නැඟෙනහිර අග නගරයේ ත්‍රි’මලේ ජාති භේද නැති මනාප පොරය | සිළුමිණ

නැඟෙනහිර අග නගරයේ ත්‍රි’මලේ ජාති භේද නැති මනාප පොරය

කොරෝනා වයිරසය හේතුවෙන් මන්දගාමීව තිබු ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ මහ මැතිවරණයේ කටයුතු දැන් යම් තරමකට උණුසුම් වී පසුව යට ගියේ ඇඳිරි නීතිය පැනවීම හේතුවෙනි. දිස්ත්‍රික්කය සදහා පිළිගත් දේශපාලන පක්ෂ රැසක්ම නාම යෝජනා භාර දී තිබේ.

ජනසෙත පෙරමුණ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය සදහා නාම යෝජනා භාර දෙනු ලැබුයේ, ඉකුත් 14 දින, එහි සභාපති පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ මූලිකත්වයෙනි. ජනතා විමුක්ති පෙරමුණ මෙවර ජාතික ජනබල වේගය නමින් නාම යෝජනා භාරදීම සිදු කළ අතර එහි කණ්ඩායම් නායකයා වන්නේ, නීතිඥ අරූන් හේමචන්ද්‍රයි. ඔහු තරුණ දේශපාලඥයෙකි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිස්ත්‍රික් නාම යෝජනා ලැයිස්තුව එම පක්ෂයේ දිස්ත්‍රික් නායක හිටපු අමාත්‍ය සුසන්ත පුංචි නිළමේ මහතා විසින් පසුගිය 17 වන භාර දෙනු ලැබීය.

මූතුර් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක අබ්දුල් මජීඩ් නජීබ්ගේ නම පොදු ජන පෙරමුණේ ලැයිස්තුවෙන් හැලී ඇති අතර තම නම ලැයිස්තුවට ඇතුළත් නොවීම ගැන නජීබ් ඇගිල්ල දික් කරනු ලැබුයේ, කණ්ඩායම් නායක සුසන්ත පුංචි නිලමේටය. පසුගිය 14 දින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාම යෝජනා භාරදීමට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණී සුසන්ත පුංචි නිළමේ මහතා එම චෝදනාවට පිළිතුරු දෙමින් කියා සිටියේ, තමාට පොදු ජන පෙරමුණේ ලැයිස්තුවට බලපෑම් කළ හැකි නමුත්, ශ්‍රීලනිප අපේක්ෂකයන් සම්බන්ධයෙන් එවැනි බලපෑමක් කිරීම කිසිසේත් කළ නොහැකි බවයි.

කෙසේ නමුත්, පොදු ජන පෙරමුණෙන් ගිලිහුණු හිටපු ප්‍රධාන අමාත්‍යවරයා තම ගොඩට ගැනීමට සමගි ජන බලවේගයේ නායකයන් රැසක්ම ඔහු සමඟ විටින් විට සාකච්ඡා කරමින් සිටින බවත් වාර්තා විය.

ජාතික සමඟි ජන බල වේගය ත්‍රිකුණාමලය දිස්ත්‍රීක්කයට ඉතා ප්‍රබල අපේක්ෂකයන් රැසක් ඉදිරිපත් කර ඇත. එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ඉම්රාන් මහරූෆ්, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කල පසුගිය ආණ්ඩුවේ හිටපු වරාය රාජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරූෆ්, මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන හිටපු ජාතික ලැයිස්තු මංත්‍රී එම්.එස්.තව්ෆීක්, හිටපු පළාත් සභා මන්ත්‍රී අරුණ සිරිසේන යන අය එහි ඉදිරියෙන්ම සිටිති. ජාතික සමඟි ජන බලවේගයේ නායකත්වය සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක අබ්දුල්ලා මහරූෆ් මහතාට හිමිව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පාක්ෂිකයන් වැඩි කැමැත්තක් නොදක්වන බවත් පෙනී යයි.

ජාතික සමගි බල වේගයේ තත්වය බාහිරෙන් එසේ වුවද, එහි අභ්‍යන්තරය අනෙක් පක්ෂ වලට වඩා අර්බුදකාරි බව රහසක් නොවේ. එම පක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනාම කින්නියා ප්‍රදේශයේ පදිංකරුවන් වන අතර, දෙදෙනකුම ඒ ඒ පක්ෂ වල එම ආසනයේ සංවිධායකවරුන්ය. මේ නිසා දැන් සිටම ඔවුන් අතර, මනාප සටන ආරම්භ වී තිබේ. මෙවර මහ මැතිවරණයේදී, මනාප පොරයේ උපරිමය මූතුර් ආසනයෙන් දැක ගැනීමට හැකි වනු ඇත.

මෙවර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් 288,868ක් ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා සිටිති. ඒ සේරුවිල, මූතුර් හා ත්‍රිකුණාමලය ආසන තුන යටතේය. මෑත කාලීනව මෙම ආසන වල දේශපාලන ක්‍රීයාකාරීත්වය දෙස විමසිල්ලෙන් බලන්නෙකුට පෙනී යන්නේ, බොහෝ විට මෙම ආසන තුනෙහි බලය ජනවාර්ගික පදනමෙන් බෙදී යන බවකි. කාලයක සිට බහුතරයක් සිංහල ජන වර්ගය නියෝජනය කරන සේරුවිල ආසනයේ මැතිවරණ ජය තහවුරු කර ගන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයකිනි. සේරුවිල ආසනය හදුන්වන අනුවර්ත නම වන්නේ, පුංචි අත්තනගල්ලයි. හිටපු අමාත්‍යවරයෙකු වු දිවංගත එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ බලකොටුව වු සේරුවිල ආසනය දිවයිනේ දිගම ආසනයයි. එහි ඡන්ද දායකයන් 80912 කි.

මූතුර් ආසනය මෑත කාලීන මැතිවරණ ක්‍රියාකාරකම් වලදී ඉතා වැදගත් ස්ථානයක් උසුලයි. ඉකුත්, 2015 ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිම ප්‍රතිශතයකින් පරාජය වූයේ, මූතුර් ආසනයෙනි. එහිදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග වැදුණු මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්ද 57,532 ලබා ගනිමින් 97% පමණ ප්‍රතිශතයක් ලබා ගනිද්දී, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට ලබා ගැනීමට හැකි වන්නේ, ඡන්ද 7,132 කි. මේ අනුව මූතුර් ආසනය බොහෝ දුරට ප්‍රසිද්ධියක් උසුලන්නේ, එක්සත් ජාතික පක්ෂයට වාසි සහගත ආසනයක් හැටියටය. බොහෝ මැතිවරණ වලදී, මුස්ලිම් කොන්ග්‍රසය හා සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සන්ධාන ගත වන්නේ, එක්සත් ජාතික පක්ෂය සමඟිනි.

ත්‍රිකුණාමලය ආසනය දෙමළ ජාතික සන්ධානයේ බල කොටුවයි. ඉතිහාසයේ සිටම එම ආසනයේ ජය තහවුරු කර ගෙන ඇත්තේ, ද්‍රවිඩ දේශපාලන පක්ෂයි. ආසනයේ බලය මේ වන විට හිමි කර ගෙන සිටින්නේ, දෙමළ ජාතින සන්ධානයයි. දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය උසුලන ආර්.සම්පන්දනන් මහතා එහි වත්මන් සංවිධායකවරයායි.

මේ වන විට එක්සත් ජාතික පක්ෂය කණ්ඩායම් දෙතකට බෙදී තරග වැදෙන අතර, සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත්, ජාතික සමගි බලවේගය වටා රවුෆ් හකීම්ගේ නායකත්වයෙන් යුත් මුස්ලිම් කොංග්‍රසය, රිෂාද් බද්යුද්දීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය අත්වැල් බැද ගෙන සිටිති. එහි දිස්ත්‍රික් නායකත්වය එක්සත් ජාතික පක්ෂයෙන් ගිලිහී සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අබ්දුල්ලා මහරූෆ්ට හිමිව තිබේ. මහ මැතිවරණයට ජාතික සමගි බලවේගය විසින් දිස්ත්‍රික්කයට ඉදිරිපත් කර ඇති කණ්ඩායම ඉතා ප්‍රබල කණ්ඩායමක් පෙනී යයි.

දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නාම යෝජනා ලැයිස්තුවේ ප්‍රබල දමිළ හෝ මුස්ලිම් අපේක්ෂකයන් කිසිවෙකුත් නැතත්, එහි සිංහල අපේක්ෂකයන් පිරිස ප්‍රබල දේශපාලන චරිත ලෙස ජනතාවගේ කතා බහට ලක්ව තිබේ. ඒ අතරින් හිටපු රාජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචි නිළමේ, කැපී පෙනේ.

හිටපු රාජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචි නිළමේ දිස්ත්‍රික්කය නව දේශපාලන ගමන් මඟකට යොමු කළ අයෙකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෑත ශක්තිමත් කිරීම සදහා එක්සත් ජාතික පක්ෂය හා සිය පාරම්පරික දේශපාලන බලකොටුව වු රත්නපුරය හැරදමා ත්‍රිකුණාමලයට පැමිණි සුසන්ත පුංචි නිළමේ 2010 වසරේදී ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයට නායකත්වය දෙමින් ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරවීමට හැකිවූයේ, ඡන්ද 59,780ක් ලබා ගනිමිනි. එහිදී සුසන්ත පුංචි නිළමේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයෙන් මනාප 22820ක් ලබා ගනිමින් දිස්ත්‍රීක්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවේ ප්‍රථමයා බවට පත්වූයේ, එතෙක් කලක් දිස්ත්‍රික්කයේ දේශපාලන බලවතා වු එම්. කේ .ඩී. එස්. ගුණවර්ධන හෙවත් සේරුවිල සිංහයා මනාප ලැයිස්තුවේ දෙවැනියා බවට පත් කරවමිනි. සුසන්ත පුංචි නිළමේ 1994 සිට මේ දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අපරාජිත මන්ත්‍රීවරයෙකි. ඔහු 2001 වසරේදී රත්නපුරය දිස්ත්‍රික්කයෙන් අවසන් වරට ඉදිරිපත් වු මහ මැතිවරණයේදීද එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදී මනාප 110033 ලබා ගනිමින් එම ලැයිස්තුවේ පළමු වැනියා බවට පත්විය.

අනතුරුව 2015 වසරේ පැවති මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මැතිවරණයට ඉදිරිපත් වු සුසන්ත පුංචි නිළමේ මනාප 19953 ක් ලබා ගනිමින් නැවත වරක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කිරීමට සමත් විය. 2010 වසරේ සිට මේ දක්වා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධූරය, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධූරය, රාජ්‍ය පරිපාලන හා කළමණාකරන නියෝජ්‍ය අමාත්‍ය ධූරය හා කුඩා කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරය යන තනතුරු දරා තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරදමා පොහොට්ටුව සමග එක්වු පුංචි නිළමේ මේ වන විට එම පක්ෂයේ ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් නායකයා ලෙස කටයුතු කරයි.

දෙමළ ජාතික සන්ධානයෙන් සුපුරුදු ලෙස මෙවරත් මැතිවරණයට ඉදිරිපත් වී සිටින බලගතු චරිතය, ආර්. සම්පන්දනන්ය. සම්පන්දනන් දිගු කලක් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වන අතර, පසුගිය යහපාලන රජය සමයේ, විපක්ෂ නායකවරයා ලෙසද කටයුතු කල කෘතහස්ත දේශපාලඥයෙකි. කෙසේ වෙතත්, මහ මැතිවරණය සදහා ඔහුගේ පක්ෂයෙන් ත්‍රිකුණාමලයට තරග කරන අය අතරින් කුහදාසන් කැපී පෙනෙන චරිතයක් ලෙස මතු වෙමින් සිටින බව පෙනේ.

එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කර තිබෙන්නේ, ප්‍රබල කණ්ඩායමක් නොවන බව ජනතා කතාබහට ලක්ව ඇත. එම කණ්ඩායම හරහා සමගි ජන බලවේගයේ ඡන්ද පදනමට එල්ල වන්නේ, දැඩි බලපෑමකි. විශේෂයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල හා ත්‍රීකුණාමලය ආසන තුළ සිටින සිංහල හා දමිළ එක්සත් ජාතික පාක්ෂිකයන් මේ වන විට සිටින්නේ, තමන් මනාපය ලබා දෙන්නේ කුමන කණ්ඩායමටද යන්න ගැනය.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වූ එම්. ඊ. එච්. එම්. මහරූෆ්ගේ පුත් ඉම්රාන් මහරූෆ් සමඟි ජන බලවේගයෙන් හා ඔහුගේ වැඩිමහල් සොහොයුරිය වන රෝහිනා මහරූෆ් එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වීම විශේෂ සිදුවීමකි.

පක්ෂ ගණනාවකින් සමන්විත ජාතික සමගි ජන බලවේගයට ඡන්දය දීමෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වන්නේ, මුස්ලිම් අපේක්ෂකයන් දෙදෙනකු වන බව බොහෝ දෙනෙකුගේ අදහස වී තිබේ. මේ හේතුවෙන් විශේෂයෙන් සිංහල එක්සත් ජාතික පාක්ෂිකයන් සමගි බලවේගයට ඡන්දය භාවිතා කිරීමට පෙර දෙවරක් සිතා බලන තත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.

Comments