අපේ ගමන ජන­තා­වත් එක්කයි | සිළුමිණ

අපේ ගමන ජන­තා­වත් එක්කයි

 ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය සභා මැති­ව­රණ ප්‍රති­ඵල ජනා­ධි­ප­ති­ව­ර­ණය ගැන යම් ඉඟි­යක් ලබා දුන්නා නේද?

ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය සභා මැති­ව­ර­ණය කිසි­සේත් ම ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට සමාන කරන්න බෑ. ඇල්පි­ටිය කියන්නෙ සමස්ත ශ්‍රී ලංකාව නෙමෙයි. ප්‍රාදේ­ශීය සභා මැති­ව­ර­ණය කියන්නෙ එකක්. ජනා­ධි­ප­ති­ව­ර­ණය කියන්නෙ තව එකක්. මහ මැති­ව­ර­ණය කියන්නෙ තව එකක්. පළාත් සභා මැති­ව­ර­ණය කියන්නෙ තවත් එකක්. ඒක නිසා ඒ ගැන කතා කිරීම පවා නිශ්ඵ­ලයි. ජනා­ධි­ප­ති­ව­ර­ණය තුන් කොන් සට­නක් බවට පත් වෙලා තියෙන්නෙ. අපේ පැහැ­දිලි අපේ­ක්ෂාව ජය­ග්‍ර­හ­ණය සනි­ටු­හන් කර­න්නයි.

ඔබ පක්ෂයේ විජිත හේරත් මන්ත්‍රී­ව­ර­යාත් පැව­සුවා මැති­ව­රණ දෙක සම කළ නොහැකි බවට, නමුත් දිව­යින පුරා පැවැති පළාත් පාලන මැති­ව­ර­ණ­යෙන් බහු­තර ජයක් ලබා ගැනී­මට පොදු ජන පෙර­මු­ණට හැකි වුණා. ඇල්පි­ටිය ප්‍රති­ඵ­ල­යත් එහෙ­ම­මයි. ජනා­ධි­ප­ති­ව­ර­ණයේ ප්‍රති­ඵ­ලත් එසේ නොවන බව ඔබ තහ­වුරු කරන්නේ කෙසේද?

මේ අව­ස්ථාවේ උතුරේ පළාත් පාලන ආය­ත­න­යක ඡන්ද­යක් තිබ්බොත් සජිත් දින­න­වද? ගෝඨා­භය දින­න­වද? අපිට දිනන්න පුළු­වන්ද? ඒ වගේම එක්සත් ජාතික පක්ෂ­යට වැඩි බල­යක් තියෙන ප්‍රදේ­ශ­යක මැති­ව­ර­ණ­යක් තිබ්බොත්, නැඟෙ­න­හිර පළාත් සභා­වක මැති­ව­ර­ණ­යක් තිබ්බොත් ඒ වගේම වතු­ක­රයේ මැති­ව­ර­ණ­යක් තිබ්බොත් ප්‍රති­ඵ­ලය ගැන අමු­තු­වෙන් කිව යුතු නැහැ.

ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය සභා ඡන්දයේ ප්‍රති­ඵල බැලු­ව­හම අපට පැහැ­දි­ලිව පෙනෙන දෙයක් තමයි මහින්ද රාජ­පක්ෂ මහතා පසු­ගිය මැති­ව­රණ වලට වඩා ඇල්පි­ටිය ඡන්ද අඩු­ක­ර­ගෙන තිබෙන බවක්. නමුත් ඒ ලෙසට ජනා­ධි­ප­ති­ව­ර­ණය ගැන තීන්දු තීරණ ගන්න බැහැ. ඒ කතාව මහින්ද රාජ­පක්ෂ මහ­තාත් කිව්වනෙ. පසු­ගිය මැති­ව­ර­ණය හා සංස­න්ද­නය කළොත් ප්‍රති­ශ­ත­යෙන් ඉදි­රි­යෙන් ඉන්නෙ අපි. නමුත් ඒක ලොකු කර­ගෙන ඉස්ස­ර­හට යන්න අපි කට­යුතු කරන්නෙ නැහැ.

නමුත් ඇල්පි­ටියේ මන්ත්‍රී­වරු 28 කින් ඔබ පක්ෂ­යට ලැබී ඇත්තේ මන්ත්‍රී ධුර 2 යි. එවන් තත්ත්ව­ය­කින් ඔබ පක්ෂය කොහො­මද ජනා­ධි­ප­ති­ව­රණ සට­නක් ජය­ග්‍ර­හ­ණය කිරී­මක් ගැන හිත­න්නෙ­වත්...

මා කලික් කිව්වෙත් එයම තමයි. පසු­ගිය පළාත් පාලන මැති­ව­ර­ණ­යේදී ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය සභාවේ ජනතා විමුක්ති පෙර­මු­ණට එක මන්ත්‍රී ධුර­ය­ක්වත් තිබුණෙ නැහැ. මෙවර මන්ත්‍රි ධුර 2ක් හිමි වුණා. නමුත් අපි ඒක ඉස්මතු කරලා ජනා­ධි­ප­ති­ව­ර­ණය හා සම කරන්නෙ නැහැ. ඒ වගේම අපි මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වන්නේ ජනතා විමුක්ති පෙර­මු­ණෙන් නෙමෙයි. ජාතික ජන බල­වේ­ග­යෙන්.

රටේ තිබෙ­න්නාවූ මේ ආර්ථික හා දේශ­පා­ලන ව්‍යුහය අනුව ජාතික ජන බල­වේ­ග­යට ඉදිරි ගම­නක් තිබේ­වි­යැයි ඔබ විශ්වාස කර­න­වද?

පැහැ­දි­ලි­වම තියෙ­නවා. වර්ත­මාන ආර්ථික හා දේශ­පා­ලන ව්‍යුහය අනුව තමයි ජාතික ජන බල­වේ­ගය නිර්මාණ කර තිබෙන්නේ. රටේ පාල­නය ගෙන ගිය ප්‍රධාන පක්ෂ දෙක විසින් ජනතා අපේක්ෂා ඉටු නොකළ හෙයින් ජන­තා­වට දැඩි කළ­කි­රී­මක් ඇති වෙලා තියෙ­නවා. එම නිසා තමයි ජාතික ජන බල­වේ­ගය වැනි දේශ­පා­ලන ව්‍යුහ­යන් බිහි වෙලා තියෙන්නෙ. ඒක ලංකාවෙ පම­ණක් නෙමෙයි ලෝකය පුරා ගත්තත් පේනවා. පාකි­ස්ථා­නයේ ඉම්රාන් ඛාන් බල­යට පත් වෙන්නේ ඒ අනු­වයි. ප්‍රංශයේ අලු­තින් බලය ගත් දේශ­පා­ලන කණ්ඩා­යම් ඒ වගෙයි. පවත්නා ආර්ථික, දේශ­පා­ලන මෙන්ම සමාජ රටාව අනුව තමයි ජාතික ජන බල­වේ­ගය වැනි දේශ­පා­ල­න­යන් නිර්මා­ණය වන්නේ. ඒක ප්‍රබ­ලයි. ඒක නිසා අලුත් වෙන­සක් බලා­පො­රොත්තු වන ජන­තා­වට නොවැ­ම්බර් 16 වැනිදා ඒ බලා­පො­රොත්තු දල්වන්න පුළු­වන් වෙයි කියලා අපි හිත­නවා.

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට මෙවර අපේ­ක්ෂ­ක­යන් 35 දෙනෙක් ඉදි­රි­පත් වීම එය හෑල්ලු­වට ලක් කිරී­මක්. එසේත් නැත්නම් එම ධුරයේ ගෞර­ව­යට කැළ­ලක් වගේ පෙනෙන්නේ නැද්ද?

මෙතෙක් කල් ජනා­ධි­පති ධුර දැරූ දේශ­පා­ලන කණ්ඩා­යම්හි දේශ­පා­ලන ධාරා දුර්වල වන විට විකල්ප කණ්ඩා­ය­ම්ව­ලට පේනවා එතැන තමන්ට අව­ස්ථා­වක් තිබෙන බවට. ඒ අව­ස්ථාව ලබා ගන්න තමයි ඒ අපේ­ක්ෂ­ක­යන් තරග වදින්නෙ. කොහොම වුණත් ඒ විකල්ප ධාරා­වන් අතර අනුර කුමාර දිසා­නා­යක මහතා තමයි ප්‍රධාන වික­ල්පය වන්නේ. කොහො­මත් මීට පෙරත් ජනා­ධි­ප­ති­ව­රණ සඳහා අපේ­ක්ෂ­ක­යන් 10 ක් 12 ක් හිටපු අවස්ථා තිබෙ­නවා. විකල්ප රැසක් අවශ්‍ය නැහැ. එක වික­ල්ප­යක් තිබීම පම­ණක් ප්‍රමා­ණ­වත් බවයි අප පව­සන්නේ. විකල්ප අපේ­ක්ෂ­කයා ලෙස අනුර කුමාර මහතා ඉදි­රි­පත්ව ඇත්තේ රටට ආදරේ ප්‍රග­ති­ශීලී දේශ­පා­ලන පක්ෂ හා සංවි­ධාන 30ක එක­තු­ව­කින්. ජන­තා­ව­ටත් අප ආරා­ධනා කරන්නේ ඒ අත­රට එක්වන්න කියා.

එක් වික­ල්ප­යක් පම­ණක් ප්‍රමා­ණ­වත් නම් ජනතා විමුක්ති පෙර­මු­ණට ජාතික ජන බල­වේ­ගය හරහා ගම් මට්ට­මින් ජන­තාව දැනු­වත් කර විකල්ප බල­වේග එක්තැන් කර එක් වික­ල්ප­යක් කරා යන්නට නොහැකි වූයේ ඇයි?

අපි සාකච්ඡා කළා. කණ්ඩා­යම් රැසක් අපත් සමඟ එකතු වුණා. එහෙම එකතු වුණා නිසා තමයි කණ්ඩා­යම් 30කගෙන් යුක්ත ජාතික ජන බල­වේ­ගය අද ගොඩ නඟා ගත්තේ. අනෙක් කණ්ඩා­යම් ද ඒ සඳහා එකතු කර ගන්න අප උත්සාහ කළා. අපත් සමඟ දැනට සිටින කණ්ඩා­යම් එකතු නොවුණා නම් අපේ­ක්ෂක ලැයි­ස්තුව 35 ක් නෙමෙයි 40 ක් 50 ක් වෙන්න තිබුණා. කොහො­මත් විකල්ප ධාරා­වන් එක්කර ගැනීම අප ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් නවතා දැමන්නේ නැහැ. ඊළඟ මහ මැති­ව­ර­ණ­යෙ­දිත් එම කණ්ඩා­යම් එකතු කර­ගන්න අප උත්සාහ කර­නවා.

නමුත් විකල්ප කණ්ඩා­යම් රැසක් සිටී‍මේ අවා­සිය එහි බල­පෑම ඇති වන්නේ ඔබ අපේ­ක්ෂ­ක­යාට නේද?

එහෙම විශාල බල­පෑ­මක් ඇති වන්නේ නැහැ. එහෙම නම් කලින් අපේ­ක්ෂ­ක­යන් සිටි අව­ස්ථා­වේත් විශාල බල­පෑම් එල්ල වන්න ඕනෑනෙ. නමුත් විකල්ප බල කණ්ඩා­යම්හි සියලු බල­වේග එක්තැන් වීමයි වැද­ගත් වන්නේ. කොහො­මත් මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙදී ප්‍රධාන අපේ­ක්ෂක බල­කණු 3 යි තියෙන්නෙ. ඒ සජිත් ප්‍රේම­දාස, ගෝඨා­භය රාජ­පක්ෂ, අනුර කුමාර දිසා­නා­යක යන අයයි. ජන­තාව මනාප දෙන්නේ ඒ අය දිහා බල­ලයි. ඉතිරි අය­ටත් සුළු ප්‍රමා­ණ­යක් ලැබෙයි. නමුත් ඒ සුළු ප්‍රමා­ණය වුණත් අපි අව­ත­ක්සේරු කරන්නෙ නැහැ. ඒත් යථා­ර්ථ­යට අපි මුහුණ දිය යුතු වෙනවා.

ගම් මට්ට­මින් ජනතා විමුක්ති පෙර­මු­ණට සහා­යක් තිබෙ­න­වාද?

ගම් මට්ට­මින් ඉතා හොඳ සහා­යක් ලැබෙ­නවා. ඉස්ස­රට වඩා ජන­තාව දේශ­පා­ල­නය ගැන දැඩි කළ­කි­රී­ම­කින් ඉන්නෙ. පවත්නා දේශ­පා­ල­නය ජන­තා­වට තිත්ත වෙලා. ජන­තා­වට අපි සත්‍යය පහදා දෙමින් ගම් මට්ට­මින් ජන හමු පව­ත්ව­නවා. ගෙන‍් ගෙට යනවා. ඒ ගම­නේදි අලුත් කණ්ඩා­යම් අපිත් එක්ක එකතු වෙනවා. එක්සත් ජාතික පක්ෂය හා සිටි ජන­තා­වත් මහින්ද රාජ­පක්ෂ මහතා වටා සිටි ජන­තා­වත් ඒ පක්ෂ කෙරෙහි කළ­කිරී අප හා එක්වෙ­නවා. ඉදිරි දින කිහි­පය තුළදී මේ තත්ත්වය තවත් වර්ධ­නය කරන්න අපි බලා­පො­රොත්තු වනවා.

රටේ ප්‍රධාන ආග­මික නාය­ක­යන් විශේ­ෂ­යෙන් බෞද්ධ භික්ෂූණ් වහන්සේ ප්‍රධාන පක්ෂ දෙක හා සම්බන්ධ වී ඇති බවක් අපට පෙනෙ­නවා. නමුත් ආග­මික නාය­ක­යන් ඔබ පක්ෂ­යට දිරි දෙන බවක් පෙනෙ­න්නට නැහැ.

නැහැ එය වැරැ­දියි. අපේ අපේ­ක්ෂ­ක­යාට ආග­මික නාය­ක­යින් දිරි දෙනවා. මාධ්‍ය එය නොද­කින එකයි වැරැද්ද. පසු­ගිය දිනක මහ­නු­ව­රදී ජාතික භික්ෂු පෙර­මුණ මහා සඟ සමු­ළු­වක් පව­ත්වලා අනුර කුමාර දිසා­නා­යක මහ­තාට ආශි­ර්වාද කළා. ඒ වගේම අනුර කුමාර දිසා­නා­යක මහතා ජාතික ජන බල­වේ­ගයේ ප්‍රති­පත්ති මල්වතු අස්ගිරි මහ­නා­හි­මි­ව­රුන්ට පිළි­ගැ­න්වුවා. උන්ව­හ­න්සේලා අපේ­ක්ෂ­ක­යාට ආශි­ර්වාද කළා ඒ ප්‍රති­පත්ති මාලාව අනුව කට­යුතු කිරීම වැද­ගත් බව පෙන්වා දෙමින්. ඒ වගේම අන්‍යා­ග­මික නාය­ක­යන් පක්ෂයේ ප්‍රති­පත්ති හා ගමන් මඟට ආශි­ර්වාද කර තිබෙ­නවා. සිංහල, දෙමළ, මුස්ලිම් මේ සියලු ආග­මික නාය­ක­යන් සමඟ ‍යන ගම­න­කයි අප නිරත වන්නේ.

ජනතා විමුක්ති පෙර­මු­ණට පාර්ලි­මේ­න්තුවේ ආසන 40ක් හිමි වූ අව­ස්ථා­වක් තිබුණා. දැන් එය 6 ට බැහැලා. එය පක්ෂයේ පසු­බෑ­මක් නේද?

40 දෙනෙක් හිටියේ අප සන්ධා­න­ය­කින් තරග කළ අව­ස්ථාවේ. දැන් 6 දෙනකු පාර්ලි­මේ­න්තුවේ ඉන්නේ ජනතා විමුක්ති පෙර­මුණේ මන්ත්‍රී­ව­රුන් ලෙසයි. ඒ අයු­රින් බලන කළ මෙවර ජාතික ජන බල­වේ­ගය යන සන්ධා­න­යක්, කණ්ඩා­ය­මක් නිසා අපට වැඩි බල­යක් හිමි වේවි. අනෙක් පැත්තෙන් 5/6 ක බල­යක් තිබුණ එක්සත් ජාතික පක්ෂය බිම් මට්ට­මට ඇද වැටුණා. ඒ වගේම සුපිරි බල­යක් තියා­ගෙන හිටපු මහින්ද රාජ­පක්ෂ මහතා පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙදි නැත්ත­ටම නැති­වුණා. දේශ­පා­ලන පක්ෂ­වල ඉහළ නැඟීම් පහළ යෑම් තියෙ­නවා. ඒක ලංකාවේ පම­ණක් නෙමේ. ලෝකෙ අනිත් රට­ව­ල­ටත් එහෙ­මයි.

ඔබ පක්ෂය මෙවර එක් එක් වර්ගී­ක­ර­ණය යටතේ ප්‍රති­පත්ති මාලා­වක් හඳුන්වා දී තිබෙ­නවා. ඒ ගැන පැහැ­දිලි කළොත්. ඒවා ක්‍රියා­ත්මක කළ හැකි ප්‍රති­ප­ත්තිද?

අපි ප්‍රධාන විෂය ධාරා කිහි­ප­යක ප්‍රති­පත්ති එක් රැස් කර තිබෙන්නේ. ජාතික අධ්‍යා­පන ප්‍රති­ප­ත්ති­යත්, සෞඛ්‍ය ප්‍රති­ප­ත්ති­යත් මේ වන විට එළි දක්වා තියෙන්නෙ. එමෙන්ම පරි­සර ප්‍රති­ප­ත්ති­යත්, ප්‍රවා­හන ප්‍රති­ප­ත්ති­යත් ඉදිරි දින­වල එළි දක්ව­නවා. සමස්ත ප්‍රති­පත්ති අපි 26 වැනිදා කොළ­ඹදී එළි­ද­ක්ව­නවා. රට­කට ජාතික ප්‍රති­ප­ත්ති­යක් අව­ශ්‍යයි. එවැ­න්නක් නැතිව රටක් සංව­ර්ධ­නය කරන්න බැහැ.

විශේ­ෂ­යෙන්ම අධ්‍යා­ප­නය ප්‍රති­ප­ත්තිය ගැන ඔබ පක්ෂයේ බොහෝ දෙනෙක් කතා කළා, එහි විශේ­ෂතා ගැන පැහැ­දිලි කළොත්...

අද අපේ රටේ අධ්‍යා­පන නෙමෙයි කිසිම විෂ­ය­යක ප්‍රති­ප­ත්ති­යක් නැහැනෙ, සෞඛ්‍ය ප්‍රති­ප­ත්ති­යක් ිතයෙ­න­වද? ප්‍රවා­හන ප්‍රති­ප­ත්ති­යක් තියෙ­න­වද? රටක අධ්‍යා­ප­නය, සෞඛ්‍ය, ප්‍රවා­හ­නය කියන්නේ වෙළෙඳ භාණ්ඩ නෙමෙයි, ඒවා රජය මඟින් සලසා දිය යුතු සේවා­වන්, නමුත් අද අධ්‍යා­ප­නයේ සිට සියල්ල මුදල් භාණ්ඩ වෙලා, කිද­හස් අධ්‍යා­ප­නය කිව්වත් ඒක වදන දෙකක් විත­රයි, අධ්‍යා­ප­නය අද ඇති හැකි අයට පම­ණක් සීමා වෙලා තියෙන්නෙ. දක්ෂ­යාට තැනක් නැහැ. එම නිසා දරු­වන්ගේ ආක­ල්ලයේ සිට වෙන­සක් ඇති කරන අධ්‍යා­ප­නය ප්‍රති­ප­ත්ති­යක් අප හඳුන්වා දී තිබෙන්නේ. ඒ ප්‍රති­ප­ත්තිය හරහා රැකි­යා­වක් දක්වා යාමට අධ්‍යා­ප­නය සකස් කර තිබෙ­නවා.

අධ්‍යා­ප­නය හුදෙක් විෂ­යන්ට පම­ණක් සීමා කර නැහැ. මේ සියලු කට­යුතු අප සිදු කර ඇත්තේ ඒ විෂ­ය­යන් සම්බ­න්ධව විද්ව­තුන්ගේ අද­හස් ඇසු­රින්, එම නිසා කිසිදු ගැට­ලු­වක් ඇති වන්නේ නැහැ. අද රටේ ප්‍රති­පත්ති තීර­ණය කරන්නේ විද්ව­තුන් හෝ ඒ සම්බන්ධ දැනුම ඇත්තන් නෙමෙයි. එම නිසයි මෙ සියලු ගැටලු නිර්මා­ණය වී තිබෙන්නේ. අපේ ප්‍රති­පත්ති ක්‍රියා­වට නංවන්නේ ඒ සම්බන්ධ දැනු­මක් ඇති විද්වත් අද­හස් හමුවේ නිසා ඒ ප්‍රති­පත්ති ජාතික ප්‍රති­පත්ති ලෙසින්ම ක්‍රියා­වට නංවන්න පුළු­වන් වේවි. අධ්‍යා­ප­නය පම­ණක් නෙමයි අනෙක් සියලු අංශත් එසේ­මයි.

 

Comments