවා කියන්නෙ ඡන්ද සටන් පාඨ විදියට නොවෙයි

• සමාජයේ ප්‍රබල මතවාදයක් ගොඩ නැගෙමින් තිබෙනවා පාර්ලිමේන්තුවට උගත් බුද්ධිමත් තරුණයන් පත් කරන්න ඕන කියලා. ඔබ මේ ගැන මොනවද හිතන්නෙ?

මේ මතවාදය වැරදියි කියල බැහැර කරන්න බෑ. පාර්ලිමේන්තුව කියන්නෙ රට කරවන තැන. එතැනට කවුරු පත්වුණත් ඔවුන්ට මහ පොළවෙ ප්‍රායෝගිකත්වය අවබෝධ කර ගැනීමේ හැකියාවක් තිබිය යුතුමයි.

• අපේ රටේ වමේ දේශපාලන ව්‍යාපාරය ජනතාව ප්‍රතික්ෂේප කරල තිබෙනවා කිව්වොත් ඔබ ඊට එකඟ වෙනවාද?

ඕනෑම දෙයක් සමාජයත් එක්ක වෙනස් විය යුතුව තිබෙනවා. දේශපාලනයට වුණත් ඒ න්‍යයායෙන් බැහැර වෙන්න බෑ. අපේ රටෙ වමේ ව්‍යාපාරයත් අද ඒ යථාර්තයට මුහුණ දෙමින් ඉන්නවා. අන්තවාදි වමේ මතවාද අද ජනතාව ප්‍රතික්ෂේප කරල තිබෙනවා.

• ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ රාජ්‍ය පාලනය තරුණ ඇසින් ඔබ දකින්නෙ කොහොමද?

ඇත්තටම ඔහු අති විශිෂ්ට රාජ්‍ය පාලකයෙක්. ඔහුට දේශපාලන පළපුරුද්දක් හෝ අත්දැකීම් නෑ කියන්න බෑ. මොකද ඔහු මේ රටේ ජනප්‍රිය දේශපාලන පවුලක සාමාජිකයෙක්. ඒ නිසා කුඩා කල සිටම තම වැඩිහිටියන් ගේ දේශපාලන ක්‍රියාකාරකම් දැකල ඒවාට යම් යම් ආකාරයෙන් දායක වෙලා ප්‍රායෝගික දේශපාලනය පිළිබඳව යම් මට්ටමකට අත්දැකිම් හා පළපුරුද්දක් ලබපු අයෙක්. පසු ගිය ජනාධිපතිවරණයේදි එජාපය එතුමට සමච්චල් කළේ ප්‍රාදේශීය සභාවකටවත් තරඟ කර දේශපාලන අත්දැකීම් නැති ගෝඨාභය රටක් පාලනය කරන්නෙ කොහොමද කියලයි. මේ වන විට එතුමා රට බාර ගෙන තවම මාස හයයි. මේ ටික කාලයට එතුමා ලෝකයේ දේශපාලන නායකයින් අතරත් කැපී පෙනෙන නායකයෙක් බවට පත්වෙලා. එතුමට සමච්චල් කළ එජාපයේ ජ්‍යෙෂ්ඨයින් යැයි කියන අයට ඔවුන් ගේ ජීවිත කාලයේවත් මේ තත්ත්වයට තියා ඒ කිට්ටුවටවත් එන්න බෑ. ඒ බව ජනතාවත් හොඳින් තේරුම් ගෙන ඉන්නවා. ඒ නිසා තමයි මේ රටෙ ජනතාව සඳහන් කරන්නෙ කොරෝනා වසංගතය වෙලාවෙ රනිල් - මෛත්‍රී රට පාලනය කළා නම් ජනතාවගෙන් බාගයක් ම මේ වන විට දවා අළු කරන්නට සිදුවන බව.

• ඉකුත් ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ජයග්‍රහණයට ප්‍රබලම හේතුව මහින්ද රාජපක්ෂ මහතා ගේ ජන ආකර්ෂණය බව නොරහසක්. ඉදිරි මැතිවරණය ජයග්‍රහණයටත් මේ සාධකය එලෙසම බලපායි කියල ඔබ හිතනවාද?

ඉදිරි මැතිවරණයට මේ සාධකය ඩබල් වෙලානෙ තියෙන්නෙ. ජනාධිපති හා අගමැති තනතුරු දරන රාජපක්ෂ සුසංයෝගය දැන් දේශපාලන පක්ෂ බේදයෙන් තොරව මේ රටේ ජන හදවත්වල පැලපඳියම් වෙලා තිබෙන්නෙ. එදා මහින්ද රාජපක්ෂ මහතාට තිබු ජන ආකර්ෂණය නිසා හැටනව ලක්ෂයකින් ජනාධිපතිවරණය ජය ගත්තා නම් දැන් රාජපක්ෂ සුසංයෝගයට තිබෙන ජන ආකර්ෂණය කෙබදුද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ. හැබැයි මේ ජන ආකර්ෂණය රැක ගැනීම මේ කඳවුර නියෝජනය කරන අපි හැමෝගෙම වගකීමක්.

• ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරු රැසක් සිටියදී ඔබට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රථම අමාත්‍ය මණ්ඩලයේ සමාජිකයකු වන්නට අවස්ථාව ලැබීම ගැන ඔබ මොනවද හිතන්නෙ?

ඇත්තටම තරුණ මන්ත්‍රීවරු කීප දෙනෙකුටම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රථම අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරන්න අවස්ථාව ලබා දීම ගැන අපි සතුටු වෙනවා. අපිට මේ වගකීම දරන්න ලැබුණේ මාස තුනක් වැනි කෙටි කාලයක් පමණයි. ඒ කාලයෙත් පාර්ලිමේන්තුවේ බහුතරය අපිට නොතිබූ නිසා අපි කොතරම් හොඳ යෝජනා ඉදිරිපත් කළත් ඒවා ක්‍රියාත්මක කරන්න අවස්ථාව ලැබුණෙ නෑ. කොහොම වුණත් ජනාධිපති අගමැති දෙදෙනාම අපේ තරුණ මන්ත්‍රීවරු ගැන පැහැදීමකින් හා විශ්වාසයකින් කටයුතු කරන නිසා අලුත් ආණ්ඩුව තුළ අලුත් ලෝකයට ගැළපෙන පරිදි අපේ රට ගොඩ නඟන්න අපිටත් දායක වෙන්න වැඩි අවස්ථා ⁣ ලැබෙයි කියල අපි විශ්වාස කරනවා.

• 2015 පැවැති ජනාධිපතිවරණයේ සිට 2019 පැවැති ජනාධිපතිවරණය දක්වා ඇති වු දේශපාලන වෙනස් වීම් පිළිබඳව ඔබ මොනවද හිතන්නෙ?

ඔබ කියන ඔය වසර පහ තුළ ඇති වූ හා ඇතැමුන් හිතාමතා ඇති කළ දේශපාලන විපර්යාසයන් පිළිබඳව බරපතළ විදියේ කලකිරීම් වාගේම ඉතා සතුටු දායක තත්ත්වයනුත් තිබෙනවා. 2015 දි සිදු වු දේශපාලන කුමන්ත්‍රණය නිසා රට පසුබෑමකට ලක්ව මහින්ද රාජපක්ෂ මහතා ගේ පරාජය සිද්ධ වුණා. එදා අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති යටතේ බුලත් කොළයෙන් තරඟ කරන්න ගත්තු තීරණය අපේ කඳවුර ගත්තු මෝඩ තිරණයක් කියලයි මම හිතන්නෙ. මහින්ද රාජපක්ෂ අගමැති කරන ප්‍රතිඥාව දුන්නු පිරිසක් එදා ඒ විදියට සිරිසේන ජනාධිපතිගේ එජාප ආණ්ඩුවට සම්බන්ධ නොවුණා නම් එජාපයට මේ තරම් විනාශයක් රටට කරන්න බැරි වෙනවා. කොහොම හරි අපි කණ්ඩායමක් මහින්ද රාජපක්ෂ මහතා සමඟ විපක්ෂයේ ඉදිමින් අපිට ඡන්දය දුන්නු පනස්අට ලක්ෂයක ජනතාව වෙනුවෙන් අලුත් දේශපාලන ගමනක් යන්න තමයි බැසිල් රාජපක්ෂ මහතා සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හදා ගත්තෙ.

• ඔබලා කියන්නෙ එකක්; කරන්නෙ තව එකක් කියලයි ජනතාව කියන්නෙ. ඔබලාත් දන්න ජනතාවත් දන්න; රාජපක්ෂ ද්‍රෝහීන් සමඟ අද ඔබලා එකට හිටගෙන ඉන්නවා නේද?

ඔබ කියන කාරණය මම පිළිගන්නවා. රටේම ජනතාව අද අපිට ඔය චෝදනාව එල්ල කරනවා. නමුත් අපිට ඉන්න අපේ නායකයා ගන්න තීන්දුවලදී අපට විරුද්ධ වෙන්න බෑ. ඒකට හේතුව ඒ හැම තීන්දුවක්ම අපිත් එක්කත් සාකච්ඡා කරල ගත්තු තීන්දු නිසා. අපි අපේ සාර්ථකත්වය ඇති කරගෙන තිබෙන්නෙම අපේ තීන්දුවලට සාමූහිකව වග කියන්න බැඳී සිටීම නිසයි. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා 2015දි මහින්ද රාජපක්ෂ මහතාට කළ ද්‍රෝහිකම් අපට අමතක නෑ. එදා එතරම් පීඩාවට පත් කරපු අයට සමාව දීල ඔවුන්ටත් නැවත තමන් සමඟ එකට දේශපාලනය කරන්න ඉඩ සලසා දීමෙන්ම ගෝඨාභය - මහින්ද සුසංයෝගයේ ඇති අද්විතීය මානුෂිය ගුණය මැනවින් ප්‍රදර්ශනය කරල තිබෙනවා.

• ඔබලා විපක්ෂයේ සිටියදී "යහපාලනයේ" අයට නොයෙක් විදියේ චෝදනා එල්ල කළා. දැන් ඒ චෝදනාවලට මොනවද වෙලා තියෙන්නෙ?

එදා අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඇතුළු ඒ රජයේ ප්‍රබලයෝ රැසකට චෝදනා එල්ල කළා. ඒ චෝදනා ඒ අය වෙනුවෙන් අදටත් වලංගුයි. අවාසනාවකට ඒ චෝදනා සාධාරණ විනිශ්චයකට භාජනය කරන්න අපේ රජයට ප්‍රමාණවත් කාලයක් තිබුණෙ නෑ. දැන් ඒ අය ඉන්න දේශපාලන කඳවුර ගැන නොසලකා ඒ හැම චෝදනාවක් සම්බන්ධයෙන්ම පරික්ෂණ පවත්වලා වැරදිකරුවන් වන අයට අනිවාර්යයෙන්ම අධිකරණයෙන් දඬුවම් ලැබිය යුතුයි.

• මේ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට චෝදනා එල්ල වී තිබෙනවා. ඔබ කියන්නෙ ඔහු සම්බන්ධයෙනුත් පරික්ෂණ පවත්වන්න ඕන කියලද?

ඔව් එතුමා වරදක් කරල නැත්නම් නිදහස් වෙන්න පුළුවන්. වරදක් කරල තිබෙනවා නම් හෝ වරදක් කරන්න ඉඩදී බලාන ඉදල තියෙනවා නම් හෝ ඒකට දඬුවම් විඳින්නම වෙනවා. ඒ වගේම බැඳුම්කර වංචාව ඇතුළු අප විසින් එදා ඉදිරිපත් කළ සියලු වංචා දුෂණ චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාති පරික්ෂණයක් කරන්නම ඕන.

• කොරෝනා වසංගතයෙන් කඩා වැටි ඇති රටේ ආර්ථිකය ගොඩ නගන්න තරුණ මන්ත්‍රීවරුන් ගේ යෝජනා මොනවද?

දැනටමත් ජනාධිපති අගමැති අැතුළු අපේ රජය මේ වසංගතය පාලනය කරන්න ඉතාම නිවැරදි තීන්දු තීරණ අරගෙන තිබෙනවා. මේ වසංගතයෙන් ලෝක ආර්ථිකයකට එල්ල වී ඇති බලපෑම ඉතා විශාලයි. අපිට තනිවම නැගිටින්න පුළුවන් ක්ෂේත්‍ර දැනටමත් අපි හඳුනා ගෙන තිබෙනවා. රටේ ආර්ථිකයකට දේශීය මුහුණුවරක් ලබා දීලා දේශීය නිෂ්පාදන වැඩි කරල ජන ජිවිතය ඇති හැකි තත්ත්වයට පත් කරන ගමන් රටේ ආර්ථිකය ශක්තිමත්ව පවත්වා ගෙන යන්න පුළුවන් ප්‍රායෝගික වැඩ පිළවෙළක් ජනාධිපති අගමැති ඇතුළු අපේ ආණ්ඩුව මේ වන විටත් සකස් කරල තිබෙනවා. තරුණයින් හැටියට අපේ යෝජනා ඊට ඇතුළත් කරලා තිබෙනවා. 2020 වසරේ ආර්ථිකය 4.5% කින් වර්ධනය කර ගන්න අපි සැලසුම් කරල තිබුණත් කොරෝනා වසංගතය නිසා එය වෙනස් වී තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ පාලන කාලය තුළ 6% ආර්ථික වර්ධනයක් ඇති කරන්න තමයි අපේක්ෂාව.

• දුෂණයට වංචාවට එරෙහිව ඔබලා මොනදේ කළත් රටේ පවතින නිලධාරිවාදය සමඟ ඔබලාට ජය ගන්න පුළුවන් කියල ඔබ හිතනවාද?

අපේ රටේ ඉතා දක්ෂ නිලධාරි කණ්ඩායමක් ඉන්නවා ඒ අතරේ එක්කෙනෙක් දෙන්නෙක් වැරදි වැඩ වලට අනුබල දෙමින් කටයුතු කරනවා. දේශපාලනයෙත් එහෙමනෙ. එකෙක් දෙන්නෙක් කරන වැරදි නිසා හැමෝටම චෝදනා එල්ල කරන එක සාධාරණ නෑ. රටේ ජනතාවට අවංකව සේවය කරන දක්ෂ නිලධාරීන් ගැන ජනාධිපතිවරයා මේ වන කොටත් හොඳ අවබෝධයකින් ඉන්නෙ. අපි දැක්කා කොරෝනා වසංගතය පාලනය කරන්න රජ්‍ය නිලධාරීන් මොන තරම් ශ්‍රේෂ්ඨ විදියට කැප වී කටයුතු කරනවාද කියල.

සංවාද මෙහෙයුම - ජයසූරිය උඩුකුඹුර

Comments