අග­මැ­ති­ගේ ඉන්දියා සංචා­ර­යෙන් නැවුම් වූ ඉන්දු - ශ්‍රී ලංකා සබ­ඳතා | සිළුමිණ

අග­මැ­ති­ගේ ඉන්දියා සංචා­ර­යෙන් නැවුම් වූ ඉන්දු - ශ්‍රී ලංකා සබ­ඳතා

ඉන්දීය අගමැති සමඟ
ඉන්දීය අගමැති සමඟ

න්දි­යාව හා ශ්‍රී ලංකාව යන දෙරට අතර ඇත්තේ ඓති­හා­සික සබ­ඳ­තා­ව­කි. ආර්ථික, දේශ­පා­ලන සංස්‌කෘ­තික සහ ආග­මික යනාදි සෑම අංශ­යක් ඔස්සේම විහිද-පැතිර පව­තින මේ සබ­ඳතා වසර 2500කට වඩා ඉපැ­ර­ණිය. දෙරට අතර නූතන රාජ්‍ය­තා­න්ත්‍රික සබ­ඳතා පවා ආරම්භ වූයේ මෙර­ටට නිද­හස ලැබී­ම­ටත් පෙර සිටය. එනම් 1942 තරම් ඈත අතී­ත­යක පටන්ය.නිද­හස් ඉන්දි­යාවේ පළ­මු­වන අග­මැ­ති­ව­රයා වූ ශ්‍රීමත් ජව­හ­ර්ලාල් නේරු සහ ශ්‍රී ලංකාවේ ’56 විප්ල­ව­යෙන් බල­යට පත් එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩා­ර­නා­යක අග­මැ­ති­ව­රයා අතර ඉතා සමීප මිත්‍ර­ත්ව­යක් ගොඩ­නැගී තිබිණි. ඉන් පසු ඉන්දිරා ගාන්ධි හා සිරිමා බණ්ඩා­ර­නා­යක අග­මැ­ති­නිය අතර වර්ධ­නය වූ මිත්‍ර­ත්ව­යද ඉන්දු-ලංකා සබ­ඳතා තව­දු­ර­ටත් ගොඩ­නැං­වීය.

සිරිමා ශාස්ත්‍රී ගිවි­සුම පවා අස්සන් තැබුණු ’70 දශ­කයේ මුල් භාගයේ පවා ඉතා යහ­පත් මට්ට­මක පැවති ඉන්දු-ලංකා සබ­ඳතා, පසුව මෙරටේ උත්සන්න වූ බෙදු­ම්වාදී අර­ගල සමග යලි යම් තර­ම­කට දුරස් විය. මේ අතර ඉන්දු-ලංකා ගිවි­සුම් හා නිද­හස් වෙළෙඳ ගිවි­සුම්ද දෙරට අතර අස්සන් තැබුණු අතර, ඒවාද දෙරට අතර ද්විපා­ර්ශ්වික සබ­ඳ­තා­වල තීර­ණා­ත්මක සාධක බවට පත් විය.

ශ්‍රී ලංකාවේ දෙමළ ජාතීන්ගේ ඉල්ලීම් ඉටු කර­වා­ගැ­නීම සඳහා ඉන්දි­යාව අඩු-වැඩි වශ­යෙන් දීගින් දිග­ටම මැදි­හ­ත්වීම් සිදු කළ අතර, ඒ සඳහා මෙරට දේශ­පා­ලන පක්ෂ මෙන්ම තමි­ල්නාඩු දේශ­පා­ලන පක්ෂ වෙතින්ද එල්ල වූ බල­පෑම් හේතු­කා­රක විය. අද­ටත් ඒ තත්ත්වයේ විශාල වෙන­සක් සිදුව නැත. 13 වන ව්‍යවස්ථා සංශෝ­ධ­නය සම්පූ­ර්ණ­යෙන් ක්‍රියා­ත්මක කරන ලෙස ඉන්දීය රජය කාල­යක පටන්ම මෙරට රජය වෙතින් ඉල්ලා සිටි­නු­යේද ඒ අනු­වය.

පුරා දශක තුනක කාල­යක් මෙරට පැවති සිවිල් යුද්ධය 2009 වසරේ අව­සන් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ සංව­ර්ධන ව්‍යාපෘති සහ ආර්ථි­ක­යට සහාය දක්වන ප්‍රධාන රට බවට පත් වූයේ චීන­යයි. මේ තත්ත්ව­යත් සමග ශ්‍රී ලංකාව, චීනය දෙසට යම් නැඹුරු වීමක් වූ අතර එයද ශ්‍රී ලංකාව සහ ඉන්දි­යාව අතර සබ­ඳතා ශක්ති­මත් කිරී­මට දායක වූ කරු­ණක් නම් නොවීය.

ශ්‍රී ලංකා අගමැති ඉන්දීය දූත පිරිස සමඟ මහාචාර්ය ජී ඇල්. පීරිස් මහතා ද මෙහි සිටී

මෙවැනි මත­භේද, මත­ගැ­ටුම් පැව­ති­යද ඒවා දෙරට අතර මිත්‍ර­ත්වය, සහ­යෝ­ගි­ත්වය පලුදු කිරී­මට විනාශ කර­දැ­මී­මට සමත් නොවීය, දෙරට අතර ඇති සබ­ඳ­තාවේ ඇති සුවි­ශේ­ෂ­ත්ව­යද එය­මය. ශ්‍රී ලංකා­වට ඉන්දි­යා­වත්, ඉන්දි­යා­වට ශ්‍රී ලංකා­වත් අවශ්‍ය වන බව දෙර­ටේම නාය­ක­යන් නිවැ­ර­දිව වට­හා­ගෙන තිබිණ. කෙසේ වෙතත් වත්මන් ඉන්දීය අග්‍රා­මාත්‍ය නරේන්ද්‍ර මෝදි මහ­තාගේ ආග­ම­න­යත් සමඟ මේ තත්ත්වය තව­දු­ර­ටත් යහ­පත් මට්ට­ම­කට පරි­ව­ර්ත­නය වී ඇති බවක් පෙනෙන්න ඇත. මෙහිදී ඉන්දි­යාවේ ශක්ති­මත් රජ­යක් බිහි වීම ඉන්දු-ලංකා සබ­ඳ­තා­ව­ල­ටද සුබ­දායී බල­පෑ­මක් ඇති­ක­ළේය. දකුණු ඉන්දි­යාවේ එල්ටී­ටීඊ හිත­වාදී බල­වේ­ග­ව­ල­ටද විශාල පරා­ජ­යක් ඉන් අත් වූ අතර ඉන්දු-ලංකා සබ­ඳතා හැසි­ර­වී­මට ඔවුන්ට තිබූ ශක්තිය ඉන් බොහෝ­දු­රට ගිලිහී යනු දක්නට විය. ‘අස­ල්වැ­සි­යාට මුල් තැන’ දීමේ සුවි­ශේෂ විදෙස් ප්‍රති­ප­ත්ති­යක. ක්‍රියා­ත්මක කිරී­මට මෝදි මහතා පිය­වර ගෙන ඇත. මෙහිදී ශ්‍රී ලංකා­වට ප්‍රමුඛ ස්ථාන­යක් දීම­ටද මෝදි අග­මැ­ති­ව­රයා කට­යුතු කර ඇත. ශ්‍රී ලංකාව ඇතුළු අස­ල්වැසි රට­වල් ආර්ථික වශ­යෙන් ශක්ති­මත්ව හා දේශ­පා­ල­නික වශ­යෙන් ස්ථාව­රව සිටීම තම රට­ටද වැද­ගත් බව මෝදි අග­මැ­ති­ව­රයා තම විදෙස් ප්‍රති­ප­ත්තිය පිළි­බඳ පැහැ­දිලි කර­මින් වරක් සඳ­හන් කළේය. මේ තත්ත්වය මත ගෝඨා­භය රාජ­පක්ෂ ජන­ප­ති­ව­ර­යාගේ නව රජය හා නරේන්ද්‍ර මෝදි රජය අතර ගොඩ­නැං­වෙන සබ­ඳ­තාව දෙර­ට­ටම අති­ශ­යෙන් තීර­ණා­ත්මක වනු ඇති බව පැහැ­දි­ලිය. රාජ­පක්ෂ ජන­ප­ති­ව­රයා තම ප්‍රථම විදෙස් සංචා­රය ලෙස ඉන්දි­යා­වම තෝරා­ගත්තේ එම නිසා බවද පැහැ­දි­ලිය. එම සංචා­රය තුළදී දෙර­ට­ටම අති­ශය වැද­ගත් වූ කරුණු කාරණා රැසක් පිළි­බඳ විවෘ­තව හා පුළුල් ලෙස සාකච්ජා කෙරුණු අතර, ඒ හරහා දෙරට අතර සබ­ඳතා නව මාන­ය­කට ඔසවා තැබී­ම­ටද එම සංචා­රය ඉව­හල් විය.

ඒ සාක­ච්ජා­වල ප්‍රති­ඵල සම්බ­න්ධව අව­ධා­නය යොමු කිරීම වෙනු­වෙන් අග්‍රා­මාත්‍ය මහින්ද රාජ­පක්ෂ මහතා පසු­ගි­යදා ඉන්දි­යාවේ කළ සංචා­ර­යද දෙර­ටෙහි ද්විපා­ර්ශ්වික සබ­ඳ­තා­ව­ලට බෙහෙ­වින් වැද­ගත් වන්නේ ඒ අනු­වය.

ඇත්තෙන්ම මේ සංචා­රයේ ප්‍රධා­න­තම අර­මුණ වූයේ දෙරට අතර ආර්ථික සබ­ඳතා ශක්ති­මත් කර­ගැ­නී­මය. මෙරට ඉදි­රියේ ඇති ආර්ථික අභි­යෝග ජය­ගැ­නී­මට චීනයේ පම­ණක් නොව ඇමෙ­රි­කාව ඉන්දි­යාව වැනි බල­ව­තු­න්ගේද සග­යෝ­ගය මේ මොහොතේ අව­ශ්‍යව තිබීම ඊට හේතු­වයි.

මේ සිව් දින සංචා­රය සඳහා අග­මැ­ති­ව­රයා පිටත්ව ගියේ මෝදි මහ­තාගේ ආරා­ධ­නාව අනු­වය. දෙදෙනා අත­ර­පැ­වති නිල සාක­ච්ජා­වේදී ඉන්දීය අග­මැ­ති­ව­රයා යළි තම විදෙස් ප්‍රති­ප­ත්තිය පිළි­බ­ඳව විග්‍රහ කළේය. ශ්‍රී ලංකාවේ ආර­ක්ෂාව, ස්ථාව­ර­ත්වය සමෘ­ද්ධිය ඉන්දි­යා­වට පම­ණක් නොව ඉන්දීය සාගර කලා­ප­ය­ටම වැද­ගත් බව මෙහිදී ඉන්දීය අග­මැ­ති­ව­රයා සඳ­හන් කළේය.

චෙන්නායි හා යාප­නය අතර ඍජු ගුවන් ගම­න්වාර ආරම්භ කිරීම මේ සබ­ඳතා නැංවීමේ උත්සා­හයේ පළමු පිය­වර වනු ඇති බව ඉන්දීය අග­මැ­ති­ව­රයා මෙහිදී අව­ධා­ර­ණය කර සිටි­යේය. සැම­වි­ටම පාහේ ඉන්දි­යාව හා ශ්‍රී ලංකාව අතර විවිධ මත­භේද මතු කරන මෙරට ජාතික ප්‍රශ්නය පිළි­බ­ඳ­වද මේ ද්විපා­ර්ශ්වික සාක­ච්ජා­ව­ලදී විවෘ­තව අද­හස් හුව­මාරු විය.

ශ්‍රී ලංකාවේ සාමය, සමා­නා­ත්ම­තාව, යුක්තිය හා ගෞර­වය සඳහා දෙමළ ජන­තාව අතර අපේක්ෂා ඇති බවත්, ඒ පිළි­බඳ අව­ධා­නය යොමු කරන ලෙසත් මෝදි අග­මැ­ති­ව­රයා මෙහිදී මහින්ද රාජ­පක්ෂ මහතා වෙත සඳ­හන් කළේය. ශ්‍රී ලංකා රජය විසින් මේ සම්බ­න්ධව විධි­මත් පිය­ව­රක් ගනු ඇතැයි විශ්වාස කරන බවද ඉන්දීය අග­මැ­ති­ව­රයා මෙහිදී පැව­සීය. 13 වන ව්‍යවස්ථා සංශෝ­ධ­නය ක්‍රියා­ත්මක කිරී­මද මෙහිදී වැද­ගත් වන බව ඉන්දීය අග­මැ­ති­ව­රයා සුපු­රුදු පරිදි සිහි­පත් කළේය .

කෙසේ වෙතත් මේ සංචා­රය අත­ර­තුර, මෙර­ටට දෙන ඉන්දි­යානු ණය ආධාර පිළි­බ­ඳ­වද සුවි­ශේෂ කතා-බහක් මතු විය. ශ්‍රී ලංකාව විසින් ගෙන ඇති ණය ආපසු අය කිරීම වසර තුනක් සඳහා තාව­කා­ලි­කව අත්හි­ටු­වන ලෙස මහින්ද රාජ­පක්ෂ අග­මැ­ති­ව­රයා මෙහිදී ඉන්දි­යානු රජ­යෙන් ඉල්ලා සිටි­යේය.

ඉන්දි­යාව විසින් තාව­කා­ලි­කව මෙසේ ණය අය­කි­රීම නතර කරන්නේ නම් එය අනෙක් රට­ව­ලින්ද ඒ ආකා­ර­යෙන් සහ­න­යක් ලබා­ගැ­නී­මට හැකි වනු ඇති බව අග­මැති මහින්ද රාජ­පක්ෂ මහතා මෙහිදී ඉන්දීය අග­මැ­ති­ව­රයා වෙත පෙන්වා­දු­න්නේය.

මේ වසර තුනක කාලය අවශ්‍ය වන්නේ යළි රටේ ආර්ථික තත්ත්වය නගා­සි­ටු­වා­ගැ­නී­මට වන බවද රාජ­පක්ෂ මහතා මෙහිදී පැහැ­දලි කළ අතර, පසු­ගිය රජය අන­වශ්‍ය ආකා­ර­යෙන් ණය ලබා­ගැ­නීම් නිසා ආර්ථි­කය කඩා­වැ­ටී­මට ලක්ව ඇති බවද සඳ­හන් කළේය.

රාජ­පක්ෂ මහතා ඉන්දි­යා­වෙන් කළ මේ ඉල්ලීම පිළි­බඳ මෙරට විප­ක්ෂය වෙතින් විවිධ විවේ­චන එල්ල විය. එහෙත් මේ විවේ­චන රටේ පව­තින ප්‍රයෝ­ගික තත්ත්ව­යන් හා කොතෙක් දුරට ගැළ­පෙ­න්නේ­දැයි සැක­යකි.

ත්‍රස්ත­වා­ද­යට එරෙ­හිව යුද්ධය පැවති අව­ස්ථා­වේදී එයට අවශ්‍ය මුදල් නිද­හස් කරන ලෙසට අන්ත­ර්ජා­තික මූල්‍ය අර­මු­ද­ලට දැඩිව බල­පෑ­ම්කොට ඉන්දීය රජය අපට සහය ලබා­දුන් බව අපට මත­කය. ඒ අව­ස්ථාවේ ඉන්දීය රජය අන්ත­ර්ජා­තික මූල්‍ය අර­මු­ද­ලට තරයේ කියා සිටියේ “ඔබ ශ්‍රී ලංකා­වට මුදල් ලබා නොදු­න්නොත් ඉන්දි­යාව මුදල් දෙනවා’’ යනු­වෙනි. අන්ත­ර්ජා­තික මූල්‍ය අර­මු­දල අපට ඒ අව­ස්ථාවේ මූල්‍යා­ධාර දුන්නේ ඉන්දීය බල­පෑම මතය.

ඒ අනුව රටට අනා­ග­තයේ මුහුණ දීමට සිදු වන ඉදිරි ආර්ථික අභි­යෝග ජය ගන්නද ඉන්දි­යාවේ සහාය අත්‍ය­ව­ශ්‍යය වනු ඇත. ඒ සහාය ගැනීම කිසිදු අයු­ර­කින් රට හෑල්ලු කිරී­මක් නොවන බව පැහැ­දි­ලිය. වැද­ගත් වන්නේ ගන්නා ආධාර හා ආර්ථික සහ­යෝ­ගය කොතෙක් දුරට රටේ ආර්ථික සංව­ර්ධ­න­යට උප­යෝගී කර­ග­න්නේද යන්නයි. ඉදිරි වසර 5 තුළ ගෙවී­මට සිදු වන ණය වාරික මුදල් ප්‍රමා­ණය ඉහළ යන හෙයින් ඊට අවශ්‍ය ඇමෙ­රි­කානු ඩොලර් සොයා­ගැ­නී­මට අපට සිදු වේ. චීනය අපට ණය ආධාර දෙන නමුත් එහිදී පොලී අනු­පා­ත­ය­කට යටත් වීමට අපට සිදු වේ. එබැ­වින් ණය ගෙවීම සඳහා තාව­කා­ලික සහ­න­යක් ඉන්දි­යා­වෙන් මෙසේ­ගැ­නීම අපට මේ අව­ස්ථාවේ ඉතා වැද­ගත්ය. චීනය සහ ඇමෙ­රි­කාව අතර ආර්ථික විර­ස­ක­යක් පව­තින බව සත්‍ය­යකි. එසේම ඉන්දි­යාව සහ ඇමෙ­රි­කාව අතර මිත්‍ර­ත්වය මුල් කර­ග­නි­මින් චීනය හා ඉන්දි­යාව අත­රද ඇත්තේ සීතල යුද්ධ­යක් බවද පැහැ­දි­ලිය. ඒ අනුව චීන­යද තරහා නොක­ර­ගන්නා අත­රම ආර්ථික වශ­යෙන් ඉන්දි­යාව වෙත නැඹුරු වීමේ වාසි නිසි ලෙස අත්පත් කර­ගැ­නී­ම­ටද ශ්‍රී ලංකාව පිය­වර ගත යුතුය. මේ සියලු තත්ත්ව දේශ­පා­ල­නික වශ­යෙන් කළ­ම­නා­ක­ර­ණය කර­ගත හොත් ඉදි­රි­යේදී මුහුණ දීමට සිදු විය හැකි ආර්ථික අර්බුද රැස­කට විස­ඳුම් සොයා­ගැ­නී­මට ලක් රජ­යට හැකි වනු ඇත.

Comments