එදා සුදු වෑන්වෙනුවටඅදතිබෙන්නේ කොළ වෑන්! | සිළුමිණ

එදා සුදු වෑන්වෙනුවටඅදතිබෙන්නේ කොළ වෑන්!

රටක් සංවර්ධනය කිරීමට වෘත්තීය නිපුණතාව ඉතා වැදගත්. ඊට ඔබ අමාත්‍යාංශය උර දෙන්නේ කෙසේද?

අපේ ශ්‍රම බළකායට වෘත්තීය පුහුණුව දීම විශාල අභියෝගයක් බවට පත්ව තිබෙනවා. ඒකට හේතුව, දැනට අපේ වෘත්තීය පුහුණු ආයතනවලට බඳවාගත හැක්කේ ලක්ෂයක පමණ පිරිසක්. වසරකට තවත් හරියටම ලක්ෂයක පමණ පිරිසක් එළියේ ඉතිරි වනවා. ඔවුන්ට අපේ රටේ වෘත්තීය පුහුණුවක් ලැබෙන්නේම නෑ. පෞද්ගලික අංශයේත් රාජ්‍ය අංශයේත් තව ආයෝජන රැසක් සිදු වන්න ඕනෑ. මේ අභියෝගය ජය ගත හැකි පරිදි තිබෙන පාඨමාලා නවීකරණය කිරීම හා අලුත් පාඨමාලා හඳුන්වාදීමත්, මේ පාඨමාලා හදාරා සහතික ලබාගන්නා අය රැකියා වෙළෙඳපොළට සම්බන්ධ කිරීමත් තමයි දැන් අප කරන්නේ. ජාතික වශයෙන් මහා පරිමාණ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන රැසක් දැන් ඇරඹෙමින් පවතිනවා. ඔරුගොඩවත්ත, හිඟුරක්ගොඩ, මහර, කිලිනොච්චි, වගේ ප්‍රදේශවල ඒවා ඉදි වෙනවා. ලංකාව පුරා තිබෙන කාර්මික විද්‍යාල නවීකරණය කෙරෙනවා. දේශීය වෙළෙඳපොළත් විදේශීය වෙළෙඳපොළත් ඉලක්ක කරගනිමින් වෘත්තීය පුහුණුව ලබා දෙනවා.

වඩු, පෙදරේරු, පෑස්සුම් වගේ පාඨමාලාවලට සිසුන් සොයාගැනීම තරමක් අසීරු බව උපදේශකවරුන් පවසනවා. මෙවැනි තත්ත්වයක් ඇතිව තිබෙන්නේ ඇයි?

මේ සමහර පාඨමාලා නවීකරණය විය යුතුමයි. උදාහරණයක් විදියට වඩු කාර්මිකයෙක් කියන්නේ මැෂින් ඔපරේටර්වරයෙක්. අද ගෘහ භාණ්ඩයක් හදනවා කියන්නේ ඒක තනිකරම කරන්නේ මැෂින් එකකින්. කපලා, ඔපදාලා ලී බඩුවක් හදන්න වෘත්තීය පුහුණුවකින් උගන්වන්න දෙයක් නෑ. ඒක අර පරණ වඩුබාසුන්නැහැටම පුළුවන්. අප උගන්වන්න ඕනෑ දැව කර්මාන්තයේ උපරිම තාක්ෂණයයි. පෙදරේරු කර්මාන්තයත් එහෙමයි. නූතන තාක්ෂණයත් සමඟ යන ආකර්ෂණීය දේවල්වලට ළමයින් එනවා. මාතර දඩල්ලේ ඇරඹි එවැනි පාඨමාලාවකට විශාල පිරිසක් ආවා. අනෙක් කරුණ මේ වෘත්තීන්වලට තිබෙන සමාජ නොපිළිගැනීම. ඒක සමාජ ආකල්ප ප්‍රශ්නයක්. මෙය වෙනස් කරන්න අප ප්‍රචාරක ව්‍යාපාරයක් අරඹා තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ සිටින කණ්ඩායම මෙවර අය-වැය ඡන්දය වර්ජනය කළා. ඊට හේතුව විදියට ඔබ දකින්නේ කුමක්ද?

ඒ අය පසුගිය කාලයේ තිබුණු දේශපාලන කලබගෑනිය නිසා ආණ්ඩුවෙන් ඉවත් වුණත් මේ අයවැය සාධනීය ලෙස දකිනවා කියලයි මා හිතන්නේ. ඒ වගේම තමයි ඒ පිරිස ඔය මහින්ද රාජපක්ෂ මහත්තයලත් එක්ක දේශපාලන මගඩි නැටුමකට සූදානම් නැති බවයි පෙන්නුවේ. ඒ මන්ත්‍රීවරුන් ඉදිරි කාලයේදි ප්‍රගතිශීලි දේශපාලන තීන්දු තීරණවලට අවතීර්ණ වේවි කියා මා සිතනවා. එහි පෙරනිමිති තමයි ඔය පෙන්නුවේ.

අද රට පත්ව ඇති තත්ත්වය පිළිබඳ ආණ්ඩුවේ ඇමැතිවරුන් චෝදනා කරන්නේ දින 51 මහින්ද ආණ්ඩුවටයි. ඒ චෝදනා සාධාරණයි කියා ඔබ හිතනවාද?

අපේ ආර්ථි‍කයේ ව්‍යූහාත්මක ප්‍රශ්න ආණ්ඩුවක දෙකක ප්‍රශ්න නොවේ; හැට හැත්තෑව දශකවලදී ඇති වූ ඒවා. අපේ ආණ්ඩුවෙත් යම් යම් ගැටලු තිබෙනවා. 2015දී ජනතාවට ඉදිරිපත් කළ ආචාරධාර්මික පදනම සම්පූර්ණයෙන් ම ඉටු කරගැනීමට අපට බැරි වුණා. ඒත් අපි ඒක හැංගුවේ නෑ. වැරදිකාරයන් ආරක්ෂා කරලා නෑ. මේ ආණ්ඩුවේ වැරදි ගැන විපක්ෂයත් කතා කළා, ආණ්ඩු පක්ෂයත් කතා කළා. ඒක තමයි වෙනස. හැබැයි දින 51 ආණ්ඩ‍ුවේ වෙච්ච දේ ඊට වඩා බරපතළයි. ඇමරිකන් ඩොලර් බිලියනයක් අපේ රටින් පිටතට ඒ යුගයේදී ගලාගෙන ගියා.

ඇමෙරිකානු ඩොලර් බිලියනයක් ගලාගෙන ගිය කතාව මොකක්ද?

මේ දේශපාලන අස්ථාවරත්වය නිසා රටට එන්න තිබූ ආයෝජන නැති වුණා; කොටස් වෙළෙ‍ඳපොළ බිඳ වැටුණා. ගම්පෙරළිය වැඩසටහන ඒ අය නැවැත්තුවා. කුමන්ත්‍රණ ආණ්ඩුවේ පළමු පියවර තමයි ගම්පෙරළිය නැවැත්වීම. සංවර්ධනය අඩාළ වුණා. මේකේ පිරිවැය තවම ගණන් හදලා නෑ. රට විශාල වශයෙන් පස්සට ගියා. ඒකට කුමන්ත්‍රණ ආණ්ඩුව වග කියන්න ඕනෑ.

දින 51 ආණ්ඩුවට චෝදනා කරන්නේ එජාප ආණ්ඩුවේ බැරිකම වසාගන්න බවයි විපක්ෂනායකවරයා චෝදනා කරන්නේ...

ඉස්සර මේ රටේ සුදු වෑන් සංස්කෘතියක් තිබ්බා. එයින් කළේ ආණ්ඩුවට විරුද්ධ අය මරණය කරා රැගෙන යෑම. දැන් රෑට රෑට සුදු වෑන් එන්නේ නෑ. රෑටත් දවල්ටත් ලංකාව පුරා එකවර දුවන කොළ වෑන් ටිකක් තිබෙනවා, 1990 කියලා. ඒ තමයි ඉන්දීය ආධාර යටතේ ආරම්භ කරපු ගිලන් රථ සේවය. ඒ ගිලන් රථ මඟින් ජනතාව ජීවිතය කරා රැගෙන යනවා. ඒකාබද්ධ විපක්ෂයේ හෙංචයියන් කිව්වේ මේක රෝ ඔත්තු සේවයේ වැඩක් කියලයි; වෛද්‍යවරුන්, හෙදියන්, රියැදුරන් ගෙන්නන්නේ ඉන්දියාවෙන් කීවා; බිල්ලෝ මැව්වා. එදා ජනතාව මරණය කරා ගෙන-ගිය සුදුවෑන් වෙනුවට අද ජීවිතය කරා ගෙනයන කොළවෑන් තිබෙනවා.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ගත් තීරණ පිළිබඳව රජයේ ඇමැතිවරයකු ලෙස මොකද හිතන්නේ?

ජිනීවාවලදී ජාතිවාදය අවුස්සන්න විපක්ෂය සූදානම් වුණා; ඒ සඳහා කුමන්ත්‍රණකාරී ලෙස හැසිරුණා. ඒත් ආණ්ඩුව රටේ ස්වෛරීත්වය ජාතික අභිලාෂයන් ආරක්ෂා කරගෙන තමයි 2015 සිට මේ ජිනීවා ක්‍රියාවලියට මූණ දෙන්නේ. විපක්ෂය කිව්වේ මානව හිමිකම් කොමිසම දෙමළ ඩයස්පෝරාව අනුව නටනවා, ආණ්ඩුව ඒකට උඩගෙඩි දෙනවා, කියලයි. ඒක මේ සතියේ ‍අතේ පත්තු වුණා. අපේ රටේ මානව හිමිකම් රැකෙන එක ජිනීවාවලට නෙවෙයි, අපට හොඳයි. 2015න් පස්සේ බරපතළ මානව හිමිකම් කඩවීම් එකක්වත් වාර්තා වෙලා නෑ;

එතකොට දෙමුහුන් අධිකරණ යෝජනාවට මොකද වෙන්නේ?

අපේ ස්ථාවරය තමයි මේ ර‍ෙට් ප්‍රශ්න සම්බන්ධයෙන් නඩු අහන්නේ අපි, විදේශ අධිකරණවලින් අපේ ප්‍රශ්න විසඳන්න කොහොමවත් ඉඩ දෙන්නේ නෑ. යුද්ධය සම්බන්ධයෙන් මගේ අදහස අප දෙගොල්ලෝම ඔය පරණ කුණුබක්කි අවස්සන්න හොඳ නෑ. අප කවුරුත් හෘදයසාක්කියට අවංක වෙලා මෙතනින් ඉදිරියට පියවරක් හෝ යා යුතුයි.

 

Comments