ඓති­හා­සික ප්‍රබන්ධ ලිවීම දැළි පිහි­යෙන් කිරි කනව වගේ වැඩක් | Page 2 | සිළුමිණ

ඓති­හා­සික ප්‍රබන්ධ ලිවීම දැළි පිහි­යෙන් කිරි කනව වගේ වැඩක්

සම්මානලාභී සාහිත්‍යවේදියකු වන චම්මින්ද වෙලගෙදර විසින් රචිත නවතම සාහිත්‍ය නිර්මාණය වන “සන්තිපරං” කෘතිය ජනගත කිරීම එළඹෙන 12 වන දින සවස 03.00ට කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ .

මෙහි දී: මහාචාර්ය ජයරත්න බණ්ඩා දිසානායක මහතා “හද බැඳි බසක මනරම” මැයෙන් ද. මහාචාර්ය රාජ් සෝමදේව මහතා “කවකි ඉතිහස අපේකම් රැව්දෙන” මැයෙන් ද, මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා “නවකතාවේ කව් ලැකිය” මැයෙන් ද දෙසුම් පැවැත්වීමට නියමිත ය.

මතු දැක්වෙන්නේ අදාළ සාහිත්‍ය කර්තව්‍යය නිමිති කරගනිමින් චම්මින්ද වෙලගෙදර සාහිත්‍යවේදියා සමඟ කළ සාකච්ඡාවකි.

■ඔබ මේ නවතම කෘතිය නම් කර තිබෙන්නේ ‘සන්තිපරං’’ යනුවෙන්. පළමුවෙන් ම මේ නමේ අරුත පැහැදිලි කරන්න.

“සන්තිපරං” වචනය මට හමුවෙන්නෙ ධම්ම පදයේ “සුඛ වග්ගයේ” දී. එහි අරුත මගේ කතාවට අනුරුපව ආදේශ කරගත්තා. එයින් අරුත් ගැන්වෙන්නේ “නිවනට වැඩි තරම් සැපයක් තවත් නැත” යන්නයි.

මගේ කතාව මම ප්‍රබන්ධ කරන්නේ: නුවර කලාවියේ ජලය නොමැතිව දුක් විඳින, මියැදෙන, කිසිදු බලයක් නොමැති මිනිසුන් පිළිබඳව යි. ඔවුන්ගේ අභිමානය, ජීවිතය සහ සුසුම වෙන්නේ ජලය යි. ශ්‍රාවකයාට උත්තම සැප නිවන නම් ගොවියාගේ උත්තම සැනසුම ජලය යි. ඒ අරුතෙන් මම මේ කෘතිය “සන්තිපරං” යනුවෙන් නම් කළා.

■ඕනෑම නිර්මාණයක් තුළ ලේඛකයාගේ හෝ ලේඛිකාවගේ අත්දැකීමක් හෝ ඔහු හෝ ඇය ඇසු දුටු අත්දැකීමක් ගැබ් විය හැකියි. මේ කෘතියටත් එබඳු දෑ බලපෑවාද?

මේ නිර්මාණය 1800-1873 දක්වා නුවර කලාවියේ භාෂාව පිළිබඳව මම කළ පර්යේෂණයක් නිර්මාණාත්මක ව ඉදිරිපත් කිරීමට ගත් උත්සාහයක්. එහි දී මා ඇසූ දේවල් දුටු දේවල් සමග මගේ පෙර කියැවීම් සහ පරිශීලනය කළ දේවල් තුළට රිංගා යෑමෙන් මෙය නිර්මාණය වෙන්න ඇති. ඒ තුළට ඔබ කියන්නා සේම මගේ අත්දැකීම් සහ පෙරදැකීම් ද, කියවීම් ද මුහු නොවුණා නොවේ. ඒ නිසා නවකතාව කියන්නේ යථාර්ථයත් පරිකල්පනීය චිත්තවේගත් අතර එක්කාසුවක් නම් මෙය ද සැබෑව සහ නිර්මිතය මගින් ලියූ කතාවක්.

ඉතිහාසය ලිවීම සහ ඉතිහාසය ආශ්‍රයෙන් සාහිත්‍යය කෘතියක් නිර්මාණය කිරීම අතර පවතින වෙනස ඔබ දකින්නේ කෙසේ ද?

ඉතිහාසය තමන්ට ඇවසි ලෙස අලෙවිකරණයට අමුද්‍රව්‍යක් කර නොගෙන එය යළි කියවීමට යමෙකු අර්ථපූර්ණව කරන මැදිහත්වීම වැදගත්. මන්ද එය ඔහු හෝ ඇය අපට යමක් කියන්නට මැදිහත්වීමක් නිසා. ඒ නිසා ඉතිහාසය පාදක කර ගැනීම නිර්මාණ බංකලොත්භාවය වසා ගැනීමක් නොවිය යුතුය. තමන් ඉන්නා තැන නොදන්නා තමන් කව්දැයි හරිහැටි නොදන්නා, සිය දෙමාපියන් පවා සැක කරන, තමන් බිහිවූයේ හුදු මවගේත් පියාගේත් ලිංගික අවශ්‍යතාව නිසා යැයි සිතන වත්මන් ඇතැම් වැසියන් ඉන්නා දේශයට ඉතිහාසය ඉතා වැදගත්. හැබැයි එය දේශපාලනික,ආගමික මෙන්ම ජාතිවාදී නොවිය යුතුයි.

මම “සක්කාරං” සහ “සන්තිපරං”‍ නිර්මාණ ද්වයටම ඉතිහාස කාලවකවානු ගන්නවා. මෙහිදී මා කරන්නේ: වර්තමානයේ ජීවත් වෙන්නේ තාක්ෂණික ජීවීන්. ඔවුන් ඉතා නවීනයි. නිරුවතින් වුව ද එළිමහනේ ඉඳීවි. අනික ඔවුන්ගේ මෙවලම් අති නවීනයි. එහෙත් මේ බහුතරයක් දෙනා එදා ආචීර්ණකල්පිකයන් යැයි කියූ ඒ පැරණි මිනිසාට වඩා මිලේච්ඡයි කියන එක සහ මොවුන්ට ඒ ඉපැරැණියන්ගෙන් බොහෝ දේවල් ඉගෙනගැනීමට ඇති බව පැහැදිලි කිරීම යි.

මේ වන විට අපේ ඉතිහාසය පිළිබඳ බරපතළ ගැටලු‍ මතුවෙමින් පවතිනවා. ඒ, මහාචාර්ය රාජ් සෝමදේව මහතා සිය පර්යේෂණ ප්‍රතිඵල සමාජගත කිරීමත් සමඟ. මහාවංශය ප්‍රමුඛ ව මේ වන විට ලියැවි ඇති, බෝධිවංශය සහ වංසත්තපකාශනිය යනාදියෙහි අන්තර් ගත ඉතිහාසය සැබෑ ඉතිහාසය ලෙස සලකන්න පුළුවන්ද?

මා දකින විදියට නම් ඉතිහාසය කියන්නේ ගත වූ කාල වකවානුවක්. ඒක ලීවෙ මිනිස්සු. ඒ ලියන අයට ඉහළින් කොටසකුත් ඉන්න ඇති. ලියන්න එයාලගෙ අනුදැනුම හෝ ආශිර්වාදය තියෙන්න ඇති. එහෙම වුණාම ඇත්තක් වුණත් ඒ අයට එරෙහිව හෝ ඒ අයට රිදෙන දෙයක් ලියවේද? ඒ නිසා අපට ඔය බොහෝ දේ ග්‍රහණය කරගන්න වෙන්නෙ තාර බර ඇරල. ඒත් ඉතිහාසය පුරාවිද්‍යාත්මක සහ ශාස්ත්‍රීය වශයෙන් ඇති සාක්ෂි මත තීරණය කරන්න සහ විශ්වාස කරන්න පුළුවන් වන අවස්ථා තිබෙනවා. මම විශ්වාස කරන්නේ ඉතිහාසයත් විටෙක ඇත්තයි බොරුවයි අතර දෝලනය වෙන නවකතාවක් වගේ කියල.

මට හිතෙන්න අපි මෙහිදී කලබල වෙන්න අවශ්‍ය නෑ කියල . මොකද අද බොහෝ දෙනෙක් විද්‍යාත්මක නැත්නම් යමක් පිළිගන්නෙ නැහැනේ. ඒත් අද විද්‍යාවෙ වුණත් මුලින් කීව දේවල් වෙනස් කරල නැද්ද? ප්‍රතිකාර ක්‍රම බෙහෙත් හේත් කොයිතරම් වෙනස් ද?

ඔබ පළමුවෙන් ම සඳහන් කළා මේ සාහිත්‍යය ප්‍රබන්ධය වසර ගණනාවක පර්යේෂණයක ප්‍රතිඵලයක් බව. ඇතැම් අය මේ ආකාරයට විවිධ පර්යේෂණ කරල ඒ පර්යේෂණයේ දත්ත ඒ ආකාරයට ම සාහිත්‍යය කෘතියක් ලෙස ජනගත කරනවා. මේ ප්‍රවණතාව ඔබ දකින්නේ කෙසේ ද?

දත්ත යනු සාහිත්‍යය නොවේ. එහෙත් දත්ත ඇසුරෙන් සාහිත්‍යය නිර්මාණය කළ හැකියි. එහෙත් එය විටෙක දැළි පිහියෙන් කිරි කෑමක් වගේ. මොකද සමහරු ඉතිහාසය බයිබලය කරගෙන ඉන්නවා. එයාල බලන්නේ ඉතිහාසයෙ දින වකවානු, නම්, කෝදුවෙන් මැනල ඒ අනුව එයාල කියවපු කාල වකවානු සහ සිදුවීම් වෙනස්නම් එයට පහර ගහන්න. ඒක හරියට ඉතිහාසය බුද්ධ වචනයක් කියල හිතාගෙන වැඩ කරනව වගේ. නැත්නම් තමන් ඒ කාලයේ ඔවුන් ජිවත්ව හිටිය වගේ. ඔබට මා යමක් කියන්නම්. වරෙක එක් මහාචාර්යවරයෙක් මට කියනව “ඔයාගෙ සක්කාරං පොතට මෙවර සම්මානය දෙන්ඩ තිබුණා. ඒත් ඒකේ දින වකවානු අවුල්නෙ” කියල. මම නිහඬ ව සිටිය. මොකද ඔහු දන්නේ නෑ මම ලිව්වේ නවකතාවක් කියලා. පිළිගත් සහතික වූ ඉතිහාසය විකෘති කිරීම වරදක්. එහෙත් ඉතිහාසය ඇසුරු කරගෙන සිවිල් වැසියාගේ පරිකල්පනය අවදිකරවීම ඉතා වැදගත්. විශේෂයෙන්ම මේ වගේ අවිචාරවත් යුගයක දී.

පර්යේෂණයක් ඇසුරෙන් ප්‍රබන්ධ කෘතියක් නිර්මාණය කිරීමේ දී අනුගමනය කළ යුතු හෝ ඔබ අනුගමනය කළ ක්‍රමවේදය පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්න පුළුවන්ද? මම හිතනවා එය එබඳු නිර්මාණකරුවන්ට ප්‍රයෝජනවත් වේවි කියල.

පර්යේෂණයකින් සොයා ගන්නා හැමදේම ලියන්න පුළුවන් වෙන්නේ වාර්තාවක පමණයි. නිර්මාණයක් කිරීමේ දී නිර්මාණකරුවා ඉදිරියේ දී ඒ කරුණු මැටි පිඬක් විය යුතුයි. එහෙම නොවුණොත් එය දත්ත කියවීමක් පමණක් වෙනවා. එසේ නම් එය නිර්මාණයක් කරා යන ගමනේ දී පසු කළ යුතු මංසලවල් තිබෙනවා.

එයට අවශ්‍ය මස් ලේ ධමනි ශිරා මගින් ඇතුළු කර ඒවා පෝෂ්‍යදායක ලෙස කතාවට ලබා දිය යුතුයි. එය සිදුවන්නේ ලේඛකයාගේ පරිකල්පනික මානසික භූගෝලයේ දිග පළල අනුව යි. මම කරන්නේ මගේ පර්යේෂණයෙන් කෘතියට එහෙමත් නැතිනම් මගේ ප්‍රබන්ධයට ගැළපෙන දේ පමණක් උකහා ගැනීමයි. එය ද කතාවෙ විශ්වසනීයත්වයට අනුවයි. විශේෂයෙන් ම මම මෙහි දී තත්කාලීන ව්‍යවාහර බස පිළිබඳව සොයාබැලීමක් කළා. ඉන්පසු එ් බස ඇවසි තැන්වලට යොදා ගත්තා සේම මට අසන්නට ලැබුණු ඇතැම් සිදුවීම් මගේ චරිත බවට පත් කර ගත්තා.

අවසාන වශයෙන් මට කියන්න “සන්තිපරං” කියවන්න බලාපොරොත්තුවෙන් ඉන්න පාඨක ප්‍රජාවට පවසන්න යමක් තිබෙනවද ?

එකම දෙයයි කියන්න ඇත්තේ. මාව (“සන්තිපරං”) කියවන්න; පෙරළා ඔබ සමග සංවාද කරන්න. අපි කොතනක ද කියා සිතන්න. නමුත් අපිට එහෙම වුණේ ඇයි කියා දැන් සොයන්න යන්න එපා. අපි මේ ව්‍යසනයෙන් ගොඩවෙමු කියා සිතන්න. එහෙම සිතද්දි ම ඔබට වැටහේවි අපි කොතනද ඉන්න ඕනේ කියල. අපි එතනට යමු. තවමත් අපි ප්‍රමාදම නෑ .

Comments