සංගී­තා­ත්මක ගී පද රච­නයේ නූත­නයා | Page 2 | සිළුමිණ

සංගී­තා­ත්මක ගී පද රච­නයේ නූත­නයා

ලාංකේය කණ්ඩායම් සංගීතයේ පුරෝගාමියකු ලෙස අවිවාදයෙන් පිළිගැනෙන ක්ලැරන්ස් විජේවර්ධන, සංගීතවේදියකු, වාදකයකු, ගායකයෙකු, සංයෝජකයකු, නාද පරිපාලකයකු ආදි වශයෙන් නිතර ඇගයීමට ලක් වුණත්, ඔහු ගී පද රචකයෙකු වශයෙන් අභිවන්දනයට ලක් කෙරුණු අවස්ථා මෙරට ගීත ඉතිහාසයේ නොමැත.

හුදෙක් ඔහු ගේ නම් සඳහන් කරමින්, නියැළුණු ක්ෂේත්‍රවල නම් සඳහන් කරද්දී පමණක් ගී පද රචකයෙකු ලෙස හුවා දැක්වීම, ක්ලැරන්ස් අරභයා මෙතෙක් මෙරට ජනමාධ්‍ය අනුගමනය කළ සම්ප්‍රදාය වේ. ඒ අනුව ක්ලැරන්ස් විජේවර්ධන ගේ නාමය සුවිශේෂ ගී පද රචකයෙකු ලෙස, ඒ සඳහා ම වෙන් කෙරුණු ජනමාධ්‍ය විශේෂාංග අවකාශයක, සඳහන් කෙරෙන ප්‍රථම අවස්ථාව මෙය වන්නේ ය. රසාලිප්ත, අර්ථසම්පන්න ගී පද රචනා දහස් ගණනක් ක්ලැරන්ස් විසින් ලියැවුණ ද, ඒ ඔස්සේ ඔහු ඇගයීමට පාත්‍ර කිරීමට තරම් අපේ රටේ විචාරකයන් කාරුණික නොවූ බව මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතු ය. ඒ වෙනුවට සිදුවූයේ ඔහු ගේ ගී පද රචනාවලට අස්ථානයේ චෝදනා කිරීම ය. ඊට වඩාලාත් හේතුවන්නට ඇත්තේ ක්ලැරන්ස්ගේ ගී පද රචනා බෙහෙවින් ජනප්‍රියත්වයට පත්වීම විය හැකි ය.

අපි ඒ සම්ප්‍රදායට එරෙහි ව යමින් අද, ක්ලැරන්ස් විජේවර්ධන ගී පද රචකයෙකු ලෙස සුවිශේෂ ඇගයීමකට පාත්‍ර කරමු. සියලුම අවස්ථාවල ගී පද රචකයන්ගේ නාම ලේඛනයකටවත් ක්ලැරන්ස් විජේවර්ධනගේ නාමය අන්තර්ගත නො කෙරෙන සමයක, මෙවන් පියවරක් ගැනීම අතිශයින් කාලෝචිත යයි අපි සිතන්නෙමු. එය ඔහු ගේ මරණයෙන් පසු ව හෝ සිදු කෙරෙන්නේ ක්ලැරන්ස් ගේ ගී පද සාහිත්‍යයේ තිබෙන අපූර්වත්වය නිසා ය.

අප විසින් ආරම්භ කරන ලද මේ විශේෂාංගයේ තවමත් සඳහන් ව තිබෙන්නේ බණ්ඩාර කේ. විජේතුංග, ප්‍රේමකීර්ති ද අල්විස්, කේ.ඩී.කේ. ධර්මවර්ධන වැන්නන්ගේ සාහිත්යික මෙහෙවර පමණි. අප ක්ලැරන්ස් විජේවර්ධන ගේ නාමය යෝජනා කරන්නේ, සිව්වැනි ස්ථානයට ය. එය ක්ලැරන්ස් ගේ නාමයට කළ හැකි කෘතගුණ දැක්වීමකි. ඔහු සිංහල ගී පද සාහිත්‍යයට සිදුකර තිබෙන මෙහෙවර අනල්ප ය.

ක්ලැරන්ස්ගේ ගී පද සාහිත්‍යය ඔහුට ම අනන්‍ය වූවකි. ඔහුගේ පද රචනා සරල ය. අල්පෝක්තියෙන් පිරිපුන් ය. අර්ථයෙන් පොහොසත් ය. මිනිස් ජීවිතයේ විවිධ දෛනික අත්දැකීම්වලින් ඒවා පෝෂණය වී තිබේ. ඔහු ම පවසන ආකාරයට මාතලේ, ඈත ගමක, ගොඩේ කොල්ලෙකු වශයෙන් රත්නපුරයට පැමිණෙන ක්ලැරන්ස්, එහි තිබුණු සමාජශාලා සංස්කෘතියට අවනත නොවී, ඊට වඩා දියුණු සමාජ සංස්කෘතියක් සඳහා නිර්මාණශීලි ලෙස වෙහෙසුණු පුද්ගල චරිතයකි. ඒ අනුව නාගරික සමාජයේ ප්‍රකට බටහිර සංගීතයට නැඹුරු වුණු ක්ලැරන්ස්, ගැමි ආත්මය අත් නොහැර, එහි ද්විත්ව සම්බන්ධයක් ගොඩනඟමින්, අපූර්ව සංගීත සංස්කෘතියක් බිහිකරගැනීමට වෙහෙසුණු ගී පද සාහිත්‍යකරුවෙකි. සංගීතවේදියෙකි. ගායනවේදියෙකි.

එවකට ලෝකයේ ප්‍රකට වෙමින් තිබුණු බටහිර සංගීත රැල්ලට අනුගත ව මෙරටින් ද එවැනි ප්‍රවණතාවක් ගොඩනඟා ගැනීම ක්ලැරන්ස් ගේ එක් අපේක්ෂාවක් විණි. ඒ සඳහා ගිටාරය මුල් කරගත් සංගීතවේදයක් ක්ලැරන්ස් යොදාගත්තේ ය. පෙරපර දෙදිග සංගීතයේ සම්මිශ්‍රණයෙන් ගොඩනැඟුණු ප්‍රවණතා පාදක කරගනිමින් ක්ලැරන්ස් ආරම්භ කළ සිංහල බටහිර ගීතය අඩුවැඩි වශයෙන් කන්ට්‍රි ඇන්ඩ් වෙස්ටර්න් ධාරාවට බෙහෙවින් සමාන ය.

බටහිර සංගීත සම්ප්‍රදායේ නූතන තාක්ෂණික සහ කලාත්මක ලක්ෂණ ප්‍රකට කළ ක්ලැරන්ස් එයට දේශීය ගැමි ජන ජීවිතයේ බොහෝ දේ ප්‍රස්තුත කර ගත්තේ ය. විශේෂයෙන් සුනිල් සාන්ත, සී.ටී. ප්‍රනාන්දු වැනි පුරෝගාමි සංගීතවේදීන් ගේ ගමන් මඟ වඩාත් රසවත් කළ යාවත්කාලීන කළ ක්ලැරන්ස්ගේ ගී පද රචනා ඔහුට ම අනන්‍ය වූ අතර, ඒවා අදටත් ස්වාධීන ගී පද රචනා විලාසයක් ලෙස අනභියෝගී ව ජනප්‍රියත්වය රඳවා ගනිමින් තිබේ. මෙලෙස දශක පහක් තිස්සේ ක්ලැරන්ස්ගේ ගී පද රචනා මුල්කර ගත් සිංහල බටහිර ගීත රසික සහ විචාරක ගෞරවයට පාත්‍ර වී තිබෙන්නේ අහම්බයකින් නො වේ.

ඔහු ගේ ගීතවල ඉස්මතු පෙනෙන නාගරික - ග්‍රාමීය ද්වි ලක්ෂණ විසින් ඒවාට අපූර්වත්වයක් අත්කර දී තිබෙන බව නො රහසකි. අනෙක් අතට ඒවා සියල්ල සංගීතාත්මක ය. ඔහු ගේ ගී පද රචනා කලාවේ තිබෙන සුවිශේෂත්වය එයයි. රසාලිප්තබවින් අනූන රචනාවල ඇත්තේ ළගන්නාසුලු ආරකි.

දිල්හානි දුවනී, වනදෙව්ලිය තුරුලේ, සඳත් බැස ගියා අවරගිරේ, පාට පාට රන්තටු සළලා, කිමද නාවෙ, මුහුදු රැල්ල ඔස්සේ, මංගෝ කලු නැන්දේ, සුදුමැණිකේ, මාමේ අපෙ කලුමාමෙ, කාගෙද ගොන්වස්සා, ගමෙන් ලියුමක් ඇවිල්ලා, සුමුදු මල් පිපුණු අතුකොනේ, මලට බඹරෙකු සේ, රන්දුනුකේ මල සේ, මොරටුව මොරටුව, රුවන්පුරය, සිහින ලොවක් දුටුවා මතකයි, මගේ සතුට, මාගේ වියෝවෙන්, රන්මොනරුන් රඟදෙනු දුටුවා, අද වෙයි ඉරුදින, කුමාරියක් වගේ ඔබට, කුමාරියක් වගේ ඔබට, ඔය ගී පොත, කිරිමූද කලඹාලා, රුවට රුවේ, මා ගැයූ මේ ගී, සැන්දෑවේ රන්වලා ආදි වශයෙන් එක දිගට පෙළගැස්විය හැකි අතිශයින් ජනප්‍රිය ක්ලැරන්ස් ගේ ගී පද රචනාවල තිබෙන චමත්කාරය, සිංහල ජන විඥානයට ඉතා පහසුවෙන් සංවේදී වන්නක් බව කියමනා ය. දශකයෙන් දශකය අලුත් වෙමින් අඛණ්ඩ ව ගී පද රචනයෙහි යෙදුණු ක්ලැරන්ස් ඒ ඒ ගායකයාගේ හෝ ගායිකාව ගේ අනන්‍යතාවලට ගැළපෙන ආකාරයෙන් සියලු ගී පද රචනා නිර්මාණය කර තිබෙන බව පෙනේ.

ක්ලැරන්ස්ගේ ගී පද රචනා අතර ‘මතකය ඇසුරෙන්’ ගී පද රචනයට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි.

මතකය ඇසුරෙන් සිහියට ගන්නට

නිතරම වෙහෙසුණෙමි

මට පමණක් ඒ පින නැත්තේ ඇයි

නිරතුරු වැලපුණෙමි

අම්මා... අම්මා යයි කීමට

කෙනෙක් නොමැත සොයමි

පැහැදිලි නැති එක ඡායාවක් ඇත

ඒ ඔබ බව දනිමි ...

ඉස්සර දවසක උදෑසනක ඔබ

මා නළවන්න ඇති

මා හඬනා විට දුක ඉපදී මට

ලේකිරි දෙන්න ඇති

මගෙ හිස පිරිමැද මගෙ ගත පිරිමැද

මුව සිප ගන්න ඇති

ඔබ යනවිට මා කැටුව යන්න නම්

අමතක වෙන්න ඇති ...!

බාල කාලයේ ම ස්වකීය මව මියගිය දරුවකුගේ දෘෂ්ටිකෝණයෙන් ලියා තිබෙන මේ ගී පද රචනය අතිශය භාවපූර්ණ ය. එකල නිෂ්පාදනය වුණු තැටිවලට අදාළ කාල සීමාව නිසා සංක්ෂිප්ත කර ලියා තිබෙන බව හැඟෙන මේ පදවැලින් සිංහල සංස්කෘතිය තුළ හැදුණු වැඩුණු දරුවෙකුගේ සිත තුළ මව පිළිබඳ ඇති විය හැකි හැඟීම් යථා ස්වරූපයෙන් ලියැවී තිබේ.

1996 දෙසැම්බර් 13 වැනිදා අකාලයේ මිය නොයන්නට ක්ලැරන්ස්ගේ ගී පද රචනයෙන් සිංහල ගී පද සාහිත්‍යය තවදුරටත් පෝෂණය වීමට ඉඩ තිබුණු බව පැහැදිලි ය.

Comments