කතා කළාට තවම ව්‍යවස්ථාවක් හදලා නෑ | සිළුමිණ

කතා කළාට තවම ව්‍යවස්ථාවක් හදලා නෑ

අධ්‍යාපනයේ නව වෙනස්කම් විය යුතු බවට රටේ විද්වතුන් ඇතුළු බොහෝ දෙනෙකුගේ මතයක් තිබෙනවා. එහෙම වැඩපිළිවෙළක් ක්‍රියාවට නඟන්න සූදානමක් තිබෙනවා ද?

ඇත්ත වශයෙන්ම පහුගිය අවුරුදු හතරහමාරේම අධ්‍යාපනයේ සෑහෙන වෙනස්කම් ප්‍රමාණයක් කළා. විශේෂයෙන්ම තිබූ දේශපාලන පත්වීම් වෙනුවට විදුහල්පතිවරුන් 4000ක් බඳවාගත්තා. අධ්‍යාපන පරිපාලන සහ ගුරු අධ්‍යාපන අංශයටද සුදුසුකම්ලත් විශාල පිරිසක් බඳවාගෙන පුහුණුවීම් ලබාදී අධ්‍යාපන පද්ධතියට යොමු කරලා තියෙනවා. ඒ සියලු බඳවාගැනීම් වූයේ කිසිදු දේශපාලන පක්ෂ බේදයකින් තොරවයි. ඒ වගේම වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනය ආරම්භ කොට එහි නියාමක වැඩසටහන් අවුරුදු දෙකක් තුළ සිදු කරමින් එය රටපුරාම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ යටතේ වෘත්තිය විෂයන් 26ක් හඳුන්වා දී දරුවන් වෘත්තිය අධ්‍යාපනයටද යොමු කිරීමටද කටයුතු කරනවා. වසර 30කින් සිදු නොකළ ගුරු මාරුවීම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා. ඒ විතරක් නොවේ, 'ළඟම පාසල හොඳම පාසල' යටතේ සෑම පාසලකටම භෞතික සහ මානව සම්පත් විශාල ප්‍රමාණයක් ලබාදී තිබෙනවා.

ඒ වගේම ජාතික අධ්‍යාපන ආයතනයෙන් විෂය මාලා වෙනස් කිරීමටත්, යාවත්කාලීන කිරීමටත් කටයුතු කරමින් සිටිනවා. ඒ යටතේ විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ විභාගය විෂයන් නවයේ සිට හය දක්වා අඩු කරන වැඩපිළිවෙළක් ආරම්භ කොට එහි මූලික සැලැසුම් සකස් කරමින් පවතිනවා. පසුගිය සමයේදී විභාග දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කළා. ඒ යටතේ එම දෙපාර්තමේන්තුව ඉදිරියේදී ඩිජිටල්කරණයට ලක් කිරීමටද සැලැසුම් කරනවා. ඒ වගේ දැවැන්ත වෙනස්කම් රාශියක්ම අපි පහුගිය කාලයේ සිදු කළා. තව තවත් විය යුතු බොහෝ වෙනස්කම් ඉදිරියේදී සිදු කරන බවත් කියනවා.

පාසල් දරුවන්ට ලබාදුන් නිල ඇඳුම් වවුචර්පත් වල මුදල් ප්‍රමාණය මදි බවට කාලීන චෝදනාවක් නැඟෙනවා...?

කිසිම අඩුවක් නැහැ. ඒක මේ මාෆියාවන් හදන කතා. මේ සියලු දේවල් ගැන මමත් මගේ අමාත්‍යාංශයේ පිරිසත් ප්‍රායෝගිකව අධ්‍යයනය කරලයි සිදු කර තිබෙන්නෙ. රට පුරාම තිබෙන ප්‍රධාන නගරවල වෙළෙඳසල්වල සාමාන්‍ය මිල ගණන් සන්සන්දනය කරලයි වවුචර් පත්වලට මිල ගණන් නියම කළේ. මෙවර වවුචර් පත්වල මිල ගණන් යම් ප්‍රමාණයකින් වැඩි කළා. හැබැයි හොඳම රෙදි නම් ටිකක් ගණන්. සාමාන්‍යයෙන් අඳින්න පුළුවන් හොඳ රෙද්දක් ඒ මිල ගණන්වලට ගන්න පුළුවන්. මහපු ඇඳුම් ගන්න නම් වවුචර්පත් මුදල් මදි වේවි.

ඉස්සර රෙදි බෙදා දීමේදී රෙදි කෑල්ල පැකට් කිරීමේ සිට සිදු වුණේ විශාල ගසා කෑමක්. මටත් එහෙම කරලා කෝටි 20ක 25ක මුදලක් සාක්කුවේ දාගන්න තිබුණා. නමුත් අපි කළ මේ හොඳ දේ ගැන කවුරුත් කතා කරන්නෙ නැහැ. අඩුම තරමේ වෘත්තිය සමිතිවත් මෙය අගය කළේ නෑනේ. අපිට හොඳ දෙයක් කරලත් අද බැණුම් අහන්නයි වෙලා තියෙන්නෙ. රෙදි බෙදා දෙන්න ගුරුවරුත් මොන තරම් මහන්සි වුණා ද? දින 51 කුමන්ත්‍රණකාරි ආණ්ඩුව ඇවිල්ල මුලින්ම කළේ වවුචර් පත් බෙදාදීම නතර කරපු එක. මම නැවතත් පත්වෙන කල් ඒ ආණ්ඩුවට දරුවන්ට වවුචර්පත් පමණක් නොවේ, පොත් ටිකත් බෙදාගන්න බැරි වුණා.

පසුගිය මස නව ඇමැති මණ්ඩලය පත් කරලා රජය පිහිටුවූවත් ජනතාවට දැනෙන වැඩපිළිවෙළක් දියත් නොවන බවක් පෙනෙන්න තියෙනවා. ඊට හේතුව කුමක් ද?

පසුගිය අවුරුදු තුනහමාරේදී වුණත් අපිට නිසි පරිදි වැඩක් කරන්න දුන්නෙ නෑනේ. කකුලෙන් ඇදපු එකනේ වුණේ. අපේ රජය පහුගිය රජය කළ පාඩු ලබන ව්‍යාපෘති වූ හම්බන්තොට වරාය, ගුවන් තොටුපොළ වැනි ව්‍යාපෘති නැවත ප්‍රතිව්‍යුහගත කරලා ඒවා ලාබ උපයන ආයතන බවට පත් කරන්න හැදුවා. ඒවාට ආයෝජකයෝ ගෙන්වන්න කැබිනට් පත්‍රිකා දැම්මාම වුණේ කකුලෙන් ඇදපු එකයි. මේ වගේ විශාල ව්‍යාපෘති රැසක් පසුගිය කාලයේ ක්‍රියාත්මක කරන්න හැකි වුණා නම් මේ වන විට රටේ ජනතාවට විශාල රැකියා ප්‍රමාණයක් උත්පාදනය වෙලා බොහෝ වැඩ කොටසක් රටේ සංවර්ධනය වෙමින් සිදු වෙනවා. කකුලෙන් අදින විට ආයෝජකයෝ අධෛර්යට පත්වෙනවා. මාධ්‍යයත් දිගට හරහට අපට පහර දුන්නා යහපාලනය නිසා. පළාත් සභාවලින් වුණත් කිසිම සහායක් රජයට ලැබුණේ නැහැ. මේ ඉදිරි කාලයේ වන්නේ ඒ දේමයි. ඒ නිසයි අපි ජනතාවට කියන්නෙ ඉදිරි මහමැතිවරණයේදී තනි ආණ්ඩුවක් හදන්න අපිට බලය දෙන්න කියා.

එජාපය බලය නැති විට එක්ව නැඟී සිටිමින් බලය ලබාගැනීමට වෙර දරනවා. එහෙත් බලයට පැමිණි පසු ඇතැම් දෙනා ප්‍රසිද්ධියේ දැඩි වාග්ප්‍රහාර එල්ල කරගනිමින් හැසිරෙනවා. මෙවැනි දෙයින් අවසානයේ විනාශ වන්නෙ එජාපයයි. මහලේකම්වරයා ලෙස ඔබගේ මතය කුමක් ද?

පසුගිය දිනවල එලෙස හැසිරුණු අය කැඳවා තදින් අවවාද කොට අනතුරු ඇඟෙව්වා. ඉදිරියේදී එවැනි ගැටලු නැවත ඇති වුණොත් පක්ෂයක් ලෙස අපි සියලු දෙනා එක්ව තීන්දුවක් ගන්නවා. නමුත් අපේ පක්ෂය කවුරු මොනවා කීවත් බොහෝම විවෘත පක්ෂයක්. අතීතයේ ඕනෑම පක්ෂයක එවැනි පොඩි පොඩි ගැටුම් තිබිලා තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්.

එසේම තනතුරු ගැටලු මත එජාප පසු පෙළ මන්ත්‍රීවරුන්ගෙන්ද රජයට දැඩි බලපෑමක් එල්ල වෙනවා නේද?

ඇත්තටම අපි මොනවා වුණත් සතුටු විය යුතුයි, ඔය මන්ත්‍රීවරු කුමක් කීවත් පහුගිය දිනවල කිසිම කෙනෙක් කෝටි පනහ, හැටට විකිණුනේ නැහැනේ. අපේ තරුණ, ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු සියලු දෙනා එක පවුරක් ලෙස බැඳී සිටිමින් පක්ෂය දුර්වල කරන්න ඉඩ තැබුවේ නැහැ. ඒ නිසා ඒ සියලු දෙනාටම අපේ ගෞරවය හිමි විය යුතුයි. ගැටලු කීපයක් තියෙනවා තමයි, ඒවා විසඳගෙන අපේ රජයට සාර්ථක ගමනක් ඉදිරි කාලයේ යන්න පුළුවන්. අපේ පක්ෂය අතීතයේ මීට වඩා විශාල අර්බුදවලට ගොස් ගොඩ ආපු පක්ෂයක්.

මේ දිනවල නව ව්‍යවස්ථාවක් ගැන විශාල ලෙස කතාබහක් ඇති වෙනවා. ඇත්තටම ව්‍යවස්ථාවක් ගෙන ඒමට සූදානමක් තිබෙනවා ද?

කිසිම සූදානමක් නැහැ. මේ අවස්ථාවේ ප්‍රායෝගිකව ව්‍යවස්ථාවක් ගෙන ඒමට හැකි මොහොතක් නොවේ. රටේ සෑම පුරවැසියෙක්ම හිතාගන්න නව ව්‍යවස්ථාවක් නැති බව.

පොහොට්ටුව ප්‍රමුඛ විපක්ෂය ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයන් කිහිප දෙනෙකුම සිටින බව හඟවනවා. ඒ ගැන ඔබතුමා කෙසේද දකින්නෙ...?

වෙලා තියෙන්නෙ, ඒ අයට ජනාධිපති අපේක්ෂකයෙක් තෝරගන්න බැරුව හිරවෙලා ඉන්නෙ. ගෙදර ගියොත් අඹු නසී... මඟ හිටියොත් තෝ නසි... වගේ. ඒ නිසා ඉදිරි කාලයේදී මීට වඩා හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන් වේවි. අද පොහොට්ටුව වෙනම, ශ්‍රීලනිපය වෙනම, ලොකු අවුලක ඉන්නෙ ඒ කණ්ඩායම්. හැබැයි එජාපය බොහෝම ශක්තිමත්. අපිට එක්ව ගමනක් යෑමට හැකි වෙලා තියෙනවා. පොහොට්ටුව, ශ්‍රීලනිපය විසිරිලා. පොහොට්ටුව යන්නෙ කොහේද කියාවත් දන්නෙ නැතිව අයාලේ යන පක්ෂයක් වෙලා. අඩුම තරමේ ඒ දෙපිරිසෙ එකිනෙකාවත් දන්නෙ නැහැ වෙන්නෙ කුමක්ද කියා.

එහෙත් එජාපයටත් නිශ්චිත ජනපති අපේක්ෂකයෙක් නැති බවක් පෙනෙනවා...?

අපි ඒක වේලාවට ඉදිරිපත් කරන්නම්. පුළුල් ප්‍රචාරයක් ලබා දී නිසි පරිදි අපේ අපේක්ෂකයා රටට ඉදිරිපත් කරනවා. ඒ ගැන කිසිම කෙනෙක් කලබල විය යුතු නෑ. මොකද එජාපය වර්තමානයේ නිශ්චිත අරමුණක් කරා නිශ්චිත වැඩපිළිවෙළක් යටතේ ගමන් කරමින් සිටින්නෙ.

 

Comments