මේ නාට්‍යය හදවතට නොව බුද්ධියට කෙරෙන ආමන්ත්‍රණයක් | සිළුමිණ

මේ නාට්‍යය හදවතට නොව බුද්ධියට කෙරෙන ආමන්ත්‍රණයක්

මහාත්මා@ගාන්ධී.කොම් හී නිෂ්පාදක

කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දි අධ්‍යයනාංශයේ

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උපුල් රංජිත් හේවාවිතානගමගේ

“ආණ්ඩු පාලනය කරනව ජවාහර්...’ සේවයක් ඉටු කරන්නෙ නැහැ.

ආණ්ඩු කියන්නෙ බලයේ සංකේත.‍ ‘බලය’ කරන්නෙ තමාට සේවය කර ගැනීම පමණයි.”

ඒ හින්දා බලයෙන් ඈත්වෙලා ඉන්න තරමට අපට හොඳයි” - මහාත්මා ගාන්ධි.

 

මහාත්මා ‍ගාන්ධි‍ ගේ 150 වැනි ජන්ම සංවත්සරය සහ කැලණිය විශ්වවිද්‍යාලයේ 60 වැනි සංවත්සරය වෙනුවෙන් ඉන්දියා ශ්‍රී ලංකා පදනම සහ කැලණිය විශ්වවිද්‍යාලය අනුග්‍රහාය ඇතිව කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දි අධ්‍යයනාංශයේ විනේතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උපුල් රංජිත් හේවාවිතානගමගේ විසින් අනුවර්තනය, සංගීතය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කොට ඉදිරිපත් කෙරන ‘මහාත්මා@ගාන්ධී.කොම්’ ඔක්තෝබර් මස 16 වැනි බදාදා සවස 3.30ට සහ 7.00ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී වේදිකා ගත වීමට නියමිතය. මේ කතා බහ ඒ නිමිත්තෙනි.

 

මහාත්මා@ගාන්ධී.කොම් නිර්මාණයට පසුබිම සැකසෙන්නේ කොහොමද?

 

මහාත්මා ගාන්ධි සම්බන්ධයෙන් ලියූ මේ නාට්‍යය, බොහෝ දෙනාගේ අවධානයට ලක් වුණු මුස්ලිම් ජාතික ඉන්දියානුවකු වන මහාචාර්ය අස්ගර් වජාහත් මහතා ගේ එක් කෘතියක්. එතුමාගේ මුල් කෘතිය මම සිංහල බසට පරිවර්තනය කොට පළ කෙළේ 2015දි.

එය ‍මම මුලින් ම කියවන්න දුන්නේ පාසල් කාලයේ සිට මා හඳුනන ප්‍රවීණ රංගන ශිල්පියකු වන දයාදේව එදිරිසිංහ මහතාටයි. ඔහු එය කියවීමෙන් පසුව ප්‍රකාශ කළේ ‘වර්තමාන නාට්‍ය වේදිකාව එක එක රැලි පසු පස හඹා යන අවදියක මෙවැනි නිර්මාණයක් ගැන බලාපොරොත්තුවෙන් සිටින ප්‍රේක්ෂක පිරිසකුත් සිටින බව අපි අමතක කරන්න නරකයි. ඒ හින්දා මෙය සිංහල වේදිකාවට ගෙන ආ යුතුම නිර්මාණයක්” කියලයි. දිගින් දිගටම ඔහුගෙන් සිදු වූ ඒ උනන්දු කිරීම නිසාමයි මෙය අද වේදිකාවට එන්නෙ.

 

මහත්මා ගාන්ධි චරිතය මෙරට වේදිකාගත වන්නේ ප්‍රථම වරටයි?

 

මා දන්නා තරමට මහාත්මා ගාන්ධිතුමාගෙ චරිතය සිංහල වේදිකාවට මේ වන තෙක් ගෙනැවිත් නැහැ. ඒ එක්කම මේ නාට්‍යයයේ සාකච්ඡා කෙරෙන කාරණා අපේ රටේ සමකාලීන දේශපාලනයට කෙතරම් ගැළපෙනවද කියලත් හිතුණා‍. ‍හදවතට නොව බුද්ධියට ආමන්ත්‍රණය කෙරෙන මේ නාට්‍යය සිංහල වේදිකාවට, සිංහල පාඨකයාට ඇසුරු කරන්න ලබාදිය යුතු වටිනා කෘතියක් යන්න මගේ හිතේ තදින් ම පැලපදියම් වුණා. අපේ වේදිකාවට එන විදේශ නාට්‍ය කෘති අතර මුල් බසින් ම කළ පරිවර්තන විරල වීමත්, මේ නාට්‍යය සිංහල වේදිකාවට එකතු කළ යුතුය යන හැඟීම ඇති කිරීමට මුල් වුණා. මං හිතන්නෙ මේ කෘතියට ලැබුණු විචාරක ප්‍රතිචාර දෙස බලද්දි මගේ පළමු නාට්‍ය පරිවර්තනය සාර්ථකයි.

ඒ පිටපත මම නැවත වරක් අනුවර්තනයක් වශයෙන් වෙනස් කිරීමට තීරණය කළේ අපේ සමාජයටත් යම් පණිවුඩයක් ලබාදිය හැකිය යන විශ්වාසයෙන්.

අපේ රටේ සමකාලීන දේශපාලන, සාමාජික විශේෂතාවලට අවධානය යොමු කරමින් මේ කෘතිය යම් ආකාරයක සංස්කරණය කොට මුල් හරය නොසිඳෙන අනුවර්තිත ස්වභාවයක් සහිත නාට්‍යයක් බවට පත් කරන්න මට සිදුවුණා.

මෙම නාටකයේදී මහාචාර්ය අස්ගර් වජාහත් කල්පනා කරන්නෙ නාථූරාම් ගෝඩ්සේගෙ වෙඩි පහරට ලක්වුණු මහාත්මා ගාන්ධි මිය ගියේ නැහැ කියලයි. එතුමාට තුවාල වෙනවා. ඒත් ජීවිතය ගලව ගන්නවා. ඉන් පස්සෙ ගාන්ධි සහ ගෝඩ්සේ අතර වඩාත් ඉහළ මට්ට‍මේ ‘සංවාදයක්’ සිද්ධ වෙනවා. ගාන්ධි ‘සංවාදය’, ‘මූලික අයිතියක්’ ලෙස පිළිගන්නවා.

‘නීතිය සහ සාමය’ සහ ‘සංවාදය’ යන කාරණා දෙක අතර කිසියම් ප්‍රතිවිරෝධතාවක් තියෙනවද? වර්තමාන සන්දර්භයට අනුව ‘විරෝධය’ (ප්‍රතිරෝධ), ‘එක තැන සිරවීම’ (ගතිරෝධ) සහ ‘අවබෝධය නැතිකම’ (මතිරෝධ) යන කාරණා සම්බන්ධයෙන් යම් උදාහරණ මතුවෙමින් තිබෙනවා. අන්න එතැනදි ගාන්ධිගේ ‘සංවාද ධර්මතාව’ අපට මග පෙන්වනවා. මෙම නාට්‍යය එහි අරුතත් හෙළි කරමින් ‘සත්‍යය, අහිංසාව, බලය, සේවය කිරීම, ජනබලය’ ආදී වචනවලට ද නව අරුත් සපයා දෙනවා.

 

මහාත්මා@ගාන්ධී.කොම් කණ්ඩායම ගැන ඇසිය යුතුමයි?

 

වසන්ත ‍විට්ටච්චි ගාන්ධි ලෙස රඟන මෙහි උදිත ගුණරත්න, මාලී ජයවීරගේ, උදේනි චන්ද්‍රසිරි, තරංග බණ්ඩාර, උපුල් මහානාම, ප්‍රභා සඳසීලි, ඉන්දික ප්‍රභාත්, අනුත්තරා එදිරිවීර, සම්පත් බණ්ඩිහෙට්ටි, ‍රොෂාන් හඳුන්නෙත්ති, චරිත් මධුරංග, හසිත් වෙත්තසිංහ, ප්‍රසන්න රෝහිත, වත්සලා සමරකෝන් යන රංගන ශිල්පීන් ශිල්පිනියන් රංගනටයන් දායක වෙනවා. සහාය අධ්‍යක්ෂණය සහ කළමනාකරණයෙන් විමල් දේශප්‍රිය, නර්තන වින්‍යාසයෙන් සුවිනීතා සුබසිංහ‍, රංගවස්ත්‍ර නිර්මාණයෙන් තිලිණ ලක්ෂාන් හෙට්ටිගමගේ, වේදිකා පසුතල නිර්මාණයෙන් රොහාන් සමර‍දිවාකර, අංග රචනයෙන් වසන්ත විට්ටච්චි,

රංගභූමි පාලනයෙන් චන්දන නිශාන්ත පීරිස් දායක වෙනවා.

 

නාට්‍ය කලාවේ ඔබේ ගමන ගැන කතා කළොත්?

 

නාට්‍ය කලාව සම්බන්ධයෙන් මට මුල් ම පරිචය ලැබෙන්නේ මගේ පාසල් කාලෙදි.

70 දශකයේ කැලණිය ගුරුකුල විදුහලේ ඉගෙනුම ලබද්දී එවක මගේ සංගීත ගුරුතුමා වූ විශාරද ලීලානන්ද රත්නායක මහතා මෙහෙයවූ ‘ආශා’ සහ ‘එකමත් එක රටක’ යන ගීත නාටක පුහුණු වීම බලන්න විදුහලේ සංගීත කාමරයට ගිහිං හිටපු වෙලාවක අහම්බයක් විදියට ඒ නාටකවල හඬපටය ක්‍රියාත්මක කිරීමේ වගකීම මා වෙත පැවරුණා. එතැන් පටන් එම නාට්‍ය කණ්ඩායම සමඟ සමීප ඇසුරක් ගොඩ නගාගන්න පුළුවන් වුණා. වර්තමානයේ ප්‍රවීණ වේදිකා, සිනමා හා ටෙලිනාට්‍ය නළුවකු වන දයාදේව එදිරිසිංහ මහතා එදා ‘ආශා’ ගීත නාටකයේ ප්‍රධාන චරිතය රඟපෑවා. ඒ එක්කම චිත්‍රපට නිළියක වශයෙන් ප්‍රසිද්ධ කථක් විශාරද සිරිමතී රසාදරී මහත්මිය එහි නැටුම් නිර්මාණය කළා. එවැන්නන්ගේ සමීප ඇසුර නාට්‍යය ක්ෂේත්‍රය පිළිබඳ මට යම් ඇල්මක් ඇති වුණා.

1980 වසරේ කැලණිය ශ්‍රී ධර්මාලෝක මධ්‍ය මහා විද්‍යාලයේ අ.පො.ස.‍ (උසස් පෙළ) පන්තියේ ඉගෙන ගනිමින් ඉන්නකොට විදුහලේ පැවැත්වුණු කෙටි නාට්‍ය උලෙළකට ‘සාමයේ සක්හඬ’ නමින් කෙටි නාට්‍යයක් ලියලා අධ්‍යක්ෂණය කරල සංගීතයත් සපයල ඉදිරිපත් කළා. ඒකට ‘හොඳම සංගීතය, හොඳම නාට්‍යය, හොඳම නළුවා, හොඳම සහය නළුවා’ කියන සම්මාන ලැබුණා.

කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාට පස්සෙ ජනසන්නිවේදන අධ්‍යයනාංශය මගින් සංවිධානය කළ ඒකාංගි නාට්‍ය උලෙළකට (1984) ඒ කාලේ විද්‍යා පීඨ‍යේ ශිෂ්‍යයෙක් හැටියට හිටපු අශෝක හඳගම ඉදිරිපත් කරපු ‘අව්රෝර’ කෙටි නාට්‍යයට සංගීතය සපයල ‘හොඳම සංගීතය’ ට හිමි සම්මානය දිනා ගත්තා.

පසුව ඉදිරිපත් කරපු ඔහුගේ තවත් නිර්මාණයක් වූ ‘භූමිකා’ වේදිකා නාට්‍යයට සංගීතය සපයල ‘හොඳම සංගීතයට’ හිමි 1985 වසරේ ‘යෞවන සම්මානය’ ත් දිනා ගන්න ලැබුණා. හඳගමයන්ගේ තවත් නිර්මාණයක් වුණු ‘හෙණ’ වේදිකා නාට්‍යයට චන්දන ලියනගේ මහතා සමඟ සංගීතය නිර්මාණය කළා. ඊට අමතරව සරසවියේදී ජගත් පී. විජේවීර නිර්මාණය කළ ‘ගිනි පොකුරු (1984) හරින්ද්‍රනාත් චන්ද්‍රසිරි නිර්මාණය කළ ‘දණ්ඩන කඳවුර’ (1984) කියන වේදිකා නාට්‍යවලටත් සංගීතය නිර්මාණය කළා. 1985 දී හින්දි ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිය සඳහා ‍’නෝටංකි’ නමැති හින්දි ජනනාටක විශේෂය පිළිබඳ පර්යේෂණ නිබන්ධයක් ඉදිරිපත් කළා.

1997 දී හින්දි දර්ශනපති උපාධිය සඳහා ‘උත්තර භාරතයේ හින්දි ප්‍රදේශයේ ප්‍රචලිත ජනනාටක 6 ක් (රාම්ලීලා, රාස්ලීලා, ඛ්‍යාල්, මාච්, නෝටංකී, බිදේසියා) පිළිබඳ පර්යේෂණ නිබන්ධයක් හින්දි බසින් ඉදිරිපත් කළා.

Comments