මැරුණ මාළුන්ට මිනී මරාගන්නා කුඩාවැල්ලේ ලේ මාපිල්ලු | Page 3 | සිළුමිණ

මැරුණ මාළුන්ට මිනී මරාගන්නා කුඩාවැල්ලේ ලේ මාපිල්ලු

ධීවර වරායක කාර්යබහුල හෝරා කිහිපය උදේ පහත්, අටත් අතර කාලයය. ඒ ඈත දියඹේ සිට පාන්දර යාමයේ වරායට ඇදී එන බෝට්ටුවල තිබෙන මාළු තොග විකිණීමටත්, මිලදීගැනීමටත් එම කාල පරාසයේ ජනයා එක්රොක් වන්නෙ කඩි ගුලක් ඇවිස්සූ ලෙසිනි.

එලෙස පසුගිය නත්තල් දින දා හිමිදිරියේ තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ සියලු දෙනා ද මාළු තොග සමඟ ඔට්ටු වෙමින් දැඩි කලබලකාරි ස්වරූපයකින් කටයුතු කරමින් සිටියේ එදින උත්සව දිනයක් බව ද නොතකමිනි.

වේලාව පෙරවරු හතයි පහළොව පසුවෙමින්ය. කිසිවෙකුත් නොසිතන යමක් අවට පරිසරයේ සිදුවෙමින් තිබිණි. එක්වරම කලබලකාරි ධීවර ජැටිය අසලටම පැමිණියේ යතුරුපැදියකි. යතුරුපැදියක් ධීවර ජැටියක් ආසන්නයටම පැමිණෙන්නෙ කලාතුරකිනි. එහෙත් සිදු වන්නෙ කුමක් ද යන්න කිසිවකුටත් සිතා ගැනීමටවත් ඉඩක් නොවිණි.

ක්ෂණයෙන් යතුරුපැදියෙන් බැසගත් කළු පැහැති මුහුණු ආවරණ සහ ජැකට් පැලඳි දෙදෙනෙකු කලණි ධීවර බෝට්ටුව අසලටම දිව ආවේ ටී 56 ගිනිඅවියක් සහ මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයක් ද අතැතිවයි. එය සමඟ ධීවර බෝට්ටුව අසලම මාළු ගොඩක් අසල වෙළෙඳාම් කළ පිරිසක් මෙන්ම මිල දී ගැනීමට පැමිණි පිරිසට එල්ල වූයේ වෙඩි වරුසාවකි. තත්පර ගණනකදී එල්ල වූ වෙඩි වරුසාවෙන් තැතිගත් පිරිස් හිස්ලුලූ අත දිව ගියේ සිදු වන්නේ කුමක් ද යන්න කිසිදු නිනව්වක් නැතිවය.

තුවක්කුකරුවන් තම ඉලක්කය ගෙන ගිනිඅවි ඒ-මේ අතට පෙන්වමින් පැමිණි යතුරුපැදියෙන්ම ඉගිල යන ආකාරය සීසීටීවී කැමරාවක මනාව සටහන් වී තිබිණි. ත්‍රාසජනක චිත්‍රපට දසුනක් මැවු විනාඩි කිහිපය තුළ දී වෙඩි ප්‍රහාරයෙන් සිවු දෙනෙක් එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත් වූහ. තවත් හත්දෙනෙක් මරාන්තික තුවාල ලබා මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.

ජීවිතක්ෂයට පත්වූයේ කුඩාවැල්ලේම පදිංචිකරුවන් වන 40 හැවිරිදි සමීර ජයසිංහ, 23 හැවිරිදි සෂික් තිවංක, 37 හැවිරිදි ලතිෂ් උදය කුමාර හෙවත් රණා සහ දෙල්ගොඩ පදිංචිකරුවකු වන 40 හැවිරිදි සඳුන් චානක යන පිරිස ය. මිය ගිය සඳුන් චානක දෙදරු පියෙකි. ඔහු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවය කරමින් සිටි අයෙකි. සඳුන් තම නිවාඩුවට දික්වැල්ලේ පිහිටි මහගෙදර පැමිණ මාළු මිල දී ගැනීමට ගොස් සිටිය දී මේ අවාසනාවන්ත ඉරණමට ලක් විය.

මියගිය අය අතර සිටි විවාහකයකු වන සෂික් කලණි ධීවර බෝට්ටුවේ ලියන මහතා ලෙස කටයුතු කළ තැනැත්තා මෙන්ම රණාට අයත් බෝට්ටු බාරව සිටි තැනැත්තාය. ජීවිතක්ෂයට පත් තිදරු පියෙකු වූ ලතිෂ් උදය කුමාර කලණි බෝට්ටුවේ හිමිකරු වන කුඩාවැල්ල ධීවර වරායේ ආධිපත්‍ය පතුරුවා සිටින ධීවර බෝට්ටු 21ක් පමණ තිබෙන මහින්ද නමැති මහා පරිමාණ ධීවර ව්‍යාපාරිකයාගේ පුත්‍රයාය. රණා වෙඩි වැදී බිම වැටි සිටිය දී වෙඩික්කරුවන් ඔහු අසලටම පැමිණ නැවතත් වෙඩි ප්‍රහාර කීපයක්ම එල්ල කොට ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

ඒ අනුව ඝාතකයන්ගේ ඉලක්කය වී තිබී ඇත්තේ රණා ඇතුළු මහින්ද ව්‍යාපාරිකයාගේ පවුලේ පිරිස බවට ඒත්තු ගැන්වේ. ඊට සුළු මොහොතකට පෙර මහින්ද ද එම ස්ථානයේ සිට පිටව ගොස් තිබිණි. ඔහුගේ තවත් පුත්‍රයෙක් ද ඒ අවස්ථාවේ එම ස්ථානයේ සිටියත් ඔහු අසල බෝට්ටුවකට පැන සැඟවී ජිවිතය බේරාගෙන ඇත. ඔහු ද පැලඳ සිට ඇත්තේ නිල් පැහැති කමිසයකි. මියගිය සමීර ද පැලඳ සිට ඇත්තෙ නිල් පැහැති කමිසයක් බවට වාර්තා වේ. එම නිසා ඝාතකයන් මහින්දගේ දෙවැනි පුත්‍රයා යැයි සිතා සමීරට වෙඩි තියන්නට ඇතැයි සැක කෙරේ.

එමෙන්ම වෙඩික්කරුවන් කිසිදු තෝරා බේරාගැනීමකින් තොරව කලණි බෝට්ටුව අසල සිටි සෙනඟ පොකුරටම වෙඩි ප්‍රහාරය එල්ල කොට පසුව වෙඩි වැදි සිටි අය සොයා නැවත නැවතත් වෙඩි තැබූ බවටද සැල වේ.

පොලිසිය ක්‍රියාත්මක වීම

මේ අමානුෂික ඝාතන සැලවීමත් සමඟ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන සහ මාතර, තංගල්ල දිසා බාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්නගේ ඍජු අධීක්ෂණයෙන් පරීක්ෂණ ඇරැඹිණි. ඊට අමතරව පොලිස්පති නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස්ගේ ප්‍රධානත්වයෙන් ද විශේෂ කණ්ඩායමක් තංගල්ලට ගොස් පරීක්ෂණවලට එක් විය. මේ වන විට පොලිස් කණ්ඩායම් 11ක් ඍජුවම මේ පිළිබඳව විමර්ශනය කරමින් සිටින වග පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර පැවැසීය.

පැති කිහිපයක් ඔස්සේ සිදු කරන පරීක්ෂණවලට අනුව ඝාතකයන් දෙදෙනා ඝාතන සිදු කොට අතරමඟ දී වෙනත් වාහනයකින් පලා යන්නට ඇති බවට සැක කෙරේ. ඒ සීසීටීවී දසුන්වලින් දිස්වන ආකාරයට ඝාතකයන් දෙදෙනා වරායට පැමිණි යතුරුපැදියේ අංක තහඩුද නැති බව පෙනෙන හෙයිනි. එදිනම ඝාතකයන් කොටු කර ගැනීමට කුඩාවැල්ල ධීවර වරායට පිවිසෙන මාර්ගය අසල මාර්ග බාධකයක් යොදවා තිබිණි.

පසුගිය 26 වැනි දා අලුයම 1.30ට පමණ තංගල්ලේ සිට දික්වැල්ල දෙසට ධාවනය වූ සුදු පැහැති වෑන් රථයකට එම මාර්ග බාධකයේ රාජකාරියෙහි නිරත පොලිස් නිලධාරින් වෙඩි තබා තිබුණේ අණ නොතකා ධාවනය වූ හෙයිනි. එම වෑන් රථයේ අංකය අනුව ද පරීක්ෂණ පැවැත්වූ පොලිසිය වෑන් රථය තිස්සමහාරාම ප්‍රදේශයේ රථයක් බවට සොයාගෙන තිබිණි. එම රථය මේ සිදුවීමට අදාළත්වයක් නැති බව උසස් පොලිස් නිලධාරියෙක් අපට කීවේය.

ඝාතන කොන්ත්‍රාත්තුව

දැනට සැක කෙරෙන ආකාරයට ඝාතකයන් කොන්ත්‍රාත් ක්‍රමයට මිනීමරන පිරිසක් බවට ඒත්තු ගොස් තිබේ. ඒ අනුව කොන්ත්‍රාත්තුව ප්‍රබල අපරාධකාරයකු වන මාකඳුරේ මධුෂ් විසින් ලබාගෙන ඔහුගේ ගෝලයන් ලවා සිදු කරන්නට ඇති බවට තිබෙන සැකය ගැන ද පොලිසිය පුළුල්ව පරීක්ෂණ පවත්වයි. මහා පරිමාණ ධීවර ව්‍යාපාරික මහින්ද සහ ඔහුගේ පුත්‍රයන් දෙදෙනා සමඟින් කුඩාවැල්ලෙම තවත් ධීවර බෝට්ටු හිමිකරුවකු අතර වසර 15ක පමණ කලෙක සිට ගැටුමක් පවතී. ඒ ධීවර කටයුතු නිසා ඇතිවූ ආරාවුලකි. ඒ හේතුවෙන් මීට වසර කීපයකට පෙර මහින්දගේ සොහොයුරෙක් ද ඝාතනය කරනු ලැබීය. ඊට අමතරව මහින්දගේ ඝාතනය වූ පුත්‍රයා වන රණා විසින් පහර දී එම බෝට්ටු හිමිකරු පාර්ශ්වයේ කෙනෙකු සදාකාලික අබාධිතයකු බවට ද පත්වී ඇති බව වාර්තා වේ.

ඝාතකයන් සොයා කෙරෙන පරීක්ෂණවල දී පසුගිය දිනෙක හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තංගල්ල පොලීසියට කොටුවූ ධීවරයෙකුගේ සබඳතාවක් තිබේ ද යන්න ගැනත් අවධානය යොමුව තිබේ. ඒ, එම ධීවරයා මහින්දලාගේ විරුද්ධ පාර්ශ්වයේ සාමාජිකයකු වන නිසාය. ඔහු අත්අඩංගුවට පත්වූයේ රණා විසින් ලබා දුන් ඔත්තුවක් නිසා බවට එම විරුද්ධ පාර්ශ්වයන් සැක කර ඇත. එම නිසා රණා ඇතුළු පාර්ශ්වය සමඟ එම පිරිස පසුගිය දින කීපයේ බද්ධ වෛරයකින් පසු වී තිබේ. එසේම මීට සති දෙකකට පමණ පෙර දී ද ධීවර වරාය තුළ දීම එම දෙපාර්ශ්වය අතර ගැටුමක් හටගෙන තිබිණි.

මෑතක දී ධීවර වරාය තුළ දී මහින්දගේ විරුද්ධ පාර්ශ්වය වෑන් රථ අනතුරක් සිදු කොට මහින්දගේ පාර්ශ්වයේ අයකුගේ පාදයක් ද තුවාලකොට ඇත. එම රථයට මහින්දගේ පිරිස කඩු පොලුවලින් පහර දී විශාල ගැටුමක්ද සිදුවී තිබුණේය. ඊට රණා ඇතුළු පිරිසක් තංගල්ල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයේ නඩුවක් ද පැවැත්වෙන බව කියැවේ.

මේ වන විට පුද්ගලයන් හතළිහකට අධික පිරිසකගේ ප්‍රකාශ සටහන් කොට අවට සීසීටීවී දර්ශන නරඹමින්, ඒ අවට සමාගම් හතරක දුරකථන කුලුනු මඟින් දුරකථන විශ්ලේෂණ මෙන්ම නාඳුනන තුවක්කුකරුවන්ගේ හැඩරුවට සමාන ලක්ෂණ අනුවත් සිදු කරන පුද්ගල පරීක්ෂණවලින් ඝාතකයන් කඩිනමින්ම අත්අඩංගුවට ගැනීමට හැකි වෙතැයි තංගල්ල, මාතර‍ දිසා බාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න මහතා කීවේය.

මේ වර්ෂය තුළ දී පමණක් මෙතෙක් වෙඩි තැබීම් 49ක් වාර්තා වී තිබෙන අතර ඉන් පුද්ගලයන් 54 දෙනෙකු ඝාතනය වී තිබෙන බව පොලිස් වාර්තා මඟින් සනාථ වේ. එලෙස රට තුළ නිර්මාණය වී ඇති නීතිවිරෝධි ගිනිඅවි සංස්කෘතියට 'තිත' තැබීමට වගකිවයුතු පාර්ශ්ව විසින් වහා කඩිනම් පියවර ගත යුතු කාලය එලැඹ තිබේ.

 

Comments