ජනබලය කොළඹට දේශපාලන ඩීල් එකක් | සිළුමිණ

ජනබලය කොළඹට දේශපාලන ඩීල් එකක්

ආණ්ඩුවට ගෙදර යවන්න ඒකාබද්ධ විපක්ෂය පැවැත්වු ‘ජන බලය කොළඹට‘ විරෝධතාව දෙස රටම බලා හිටියා. ඒත් ඒ විරෝධතාව පුස්ස බින්දා වගේ කියලා ආණ්ඩුවේ බොහෝ දෙනාගේ මතය වෙලා තියෙන්නේ. විපක්ෂයේ පක්ෂයක් ලෙස මොකද හිතෙන්නේ.

ආණ්ඩුවේ ජනතා විරෝධි පිළිවෙතට එරෙහිව විරෝධය පෑමේ අයිතියක් ජනතාවට වගේම විපක්ෂයට තියෙනවා. බඩු මිල වැඩිවෙලා, ණය බරින් රටම මිරිකිලා, හොරු අල්ලනවා කියලා බලයට ආපු ආණ්ඩුව හොරු අල්ලන්නෙ නැහැ. හොරුන්ට දඬුවම් දෙන්නෙ නැහැ. එම නිසා ආණ්ඩුවට විරෝධය පෑමේ පිළිවෙත සිදු කළ යුතුමයි. එසේ වුවත් ‘ජන බලය කොළඹට‘ විරෝධතාව පෙන්නුම් කළේ කාල බීල විනෝද වෙච්ච් සැණකෙළියක් විතරයි. රටම දැක්කනේ ආපු අය ජොලියෙ නටපු විකාර ටික. ඒක තනිකරම විගඩමක් විතරයි.

මේ උද්ඝෝෂණ ජනරැල්ලෙන් ආණ්ඩුවට බලපෑමක් වුණේ නෑ කියලද ඔබ කියන්නෙ.

උද්ඝෝෂණයක් කියන්නෙ ආණ්ඩුවකට දැනෙන්න කරන්න ඕන ප්‍රතිචාරයක්. නමුත් මේ ජන බලය කොළඹට විරෝධතාවෙන් නම් ආණ්ඩුවට දැනෙන යමක් වුණා කියන්න බැහැ. මේ විරෝධතාව හරියට බරව කකුලෙන් ගැහුවා වගේ වැඩක් කියලයි අපට කියන්න තියෙන්නෙ. බරව හැදිච්ච කෙනා ඒ කකුලෙන් ගහනවා කියල ගෙදර උන්දැව බය කරගෙන හිටිය. කකුලෙන් ගහපු දවසෙ තමයි ගෙදර උන්දැ දැන ගත්තෙ පුළුන් කොට්ටෙකින් ගැහුව වගේ සුළු දෙයක් කියලා. ආණ්ඩුවට විරුද්ධව කරපු මේ උද්ඝෝෂණයත් ඒ වගේ. ආණ්ඩුවට ඒක කිසිම ගානක් වුණේ නැහැ කියලයි අපට නම් පෙනෙන්නේ. උද්ඝෝෂණයක තියෙන කිසිම ලක්ෂණයක් ‘ජනබලය කොළඹට‘ ගෙනාපු මේ ක්‍රියාදාමය තුළ තිබුණෙ නැහැ.

ඔබ කියන්නේ ඒකාබද්ධ විපක්ෂය කරපු මේ උද්ඝෝෂණයේ අරමුණ ආණ්ඩුවට එරෙහිව යෑමක් නොවන බවක්ද?

අපට නම් පේන්නෙ උද්ඝෝෂණයක් නමින් ගෙනිච්චට මේක ආණ්ඩුවෙත් ඒකාබද්ධ විපක්ෂයේත් ඩීල් එකක් කියලයි. මේ විරෝධතා ව්‍යාපාරය සංවිධානය කෙළේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා. අනෙක් අය යට ගියා. ඒ වගේම බැසිල් රාජපක්ෂ පැනලා රට ගියා. මේක එක පැත්තකින් නාමල් ඉස්මතු කිරීමේ ක්‍රියාදාමයක් වුණා.

විපක්ෂයේ ඉන්න නාමල් රාජපක්ෂ පෙරට ගෙන එන්න ආණ්ඩුව කටයුතු කරයි කියලා ඔබ හිතනවද?

මේක ඩීල් එකක් කිව්වෙ එක තමයි, එක පැත්තකින් නාමල් රාජපක්ෂ උඩට එනවා. අනෙක් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල්ට ඉහළට එන්න අවස්ථාව සලසා දෙනවා. උද්ඝෝෂණය තිබ්බෙ 5 වැනි දා. පහුවදා එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සරය. ඒකාබද්ධයෙන් ගෝඨාභයවත් වෙනත් අයවත් ඊළඟ ජනාධිපතිවරණ අපෙක්ෂකයා හැටියට මුලට ගේන බව පෙන්නුම් කළත් මේක එක පැත්තකින් රනිල් වික්‍රමසිංහ ඉස්මතු කරපු අවස්ථාවක් කියලත් අපට පේනවා. පක්ෂ සංවත්සරයට රනිල් වික්‍රමසිංහට හොඳට මුහුණ දෙන්න හදපු අවස්ථාවක් ලෙසයි පෙනෙන්නේ.

එහෙම ඩීල් එකක් තිබ්බා නම් පොලිසියේ 5000ක් ආරක්ෂාවට යොදවලා විශේෂ කාර්ය බළකාය සූදානම් කරලා මේ විදිහට පෙර සූදානමක් වෙන්න ආණ්ඩුවට අවශ්‍ය නැහැනෙ.

සාමාන්‍යයෙන් ශිෂ්‍යයො ටිකක් පෙළපාළි ගියත් ආණ්ඩුව ජල ප්‍රහාර කදුළු ගෑස්, බැටන් ප්‍රහාර දෙනවා. මේ උද්ඝෝෂණයට ආණ්ඩුවෙනුත් කිසිම බාධාවක් වුණේ නැහැනෙ. මේක දේශපාලන ඩීල් එකක් කිව්වෙ ඒකයි.

මේ පෙළපාළි අස්සෙ හරි කොහොම හරි ගණ පූරණය නැතිව පාර්ලිමේන්තුවත් කල් ගියා. එක් සභාවාරයකට රුපියල් ලක්ෂ 45කට වැඩියෙන් යනවා. මේ තත්ත්වය වළක්වන්න අලුතින් ස්ථාවර නියෝග හෝ රැගෙන ඒමට විපක්ෂයක් ලෙස ඔබ පක්ෂයේ යම් මැදිහත් වීමක් නැද්ද?

ඒකට වග කියන්න ඕන ජනතාවමයි. අතිවිශාල වියදමක් දරලා සභාවාරයක් තියන පාර්ලිමේන්තුව මඟ හරින ජනතා නියෝජිතයන් පත් කළේ ජනතාවමනෙ. මෙච්චර කල් ජනතාව කළේ ආණ්ඩු වෙනස් කරපු එකනෙ. ජනතාව වෙනස් වුණේ නැහැනෙ. දැන් ජනතාව වෙනස් වී කටයුතු කළ යුතුයි. සැබෑ ජනතා නියෝජිතයන් කවුදැයි නිවැරැදිව හඳුනා ගත යුතුයි. තමන් වෙනුවෙන් පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ ඔවුන් බව ජනතාව තේරුම් ගත යුතුයි. අපට කළ හැක්කේ ජනතාවට ඒ බව පෙන්වා දිම පමණයි. ජනතාව තීරණය කළ යුතුයි වෙනස් විය යුත්තේ කෙසේද කියා.

ඒ අතරේ ජනාධිපතිවරයාගේ බලතල අඩු කරන 20 වැනි සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ආවා. ජනතා විමුක්ති පෙරමුණ සැහෙන්න පෙරළියක් කළා මෙය පාර්ලිමේන්තුවට යොමු කරවන්න, ඊළඟට පක්ෂය ගන්නා පියවර ගැන විස්තර කළොත්...

දැන් කතානායකවරයා ඒ සංශෝධන කෙටුම්පත විෂයභාර ඇමැතිවරයාට බාර දිය යුතුයි. ඔහු මාස 6ක උපරිම කාලයකදී ඒ සඳහා අවශ්‍ය තම නිර්දේශ ඉදිරිපත් කළ යුතුයි. එම නිර්දේශ මාස 6ට කලින් ඉදිරිපත් කරන්නත් පුළුවන්. අවසාන මොහොතේදී ඉදිරිපත් කරන්නත් පුළුවන්. අපි බලාපොරොත්තු වනවා එය පාර්ලිමේන්තුවේ 3න් 2කේ වැඩි ඡන්දයෙන් සම්මත කර ගන්න. ඒකට සියලු පක්ෂවල සහාය අවශ්‍ය වෙනවා. වඩාත් සාධනීය කෙටුම්පතක් සකස් කරගෙන එය සම්මත කර ගන්න අපට පුළුවන් වේවි.

නමුත් ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ සීමා නිර්ණය පනත ආණ්ඩුව විසින්ම පරාජය කළ පසුබිමක දී මේ සංශෝධන කෙටුම්පතට ඡන්දය ලබා දෙයි කියල ඔබ හිතනවා ද?

අපි මේ වන විටත් පෞද්ගලික මට්ටමින් මැති ඇමැතිවරුන් සමඟ සාකච්ඡා පවත්වනවා. ඉදිරියේදී නිල වශයෙන් පක්ෂ සමඟ සාකච්ඡා පවත්වනවා. මේ සංශෝධනය පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට. ඒ සාකච්ඡාවලදී අපි පක්ෂවල අදහස් යෝජනා වගේම කළ යුතු වෙනත් සංශෝධන ගැනත් කතා කරන්න බලාපොරොත්තු වනවා.

විපක්ෂය නිතරම ආණ්ඩුවේ අඩුපාඩුමයි පවසන්නේ අධික මිල ඖෂධ රැසක මිල අඩු කරන්න සෞඛ්‍ය ඇමැතිවරයා කටයුතු කළා. ඒ ගැන නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ ඇයි?

සෞඛ්‍ය ඇමැතිතුමා අසනීප වුණාම බෙහෙත් ගන්න සිංගප්පූරු යන්නේ ඇයි? එතුමාටවත් විශ්වාස නැහැ ලංකාවේ සෞඛ්‍ය සේවාව ගැන. තමන්ගෙ පුතාගේ විවාහ මංගල්‍යය කෝටි ගාණක් වියදම් කරලා අරලියගහ මන්දිරයේ ගත්ත එකට ආපු ජන විරෝධය මැඬ පවත්වන්න, ජනතා අදහස් වෙන පැත්තකට යොමු කරන්න තමයි ඔය ඖෂධ එකක දෙකක මිල අඩු කරේ.

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ අතුරු වාර්තාවක් පසුගිය දා ජනාධිපතිවරයාට ලබා දුන්නා. මේ වාර්තාවෙන් හෝ යම් සහනයක් අතුරුදන් වූවන්ගේ ඥාතීන්ට ලැබෙයි කියා ඔබ විශ්වාස කරනවා ද?

රටේ අතුරුදන් වූවන් ලක්ෂ ගාණක් ඉන්නවා. ඒ සියලු දෙනා ගැනම තවම සොයා බලල නැහැ. උතුරේ මෙන්ම දකුණේත් එවන් පිරිස් රැසක් ඉන්නවා. මේ බාර දුන් අතුරු වාර්තාවෙන් බලහත්කාරයෙන් අතුරුදන් වූවන් පිළිබඳව විස්තර අඩංගු වන්නෙ නැහැ. ඒ ගැන තවමත් පරීක්ෂණ කර නැහැ. අපි බලාපොරොත්තු වනවා ඉදිරියේදී හෝ ඒ අයගේ ඥාතීන්ට සහනයක් සාධාරණයක් වෙයි කියලා. කොහාම වුණත් මේ අතුරු වාර්තාව අපි සුබවාදීව දකිනවා අඩුම වශයෙන් අනාගතයට හෝ යම් ප්‍රයෝජනයක් මේ වාර්තාව හරහා ජනතාවට වෙයි කියලා.

සංවාදය - තාරක වික්‍රමසේකර

Comments