ජාතියේ 'මහා කවියා' වී 'සිංහල වංසය' ලියූ රැයිපියල් තෙන්නකෝන් | සිළුමිණ

ජාතියේ 'මහා කවියා' වී 'සිංහල වංසය' ලියූ රැයිපියල් තෙන්නකෝන්

  • ෙම් මස 19දාට ඉපැදී වසර 119 යි
  • කුඩා කාලයේ හිතා හිටියෙ ඩ්‍රයිවර් කෙනෙක් වීමටලු
  • ලියන්නට පටන් ගත් විට කෑම, නින්ද, නෑම වත් මතක් ෙවන්නෑලු

‘කිවිසුරු’ නම් ඉහළම කවි බුහුමනින් කුමාරතුංග මුනිදාසයන්ගෙන් පිදුම් ලබා, සිංහල ජාතියට 2500 වසරක් පිරීම නිමිත්තෙන් කවි 2500කින් යුතු ‘සිංහල වංශය’ නම් මහා කාව්‍යය ලියූ ‘මහාකවි’ නමින් උපහාර ලැබූ රැපියෙල් තෙන්නකෝන්ගේ අපූරු ගද්‍ය රචනාවක් වූ ‘කවුඩුව’ 1954 වසරේදී ප්‍රකාශයට පත්ව ඇත. එම ‘කවුඩු’ උපත ගැන එවකට ගංගොඩවිල විදුහල්පතිව සිටි ඒ මහතා ලියු සටහන රසවත්ය:

“මා මා‍දොළුවාවේ හික්හලේ ඉගැන්නීම කළ අවදියේ සිකුරාදා සවසට ගම බලා යනු සිරිතයි. සිකුරාදා සවසට මගේ කුඩා දරුවන් තිදෙන සැදී සිටියේ කතන්දරයක් ඇසීමට යි. පිළිවෙළින් අවුරුදු හතර, හත, දහය යන වයස්හි සිටි ඒ දරුවනට පංචතන්ත්‍රය, කතාසරිත්සාගරය, අරාබි නිසොල්ලාසය ඈ පොත් අතරින් මා දත් කුඩා කතා පුවතක් කීමෙන් ඔවුන්ගේ මනදොළ පුරන්නට වෑයම් කිරීමෙන් මම වෙහෙසිණිමි. කතාව අවසනැ ඇමදාමැ ළමයින් කීයේ ‘ඒ කථාව දිග මදි’ යන්නමැයි. එයින් වෙහෙසට පත් මම අගක් නොපෙනෙන පරිදි, ඔවුන් දන්නාඅඳුනන මේ කවුඩුවා පිළිබඳ කතා පුවත ඔවුන් හට නිති දක්නට ලැබෙන පුවත් අසරින් ගොතගොතා කියන්නට පටන් ගතිමි. එයින් මගේ අදහස ඉටු විණි; ළමයින්ගේ රිසියද පිරිණි. ඒ දවස්හිමැ මෙපුවත පබඳක් හැටියට රසයන්නට ඕනෑයැයි සිතූ මම සතියෙන් සතිය ඒ ඒ කොටස පැදියෙන් රසයා, නන් විරිත් පැදි දෙදහස් සත්සිය සතිසෙකින් පොත සපුරා ලීමි. ඒ අතරේ බලවත් ඇවැසියාවක් නිසා මට කෝට්ටේ පාසලට යන්නට සිදු විණි. මා එහි සිටිත්දී මාදොළුවාවේ හික්හලේ රැඳී සිටි පොත මීයන් විසින් වනසන ලද බව පසුවැ මට දක්නට ලැබිණි. ඒ පොතින් ඉතිරි වී ඇත්තේ මුල කොටසේ ගී දෙසිය පන්සාළිසකුත්, මැද කොටසින් පැදි දෙතිසකුත් පමණෙකි. ඒ හෙයින් ඒ පබඳ ආයේ මතු කරන්නට සිතූ මම් මෙවරැ එය ගැදියෙන් මෙසේ රසයා ලීමි. මෙහි පිළිනි නුරා රස නැතත් සියුම් වූ සියලු රස නිසි පමණට ඇති.”

මේ පෙළින් තෙන්නකෝනුන්ගේ භාෂා ශෛලිය මැනවින් දැකගත හැකිය. 1899 වසරේ දෙසැම්බර් 19 වැනි දා දකුණු අලුත්කුරු කෝරලයේ මීගමුවේ ගණේපොළ වළල්ලාවිටිගල්ලේදී උපත ලැබූ තෙන්නකෝන් ආරච්චිගේ දොන් රැපියෙල්ගේ පියා වූයේ තෙන්නකෝන් ආරච්චිගේ දොන් සුද්දප්පු වෙද මහතාය. කොටරූපේ අබේසේකර වන්නකු ආරච්චිගේ දෝන ප්‍රන්සිනා හාමිනේ මව වූවාය. ඔහු වැඩිමහල් සොහොයුරකු හා සොහොයුරීන් පස් දෙනකුගෙන් යුතු පවුලේ බාලයා වුයේ රැපියෙල්ය.

මීගමු දිසාවේ රද්දොළුවේ බෞද්ධ පාසලින් මූලික අධ්‍යාපනය ලද රැපියෙල් රද්දොළුගම පන්සලේ පඤ්ඤානන්ද හිමි වෙතින් සංස්කෘත, පාලි භාෂාද උගෙන ඒ පන්සලේ දෙවැනි තැන් හෙබවූ ධම්මානන්ද හිමි වෙතින් එම භාෂා දැනුම දියුණු කරගත් බව කිවිසුරු රැ. තෙන්නකෝන්ගේ සියලු කාව්‍ය ග්‍රන්ථ පිළිබඳ ඇගයුමක් කරමින් ‘කවි සයුර’ කෘතිය ලියූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි අනඳපිය කුඩාතිහි සඳහන් කර තිබිණි. කොටුගොඩ ජයවර්ධන නොතාරිස් රාලහාමි අරඹා තිබූ ඉංග්‍රීසි පන්තියෙන් දැනුම වඩාත් හෙතෙම රද්දොළුව පාසලේ මුල් ගුරුවරයා වූ හීනටියන ඩේවිඩ් ද සිල්වා වියතාගේ ප්‍රියතම සිසුවා වීමට වරම් ලැබූ බව ඒ කෘතියේ සඳහන් වෙයි. කුඩා කාලයේ රැපියෙල් සිතා සිටියේ ‘ඩ්‍රයිවර්’ කෙනකු වීමට බවත්, ඊට හේතුව ඩ්‍රයිවර් ගුරුවරයාට වඩා හම්බ කරන්නේය යන සිතිවිල්ල බවත්, පසුව සිත ඇදී ගොස් ඇත්තේ ‘ඉස්කෝලෙ මහත්තයකු’ වීමට බවත් මු. අරුක්ගොඩ ලේඛකයාට පවසා තිබිණි.

රැපියෙල් පවසා ඇත්තේ තම කුඩා කාලය ඉතා රසවත් බවය. ‘කුම්බලා කටුවකට බළලුන් දෙදෙනකු පොරකෑ සිද්ධියක්’ ඔහුට මතක ඇති කුඩා කා‍ලයේ මුල්ම සිදුවීමය. ඔහු යන්තම් බහ තොරන වයසේ සිටීමට ප්‍රිය කර ඇත්තේ ග‍ඟේය. ග‍ඟේදී වූ සිදුවීමක් ඔහු විසින් අරුක්ගොඩ ලේඛකයාට විස්තර කර තිබු‍ණේ මෙසේයය:

“මම පුංචි කාලේ ග‍ඟේමයි. වැඩි කැමත්ත වතුර යටින් යන්න. දවසක් වල්බෙලි මුලක් අස්සෙ ඔළුව හිර වුණා. ගන්න දැඟළුව දැඟළුව. මොන බොරුද? හෙල්ලන්න වත් බැරි වුණා. මම හිතුව මගේ වැඩ ඉවරයි කියලා. කොයික වෙතත් දැම්ම කකුල් දෙක වතුරෙන් උඩට. මොකද: ඔළුව වතුරෙන් උඩට දමන්නයැ! ගොඩ ඉන්න අයට කතා කරන්නට කකුල් දෙක වන වනා හිටියා. කකුල් දෙක හෙලවෙන කොට ගොඩ හිටිය අය දුවගෙන දුවගෙන ඇවිත් මගේ ඔළුව වතුරෙන් උඩට ගත්තේ බෙලි මුලත් එක්කයි. ඊට පස්සෙත් ගඟට ගියා. යටින්මයි ගියෙත්. බැඳලා ලොකු ළමය ලැබුණාට පස්සෙ තමයි වතුර වත්කරගෙන නාන්න වුණේ.

කුඩා කාලේ සිටම රැපියෙල් ඉගෙනීමට සූර වූයේලු. දිනක් පාඨශාලා පරීක්ෂක කුමාරතුංග මුනිදාස මහතා ගණේපොල වළල්ලාවිටිගල්ලේ පාසලට පැමිණ ඇත. රැපියෙල් තෙන්නකෝන් ඒ වන විට ඉගෙනගත්තේ පාසලේ සවැනි ප්‍රමාණයේ පන්තියේය. පසුව ඇති වූ හෙළ හවුලේ කුමරතුඟු ගෝලයන් අතුරින් කුමාරතුංග මුල්වරට දුටුවේ තෙන්නකෝන්ය. එදා කුමාරතුංග සවැනි පන්තියට ඇවිත් ඇසූ සිංහල භාෂා ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු දුන‍්නේ ඔහුය. වසර ගණනකට පසු ඔහුට ගුරු අබෑසි විදුහලේදී කුමාරතුංග හමු විය. ඒ වන විට අභ්‍යාස විද්‍යාලයේ විදුහල්පති කුමාරතුංග මහතාය. අභ්‍යාස විද්‍යාලයේදී ඉතිහාසයටත්, භූගෝල විද්‍යාවටත්, සාහිත්‍යයටත් දස්කම් පෙන්වූ රැපියෙල් තරුණයාට කථිකාචාර්ය ධුරයක් පිරිනැමීමට කුමාරතුංග නිහතමානි විය. පසුව බලපිටිය අභ්‍යාස විද්‍යාලයේ අධිපතිකම හිමි විය. දක්ෂයන්ට සැමදා වින කටින පාලකයෝ සුපුරුදු ලෙස තෙන්නකෝනුන්ට අංචි ඇද්දෝය. මුග්ධ පාලකයන් හා නොගැටුණු මේ නිහතමානි උගතා අධිපතිකම අත්හැර, පසුව පාසල් කිහිපයකම විදුහල්පතිකම හොබවමින් සිට විශ්‍රාම ගත්තේය.

තෙන්නකෝනුන් විසින් රචිත පැදි 557කින් සැදි කවකි ‘වවුලුව’. කුමාරතුංගයන් 1939දී ‘වවුලුව’ පෙරවදනෙහිලා දක්වන්නේ මෙවන් අදහසකි:

“සාහිත්‍ය පක්ෂයෙන් ඒ ඒ අවුරුද්දෙහි උසස් මැ සේවාව ලෝකයට කළහුට නෝබල් නම් මහාර්ඝ ත්‍යාගයෙක් වේ. ඉදින් ඉංග්‍රීසියෙන් හෝ අන් කිසි උසස් යෞරෝපීය භාෂාවෙකින් හෝ කැරිණි නම් ඒකාන්තයෙන්මැ මේ අවුරුද්දේ ඒ ත්‍යාගය වවුලුකරුවාණන් සොයාගෙනැ එන්නේ යැ.”

බොහෝ කලකට ඉහත පණහ දශකයේ දිනක් කුමාරතුංගයන් ගැන පළ කෙරෙන සමරුවකට ලිපියක් ලියවාගැනීමේ සිද්ධියක් කලාසූරී අරීසෙන් අහුබුදුවන් මෙසේ රසවත්ව විස්තර කර ඇත:

“ඒ තෙන්නකෝනුත් හෙළ හවුලේ නයු තැන් හොබවමින් උන් අවදියයි; එසේමැ වෙ.වි. අබාගුණවඩු, හරිසඳු විජයතුඟු, ලියනගේ ජිනදස් ඈ සුබැසියන් කීප පළක්ද මාද ජයන්ත වීරසේකර නිවෙසේ රැඳී උන් අවදියයි. තෙන්නකෝනුන් ලවා ලියැවිලක් කුමරතුඟු සමරුව වෙනුවෙන් ලියවාගන්නට වුව මනා වී තිබිණි. සමරුවට තව දින කිහිපයෙකි. එදා සවසැ එහි ආ තෙන්නකෝනුන් රෑ බත එන තුරුද ලිපිය ලිවීමට කිසිදු සූදානමෙක් නොපෙනිණි. සෙස්සන් නිදි යහන් කරා යන තුරුද තතුව එසේ මැ පැවතිණි. දැන් ලොවමැ නිහඬයි.

“ඔන්න ඔය කඩදාසි ගොන්නක් මෙහාට දෙන්නැ.”

අපි ඒ අණට නැමී, ඔවුන් ලිපිය ලියන අයුරුද නිහඬවැ බලා උන්නමු. අත ලියයි; ලියයි; නැවැතීමක් නැතිවැමැ ලියයි. පුල්ස්කැප් පිටු එකෙන් එක පිරෙයි. මෙසේ පිටු හත, අට, දහය, දොළහ ලියන ගමනේ අදිසියේ කලින් ලියු පිටුවෙකැ කිසියම් වෙනසක් කොටැ යළි ලියයි. ඔවුන්ගේ ලිවීම එසේයැ. අකුරුද හරිමැ පැහැදිලියි; ලස්සනයි.

“මේ තරම් ලස්සනට අකුරු ලියන්න වෙහෙසෙන්නේ ඇයි?”

මා නැඟු ඒ පැනයට තෙන්නකෝනුන් දුන් පිළිතුර ‍මේයැ:

“මගේ වෙහෙස යන්න; මගේ අකුරු බලා මටම සතුටු වන්න.”

එදා රෑ ලිපිය නිමා කොටැ තෙන්නකෝනුන් යහන වෙත ඇදුණු විටැ අපිදු ඒ අනුවැ ඇඳට ගියෙමු. එහෙත් අපගේ නින්ද මැදදී බිඳුණේ කිවිසුරාණන් නිදිගත් කුටියෙන් ඇසුණු මනරම් ගී හඬිනි. එහි එබී බැලූ අප දුටුවේ ඔවුන් හීනෙන්ද කවි පබඳනා සැටියෙකි.

පසුදා උදේ හීලද ගෙනැ යන්නට සැරසී සුදු රෙද්ද අඳින විටැ බෝඩිමේ අප එහි දුටු අමුත්තෙකි. ඒ නම් හොදි පැල්ලම්යැ.

“හා හා! ඔය රෙද්දත් ඇඳගෙනැ පාරේ බැසැ යා හැකිද?

අබාගුණවඩුවන්ට නැඟූ මේ පැනයට තෙන්නකෝනුන් කිසි ගණනක් නැතිවා මෙන් දුන් පිළිතුර මේ වී: “කොළඹ පාරේ යන-එන මිනිසුනට වෙන වැඩ තිබෙනවා, මගේ රෙද්ද නොබැලුවාට.”

තව දිනෙකැ සවසැ තෙන්නකෝනුන් රේඩියෝවක් කරතියාගෙනැ පයින්මැ අපේ බෝඩිමට ආවා.

“හා හා! මහත්මයා, ඇයි ඕක මහත්මයාම කර තිය‍ාගෙන ආවේ? ලජ්ජා නැද්ද? මට එන්න කිව්වා නම් මා එනවා නේ...” මෙසේ කීයේ ජයන්ත වීරසේකර නිවෙසේ හිතවත් සේවකයකු වූ බංඩායි.

“බංඩෝ, අප ලජ්ජා විය යුත්තේ අපේ බඩු අනෙකකු ලවා ඔසවාගෙනැ එන-එකටයි.”

පබඳින් මෙන්මැ තෙන්නකෝන් සිරිතින්ද මතු වූයේ නියම සිංහල ගැමි සුවඳයි.

1954 වසරේ ‘ලංකාදීප’ පුවත්පතේ කර්තෘ ඩීබී ධනපාල මහතාත්, නියෝජ්‍ය කර්තෘ මහානාම දිසානායක මහතාත් ජාතික ‘‍මහාකවියා’ තේරීමේ තරගයක් ආරම්භ කළහ. මෙහි ප්‍රතිඵලයක් ලෙස 1955 ලංකාදීපය පවසා සිටියේ ‘ජාතික මහා කවියා බවට සුදුසු යැයි ඔබට හැ‍ඟෙන කවියකුගේ නම සඳහන් කර මේ තරගයට සහභාගි විය හැකිය. මේ තරගයේ පරමාර්ථය වනුයේ අවුරුදු 2500 ඇතුළත සිංහල ජාතියේ ඉතිහාසය කවියෙන් ලිවිය හැකි කවියකු මේ වර්ෂයේ (1954) සිංහල අවුරුද්දට තෝරාගැනීමය,’ යන්නය.

මේ තරගයෙන් මුල් තැන හිමි කරගෙන, විජය කුමරුන් තම්මැන්නා වෙරළින් ලංකාවට පැමිණි දා සිට ශ්‍රීමත් ජෝන් කොතලාවල අගමැතිතුමාගේ කාලය තෙක් අපේ රටේ ඉතිහාස කතාව පද්‍ය 2500කින් ලිවීමේ අවස්ථාව හිමි කරගත්තේ රැපියෙල් තෙන්නකෝන් කවියාය. ‘සිංහල වංසය’ නම් මේ කෘතිය 1956දී සමන් ප්‍රකාශනයක් ලෙස පළ විය. තෙන්නකෝනුන්ගේ නිසර්ගසිද්ධ කවි ශක්තියත් ලංකා ඉතිහාසය හා තදනුබද්ධ සමාජය සම්බන්ධ බහුශ්‍රැත ඥ‍ානයත් හෙළි කරන ‘සිංහල වංශය’ ලංකා ඉතිහාසය කෙරෙහි ඔහුගේ වීමංසනාත්මක දෘෂ්ටියද හෙළි කරන්නක් බව විද්වතුන්ගේ අදහසය.

තෙන්නකෝන් කවියා ‘සිංහල වංසය’ අරඹන්නේ එදා තම්මැන්නා වෙරළ වැනීමෙනි:

සල් මල් කැන් නැ‍ඟෙන බැසැ බැස සුළං වැදී

වැල් ගොල්ලෙන් සැදුණු වන හිස නුවන් අදී

මල් වැල් වන් මුහුදු රළ දිවෙන බිඳි බිඳී

දුල් වැල්ලෙන් වෙරළ පිරිසුදුවට අමදී

‘සිංහල වංසය’ අවසන් වන්නේ ‘අගමැති පොරය’ පරිච්ඡේදයේ එන කවියකි, මේ:

නිදහස සමඟ නැති වී ගිය ඇමැ යළිදු

එ-ලැබුණු විගසැ පතමින් සත නැගැ එතුදු

කිසිවක් තවමැ උන් රිසි සේ නොවී සිදු

විසැ‍ඳෙනු එ-ඇම නැණ පමණිනි අගමැතිඳු

“මම පෑන අතට ගත්තම දිගටම ලියාගෙන යනවා. වරින් වර නවත්ව--නවත්තා වැඩේ කරන්න ගියොත් වෙන වෙන කල්පනා එන්න පටන් ගන්නවා. ලියපු ටිකත් වෙනස් කරන්න වෙනවා,” තෙන්නකෝනුන් වරක් ‘සරසවිය’ පත්‍රයට කියා තිබිණි.

ලිවීමට බොහෝ ප්‍රිය කළ තම පියා ලිවීම පටන් ගත් විට ආහාරපාන, නින්ද, නෑම වැනි අවශ්‍යතා අමතක කළ බව තෙන්නකෝන් කිවිසුරාණන්ගේ දෙටු දුව නීතා තෙන්නකෝන් වික්‍රමසිංහ මහත්මිය පවසා තිබිණි:.

“ඇතැම් විට පැය හත-අටක් එකම ඉරියව්වේ සිට ලියන තාත්තාට තේ බඳුනක් ගෙන ගොස් දුන් විට කීප වරක් නැවත නැවත එය මතක් කරන්නට අපට සිදු විය. පැය දෙක-තුනකට පසු ඒ තැනට යන අපට දකින්නට ලැබුණේ කුහුඹුවන්ගෙන් පිරී තිබුණු තේ කෝප්පයකි. ඇතැම් දිනෙක තාත්තා දවල් කෑමට නැඟිටින්නේ සවස 4ට පමණය. තම සිතෙහි පහළ වූ හැඟීමක් වදන් සිත්තමට නඟන්නට පටන් ගත් විට ක‍ාගෙන් හෝ සිදු වන බාදාවක් ඔහුට බාදාවක් නොවේ. පිටු ගණනාවක් ලිවීමට ඔහුට ගත වන්නේ සුළු කාලයෙකි. ඔහුගේ පෑන ඒ තරම් වේගයෙන් වැඩ කරයි. කඩදාසි පිටුවල රසවත් කවි ඔහු අතින් ලියැවෙන සැටි, කවි උපදින සැටි මම දැක ඇත්තෙමි.”

විදුහල්පතිවරයකු ලෙස තම වගකීම් නොඅඩුව ඉටු කළ තම පියා මහා කවියකු, කාරුණික පියකු ලෙස සිය පවුලේ සුබ සෙත ගැනද උනන්දු වූ බව කියන දියණිය තම කුඩා කා‍ලයේ සෙල්ලම් ගෙවල් තැනීමට කෝටු කැපීම, පොල් අතු විවීම සිය අතින්ම කරන තාත්තා, තමාට හුඹස් මැටිද ගුළි කර දුන් බව පවසා තිබිණි.

“කීර්ති අයියාත්, මාත්, විනීතා නංගීත් සෙල්ලම් ගෙයක් තනා නිම කරනු ඔහු බලා සිටියේ දුටු ගැමුණු රජු රුවන්මැලි සෑය ඉදි කරනු බලා ලැබූ සතුටට නොදෙවැනි සතුටෙකිනියි මට සිතෙයි. වෙසක් සමය ළං වන විට තාත්තාටත් අපටත් වැඩ බහුලය. තාත්තා අප සමඟ කැලයට ගොස් කපාගන්නා උණ ගස්, බට ගස් කපා වේළීමට තබා ඊට සතියකට පසු වෙසක් කූඩු තනයි. ලොකු කුඩා වෙසක් කූඩු රාශියක් සියතින්ම තනන ඔහු අප ලවා නන් පැහැති කඩදාසි එහි අලවා අලංකාර කළ පසු ඒවා දෙස බලා සිටින්නේ දඟකාර කොලුවකු ලෙසිනි. වඩු වැඩ, මේසන් වැඩ ආදියටද තාත්තා දක්ෂයෙකි. එළිමහනේ වාඩි වී සිටීමට බංකුවක් තනාගන්නට වුවමනා විටෙක කියත, මිටිය හා ඇණ ටිකක්ද අතට ගන්නා හේ එය අපූරුවට නිම කළේය.”

තාත්තාගේ කාමරය පොත් ගුලක සිරි ගත් බවත්, එය හොඳින් පිළිවෙළකට තබා තිබුණු අතර, වරක් කියවූ පොතක් තිබුණු තැනම තබන්නට ඔහු අමතක නොකළ බවත් ඇය කියා තිබිණි. තම දරුවන්ට රස කැවිලි, මිදි ඇපල් පලතුරු ගෙන එන්නා සේම තම පොත් ගුලට අලුත් පොත් ගෙන එන්නටද තාත්තා අමතක නොකළ බවද පවසා ඇති ඇය මෙසේද සඳහන් කර ඇත:

“අසුවල් රාක්කයේ අසුවල් පේළ‍ි‍යේ ඇති අසුවල් පොත ගෙන එන්නැයි අපට කියන ඔහුට අසුවල් පිටුව පෙරළා අසුවල් කරුණ ගැන බලන්නැයි කියන්නටද මතක තිබිණි. තාත්තා පොත් සමඟ පැවැත්වූ සම්බන්ධතාව එසේය. ඔහු රෝගීව සිටියදීද ගිලන්හලට ගිය අපට ඔහු කීවේ ඔහුට ප්‍රියතම පොත් ගෙන එන ලෙසයි. සුරතල් සතුනට තාත්තා දැක්වූයේ ඉමහත් ආදරයක්. තාත්තා දැඩි මානව භක්තියෙකින් කටයුතු කළ අතර දුප්පතුන්ටත්, කුඩා ළමයින්ටත් ඉමහත් අනුකම්පාවෙන් ආදරයක් දැක්වීය. අපේ ගෙදරට පැමිණෙන ඇතැම් දුප්පත් ළමයින් මට දිය සායම් පෙට්ටියක් නැතැයි, මට කවකටු පෙට්ටියක් නැතැයි කී විට තාත්තා පසුදාම ඒවා ඔවුනට ගෙනවිත් දුන්නේ හරිම සතුටෙකිනි.”

‘මගේ තාත්තා’ නමින් දියණිය ලියූ මේ සටහන අනඳපිය කුඩාතිහි විසින් ලියු ‘කවි සයුර’ ග්‍රන්ථයේ අගට එයි. මේ ලිපියේ විශේෂය නම් දියණිය තාත්තාගේ ප්‍රතිරූපය දුටු අයුරුය:

“පෙර රජ දවස සිංහල වීරයකු සිහි ගන්වන ආරෝහ පරිණාහ දේහයෙකින් යුත් මගේ තාත්තාට උස්ව නැඟී සිටි ඍජු නාසයක්ද තරමක් ලොකු කන් දෙකක්ද පුළුල් නළල් තලයක්ද හොඳින් පියැවුණු තොල් සඟළක්ද වියැ. එතුමාගේ මුවේ බො‍හෝ විටැ රැඳී තිබුණේ උපහාසාත්මක සිනහවෙකි. බියසුලු බව නොහඳුනන, දැඩි ආත්මශක්තියෙකින් හෙබි ඔහු මිනිසුනට, සතුනට මෙන්ම ගස්වැල්වලටද දැක්වූයේ ඉමහත් ආදර කරුණාවකි.”

රැපියෙල් තෙන්නකෝනුන් නුදුටු අයට ඔහු සිතින් මවාගන්නට මීට වඩා හොඳ ඉඟි බසක් කොයින්ද?

තෙන්නකෝනුන් සිය අවසාන කාලයේත් බල්ලාගේ ලණුවෙන් අල්ලාගෙන වත්ත පුරා ඇවිදීම ඔහුගේ ව්‍යායාමය වූ බව මු. අරුක්ගොඩ ලේඛකයා ලියා තිබිණි.

“ළඟදී කඹය පැටලී වැටිලා කකුල කැපුණා. කොට්ටයක් වගේ කකුල ඉදිමුණා. ඒකත් අරගෙන පසුගියදා (1964 සැප්තැම්බර්) සාහිත්‍ය රැස්වීමකට ඇවිදින් ඉන්නවා මට හමු වුණා. ‘තව අවුරුදු දෙකකින් විතර මැරෙන්න ඉන්න මිනිහා ටිකක් විවේක ගන්නවා කියන දොස්තරවරු කියනවා. ඒ වුණාට මේවට නෑවිත් බැහැනේ’ යයි උන්නැහේ කකුල පෙන්නලා මා සමඟ කීවා. එවිට මම කවි දෙපදයක් ඔහුට කීවා:

දොස්තරු කියන ලෙස එය සිදු නො වේවා

සියවස් ගෙවෙන තුරු යහතින් වෙසේවා...”

මේ සිද්ධියෙන් මාස හයකින් - එනම්: 1965 මාර්තු 08 වැනිදා - රැපියෙල් තෙන්නකෝන් මහතා ජීවිතයෙන් සමු ගත්තේය.

මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් තෙන්නකෝන් කවි සවිය ගැන පවසා ඇත්තේ මෙසේය:

“හෙළ හවුලේ නායකයා වූයේ කුමාරතුංගයි. ඔහු උසස් නිර්මාණ සාහිත්‍යකාරයෙකි. විචාරකයකු ලෙස ඔහුට ළං නොවූ රැ. තෙන්නකෝන් පද්‍ය කවියකු වශයෙන් ඔහු ඉක්මවූවෙකි.”

(සිංහල නවකතාව හා ජපන් කාමකතා හෙවණැල්ල)

Comments