මන්ත්‍රීතුමා මොනවද කරන්නේ | සිළුමිණ

මන්ත්‍රීතුමා මොනවද කරන්නේ

සැබෑ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නම් ඔහු ජනතාවක් නියෝජනය කරන්නෙක් විය යුතුය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මෙවැනි සැබෑ මහජන නියෝජනයක් ලැබුණේ සර්වජන ඡන්ද බලය ලැබීමත් සමඟය. පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වීමට බොහෝ දෙනා කැමැත්තක් දැක්වුවද, එය ලෙහෙසි-පහසු කටයුත්තක් නොවේ. කොතරම් මිල-මුදල් විය-පැහැදම් කිරීමේ හැකියාව තිබුණත් සිය පළාතේ ජනතාවගේ ආශීර්වාදය නොතිබුණේ නම් හෝ ජනතාවගේ විස්වාසය නොතිබුණේ නම් ඔහුට හෝ ඇයට පාර්ලිමේන්තු වරප්‍රසාද ලැබීමේ අවකාශය අහිමි වෙයි.

විටින් විට පැනනැ‍ඟෙන ප්‍රශ්න හමුවේ පාර්ලිමේන්තුවේ සිදු වන බොහෝ දේ, ඒ මහජන නියෝජිතයන් ගන්නා තීන්දු තීරණ ජනතාවට අතිශයින්ම වැදගත් විය. එවන් අවස්ථාවල පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ මෙසේ ජනතාව විසින් තෝරා පත් කරගන්නා ඒ ඒ නියෝජිතයන්ගේ ක්‍රියාකාරිත්වය මතය. ඒ නිසා ජනතාවට තම ස්වාධිපත්‍යය ක්‍රියාත්මක කිරීමේ මේ ආයතනයට ජනතාව විසින් නියෝජිතයන් පත් කරනු ලැබූයේ මේ උත්තරීතර බලය ඔවුන් විසින් ඒ අයුරින්ම සුරකීවිය යන විශ්වාසයෙනි.

මේ දිනවල අපේ පාර්ලිමේන්තුව ගැන බොහෝ දෙන විවිධ මත ප්‍රකාශ කරති. එසේම ඒවා පිළිබඳ සමාජයේ විවිධ සංවාද ඇති වේ. ඔවුන් කරන - කියන දේ පිළිබඳ ගුණදොස් දකින්නද, වර්ණනා මෙන්ම චෝදනා ඉදිරිපත් කරන්නද ජනතාවට අයිතියක් ඇත්තේ මේ මන්ත්‍රීන් පාර්ලිමේන්තු යවන්නේ මහජනතාව වන බැවිනි. එදා පාර්ලිමේන්තුවේ වාද-විවාද ගැන අවධානයෙන් නොසිටි බොහෝ දෙනා අද මේ වාද විවාදන් නැරඹීමට වඩාත් උත්සුක වන්නේ තමන් විසින්ම පත් කරගත් මේ ජනතා නියෝජිතයන් එක්රැස්ව ගන්නා තීන්දු-තීරණ දැනගැනීමටය. මේ අතර පාර්ලිමේන්තුවේ සමහර කටයුතු ජනතාව දැඩිව ප්‍රතික්ෂේප කරන්නේ එසේ කිරීමට ඔවුන්ට අයිතියක් ඇති බැවිනි. 225 දෙනකුගෙන් සංයුතියෙන් සමන්විත වන අපේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය හා විපක්ෂය තුළ පක්ෂ කිහිපයක්ම නියෝජනය කරන්නේය. මෙහි ඇමැති, නියෝජ්‍ය රාජ්‍ය ඇමැති, පක්ෂ විපක්ෂ නායකවරුන් හැරුණු කොට අනෙකුත් මන්ත්‍රීන්ගේ භූමිකාවද සුළු-පටු නොවන්නකි.

සිය පළාත නියෝජනය කරමින් මන්ත්‍රීවරයකු ලෙස පත් වීමට පෙර සිටම සමාජ සේවයේ යෙදී සිටි යමකු මන්ත්‍රීවරයකු ලෙස නාම යෝජනා ලැබ ඡන්දෙන් දිනා පාර්ලිමේන්තුවට පත් වූ පසු ඔහු පාර්ලිමේන්තුවේ ජනතාවගේ මහජන නියෝජිතයා වනවා පමණක් නොව, එතැන් සිට ඔහු පාර්ලිමේන්තු වරප්‍රසාදවලට යටත්ව ඔහුට පාර්ලිමේන්තුව තුළ යම් යම් වරප්‍රසාද හිමි වෙයි. එසේ අන් අයට නොදවැනි වරප්‍රසාදවලින් යුතු වන්නේ මන්ත්‍රී තනතුරට පත්වීමෙන් අනතුරුව ඔහුට ඉටු කිරීමට ඇති වගකිම් නොපිරිහෙළා සර්ව සාධාරණව ඉටු කරන්නය. පාර්ලිමේන්තුව මාසයේ සැම දිනකම පවත්වන්නේ නැත.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ කටයුතු පැවැත්වෙන්නේ මාසයට දින 8ක් පමණි. ඒ නිසා අත්‍යවශ්‍ය නොවන දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ මන්ත්‍රීවරියක පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණීමේ අවශ්‍යතාවක් ඇති නොවේ. එහෙත් වාර්ෂික අය-වැය විවාදවලදී පමණක් නොව, යම් යම් හදිසි අවස්ථාවන්හිදී පමණක් මේ මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවට පැමිණ සිය සහභාගිත්වය දැක්විය යුතුය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකගේ කාර්යභාරය පාර්ලිමේන්තුවේ කිසිදු ලියැවිල්ලක් ලියවී නැත. එසේ වුවත් සාම්ප්‍රදායිකව පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්ට අසීමිත කාර්යයක් පැවැරී ඇත්තේය. පාර්ලිමේන්තු රැස්වීමක් පැමිණෙන දිනයක මන්ත්‍රීවරුන්ගේ පැමිණීම අනිවාර්යය. මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට දිනකට රැස්වීමකට සහභාගි වීම වෙනුවෙන් රු. 2500ක දීමනාවක් හිමි වෙයි. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු කාරක සභාවකට පැමිණෙන්නේ නම් ඒ සඳහාද ඔහුට රු. 2500ක දීමනාවක් ලැබෙයි. ඊට අමතරව කාර්යාල දීමනාව වශයෙන් මසකට රු. 10,000ක්ද, සංග්‍රහ දීමනාව ලෙස රු. 1000ක්ද, රියැදුරු දීමනාව ලෙස රුපියල් 3500ක්ද, ඉන්ධන දීමනාව ලෙස අදාළ ප්‍රදේශයේ සිට තීරණය වන ලීටර ප්‍රමාණයක්ද (කොළඹ සිට පැමිණෙන්නේ නම් ඉන්ධන ලීටර 283.94ක්, කළුතර සිට පැමිණෙන්නේ නම් ඉන්ධන ලීටර 355.58ක්) හිමි වෙයි. දුරකතන දීමනාව, කාර්ය මණ්ඩල දීමනාව මෙන්ම තැපැල් දීමනා ලෙස දීමනා රැසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හිමි වන අතර, ඔවුන්ට පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසුද පාර්ලිමේන්තු වරප්‍රසාද රැසක් හිමි වෙයි. වෛද්‍ය සේවාව, පුස්තකාල පහසුකම්, කායවර්ධන පහසුකම්, සංග්‍රහ කටයුතු ඇතුළු සුවිශේෂ වරප්‍රසාද රැසක් හිමි වන්නේ ඔහු විසින් කළ යුතු වූ කටයුතු රැසක් ඉටු කිරීම වෙනුවෙනි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හිමි වැටුප හා දීමනා සංසන්දනයේදී පාර්ලිමේන්තු සහභාගිත්වය වෙනුවෙන් ලැබෙන රු. 2500 දීමනාව සොච්චම් මුදලක් වුවත් ඔවුන්ගේ පැමිණීම මෙන්ම සහභාගිත්වය එසේ සොච්චම් මුදලකට සීමා කළ නොහැකිය. පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු බහුවිධ කාර්ය රැසකගෙන් යුතු පුද්ගලයකු වන අතර, ඔහුගේ කාර්යය ගමේ දේශපාලන වැඩකට, නැති නම් සමාජ සේවා කටයුතුවලට පමණක් සීමා නොවන්නකි. ඔහු ගමේ පාරේ සිට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ කාර්යභාරය දක්වා කාර්ය රැසකට සිය කාලය කැප කළ යුත්තේය.

මේ අනුව ඉකුත් පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවෙන් අනතුරුව රටේ උද්ගත වූ තත්ත්වය මත පාර්ලිමේන්තුව කැඳවූ අවස්ථාවේ සභා ගර්භයේ මන්ත්‍රී සහභාගිත්වය රටේ ජනතාව ඉහළින්ම අපේක්ෂා කළද එහිදී ඔවුන්ගේ සහභාගිත්වයේ යම් යම් අඩුපාඩු දිස් වීම රටේ ජනතාව අතර උණුසුම් කතාබහකට මුලපුරන්නට හේතු වූ කරුණක් විය. අප්‍රේල් 21 ප්‍රහාරවලින් අනතුරුව එලෙස පාර්ලිමේන්තුව හදිසියේ රැස් වූයේ රටේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු හදිසි පියවර රැසක් සාකච්ඡා කිරීමට හා හදිසි නීති විවාද කිරීම වෙනුවෙනි. ඒ අප්‍රේල් මස 23, 24 හා මැයි මස 7, 8 හා 10 වැනි දිනවලය. සාමාන්‍ය පටිපාටියට අනුව පාර්ලිමේන්තුව යළිත් ආරම්භ වීමට තිබුණේ මැයි මස 7 වැනිදාය. එහෙත් ඊට දින කිහිපයකට කලින් පාර්ලිමේන්තුව හදිසියේ කැඳවීම හේතුවෙන් අප්‍රේල් මස 23 වැනිදා පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් 39 දෙනකු පමණ සභා ගර්භයට පැමිණි සිටියේ නැත. ඊට පසුදින එනම් අප්‍රේල් 24 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාගෙන් 49 දෙනකු පාර්ලිමේන්තුවට වාර්තා කර තිබුණේ නැත. මැයි මස 7 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 46 දෙනකු පමණ සභාවට වාර්තා කර නොතිබූ අතර, මැයි මස 8 වැනිදා 65 දෙනකු පමණ පැමිණ සිටියේ නැත. පාර්ලිමේන්තුවේ හදිසි නීති විවාදයේ අවසන් දිනය වෙන්ව තිබුණේ මැයි 10 වැනිදාටය. එදින පාර්ලිමේන්තු සභා ගැබට 225 දෙනාගෙන් 96 දෙනෙකු පමණ වාර්තා කර තිබුණේ නැත (සංඛ්‍යාලේඛන පාර්ලිමේන්තු වෙඩ් අඩවියෙනි). සාමාන්‍ය දිනයක වුවද පාර්ලිමේන්තු සභාගර්භයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැමිණීම සිදු වන්නේ විටින් විටය. සභාව ආරම්භයේ යම් ප්‍රමාණයක් සිටියත්, ඉන් අනතුරුව සභාවේ රැඳී සිටින්නේ අදාළ මාතෘකාවට අදහස් දක්වන මන්ත්‍රීන් ඇතුළු කිහිප දෙනකු පමණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු යම් ඡන්ද බල කොට්ඨාසයකින් තේරී පත් වුවද ඔහුගේ කාර්යභාරය සිය ඡන්ද බල ප්‍රදේශයට සීමා නොවන්නකි. ඔහු තම ඡන්ද දායකයන්ගෙන් සමන්විත ප්‍රාදේශීය තලයේ සිට ආණ්ඩුවේ ප්‍රතිපත්ති නිර්මාණය වන තැන දක්වා මහජන අදහස් රැගෙන ඒමටත්, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ජනතාව වෙත ගෙන යෑමටත් කටයුතු කළ යුතුය. බොහෝ විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මේ කටයුතු කරන්නට පාර්ලිමේන්තුවේ කාලය අවශ්‍ය තරම් නොලැබෙන්න පුළුවන. ඒ අලුත් ප්‍රශ්න නිරන්තරයෙන් උද්ගත වීමත්, ඊට පාර්ලිමේන්තුවේ කාලය වෙන් කරන්න සිදු වීමත් හේතුවෙනි. පසුගිය මැයි 7, 8, 9,10 යන දින හතරේ පාර්ලිමේන්තු කාලය සම්පූර්ණයෙන් වෙන් වූයේද රටේ මතුව ඇති ආරක්ෂක තත්ත්වය වෙනුවෙන් මහජන නියෝජිතයන්ගේ අදහස් මතු කර ලීමටය. මෙහිදී රටේ උද්ගතව ඇති හදිසි තත්ත්වය වෙනුවෙන් යම් යම් සාධනීය කරුණු, ගත යුතු තීරණ ගැන පාර්ලිමේන්තුවේ සිය අදහස් මතු කිරීමේ වගකීම මේ මහජන නියෝජිතයන්ට ඇත්තේය. එහෙත් ඒ කටයුතු හුදු නන් දෙඩවීමක් පමණක් නොවිය යුතු අතරම වාදභේදාදියෙන් තොරව සිදු කිරීමේ වගකීමද මේ මහජන නියෝජිතයන්ට ඇත. ජනතාවගේ අපෙක්ෂාවද එයමය. එහිදී පුහු දෙබස් හරඹයන්ගෙන් තොර වැදගත් සංවාද දක්වා යෑමට හොඳ සූදානමකින් ඊට මුහුණ දිය යුතුය.

පාර්ලිමේන්තුවේදී හුදෙක් සුපුරුදු රැස්වීම්වලට සහභාගි වීම පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරයට අයත් නොවේ. ස්ථාවර නියෝගවලින් ආණ්ඩුවේ වැඩ-කටයුතු සුපරීක්ෂා කිරීමේ කාර්යයද මන්ත්‍රීවරයකුගේ වැඩ කොටසට අයත්ය. නව නීති සම්පාදනය, පවතින නීති සංශෝධනය, රාජ්‍ය මූල්‍ය පාලනය හා වෙන් කිරීම්, රජයේ ආයතනවල වගවීම් ආරක්ෂා කිරීම මෙන්ම අධීක්ෂණය කිරීම මේ කාර්යභාරයන් අතරට ඒ වන්නකි. පාර්ලිමේන්තුව තුළදී සිය ඡන්ද දායකයන්ගේ ප්‍රශ්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම, පක්ෂ නායක රැස්වීම් මෙන්ම විශේෂ කාරකසභා, ආංශික අධීක්ෂණ කාරක සභා, අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා, ව්‍යවස්ථාදායක කාරකසභා මෙන්ම විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභා අවස්ථාවලට සම්බන්ධ වීම මෙන්ම විදේශීය සමුළුවලට සහභාගි විම ඇතුළු කාර්ය රැසක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුගේ කාර්යභාරයට ඇතුළත් වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ මේ ජනතා කේන්ද්‍රය අභිලාශ ඉටු කරගැනීමට නම් ඔහු පාර්ලිමේන්තුවට පැමීණීම අත්‍යවශ්‍ය වෙයි. ඒ විනාඩියකටද, නැති නම් පැයකටද යන්න නිශ්චිතව ලියවී නැත. මෙහිදී තමන් පාර්ලිමේන්තුවේ ගත කරන කාලය තීරණය විය යුත්තේ රටේ කාලීන අවශ්‍යතාව අනුවය. එහෙත් ඒ අරමුණු කොතෙක් දුරට ඉටු වේදැයි ඔවුන්ට වරම දුන් ඡන්දදායකයන් තේරුම් ගත යුතුය. ඉදිරියේ එළඹෙන්නේ මැතිවරණ වසරකි. මේ නිසා ඡන්දදායකයන්ට හිතන්න කරන්න කරුණා-කාරණා රැසක් ඉතිරි වී ඇත්තේය.

Comments