ලියර් රජුගේ කෝපය ඔහුටම පවරන්න ඔබ පවරා නොගන්න! | Page 2 | සිළුමිණ

ලියර් රජුගේ කෝපය ඔහුටම පවරන්න ඔබ පවරා නොගන්න!

“ලෝකය වෙනස් කරන්න. එය අවශ්‍යව ඇත.” වරක් නොව කිහිප වරක්ම ඔහු එසේ පවසන්නට ඇත. එය ඔහුගේ එකම අභිප්‍රාය ද වූයේය. එහෙත් නිකන්ම නොවේ. නාට්‍ය නිෂ්පාදකයකු වූ ඔහු ඒ අරබයා වෙනස්ම මගක් ද ගත්තේය. “තදාත්මය විඝටය” මෙන්ම “දුරස්තකරණය” වශයෙන් ද හඳුණාගන්නා ඔහුගේ ඒ නාට්‍ය ධර්මතාව සිදු කළා වු ඒ වෙනස විශේෂයෙන්ම විසිවන සියවසට තදින්ම දැනුණකි. අප මේ කතා කරන්නේ ජර්මානු නාට්‍යකරු බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් ගැනය.

එක අතකට එය සාම්ප්‍රදායික රංග භූමියත් මත ඇති කරගත් නව ගිවිසුමක් වැනි විය. ඒ නව ගිවිසුම “එපික් ශෛල්‍යය” නමින් සාකච්ඡාවට ලක් වුයේය. ඊට අනුව ප්‍රේක්ෂකයෙකු වශයෙන් ඔබ අනිකාගේ කෝපය හෝ ශෝකය තමන්ගේ දෙයක් ලෙසින් පවරා නොගත යුතුය. සහානුභූතියක් ඇති නොකරගත යුතු වේ. ඉදින් එය එසේ නොවුණහොත් ඔබ බ්‍රෙෂ්ට්වියානු නාට්‍ය ධර්මතාවත් සමග විරසකයක් ඇතිකර ගැනීම නොවැළැක්විය හැකි වේ.

ඊඩිපස් නම් ග්‍රීක නාට්‍යයේ ඊඩිපස් නම් කතා නායකයා ගැන සිතන්න. අද දවසේ ද වෙනසකින් තොරව ඒ නාට්‍යය රීතියේම පිහිටා රංගගත කරනවා, ප්‍රේක්ෂකයෙකු වශයෙන් නරඹන ඔබ මෙසේ පැවසුවොත් මම ඒ ගැන පුදුම නොවෙමි.

“අහෝ ඊඩිපස්ට දැණුන ඒ හැගීම් මට ද එලෙසින්ම දැනුණි.”

ඒ කතාවේ තේරුම මෙහෙමයි. මීට සියවස් ගණනකට පෙර ලියන ලද ඒ නාට්‍යයේ එකී අනුභූතින් අදටත් එසේම විඳිය හැකි බවයි. එසේ වන්නේ සහානුභූතිය නිසායි.

නමුත් ඒ භාවෝද්දීපන අනුගාමීත්වය ප්‍රතික්ෂේප කළ යුතු යැයි බ්‍රෙෂ්ට් කියයි.

“සහානුභූතිය හෙවත් සහෘදවාදී ආකල්පය අද්‍යතන කලාවේ කොඳු නාරටිය වේ. ඇරිස්ටෝටල් “පොයෙටික්ස්” නමින් ගන්නා මේ නාට්‍ය ක්‍රමවේදය ප්‍රේක්ෂක සන්තානයේ ආත්ම පාරිශුද්ධතාවක් (එවැනි හැගීමක්) ඇති කරන්නේය. .....ඒ අනුව රංග ශිල්පියා කරන්නේ සිය කතා නායකයා (ඊඩිපස් හෝ ප්‍රොමිතයිස්) අනුකරණය කිරීමයි. කතා නායකයාගේ අනුභූතිය තමන්ගේම අනුභූතියක් බවට පත් කරගෙන එය ප්‍රේක්ෂකයාට ද පිරිනැමීයයි.”

“සෞන්දර්යය කලා රීතීන් අවසන් වරට සංශෝධනය කරන ලද්දේ හෙගල් විසිනි. සෞන්දර්යය කලාවෙන් ස්වාභාවිකත්වය දැකීමේදී සැබෑ ජීවිතයට අනුව ඒ ස්වාභාවිකත්වයට මුහුණ දෙන අයුරින්ම සමාන මනෝභාවයක් නිර්මාණය කර ගැනීමට හැකියාවක් මිනිසාට ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.”

බ්‍රෙෂ්ට් ඒ සම්බන්ධයෙන් තවදුරටත් මෙසේ ද පැහැදිලි කරයි. ඔහුට පෙන්වා දීමට අවශ්‍ය වන්නේ රංග භූමියේ පවත්නා සීමා තුළ පවතිමින් සැබෑ ජීවිතය අරබයා මතු කරන්නා වු අවබෝධය සානුම්පිත බවකින් යුතුව ඉදිරිපත් කිරීම සිදු වන්නේය යන්නයි. ඊට හේතුව රංග ශිල්පියා විසින් ඉදිරිපත් කරන්නා වූ සිය කතා නායකයාගේ ශෙෘ්කය, සතුට ඈ අනුභූතීන් කිසිදු විමසීමකින් තොරව එසේම සානුනම්පිත හැගීමෙන් යුතුවම වැළැඳ ගැනීමට ප්‍රේක්ෂකයා ද සුදානම් වී සිටීමයි. එසේ ගත් කළ එකී සානුකම්පිත බව නිසා ප්‍රේක්ෂකයාගේ දැකීමද කතා නායකයාගේ දැකීමටම සීමා වෙයි. ඉන් මදක් හෝ එහාට ගමන් නොකරයි. වෙනත් ආකාරයකට කියනවා නම් ප්‍රේක්ෂකයා, රංග ශිල්පියා හා එකට තුරුළුව එකම මනෝභාවයකට සීමා වෙයි. ප්‍රේක්ෂකයාගේ නිරීක්ෂණය, දැක්ම මතු නොව විමසීම පවා අර කීව සභානුභූතියට යටපත් වී නිහඬ වේ.

“ලියර් රජුගේ කෝපය” ම සංසිද්ධියක් ලෙසින් මීට අදාළව ගත හැකිය. ලියර් රජු කෝපයට පත් වන්නේ සිය දියැණියන් සමඟය. සහානුභූතියේ අත්දැකීමට අනුව සුළු වේලාවකින් එම කෝපය ප්‍රේක්ෂකයාට ද බෝ වේ. ඒ වනාහි රංග ශිල්පියා හරහා මතුවෙන භාවවේගය ප්‍රේක්ෂකාගාරයට ද ආරෝපණය වීමක් වේ. ඒත් සමගම තමන් සතුව නිරීක්ෂණයක් හෝ දැක්මක් නැතිව සිටින ප්‍රේක්ෂකයා ලියර් රජුගේ කෝපය සමග සාධාරණීකරණය වීම නොවැළැක්විය හැකි තත්ත්වයක්ම වේ. ඒ වනාහි විනිශ්චයකින් තොර තත්ත්වයක් ද වේ.

පහත දැක්වෙන්නේ ඊට අදාළව බ්‍රෙෂ්ට් කියූවකින් උපුටා ගත්තකි.

“එය හුදෙක් සභානුභූතියකට විනා සාකච්ඡාවකට තුඩු නොදෙන්නකි. එසේ ගත් කළ සමාජ ස්වභාවය සදාකාලිකය; ස්වාභාවිකය; ස්ථායිය. එමෙන්ම සාකච්ඡාවකට බඳුන් කළ නොහැකිය.” යන හැගීම තහවුරු කෙරේ.

මෙහිදී “සාකච්ඡාවකට බඳුන් කළ නොහැකිය” යනුවෙන් අදහස් කෙරෙන්නේ නාට්‍යයේ තේමාව විමසීමට ලක් නොවීමයි. පවත්නා තත්ත්වයටම පක්ෂපාතී වීමයි.

ඊට එරෙහිව බ්‍රෙෂ්ට් ඉදිරිපත් කරන්නා වූ “තදාත්මය විඝටනය” යන්නෙන් කියන්න යන දේ ලියර් රජුගේ කෝපය තුළින්ම වටහා ගැනීමේ හැකියාවක් තිබේ. එසේ ගත් කළ ඔහුගේ කෝපය රජුගේම චරිත ස්වභාවයම වින ඊට වඩා දෙයක් නොවේ. ඉදින් ඒ නිසා ප්‍රේක්ෂකයකු වශයෙන් ඔබ ද ඒ කෝපය හා සාධාරණීකරණය වීම නොකළ යුත්තක් වේ. ප්‍රේක්ෂකයා නාට්‍ය ශාලාවට ගොස් අසුන්ගත යුත්තේ වේදිකාවේ රඟ දැක්වෙන නාට්‍යය, නාට්‍යයක් ලෙසින් ගෙන විමසීමට විනා එය ආවේශයක් ලෙසින් ගෙන සිනාසීමට හෝ කඳුළු සැලීමට නොවේ. ඒ අනුව ලියර් රජුගේ කෝපය ඔහුගේ චරිත ලක්ෂණයක් ලෙසින් මිස ප්‍රේක්ෂකයාගේ ද ආවේෂයක් ලෙසින් තීරණය නොවිය යුතුය.

මේ ආකාරයට මනුෂ්‍ය ආවේග සනාතනික මිනිස් හැගීම් ලෙසින් ගෙන කඳුළු සලන හෝ සිනා සලන ප්‍රේක්ෂකයකු බ්‍රෙෂ්ට්ට අවශ්‍ය නොවීය.

සනාතනික හැඟීම්හි සිරකරුවන් බවට පත් වූ අවාසනාවන්ත ප්‍රේක්ෂකාගාරයක් ඔහුට අවශ්‍ය නොවීය. වේදිකාවක් මත සිදුවන භාව ප්‍රකාශනය හා බැඳුණ චරිත හැසිරීම්, නාට්‍යමය අවස්ථා මේ කිසිවක් වෙනස් නොකළ හැකි සනාතනික ධර්මතා නොවේ. වෙනස් නොකළ හැකි නියමයන් ද නොවේ. බ්‍රෙෂ්ට්වියානු නියමය එය වේ.

එසේ හෙයින් ඔබ කළ යුතුව ඇත්තේ කෝපයට පත් වූ ලියර් රජු පසුපස යමින් ඔහුගේ කෝප ආවේගය සමග සහානුභූතියට පත් වීම නොවේ. ඒ කෝපය පසුබිමේ පවත්නා සමාජ දේශපාලන විග්‍රහය කුමක්ද යන්න විමසීමයි. ඔබ සම්පූර්ණ ප්‍රේක්ෂකයකු බවට පත් වන්නේ එතැන් සිටයි. ලෝක යුද්ධ දෙකකට මුහුණ පා කුඩු පට්ටම් වී තිබු මනුෂ්‍ය නටඹුන් අතරින් ඇවිද ආ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ඒ වෙනුවෙන් හඬා වැළපීම සුදුසු කටයුත්තක් ලෙසින් ගත්තේ නැත. එය පලක් නැත්තකි. එසේ එය නිෂ්ඵල කරුණක් ලෙසින් ගැනීම දෙවියන්ගේ ඉල්ලීමක් මත සිදු වූවක් නම් නොවේ. කාලය විසින් සිදු කල ඉල්ලා සිටීමක ප්‍රතිඵලයක්ම වේ.

Comments