රාජ්‍ය ආයතනවලින් සීයට 80ක් ම ආදායම් වියදම් ගැන උනන්දුයි | සිළුමිණ

රාජ්‍ය ආයතනවලින් සීයට 80ක් ම ආදායම් වියදම් ගැන උනන්දුයි

ඉදිරියේදී කුමන රජයක් බලයට පත් වූවත් මහජනතාව බලාපොරොත්තු වන නාස්තිය, දූෂණයෙන් තොර රාජ්‍ය මූල්‍ය පරිපාලනයක් ඇති කිරීමට මඟ පාදන එසේ සිදු වේ දැයි විමසා බැලිය හැකි ලොව පිළිගත් නව ක්‍රමවේදයක් රටට හඳුන්වාදීම තම කාරක සභාවේ ඒකායන අරමුණ බව රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කරයි.

මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමැතීන් 225 දෙනාගේම කාර්ය භාරය පිළිබඳ ජනතාව ඉච්ඡාභංගත්වයට පත්ව සිටින මොහොතක එයින් ජනතාව මුදා ගැනීමට හැකි ප්‍රධානම ක්‍රියාදාමයක් තමන් හඳුන්වා දෙන වැඩපිළිවෙළ තුළින් අනාගතයේදී හෝ ඉටු වනු ඇතැයි දැකීම තම අපේක්ෂාව බවද ලසන්ත අලගියවන්න මහතා අවධාරණය කරයි.

වසර 2015 රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ධුරයට පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා සමඟ සිළුමිණ පැවැත්වු විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීය.

අපට පළමුව රාජ්‍ය ගිණුම් කාරක සභාව පිළිබඳ කෙටියෙන් හැඳින්වීමක් කළ හැකිද?

ඔව් එසේ කළ හැකියි. නමුත් පුංචි විග්‍රහයකුත් සමඟ එය කළොත් වඩාත් හොඳ බව මගේ විශ්වාසය. ඒ නිසා අප මඳක් මේ ගැන විග්‍රහයක් කර ඉදිරියට යමු. අපේ රටේ දෙකෝටි විසිලක්ෂයක් ජනතාව තමන්ගේ පාර්ලිමේන්තු නියෝජිතයින් ලෙස මේ වන විට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු 225 දෙනෙකු පත් කර ගන්නවා. මේ අයගෙන් ප්‍රධාන කාර්යය තුනක් ඉටු වේ යැයි ජනතාව විශ්වාස කරනවා. එයින් පළමු කරුණ වන්නේ ශ්‍රී ලංකා ජනරජය සඳහා අවශ්‍ය කරන නීති රීති සම්පාදනය කිරිම. දෙවන කරුණ වන්නේ රජයේ සියලු ආදායම් රැස් කිරීම සහ වියදම් අනුමත කිරීම ඇතුළු රාජ්‍ය මුදල් පාලනය පිළිබඳව කටයුතු කිරීම. තුන්වන කරුණ තමයි මූල්‍ය හා අනිකුත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳ අධීක්ෂණය කිරීම. මෙහිදී මේ කරුණු තුන ඉටු කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ මහජන නියෝජිතයින්ගෙන් සැදුම් ලත් කාරක සභා තුනක් පිහිටුවා තිබෙනවා. මේ එක් එක් කාරක සභාවට මන්ත්‍රීවරු 16 දෙනෙක් පත් වෙනවා. පොදු ව්‍යාපාර කාරක සභාව, මුදල් පිළිබඳ කාරක සභාව සහ අප නියෝජනය කරන රාජ්‍ය ගිණුම් කාරක සභාව ඒවායි. මෙහිදී රාජ්‍ය ගිණුම් කාරක සභාවට පැවරෙනුයේ සුවිශේෂී කරුණක් කාර්යයක් ඉටු කිරීමටයි. ඒ තමයි ජාතික අයවැයෙන් මධ්‍යම රජයේ, පළාත් සභා, පළාත් පාලන ආයතන යනාදි සියලු ස්ථර වල රාජ්‍ය ආයතනවලට ලැබෙන මුදල් මහජනතාවගේ සුබ සිද්ධිය, රටේ සංවර්ධනය අපේක්ෂා කරන අයුරින්ම වියදම් සිදු කොට තිබේ දැයි සොයා බැලීමයි. ‍එසේ නොමැති නම් ඒවාට ඇති අභියෝග පිළිබඳවද පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීම අපේ වගකීමයි. මෙය තමයි අප ගැන කියන්න තියෙන පුංචිම විග්‍රහය.

එතකොට රාජ්‍ය ගිණුම් කාරක සභාවේ ඉතිහාසය කොහොමද?

ශ්‍රී ලංකාවේ පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිට මේ දක්වාම පාර්ලිමේන්තුව තුළ මේ කාරක සභාව ක්‍රියාත්මක වී තිබෙනවා. අපේ රටට රාජ්‍ය ගිණුම් කාරක සභාව ආවේ 1923 ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිටයි. 1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව 2015 අගෝස්තු 16 තෙක් ක්‍රියාත්මක 7 වැනි පාර්ලිමේන්තුව දක්වාත් එදා සිට අද දක්වාත් ක්‍රියාත්මක 8 වැනි පාර්ලිමේන්තුවේත් මේ සභාව පිහිටුවා තිබෙනවා.

ගිණුම් කාරක සභාවේ ප්‍රධාන කාර්ය වන්නේ කුමක්ද?

ජාතික අයවැයෙන් ඒ ඒ රාජ්‍ය ආයතනවලට ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, කථානායක කාර්යාලය, විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල, පළාත් සභා, විෂයන් වලට අයත් ආයතන, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාල යනාදී ආයතන 840කට මුදල් වෙන් කිරීම් සිදු කරනවා. මේ ආයතන ජනතාවගේ සුබ සාධනය, සංවර්ධනය සඳහා විවිධ වැඩසටහන්, ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. මේවා මනා මූල්‍ය කළමනාකරණයක් ගිණුම් තැබීමක් සහිතව සිදු කරනවාද? නැද්ද? යන්න පිළිබඳව සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරිමයි අපේ කාර්යය. එය සුළුපටු කරුණක් නොවේ. රාජ්‍ය ආයතන ගොඩක් තිබෙනවා. ඒවා එකින් එක සොයා බලා විගණකාධිපතිවරයාගේද නිර්දේශ ලබා ගනිමින් අප වෙත වාර්තා වූ විට නැවත සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමයි අපේ කාර්යය.

ඉතිහාසයේ පටන් කොපමණ ක්‍රියාදාමයක් මෙම කාරක සභාව ඉටු කර තිබේද?

ඇත්තටම රාජ්‍ය මන්ත්‍රණ සභා ක්‍රමවේදයේ පටන් මෙය ක්‍රියාත්මක වූවත් අප 1978 නව ව්‍යවස්ථාවෙන් පසු ස්ථාපිත කළ පාර්ලිමේන්තු ක්‍රමවේදය තුළින් මේ කාරක සභාවේ කටයුතු කොපමණ දුරට සිදුවේදැයි විමසා බලමු. 1978 සිට වසර 2015 දක්වා පාර්ලිමේන්තුවට ගිණුම් කාරක සභාවට වාර්තා ඉදිරිපත් කොට තිබුණේ රජයේ ආයතන 360ක් පමණයි. නමුත් 2015 සිට 2018 දක්වා රජයේ ආයතන 310ක් ගිණුම් කාරක සභාවට සිය ආයතන වල ගිණුම් වාර්තා ඉදිරිපත් කොට තිබේ.

පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිට 8 වැනි පාර්ලිමේන්තුව දක්වා මේ ක්‍රමවේදය ක්‍රියාත්මක වූවත් වඩාත් විනිවිදභාවයෙන් යුතු ගිණුම් තැබීමක් පිළිබඳව රාජ්‍ය ආයතන උනන්දු වී තිබෙන්නේ වසර 2015න් පසු බවයි අපට හැඟෙන්නේ. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

හරියටම හරි. ඔබ කියූ පරිදි 2015 වන විට අපේ ගිණුම් කාරක සභාවට වාර්තා සපයා තිබුණේ 64%ක් පමණයි. එය 2015 සිට ගත වූ අවුරුදු තුන තුළ 80% දක්වා වැඩි කර ගැනීමට අප සමත් වී තිබෙනවා. මෙය සංඛ්‍යාත්මකව ගතහොත් 25%ක වර්ධනයක්. ඉන් පැහැදිලි වන එක් කරුණක් වන්නේ රටේ රාජ්‍ය ආයතන සියල්ල තම තමන්ගේ ආදායම් වියදම් පිළිබඳව මනා දැක්මක් සහිතව ගණන් තැබීමක් පවත්වාගෙන යෑමට උනන්දු‍ වී ඇති බවයි. එය ජනතාවට පාර්ලිමේන්තු ක්‍රමවේදයෙන් බලාපොරොත්තු වන සේවාවක් ඉටු කිරීමක්ද වනවා යැයි අපට කියන්න පුළුවන්.

රාජ්‍ය ගිණුම් කාරක සභාවක රාජ්‍ය ආයතන වාර්තා සපයන්නේ කෙසේද?

රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් තිබෙන නිසා අපට එක් එක් ආයතනය ගැන විමසා බැලීමට පහසුම ක්‍රමය නව තාක්ෂණය ඒ සඳහා යොදා ගැනීමයි. ඒ අනුව අපි ඔන්ලයින් ක්‍රමයට නව තාක්ෂණය යොදා ගනිමින් ප්‍රශ්නාවලි පහක් යටතේ ඒ ඒ ආයතන වල ගිණුම් පිළිබඳව තොරතුරු ලබා ගන්නවා. මුලින්ම අපට ‍මේ අන්දමට ලබාගත් පිළිතුරු මඟින් ඒ ඒ ආයතන වල මූල්‍ය පාලනය පිළිබඳ යම් චිත්‍රයක් දක්නට ලැබුණා. අපි එය තවදුරටත් ඉදිරියට ගෙන යමින් මේ ආයතන තම කාර්යයන් පිළිබඳව වසර ආරම්භයේ ඉලක්ක ලබා වසර නිමාවන විට කොපමණ ප්‍රමාණයක් ඒවා ජයගත්තේ ද යන්න පිළිබඳ කාර්ය සාධනය මැන බැලෙන ප්‍රශ්නාවලියක්ද යොමු කළා. රජයේ මුදල් යනු මහජනතාවගේ මුදල්ය. මහජනතාව බදු වශයෙන් ගෙවන මුදල්ය. මේ මුදල් යොදා ගෙන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ජනතාවට ප්‍රතිලාභ අත්විය යුතුය. එය කොතෙක් දුරට සිදු වේ දැයි මැන බැලීමට හෝ රජයේ මුදල් වියදම් කිරීම පිළිබඳ පසු විපරම් කිරීමට, ඇගයීමට නිසි ක්‍රමවේදයක් හරි හැටි නැත. අප බලාපොරොත්තු වන්නේ එම හිඩැස පිරවීමටයි. ඒ නිසා රාජ්‍ය ගිණුම් කාරක සභාව වෙත මේ වන විට විශාල කාර්යභාරයක් පැවරී තිබේ.

එහිදී ඔබ හඳුනාගත් විශේෂ කරුණු මොනවාද?

ඇත්තටම සමහර රජයේ ආයතන මාස තුනකට වරක් නැතිනම් කාර්තුවකට වරක් රැස් විය යුතු විගණන කමිටුවක් රැස් වී නැහැ. නමුත් අප ගත් උත්සාහය සමඟ මේ වන විට එවැනි දුර්වලතා දුරුවෙමින් තිබෙනවා.

ඔබ ගත් උත්සාහයන් සමඟ රාජ්‍ය ආයතන වල ගිණුම් පිළිබඳව වැඩි උනන්දුවක් ඇති වී තිබෙනවා. එය අගය කරමින් ඔවුන් දිරිමත් කිරීමටත් ඇගයීම් සිදු කිරීමක් කළා නේද?

ඔව් අපි 2015, 2016, 2017 වසර වල හොඳම ගිණුම් වාර්තා ඉදිරිපත් කළ ආයතන ඇගයීමක් කළා.ඒ සඳහා අතිගරු ජනාධිපතිතුමාත් සහභාගී වුණා. මේ වසරේ පටන් අප ඇගයීම් කරන්නේ පසුගිය වසර ගණනාවක ගිණුම් පිළිබඳ වාර්තා නොවෙයි. අවසන් වූ වසරේ ගිණුම් වාර්තා සලකා බලයි. උදාහරණයක් ලෙස අපි වසර 2018 ගිණුම් වසරේ කටයුතු පිළිබඳ සොයා බලා 2019දීම ඇගයීම් පිරිනැමීමට බලාපොරොත්තු වනවා.

මේ අන්දමට මහජන මුදල් ජනතාවගේ බලාරොත්තු ඉටු වන වැඩ සඳහාම යොදා ගත්තා දැයි මැන බැලීම යහපත් කටයුත්තක් නේද?

අනිවාර්යයෙන්ම ඔව්. මහජනතාව වෙනුවෙන් සේවය කරන රජයේ ආයතන වලින් ජනතාව බලාපොරොත්තු වන සේවා ඉටු වුණා දැයි හෝ සංවර්ධනයේ ප්‍රතිලාභ ගම නගරයට ගලා ගියා දැයි විපරම් කිරීමට ක්‍රමවේදයක් නැහැ. අප ගන්නා උත්සාහය තුළ ඒ සඳහ නව ක්‍රමවේදයක් සොයා ගැනීමට හැකියි. එහිදී රටේ කවුරුන් පාලන බලයේ සිටියත් කාටත් වෙනස් කළ ‍නොහැකි ක්‍රමවේදයක් ගොඩනඟා ගැනීමයි අපේ අරමුණ. දැන් මේ ක්‍රියාත්මක ගණන් බැලීම් ක්‍රමවේදය අත්හදා බැලීමක් ලෙසයි සිදු කරන්නේ. එය ඉතා සාර්ථක ප්‍රතිඵල ළඟා කර දෙමින් සිටිනවා.

ඒ ගැන අපට සතුටුයි. මෙවන් සතුටක් ලැබීමට අපට ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය පටන් රටේ සියලු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා, පළාත් පාලන ඇතුළු සියලු රජයේ ආයතනවලින් ඒවායේ නිලධාරීන්ගෙන් ලැබෙන සහය ඉතා අගය කරනවා. එමෙන්ම අප කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ කැපවීම මේ උදාර වැඩපිළිවෙළට ශක්තියක් වී තිබෙනවා.

නව ක්‍රමවේදය ජාත්‍යන්තර ඇගයීමට ලක් වී තිබෙනවාද?

ඔව්, මේ වන විට අපට පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු ක්‍රමවේදය තුළට මෙවන් වැඩපිළිවෙළක් හඳුන්වා දීමට කටයුතු කරන්නේ කෙසේ දැයි පැහැදිලි කිරීමට අවස්ථාවක් ලැබී තිබෙනවා. නුදුරේදීම අපි මැලේසියාවේදී අප ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතන සේවා මැන බැලීමේ නව ක්‍රමවේදය පිළිබඳව එහිදී ඔවුන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එය ලැබූ ලොකු ජයක්.

ජයසිරි මුණසිංහ

අදහස්