සුදු ජූලිය හැමටම සෙතක් | සිළුමිණ

සුදු ජූලිය හැමටම සෙතක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් අද වන විට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනවා. තවත් පිරිසක් ජනපතිවරයා හා එක්ව සිටිනවා. තවත් පිරිසක් එජාපයට එක්වීමට සූදානමින් සිටිනවා. ඔබ අයත්වන්නේ මින් කවර කොටසටද?

මම තාම ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේයි. මේ පක්ෂයට බැඳිලා දැන් වසර පනහක්වෙනවා. 1969 වසරේදී විශ්ව විද්‍යාලයේදී ශ්‍රී.ල.නි.ප. ශිෂ්‍ය සංගමයට බැඳී ශිෂ්‍ය සභාවලට තරග කළා. එතැන් පටන් දිගටම මා රැඳී සිටින්නේ ශ්‍රී.ල.නි.ප. පක්ෂයේයි. මා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී නෑ. ඒත් අර කලින් හිටිය ස්ථාවරයේ යම් වෙනසක් වෙලා තිබෙනවා.

ශ්‍රී.ල.නි.ප. පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම්වලට ඔබ සහභාගි වෙන්නේ නෑ නේද?

ඔව්. ඒ රැස්වීම්වලට අපිට කැඳවීම් කරන්නේ නෑ. පසුගිය ඔක්තෝබර් මාසේ විධායකයත් ව්‍යවස්ථාදායකයත් අතර අර්බුදයක් ඇති වුණානේ. එහිදී විධායකය විසින් ගත් තීරණ ගණනාවක් හෘද සාක්ෂියට හදවතට එකඟව අපිට අනුමත කරන්න බැරි වුණා. ඒ ඇති වූ තත්ත්වය තුළ මා හිටියේ රාජ්‍ය ඇමැතිවරයෙක් ලෙසයි. ඒ වගේම ශ්‍රී.ල.නි.ප. උප නායක ගාල්ල දිස්ත්‍රික් නායක කොහොම වුණත් විධායකය ගත් තීරණ පිළිගත නොහැකි නිසා මා එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට ඒ අවස්ථාවේදී උදව් කළා. මා සමඟ තවත් කීප දෙනෙක් ඒ තින්දුව ගත්තා. එහෙත් එතනදීත් අපි දේශපාලන පක්ෂයක් හා එක් වුණේ නෑ.

ඒත් ඔබ ඇතුළු ශ්‍රී.ල.නි.ප. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනෙක් එක්වන බවට මාධ්‍ය මඟින් කළ වාර්තාව අසත්‍යයක්ද?

අද වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනාගතයක් ගැන හිතන්න බැරි තත්ත්වයකට පත්වෙලා ඉන්නවා. පක්ෂය විනාශ වෙමිනුයි යන්නේ. රට පුරා අපිට තිබුණු ශක්තිය දිය වෙලා ගිහින්. අපේ හිටපු ජ්‍යෙෂ්ඨ පිරිස පොහොට්ටුවට ගිහින්. එහි සාමාජිකත්වය ගත්තා. මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති වුණා.

මහින්ද මහත්තයා සමඟ පනස් ගණනක් පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගත්තා. ඒත් අපි ගියේ නෑ. රටේ ඇතිවූ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහායි අපි ක්‍රියා කළේ. එය අපි හදවතට එකඟව ගත් තීරණයක් අද ආපසු හැරිලා බලන කොට එදා අපි ගත් තීන්දුව නිවැරැදියි කියා හිතෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක ධුර ලබා දුන්නොත් එය බාර ගෙන දේශපාලනය කරන්න ඔබ සූදානම්ද?

අපිට වෙන විකල්පයක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීම්වලටත් අපි කැඳවන්නේ නෑ. ශ්‍රී ලංකා පක්ෂ ක්‍රියාකාරිත්වයෙන් අපි මිදලයි ඉන්නේ.

අපි පොහොට්ටුවට කොහොමත්ම යන්නේ නෑනේ. ඉදිරියට දේශපාලනය කරනවා නම් මිනිස්සු රැඳිලා ඉන්න තැන කොතනද බලන්න වෙනවා. රටේ ජනතාවගෙන් වැඩි පිරිසක් කැමති තැනටනේ යන්න ඕනෑ. රටේ දේශපාලන අනාගතය වගේම අපේ දේශපාලන අනාගතය ගැන හිතලා බලන්න ඕනෑ. ජනතා මනාපය තියන ජනතාව සමඟ වැඩ කළ හැකි පක්ෂයකට තමයි අපි එකතුවෙන්න ඕනෑ.

ඒ කියන්නේ ඉදිරියේදී ඔබ දේශපාලනය තෝරා ගන්නේ එක්සත් ජාතිකපක්ෂයෙන් කියන එකනේ.

ගමේ මිනිස්සුන්ගේ ඉල්ලීම තියෙන්නේ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියවෙලා තියන නිසා හොඳ ‍ෙද්ශපාලන තීන්දුවක් ගන්න කියන එකයි. ඒ ගැන හිතා බලමින් ඉන්නවා. ඉදිරි ජයග්‍රහණයක් සඳහා යනවා නම් එකතුවිය යුත්තේ එතනට තමයි.

ජනාධිපතිවරයා යළිත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සැරසෙනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

මරණ දඬුවම කියන්නේ යල්පැන ගිය එකක්. රටේ දැවෙන ප්‍රශ්නය එල්ලුම ගහ නොවේ. වෙනත් ප්‍රශ්න අමතක කරන්නද මන්දා මේ වගේ දෙයක් ඇදගෙන තියෙන්නේ. මරණ දඬුවම නියම වූ සෑහෙන පිරිසක් බන්ධනාගාරයේ ඉන්නවා. ඒත් එය වසර ගණනාවක් ක්‍රියාවට නැගුවේ නෑ. මම නම් පෞද්ගලිකව එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනවාට කැමති නෑ. මා එය අනුමත කරන්නේ නෑ. අපේ රට බෞද්ධ රටක්. අපිට මිනිසුන් එල්ලලා මරන්න බෑ.

මරණ දඬුවම පැනවීමෙන් අපරාධ අඩුකරගත හැකියැයි ඔබ විශ්වාස කරනවාද?

මගේ නම් එහෙම විශ්වාසයක් ඇත්තේ නෑ, මරණ දඬුවම් දුන්නා කියලා රටේ සිදුවන අපරාධ අඩුවෙන බ වට මගේ කිසිම විශ්වාසයක් නෑ. අප‍රාධ වළක්වන්නයි අපි ක්‍රියාත්මක වෙන්න ඕනෑ.

ආණ්ඩුවට එරෙහිව ජ.වි.පෙ. ලබන සතියේ විශ්වාසභංගයක් ගෙන එනවා. එතනදී ගන්නා තීරණය කුමක්ද?

ඒක ජනතා විමුක්ති පෙරමුණට තියන අයිතියක්. ආණ්ඩුව පලවා හැරීමට විශ්වාස භංග යෝජනා ගෙන ඒම විපක්ෂය සතු අයිතියක්. ජ.වි.පෙ. අපේක්ෂාව මේ විවාදයේ දී ආණ්ඩුව පතුරු ගැහීම වෙන්න ඇති. ජ.වි.පෙ. ට ආණ්ඩුව විවේචනය කිරීමට මේක හොඳ අවස්ථාවක්නේ. මම පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂය සමඟ ඉන්න මන්ත්‍රිවරයෙක් විදියටයි ක්‍රියා කරන්නේ.

මේ ජූලිය සුදු ජූලිය යැයි සහන පැකේජයක් ආණ්ඩුව ජනතාවට ලබා දී තිබෙනවා. ඒ ගැන ඔබ දරන මතය කුමක්ද?

බොහෝවිට අපි කතා කළේ කළු ජූලිය පිළිබඳවයි. දැන් උදාවෙලා තියෙන්නේ සුදු ජූලියක්. ජනතාවට නිදහස් සාමකාමි යහපත් ජීවන රටාවක් සහිත මිහිරි රටක් ලබාදීමටයි සුදු ජූලිය හඳුන්වා දුන්නේ. සමෘද්ධිලාභියාට, රාජ්‍ය සේවකයාට විශ්‍රාමිකයාට, දිළිඳු සහන ලබනට අයට මේ මඟින් දැවැන්ත ලෙස සහන ලබාදී තිබෙනවා. එය අගය කළ යුත්තක්.

තව මාස හතරකින් පමණ ජනාධිපතිවරණයක් පැවැත්වෙනවා. එ.ජා.ප. අපේක්ෂකත්වයට රනිල්, කරු, සජිත් ගැන මාධ්‍යයෙන් කතා වෙනවා. ඔබ හිතන්නේ මින් එජාප ජනපති අපේක්ෂයාට වඩාත්ම හොඳ කවුද?

දැනට මා ඉන්නේ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට සහාය දෙමින්. ජනපතිවරණයට කවුරු ආවොත් හොඳද කියා මට නම් කරන්න බෑ. අරයා එනවා මෙයා එනවා කියන ඒවා හදන්නේ මාධ්‍යයෙන්නේ.

මාධ්‍යයෙන් නම් හදනවා. අද අපේ මාධ්‍යයේ හැසිරීම බලන්න. ඔක්කෝම යන්නේ එකම පැත්කතට. මාධ්‍ය හැමෝගේම හොඳ පැති වගේම නරක පැතිත් දකින්න ඕනෑ. ඒත් එහෙම වෙන පාටක් පේන්න නෑ. ආණ්ඩුවේ අඩුපාඩු මාධ්‍යයෙන් කියනවා විනා මේ වසර හතර ඇතුළත කළ සංවර්ධන වැඩ මොකුත්ම කියන්නේ නෑ.

අද මේ රටේ මිනිසුන්ට බය සැක නැතිව ජීවත් වෙන්න පුළුවන්. ජනතාව විශාල නිදහසක් භුක්ති විඳිනවා. රටේ සංවර්ධනයට බොහෝ වැඩ සිදුවී තිබෙනවා. ජනපති - අගමැති එක්වී කරපු වැඩ ගැන මාධ්‍ය කියනවාට වඩා ඒ දෙන්නා අතර තියන ඇදකුද තමයි කියන්නේ.

කොච්චර ප්‍රශ්න තිබුණත් මේ ආණ්ඩුව රට තුළ සංවර්ධන වැඩ රැසක් කරලා තියනවා.

Comments