පතුලක් නොපෙනෙන අගාධයක් | සිළුමිණ

පතුලක් නොපෙනෙන අගාධයක්

ශ්‍රී ලංකාව ප්‍රජාතාන්ත්‍රවාදී රටක් යැයි අප ඉගෙන ගත්තේ පාසැලේ සමාජ අධ්‍යයනය පාඩමේදී ය. එහෙත් දීර්ඝ කාලයක් තිස්සේ අපේ රට පාලනය වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්මයන්ට අනුව නොවේ.

අපට ප්‍රජාතන්ත්‍රවාදය හදුන්වා දුන්නේ අධිරාජ්‍යවාදීන් ය. ඒ වනවිටත් අපේ සංස්කෘතික ලේ, මස්, ඇට හා නගර වල ගමන් කළේ ඒකාධිපති ලක්ෂණ ය. සුද්දාගේ ප්‍රජාතන්ත්‍රවාදයට හුරු වෙන්නට අපට නොහැකි විය. අද පවා අපේ සමාජයේ සංස්කෘතික නැඹුරුව අනුව ඒකාධිපති ක්‍රමයකට පවතින ඉල්ලුම ඉහළ ය.

1994 දී පොදු පෙරමුණු ආණ්ඩුව බලයට පත්වූයේ 17 වසරක එක්සත් ජාතික පක්ෂයේ පාලනය අවසන් කරමිනි.1996 දී විදුලි වැඩ වර්ජනය ආ සැනෙන් පොදු පෙරමුණු ආණ්ඩුවේ ඇමතිවරු බියෙන් සසල වීය. තමන් එරෙහි වුණ දේශපාලන මතයන්ට පවා ආවඩන්නට පටන් ගත්හ. විදුලි වර්ජනයට එරෙහිව කොම්පඤ්ඤවීදියේ ගමන් ගත් පෙළපාලියක "ප්‍රේමදාස ඔබ නැවත එන්නැයි" පුවරු අතින් ගත් ආණ්ඩු හිතෛශීහු වූහ. ආණ්ඩු බලය ගන්නට තමන් විසින් ම ප්‍රතික්ෂේප කළ ප්‍රේමදාසගේ පාලනය ආණ්ඩු බලය ගෙන වසරක් තුළ නැවත අවශ්‍ය විය.

ආණ්ඩු පෙරළා තමන්ගේ ආණ්ඩුවක් පත් කර ගන්නට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය ය. එහෙත් පත් කර ගත් තමන්ගේ ආණ්ඩුව බලයේ තබා ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය පිටු දකී. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය යනු පරමාදර්ශයක් ලෙස නොව උපයෝගීතාවක් ලෙස බාර ගැනීමට අපේ සමාජය බොහෝ කැමති ය. ඊට හේතුව සමාජ වටිනාකමක් සහිත හර පද්ධතියක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය යොදා ගැනීමට සමාජයේ ඇති නොනැඹුරුතාවයයි.

2015 වසරේ දී ජනාධිපතිවරණය පවත්වන විට ද සමාජය දේශපාලනික ව ධ්‍රැවීකරණය වී තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදය අනුව ය. එක් කොටසකට ප්‍රජාතන්ත්‍රවාදී යහගුණය නයාට අඳු කොළ මෙන් විය. අනෙක් කොටස ප්‍රජාතන්ත්‍රවාදය අගයමින් ප්‍රජාතන්ත්‍රවාදයම ඉල්ලා හඩ නැඟූහ. ඒ අනුව ආණ්ඩු වෙනසක් ද ඇති විය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වූයේ හෙමිහිට ය. සමාජයට නොදැනෙන පරිදි ය; ක්‍රමිකව ය. සමහර ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වෙනස්කම් සමාජයට දරා ගැනීමට ද අපහසු විය.

දැන් ඒකාබද්ධ විපක්ෂය ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටින්නේ මරණෙන් අවදි වූ සාන්තුවරයන් ලෙස ය. ප්‍රජාතන්ත්‍රවාදය යනු මහජන අරගලයකින් දිනා ගන්නා මහජන ධනයකි. එය කාටවත් පෞද්ගලිකව අයිති බූදලයක් නොව සමාජය සතු දේපළකි. එය ලබාදීම හෝ ඉවත් කර ගැනීම යනු අර්ථ විරහිත ක්‍රියාවකි.

ලෝකයේ ම වර්ගවාදය පෝෂණය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළත ය. එහෙත් වර්ගවාදයට බලය පවත්වාගෙන යෑමට ප්‍රජාතන්ත්‍රවාදය අනවශ්‍ය ය. ඊට කදිම පරිසරයක් නිර්මාණය කරන්නේ ඒකාධිපතිවාදය තුළ ය. වර්ගවාදය තම නිවුන් සොහොයුරා ලෙස බැඳී ඇත්තේ ඒකාධිපතිවාදය සමඟ ය. ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක උපත ලබන වර්ගවාදය ඒකාධිපතිවාදය තුළ ලොකු මහත්වීම උත්ප්‍රාසජනක ය. බොහෝවිට සමාජය හඩ ගා ඉල්ලා සිටින්නේ ඒකාධිපති ක්‍රමයකි. වහල්ලු වහල් බැමි වලට ප්‍රේම කරන්නේ කෙසේ ද ප්‍රජාතන්ත්‍රවාදය නුහුරු නුපුරුදු සමාජයක් ඒකාධිපති ක්‍රමයකට ප්‍රේම කරති.

පසුගිය බදාදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ උපන් දිනය සමරමින් දානමය පුණ්‍ය කර්මයක් පවත්වන ලදී. ඊට සහභාගී වූ සියම් මහ නිකායේ අස්ගිරිය පාර්ශ්වයේ අනු නායක වෙඩරුවේ උපාලි නාහිමියෝ කරන ලද ප්‍රකාශයක් මේ වන විට ප්‍රසාරණය වෙමින් තිබේ. උන් වහන්සේ ප්‍රකාශ කළේ හිට්ලර් කෙනෙකු හෝ වී මේ රට හදන ලෙස ය. වෙඩරුවේ උපාලි අනු නා හිමියෝ රට පත් ව ඇති තත්ත්වය ගැන දරන සානුකම්පිත ආකල්පය මෙමඟින් පැහැදිලි වේ.

2015 වන විට රටේ ජනතාව අතට යහමින් මුදල් ලැබුණි. ඔවුහු තෙලෙන් කා කිරෙන් අත සෝදා ගත්හ. ඊට සමාන්තරව පාලකයන් ද පාලකයන්ගේ සහචරයන් ද රස මසවුළු වළදා බියර් බී විස්කි වලින් අත සෝදා ගත්හ. ඊට අවශ්‍ය මුදල් විදේශ ආධාර ලෙස ලබා ගත්හ. අත පල්ලෙන් වැටෙන්නට කීයක් හෝ සමාජයට ද දී තමන් ද ඕස්ට්‍රේලියාවේ ඇපල් වතු එක්සත් රාජධානියේ නවීන නිවාස පාලකයෝත් පාලකයන්ගේ යාළු මිත්‍රයෝත් මිල දී ගත්හ. කොටස් වෙළෙදපළත් ව්‍යාපාර වස්තු පාලනාධිකාරියත් වංචා පිට වංචා වලට නතු විය. ඒ යහපත් පාලනය දැන් අවසන් වී ඇත.

ඉතින් වෙඩරුවේ උපාලි හිමියන් කියන පරිදි මේ රට හැදිය යුතුය. ඒ හදන්නට ඒකාධිපතියකු අවශ්‍ය ය. ඒ ඒකාධිපතියා ගෝටාභය රාජපක්ෂ විය යුතුය. අස්ගිරියේ අනු නායක හිමිපාණෝ එසේ කීවත් ඒ මතය උන්වහන්සේ ණයට ගත්තේ මේ රටේ ජන විඥාණයෙනි. කෙසේ හෝ තෙලෙන් කා කිරෙන් අත හෝදන්නට බොහෝදෙනකුට අවශ්‍ය ය; එහෙත් ඊට බාධා කරන්නේ යහපාලනයයි. තමන්ගේ මඩිය ශක්තිමත් වෙනවා නම් කුමන යහපාලනයක් ද? ඒ නිසා රට හැදිය යුතුය. රට හදන්නට ඒකාධිපතියකු අවශ්‍ය ය.

2005 දී මේ රට හදන්නට රාජපක්ෂවරයකු තෝරා ගත්තේ ඊට කලකට පෙර ය.2019 දී මේ රට හදන්නට ද රාජපක්ෂවරයකු තෝරා ගනිමින් සිටී. එදා රාජපක්ෂ මෙන්ම මෙදා රාජපක්ෂ ද භාවිතය අනුව ඒකාධිපති ය. හැමදාම රට හදන්නට රාජපක්ෂවරයකුට භාර දෙන්නේ රාජපක්ෂවරුන් ඒකාධිපතියන් නිසා විය යුතුය. එහෙත් ප්‍රශ්නය වන්නේ සමාජය විසින් තෝරා ගන්නා මේ තේරීම් ප්‍රශ්නයට විසදුම් නොවීමය. විසදුම් හොයන්නට යෑමේ දී සමාජයේ තෝරා ගැනීම නැවතත් වටයකින් ප්‍රශ්නයක්ම වන්නේ ය. එසේනම් ප්‍රශ්නය ඇත්තේ තෝරා ගැනීම තුළ ය. ඒ තෝරා ගැනීම විසඳුමක් නොවන බව සමාජයට තේරුම් ගත නොහැකිය.

භික්ෂු සංස්ථාව විසින් රට තල්ලු කරමින් සිටින්නේ පතුලක් නොපෙනෙන අගාධයකට ද කියා සිතෙන්නේ ඒ නිසා ය.

Comments