මෝදි සුනාමිය හා හේදුණු පවුල | සිළුමිණ

මෝදි සුනාමිය හා හේදුණු පවුල

මට මේ වෙලාවේ කනගාටු ඇතිවෙන්නේ ඉන්දියාවේ ශ්‍රීමතී ඉන්දිරා ගැන. ඉන්දිරාව නරක් කළෙත් මෙයා. ජවහල්ලාර් නේරුතුමාගේ දුහීතෘ. අගමැති වුණාම අපි හිතුවා මුළු භාරතයට ම නව යුගයක් උදා කරයි කියලා. කොහෙද, මෙහේ ආවා තුන්හතර පාරක්. මම දැනගත්තා වැඩේ ඉවරයි කියලා. මෙයා කරපු දේමයි එයා එහෙත් කළේ. පාර්ලිමේන්තු කාලේ මෙහෙත් දික් කළා; එහෙත් දික් කළා. හදිසි නීතිය දාලා පාලනය කළා.; එහෙත් කළා. මෙහේ පුතා කිට්ටු කරගත්තා; එයත් කළා. මෙහේ බෑනා කිට්ටු කරගත්තා; එහේ භන්ති ලාල්ව කිට්ටු කරගත්තා. මිනිහා සාතන් වගේ. මෙහේ වගේම දිරච්ච ලණු මිනිහත් එයාට දුන්නා.. මොකද වුණේ..මෙයාට ඉස්සරවෙලා එයාට වැදුණා.'

1977 රණසිංහ ප්‍රේමදාස පාර්ලිමේන්තුව දෙදරන්න කතාවක් කළේ එහෙම ය. ඔහු කතාව පටන් ගත්තේ 'මස්කෙලියේ දෙවෙනි මන්ත්‍රී, මේ කතා කරන්නේ කෙහෙල් වත්තේ ලැවරිය විකුණපු කොල්ලය' කියා ය.

එදා ප්‍රේමදාස තමන්ගේ කතාවෙන් ඉන්දියාවේ පවුල් පාලනය පළු ඇරියේය. පවුලකට නායකත්වයත් පාලනයත් උරුමකර දෙන පරවේණී ක්‍රමයට ඔහු පන්න පන්නා පහර දුන්නේ ය. එදා ඉන්දියාවේ පවුල් පාලනය එරට ජනයා ප්‍රතික්ෂේප කළේ යම්සේද ඊට අවුරුදු හතලිස් දෙකකට පස්සේ නැවත වතාවක් පිට පිටම ඉන්දියාව පවුල් පාලනය පෙරළා දමා දුම්රියේ තේ වික්ක කොල්ලාට භාරතය බාර දී තිබේ. ඉන්දියාව ලෝක ශිෂ්ටාචාරයේ තොටිල්ල යැයි ආචාර්ය ඒ. එල්. බෂාම් ලියා තිබේ.

ඒ ඉන්දීය තොටිල්ල පැදවීමේ හස්තය තවත් වතාවක් අගමැති නරේන්ද්‍ර අගමැති මෝදි වෙත ලබා දීමට කෝටි සංඛ්‍යාත ඉන්දියානුවෝ තීන්දු කොට තිබේ. ඒ අතර පවුල් පාලනය නැමති නෂ්ටාවශේෂ ගෝත්‍රිකත්වය පරාජය කරන්නට ඔවුන් තීන්දු කොට තිබේ.

2014 මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය ජයගත් විට බොහෝ දෙනා කීවේ 'මෝඩි සුනාමියක්' වගේ කියා ය. ඔහු පාරම්පරික පවුල් පාලනයක් ගෙන ගිය කොංග්‍රසය කරකවා අතෑරියේ ය. ‘මෝඩි’ දේශපාලන සුනාමියට හසු වූ ඉන්දීය කොංග්‍රස් පක්ෂය ඒ මැතිවරණයේදී ලද්දේ වාර්තාගත පරාජයකි.

එය දෙවන වරටත් මහා සුනාමියක් වී කොංග්‍රසය සෝදා හැරියේ මෙවර මැතිවරණයේදීය.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අැමති ආසනය වෙනුවෙන් තරග කරන ඉන්දීය ජාතික කොංග්‍රසයේ නායක රාහුල් ගාන්ධි භාරතීය ජනතා පක්ෂයේ අපේක්ෂිකා ස්ම්‍රිති ඉරානි (මහගෙඩ්ගර තුල්සි)ට පරාජය විය. පවුල් පාලනයෙන් පිරුණු කොංග්‍රසයෙන් ඉවත් ව භාරතීය ජනතා පක්ෂයට එක් වූ ගාන්ධිලා දෙදෙනා ම ජයගත්හ.

'පවුල්වාදය කරේ තියාගෙන ගියපු යුගය ඉවරයි. මේ නව සියවසක්. අලුත් පරිච්ඡේද ලියන සියවසක්. භාරතය පවුලක බූදලයක් නොවේ'

එහෙම කියන්නේ මැදිහත් විචාරකයෝ ය.

මෝදිගේ පළමු ධූර කාලයේ අවසන් කාර්තුවේ කිහිප විටක් ඔහු ලංකාවට ආවේය. එහෙම ආ අවස්ථාවේදී විපක්ෂය පැල් බැඳගෙන වාචාල කතා කීය.

'"ඉන්දියානු අග්‍රාමාත්‍ය මෝදි එනවා. එන්නේ වෙසක් බලන්න තොරණ බලන්න නෙවෙයි. කියන්නේ වෙසක් බලන්න කියලා තමයි. අපි කියනවා තමුන්නාන්සේලාට ඒ පාවා දීමට එරෙහිව මෝදි අගමැතිට පේන්න මුළු රට ම කළු කොඩිවලින් පුරවන්න."

(2017 මැයි 01 ගාලු මුවදොර පිටියේදී)

ඊට ම නොදෙවෙනි කතාවක් ගම්මන්පිල කලේය.

"වෙසක් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් පමණක් මෙරටට පැමිණෙන බව කිව්ව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහෙට ආවට පස්සේ හැසිරුණේ සහ ජනතාව ඇමතුයේ ඉන්දියාවට එක්වූ 30 වන ප්‍රාන්තය ශ්‍රී ලංකාව බව සිතාගෙනයි. බස්නාහිර හා දකුණේ පමණක් ක්‍රියාත්මක ගිලන් රථ සේවාව දිවයින පුරා ක්‍රියාත්මක කරන බවටත් වතුකරයේ නව නිවාස 10, 000ක් තනන බවටත් ජනතාවට පොරොන්දු දෙන්නටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ඇති අයිතිය හා ලංකාව පිළිබඳ තීන්දු තීරණ ගැනීමට ඔහුට ඇති බලය කුමක් කියලා අපි අහනවා. මෝදි අගමැතිවරයා දික්ඔය දී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දෙපසින් තබාගෙන ඉන්දීය අගමැතිවරයා ජනතාව ඇමතුයේ ඉන්දියාවේ 30වැනි ප්‍රාන්තයේ ජනතාව අමතන අකාරයෙන් බවත් දකුණු පසින් ලංකා ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා ද වම්පසින් එහි මහ ඇමැතිවරයා ද සිටින බව සිතමින් තමයි ජනතාව ඇමතුවේ."

(පා. ම. උදය ගම්මන්පිල 2017 මැයි 15 දින)

එහෙම තප්පු ලෑ විමල්ට, ගම්මන්පිලට කට උත්තර නැති වුණේ ඊට සති කිහිපයකට පසු මහින්දයි නාමලුයි දෙන්නම ඉන්දියාවට ගිහින් මෝදි මුණ ගැසුණු විට ය.

සුව සැරිය ගිලන් රථ සේවයට මෙරට ආරම්භ කරද්දී, එය ඉන්දියාවේ කුමන්ත්‍රණයක් බවත් මේ ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාව දැඩි අර්බුදයකට පාර කපන නිසා සුව සැරිය ගිලන් රථවලට ගල් ගැසිය යුතු බවත් කියා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හසුරුවන බළල් අත කවුරුන්දැයි අප අමුතුවෙන් කිව යුතු නැත.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සිද්ධියේ දී මෙන්ම මත්තල ගුවන් තොටුපළ සිද්ධියේ දී ද රාජපක්ෂ කල්ලිය හැසිරුණේ, ලංකාවේ පරම හතුරා ඉන්දියාව බවට ඒත්තු ගන්වමින් ය. නමුත් මහින්ද රාජපක්ෂ කල්ලිය දැන් හැසිරෙන්නේ ඉන්දියාව තරම් තමන්ට වටිනා වෙනත් රටක් නොමැති අයුරින් ය. මින් පැහැදිලි වන්නේ මහින්ද රාජපක්ෂ මෙන්ම ඔහු වටේ සිටින ගෝල බාලයන් ද කබරගොයා තලගොයා කර ගැනීමේ න්‍යායෙන් කටයුතු කරන බව පමණක් ය.

මහින්ද රාජපක්ෂලා එදා ඉන්දියාව ගැන කළ කී දෑ දැන් හැමෝට ම අමතක වී ඇති ආකරයක් දැක ගත හැකිය. එබැවින් ඒවා යළි සිහිපත් කර දීම වඩා හොඳ ය.

"ඉන්දියානු සමාගමට ලබා දීලා තියෙන පැට්‍රෝල් ටිකේ ලාභය කොහාටද යන්නේ; ඉන්දියාවට. ඒ කියන්නේ අපේ පොකට් එකෙන් අරගෙන ඉන්දියාවට දෙනවා. ඉන්දියානු ඇම්බියුලන්ස් සර්විස් එක මහා භයානක එකක්. ඒකෙන් ඇතිවෙන ඊළඟ ඇග්‍රිමන්ට්ස්වලින් අපිට පැහැදිළි වෙනවා මේ කරන්න යන වැඩපිළිවෙල තුළ මහා විනාශයකට රට යොමු වෙමින් පවතින බව. අපි ප්‍රාන්තයක් වෙයිද දන්නෙත් නෑ"

(හිටපු ජනාධිපති මන්ත්‍රී මහින්ද රාජපක්ෂ)

"ඇමෙරිකානුවන්, නෝර්වේජියානු ජාතිකයන්, යුරෝපීයයන් සහ ඉන්දියානු රෝ ඔත්තු සේවය මට විවෘතව ම විරුද්ධ ව කටයුතු කළා" යැයි මහින්ද රාජපක්ෂ මහතා, හොංකොං හි 'සවුත් චයිනා මෝනිං පෝස්ට්' පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක දී පැවසූ බව 2015 මාර්තු 13 වැනිදා 'ඉන්දියා ටුඩේ' පුවත්පත වාර්තා කර තිබුණි.

"ඉන්දියාවට අවශ්‍යව ඇත්තේ ද ශ්‍රී ලංකාව කැබලි කොට දකුණ එට්කා ගිවිසුම හරහාත්, උතුරු නැ‍ඟෙනහිර 'හනුමාන් පාලම' ඉදිකිරීම හරහාත් තම ග්‍රහණයට ගැනීමයි. අද ඉන්දියානු උවමනාව වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේනත් කටයුතු කරනවා. බටහිර අධිරාජ්‍යවාදය සහ ඉන්දියානු ව්‍යාප්තවාදය ආපසු හැරවීමට නොහැකි ලෙස ශ්‍රී ලංකාව තුළ දිගේලි වෙමින් තිබෙනවා"

(පා.ම. විමල් වීරවංශ - කළුතර නගර ශාලාවේ දී 2016 සැප්තැම්බර්)

එයින් නොනැවතුණු විමල් මෙහෙමත් කීවේය.

"බංගලිදේශය සහ ඉන්දියාව අතර පැවැති නිදහස් කුසලාන අවසාන ක්‍රිකට් තරඟයේ දී ලංකාවේ ක්‍රීඩාලෝලීන් ඉන්දියාව වෙනුවෙන් ජයපැන් බීව්වා. බංගලිදේශය කිසිදාක ශ්‍රී ලංකාවට දේශපාලනික ව අත පොවන රටක් නොවෙයි. බංගලිදේශයේ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ අශෝබන හැසිරීම් දෙස බලලා ඉන්දියාවට චියර් කළාට කමක් නැහැ. නමුත් අපේ රටට දේශපාලනිකව අත පොවන ඔත්තු සේවා සිටින ඉන්දියාව සමඟ එට්කා ගිවිසුම ගහන්න ඒ 'චියර් එක' යොදා ගන්න ඉඩ දෙන්න එපා. මේ අගමැතිතුමා, ඉන්දියාවට මේ රටේ සේවා ආර්ථිකය සම්පූර්ණයෙන් විවෘත කර දෙන එට්කා ගිවිසුම අතේ තියා ගෙන සිටින බව ද හොඳින් මතක තියා ගන්න."

(පා.ම. විමල් වීරවංශ 2018 මාර්තු 20)

ගෝත්‍රික උමතුව ඉහවහා ගියවිට කූඹියෙක් කොටියෙක් ලෙසත්, මාලුවෙක් කිඹුලෙක් ලෙසත් දකින්නට බැරිකමක් නැත.

2018 ඔක්තෝබර් මාසයේදී හිටපු ජනාධිපති රාජපක්ෂ අගමැති පදවියේ පිහිටුවන ලද මොහොතේ මෝදිගේ ආණ්ඩුව ශ්‍රී ලංකාවේ දේශපාලන හැඩගැසීම් කෙරෙහි අවධානයෙන් බලා සිටියේය.

"අපේ අසල්වැසි ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු තබමු. ශ්‍රී ලංකාවේ මෑත සිදුවූ දේශපාලන හැඩගැසීම් කෙරෙහි අපි අවධානයෙන් සිටිමු," යනුවෙන් එදා ඉන්දීය විදේශ අමාත්‍යංශය මගින් නිකුත් කරන ලද ප්‍රකාශනයක සඳහන් විය.

මහින්දලාගේ ආණ්ඩුවෙ අවසන් කාර්තුවේ ක්‍රියාකාරීත්වය මෝදිගේ ආණ්ඩුවේ ප්‍රසාදයට හේතු නොවීය. මෝදි පාලනය ආරම්භ වූ වකවානුවේ එවක ඇමැති කෙහෙලිය කීවේ කුමක්ද?

‘‘අපේ හිත් සැහැල්ලූයි. දැන් ඕනෑම ප්‍රශ්නයක් ගැන මෝදි අගමැතිවරයාට ස්වාධීන ව සහ ශක්තිමත් ව තීන්දු ගන්න පුළුවන්.’’කියාය, හැබැයි වැඩි දවසක් යන්න පෙර මෝදිගේ ආණ්ඩුව වහකදුරු විය.

යහපාලන ආණ්ඩුව පත්වීමෙන් පසු මෝදි සිය මිත්‍රත්වයේ දෑත් දිගු කළේය.

මහින්දවාදීන් සසළ වූයේ ඒ නිසාය. සුව සැරිය පවා රට ඉන්දියාවට පාවාදීමක් කියන නොසන්ඩාල මිත්‍යාව සමාජයට ගෙනාවේ ඒකය.

2019 මැතිවරණය ආසන්න වනවිට මෝදි ගැන තිබුණේ අමුතු චිත්‍රයකි. 2014 ජයගත් මෝදි ක්ෂණිකව ජනප්‍රිය වූයේ නැත. ඔහු ගත් ජනප්‍රිය නොවන තීන්දු නිසා ඉන්දියානුවන් බොහෝ පීඩාවට පත්වූහ. වරක් ඔහු මුදල් නෝට්ටු තහනමක් ගෙන ආවේය. මුළු ඉන්දියානුවෝ ම ඔහුට දෙමාපියන් සිහිකර බැන වැදුණු අතර 2015 පැවැති බිහාර් ප්‍රාන්ත මැතිවරණයේ මෝදි පරාජය විය. ආසන 243කින් සමන්විත බිහාර් ප්‍රාන්ත සභාවේ බහුතර බලය දිනා ගැනීමට එහි විපක්ෂ සන්ධානය සමත් වීය. ඔවුන් ආසන සංඛ්‍යාව 157ක් ගනිද්දී මෝදිගේ භාරතීය ජනතා පක්ෂය දිනාගත්තේ ආසන 77කි.

ලංකාවෙත් එහෙම විය.

මහ මැතිවරණය එක්සත් ජාතික පක්ෂය දිනද්දී, ඊට වසර කිහිපයකට පසු තිබූ ප්‍රාදේශීය සභා මැතිවරණය පොහොට්ටුව ජයගත්හ.

මෑත කාලීනව ඉන්දියාවේ මැතිවරණ සිතියම සහ ලංකාවේ මැතිවරණ සිතියම විපරම් කිරීම වටින්නේ රටවල් දෙකක් වුණාට මැතිවරණ ආශ්‍රිත හැසිරීම හරියට තැපැල් ඡන්ද ප්‍රතිපලයෙන් සමස්ත ප්‍රතිපලය කියවෙනවා වගේ නිසා ය.

77 කොංග්‍රසය පරාදය. භාරතීය ජනතා පක්ෂය දිනුම් ය.

77 ලංකාවේ එජාපය දිනුම්ය. ශ්‍රීලනිපය පරාද ය.

2004 කොංග්‍රසය දිනුම්ය. භාරතීය ජනතා පක්ෂය පරාද ය.

2005 එජාපය පරාදය ශ්‍රීලනිප සන්ධානය දිනුම් ය.

2009 කොංග්‍රසය දිනුම්ය. භාරතීය ජනතා පක්ෂය පරාදය.

2010 එජාපය පරාදය. ශ්‍රිලනිප සන්ධානය දිනුම් ය.

2014 කොංග්‍රසය පරාදය. භාරතීය ජනතා පක්ෂය දිනුම් ය.

2015 එජාපය දිනුම් ය..ශ්‍රිලනිප සන්ධානය පරාද ය

2019 කොංග්‍රසය පරාදය. භාරතීය ජනතා පක්ෂය දිනුම් ය.

එතකොට ලංකාවේ?.

'ඔහොම කීවට, මේ වෙලාවේ ආණ්ඩුව ඉන්නේ අමාරුවෙන්. ත්‍රස්ත්‍රවාදී ප්‍රහාරය නිසා හෙල්ලිලා'

එහෙම කියන අයට දෙන්නට උත්තර බොහෝ තිබේ. ඉන්දියාවෙත් මරාගෙන මැරෙන ප්‍රහාර පසුගිය දිනවල සිදුවිය. ඊටත් වඩා, ආරක්ෂාව ගැන අංක 1,2,3 සියල්ල ම වෙන් කළ අමෙරිකාවේ එවන් ප්‍රහාර වලින් පසු මැතිවරණවල ප්‍රතිඵල කියවා බැලීම වටී.

2000 ජනාධිපතිවරණයේදී ජෝර්ජ් බුෂ් දිනන්නේ නූලෙන් ය. එහිදී ප්‍රතිවාදී අල්ගෝර් සීයට 48.4ක් ගනිද්දී බුෂ් ගන්නේ සීයට 47.9කි. යාන්තමට බුෂ් ගොඩ ගියේ අතින් ගණන් කරපු නිසා ය. එහෙත් අමෙරිකාවේ බිහිසුණු ම ප්‍රහාරය එල්ල වූ 2001න් පසුව 2004 ජනාධිපතිවරණයේදී බුෂ් ප්‍රතිවාදී කෙරීව පරාජය කරන්නේ සියයට 50.7ක් වැඩි ඡන්ද ලබමිනි.

1992 ක්ලින්ටන් දිනන්නේ සීයට 43ක ප්‍රතිශතයකිනි.1993 දීත් ලෝක වෙළඳ මධ්‍යස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. ඒ වෙලාවේ අමෙරිකාවේ ජනාධිපති ක්ලින්ටන් ය. 1993 ප්‍රහාරයෙන් පසුව ක්ලින්ටන්ට චෝදනා දසතින් ම ආවේය. ආරක්ෂාව ගැන අතිශය සංවේදී අමෙරිකාව එහෙම හිතපු එක හරි ය. ඒ මදිවට ක්ලින්ටන්ට කාන්තා චෝදනාත් ආවේය; 1996 ජනාධිපතිවරණය ආවේ ය. චෝදනා කිසිවක් නැතිව 92 සීයට හතලිස් තුනක් පමණක් ගත් ක්ලින්ටන් 96දී චෝදනා කප්පරක් තිබියදී සීයට 49ක් ඡන්ද ගෙන දෙවැනි වරටත් ජනපති විය. ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වූ ප්‍රංසයේත්, නවසීලන්තයේත්, ඕස්ට්‍රේලියාවේත්, රුසියාවෙත් වුණේ ඒක ම ය.

එතකොට ඉන්දියාවෙත් අමෙරිකාවෙත් මිනිස්සු හෙල්ලුණේ නැත. ආණ්ඩුව රැකගෙන ස්ථීර සුරක්ෂිතතාවක් හදන්න ඔවුන් කැපවූහ.

ලංකාවේ තව මාස කිහිපයකින් මැතිවරණය පැවැත්වේ. උත්තරය බලාගන්නට පිළිවන.

මානාභරණ

Comments