වෙන්දේසියට ගිය ශේන් වෝන්ගේ හිස්වැසුම | සිළුමිණ

වෙන්දේසියට ගිය ශේන් වෝන්ගේ හිස්වැසුම

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරුවක් වන ශේන් වෝන්ට අයත් 'ලිහිල් කොළ පැහැති' ක්‍රිකට් හිස්වැසුම ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ තුනකට වෙන්දේසි කර එම මුදල ලැව් ගින්නෙන් පීඩා විඳින්නන්ට පරිත්‍යාග කිරීමට ක්‍රියා කරමින් සිටී.

පනස් හැවිරිදි ශේන් වෝන් මෙම හිස්වැසුම ඔහු සහභාගී වූ ටෙස්ට් තරග 145 පුරාම පැළඳ සිටි අතර, ඔහු කඩුලු 708ක් ලබා ඕස්ට්‍රේලියා වාර්තා අතරට එක් වී ඇත.

සැප්තැම්බර් මස ආරම්භ වී ඕස්ට්‍රේලියාවේ විවිධ ප්‍රදේශවල පැතිරී යන ලැව් ගිනිවලින් මේ වන විට පුද්ගලයන් 24 දෙනෙකු මියගොස් ඇති අතර, සතුන් මිලියන 500කට ආසන්න ප්‍රමාණයක් මියගොස් හෝ ගින්නට හසු වීමෙන් පීඩා විඳිති.

"සියලුදෙනා එකතු වෙලා මේ අයට උදව් කිරීම සහ ආධාර ලබා දීම දිනපතා කරගෙන යමු," ශේන් වෝන් පැවසීය.

"මේ හේතුවෙන් මම ටෙස්ට් තරගවලට පැළඳි මා ආදරය කළ ලිහිල්, කොළ පැහැති තොප්පිය වෙන්දේසි කරනවා,"

 

 

Shane Warne and his 'baggy green' Test cap

"මගේ කොළ පැහැති තොප්පියෙන් සැලකිය යුතු මුදලක් ලබා ගෙන, විපතට පත් අයට එම මුදලින් උදව් කරන්න ලැබේවි යැයි මම බලාපොරොත්තු වෙනවා," ඔහු පැවසුවේය.

වෙන්දේසියෙන් ලැබෙන සියලු මුදල් ඕස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානයේ ආපදා සහන සහ ප්‍රතිසාධන අරමුදලට පරිත්‍යාග කිරීමට නියමිතය. 

ඊයේ දින (ජනවාරි 7) උදෑසන ඕස්ට්‍රේලියානු ඩොලර් 301,500ක වැඩිම ලංසුව ලැබී තිබිණි. වෙන්දේසිය සිකුරාදා දක්වා විවෘතව පවතී.

ඔස්ට්‍රේලියානු දේශගුණය තුළ ලැව් ගිනි සාමාන්‍ය තත්ත්වයක් වුව ද, 2019 සහ 2020 ආරම්භයේ දී ගිනි පැතිරීම වැඩි වී ඇති අතර, උෂ්ණත්වය දැඩි ලෙස ඉහළ ගොස් ඇත. බොහෝ ප්‍රදේශවල නියං තත්ත්වයක් ඇති වී තිබේ.

ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ට පසුව වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩකයා ලෙස ශේන් වෝන් වාර්තා අතරට එක් වී සිටී.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර තරග ආරම්භ කරන විට මෙම 'ලිහිල්, කොළ පැහැති' හිස් වැසුම ප්‍රදානය කරන අතර එය සිය ක්‍රිකට් වෘත්තිය පුරාවට පැළඳ සිටීමට ක්‍රීඩකයෝ ක්‍රියා කරති.

99.4ක් වන වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රතිශතයක් හිමි අතිශය ජනප්‍රිය පිතිකරුවෙකු වන ඩොන් බ්‍රැඩ්මන් 2001දී මියගිය අතර, ඔහුගේ 'ලිහිල්, කොළ පැහැති, හිස් වැසුම 2003 වර්ෂයේ පැවති වෙන්දේසියක දී ඔස්ට්‍රේලියානු ඩොලර් 425,000කට අලෙවි විය.

ටෙනිස් ක්‍රීඩකයන්ගෙනුත් සහය 

කාන්තා 'ග්‍රෑන්ඩ් ස්ලෑම්' ශූරතාව පස් වරක් ජයග්‍රහණය කළ ටෙනිස් ක්‍රීඩිකා මරියා ෂරාපවා ඕස්ට්‍රේලියානු ඩොලර් 25,000ක් පරිත්‍යාග කර ඇති අතර, ඒ හා සමාන මුදලක් ලබා දීමට ලොව දෙවෙනි හොඳම ටෙනිස් ක්‍රීඩකයා වන නොවක් යොකොවිච් ද බලාපොරොත්තු වේ.

බ්‍රිස්බන් ජාත්‍යන්තර ටෙනිස් තරගාවලියෙන් ලැබෙන සියලු මුදල් ද සහන අරමුදලට පරිත්‍යාග කරන බව ඔස්ට්‍රේලියාවේ අංක එකේ ටෙනිස් ක්‍රීඩිකා ඈෂ්ලි බාටි පවසා තිබේ.

(බී.බී.සිය අැසුරෙනි)

Comments