ශ්‍රීලනිප ඉතිහාසය සහ මෛත්‍රීගේ භූමිකාව | සිළුමිණ

ශ්‍රීලනිප ඉතිහාසය සහ මෛත්‍රීගේ භූමිකාව

2005 දී මහින්ද රාජපක්‍ෂ භාරයට පත් වූ ශ්‍රීලනිපය යළි ගෝත්‍රවාදී දේශපාලනයට තල්ලු කළේය. 18 වැනි සංශෝධනය මඟින් ඔහු විධායක ජනාධිපති ක්‍රමය වඩාත් ශක්තිමත් කළේය. ඉන් ඔහු අපේක්‍ෂා කළේ ශ්‍රීලනිපය රාජපක්‍ෂලාට සින්න කිරීමය. මහින්දට එක් වූ ජාතිවාදි ආගම්වාදි කල්ලි නිසා, ශ්‍රී ලංකාව ලොවෙන් හුදෙකලා විය.

මෛත්‍රි එළියට බැසීම යනු ශ්‍රීලනිපය වෙනුවෙන් රාජපක්‍ෂගේ වැරදි නායකත්වය නිවැරදි කිරීමේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටිමකි. මෛත්‍රි එළියට බැස්සද නො බැස්සද, 2015 ජනවාරියේ මහින්ද ප්‍රතික්ෂේප වීමට නියමිතව තිබිණ. එදා මෛත්‍රි ඉදිරිපත් නොවුණා නම්, ශ්‍රීලනිපයට තවත් 1977ක් අත්විඳීමට ඉඩ තිබිණ. මෛත්‍රි ජනාධිපති වීමෙන් මහින්දට පමණක් ගෙදර යෑමට සිදු විය.

කාගෙ-කාගේත් සැක-සංකා අවසන් විය. මෛත්‍රී-මහින්ද එකතු වන්නේ නැත. මේ බවට ශ්‍රීලනිප මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මෙන්ම, පොදුජන පෙරමුණේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීරද සහතික වී ඇත. මේ සංසිද්ධියේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය පාර්ලිමේන්තු කණ්ඩායම අමතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එකතු කිරීමට දරන ප්‍රයත්නයේ දී ශ්‍රීලනිප නායකයා ලෙස ජනාධිපතිවරයා මැදිහත් විය යුතුව ඇති බව කීය. ඒ ඔස්සේ රටට ලැබෙන පණිවිඩ දෙකකි. පළමුවැන්න: මෛත්‍රී-මහින්ද එක් වීම හෝ නොවීම එජාපයට තීරණාත්මක නොවන බවය. දෙවැන්න: බිඳී-දෙදරී ගිය පක්‍ෂයක් එක් කිරීමේ වගකීම නායකයන් සතු කාර්යභාරයක් බවය. මෛත්‍රී ශ්‍රීලනිපය එක් කිරීමට උත්සාහ කිරීම දිවංගත ගාමිණී දිසානායක නැවත එජාපයට එක් වූ වහා තම ප්‍රතිවාදියා වූ ආර් ප්‍රේමදාසගේ නිවෙසට යෑම වැනි විශිෂ්ට සංසිද්ධියකි.

දේශපාලන පක්‍ෂයක් නිර්මාණය විය යුත්තේ බැසිල්ලා පොහොට්ටුව නිර්මාණය කළ අරමුණෙන් නොවේ. 1951 සැප්තැම්බරයේ ඇස්ඩබ්ලිව් ආර්ඩී බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නිර්මාණය කළේ පුළුල් වාමවාදි දේශපාලනයකට ඉඩ සලසමිනි. එහෙත් '56 සටන මුවහත් කළේ සිංහල-බෞද්ධ සටන් පාඨ ඔස්සේය. බලයට පත්ව බණ්ඩාරනායක සිදු කළ සමහර ආකර්ෂණීය වෙනස්කම් රටේ ඓතිහාසික අර්බුදවලට මුල් විය. සිංහල පමණක් රාජ්‍ය භාෂාව වීම ඊට උදාහරණයකි. එතෙක් මෝටර් වාහනවල අංක තහඩුවල තිබුණු ඉංග්‍රීසි අකුරු වෙනුවට ශ්‍රී අකුර යෙදීම තවත් පෙරළියකි. පසුව, 'ශ්‍රී' ප්‍රතික්ෂේප වී ඉරක් නිර්මාණය විය. වර්තමානයේ නැවත ඉංග්‍රීසි අකුරු භාවිත වේ. මේ ඓතිහාසික සංසිද්ධි දෙක කියන්නේ බණ්ඩාරනායකගේ හෝ '56 පෙරළියේ අසාර්ථක භාවය නොවේ; කාලය සමඟ වෙනස් වන ලෝකයට පක්‍ෂ දේශපාලනය අනුගත විය යුතු බවකි. අද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මුහුණ දී සිටින්නේ මේ අභියෝගය හමුවේය.

දේශපාලන පක්‍ෂයක් එකී යථාර්ථයට අනුගත නොවේ නම්, එකී පක්‍ෂය කල් ඉකුක්ව විනාශ වේ. හරියටම සමසමාජ කොමියුනිස්ට් පක්‍ෂ වගේය. 1966 ජනවාරි 8 වැනිදා එජාපය ගෙනා දෙමළ භාෂා විධිවිධාන පනතට එරෙහිව 'තුන් හවුල' හෙවත් ශ්‍රීලනිප කොමියුනිස්ට් සමසමාජ එකතුව කොළඹ වට කළහ. එදා වෙඩි කා මළ දඹරාවේ රතනසාර හිමියන්ගේ සිහිවටනයට කතා කළ හැකි නම් ශ්‍රීලනිපය කියාගන්නා අවස්ථාවාදින්ගෙන් අසන්නේ උඹලා වාසිය වෙනුවෙන් තවත් මිනි කීයක් ඉල්ලනවාද යන ප්‍රශ්නය පමණකි. ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව බෙංගමුවේ නාලක හිමියෝ පිටකොටුවේ මාරාන්තික උපවාසයක් කළහ. අද ශ්‍රීලනිපය පළාත් සභා ක්‍රමයට අනුගතව සිටිති. 2005 දී හෙළ උරුමය කොළඹ සිට මහනුවරට පාගමනකින් ගොස් විධායක ක්‍රමය අහෝසි කරන බවට මහ මළුවේ දී ප්‍රතිඥා දුන්හ. අද උදය ගම්මන්පිල කියන්නේ කුමක්ද?

ශ්‍රීලනිපය මුල් වූ '72 ජනරජ ව්‍යවස්ථාවෙන් සොල්බරි ව්‍යවස්ථාවේ 29-2 වගන්තිය අහෝසි විය. එහි ප්‍රතිඵලය දෙමළ ජාතිවාදි වඩුක්කොඩෛ සම්මුතිය බිහි වීමය. බණ්ඩාරනායක මැතිනිය, 1988 ජනාධිපති මැතිවරණ ප්‍රකාශනයෙහි '72 දී අහෝසි කළ සොල්බරි ව්‍යවස්ථාවේ 29-2 වගන්තිය නැවත නීතිගත කරන බවට ප්‍රතිඥා දුන්නාය. උතුරේ බෙදුම්වාදීන් සිය පළමු මිනිස් බිල්ල -එනම්: දොරෛ අප්පා ඝාතනය- කළේ 1973දීය. තිස් අවුරුදු යුද්ධයට රට මුහුණ දෙන්නේ මේ සංසිද්ධි හරහාය. ශ්‍රීලනිපය මෙසේ තමන්ට පැවරුණු වගකීමෙන් බැහැරව, ජනප්‍රිය සටන්පාඨ හඹා-ගිය අවස්ථා බොහෝය.

ශ්‍රීලනිපය පසුබා-ගියේ විකෘති ජාතිවාදි දේශපාලනයක් ඔස්සේය. එය තේරුම් ගත් හෙක්ටර් කොබ්බෑකඩුව, ඉලංගරත්න, විජය කුමාරතුංග, චන්ද්‍රිකා කුමාරතුංග ආදීහු නවසිය අසූ ගණන්වල ශ්‍රීලනිපය මතවාදි අරගලයන්ට මැදි කළහ. ශ්‍රීලනිපය පටු ජාතිවාදයෙන් මුදාගැනීමට චන්ද්‍රිකා කුමාරතුංග සමත් විය. ඇය බලය බෙදීම, ජාතික ඒකාග්‍රතාව මෙන්ම විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිවද ශ්‍රීලනිපය ශක්තිමත් කළාය. 2005 දී මහින්ද රාජපක්‍ෂ භාරයට පත් වූ ශ්‍රීලනිපය යළි ගෝත්‍රවාදී දේශපාලනයට තල්ලු කළේය. 18 වැනි සංශෝධනය මඟින් ඔහු විධායක ජනාධිපති ක්‍රමය වඩාත් ශක්තිමත් කළේය. ඉන් ඔහු අපේක්‍ෂා කළේ ශ්‍රීලනිපය රාජපක්‍ෂලාට සින්න කිරීමය. මහින්දට එක් වූ ජාතිවාදි ආගම්වාදි කල්ලි නිසා, ශ්‍රී ලංකාව ලොව හුදෙකලා විය. රටට අල්ලස් නීතිය හඳුන්වා දුන් බණ්ඩාරනායක චින්තනයට නිගා දෙමින් මහින්ද චින්තනය දූෂිතයන්ට නීතියේ රැකවරණ සැපයීය. මේ තත්ත්වයට එරෙහිව යම් චලනයක් ශ්‍රීලනිපය තුළ ඇති විය. ඒ වහා මහින්ද කළේ විපක්‍ෂයේ සිටි එජාප සහ වෙනත් මන්ත්‍රීන් සමඟ ශ්‍රීලනිපය තුළ සිය බලය තහවුරු කර, බණ්ඩාරනායකවාදීන් තනි කිරීමය. 'රාජපක්‍ෂ සමාගම' නිර්මාණය වී ශ්‍රීලනිපය අස්ථාවර වුණේ එහෙමය.

මේ සංසිද්ධි සමඟ 2014 වසර උදා විය. ඒ වන විට මෝදු වෙමින් පැවැති පක්‍ෂ අභ්‍යන්තරයේ දෙදරුම්-කෑම මහින්ද රාජපක්‍ෂ කල්ලිය විග්‍රහ කළේ බෙදුම්වාදි ජාතිවාදි එන්ජීඕ බලපෑම් හැටියටය. යථාර්ථය තේරුම් නොගැනීම සහ ශ්‍රීලනිපය සහ මහින්ද චින්තනය අතර ඇති ගැටුම හේතුවෙන් රාජපක්‍ෂ පාලනයට එරෙහිව සිවිල් බලවේග පෙළගැසිණ. 2014 නොවැම්බර් 21 දින මෛත්‍රීපාල සිරිසේන තවත් මන්ත්‍රීන් කිහිප දෙනකු සමඟ පාරට බැසීම බණ්ඩාරනායක චින්තනය හරහා නව ලෝකය දැකීමකි. බණ්ඩාරනායක 1924 දී පෙඩරල් ක්‍රමය ඇගයීමත්, 1972 ව්‍යවස්ථාව ගෙනා මැතිනිය 1988 දී සෝල්බරි ව්‍යවස්ථාවේ 29.2 වගන්තිය කෙරෙහි විශ්වාසය තැබීමත් ශ්‍රීලනිපයේ යථාර්ථවාදි දැක්මට උදාහරණයි.

ශ්‍රීලනිප දේශපාලනයෙන් සවිමත් වූ මෛත්‍රී ජාතිවාදි නැත. වංචා දූෂණයන්ට එරෙහිව සිටී. සංහිඳීයාව ජාතික සමගිය වෙනුවෙන් පෙනී සිටී. මෛත්‍රි එළියට බැසීම යනු ශ්‍රීලනිපය වෙනුවෙන් රාජපක්‍ෂගේ වැරදි නායකත්වය නිවැරදි කිරීමේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටිමකි. මෛත්‍රි එළියට බැස්සද නො බැස්සද, 2015 ජනවාරියේ මහින්ද ප්‍රතික්ෂේප වීමට නියමිතව තිබිණ. එදා මෛත්‍රි ඉදිරිපත් නොවුණා නම්, ශ්‍රීලනිපයට තවත් 1977ක් අත්විඳීමට ඉඩ තිබිණ. මෛත්‍රි ජනාධිපති වීමෙන් මහින්දට පමණක් ගෙදර යෑමට සිදු විය. මහින්ද රාජපක්‍ෂ ශ්‍රීලනිප නායකත්වය මෛත්‍රිට භාර දුන්නේ වෙනත් විකල්පයක් නොතිබුණු නිසාය. පරාජයේ වගකීම් තනිව භාර ගත් බැසිල් රාජපක්‍ෂ රටින් පැන ගියේ පක්‍ෂයේ ජාතික සංවිධායක තනතුරත් අරගෙනය. බැසිල් රට යෑමෙන්, මහින්ද පක්‍ෂය භාර දීමෙන් ශ්‍රීලනිපය අසරණ නොවුණේ මෛත්‍රිගේ පෙනී සිටීම නිසාය. ඒ හුවමාරුව, රාජපක්‍ෂලා විරාමයක් ලෙස සලකනු පෙනේ. එහෙත් ශ්‍රීලනිපයට එය හැරවුම් ලක්‍ෂ්‍යයකි.

මහින්ද ඉදිරියට දමා බැසිල් නැවත රාජපක්‍ෂ රෙජීමය ගොඩනැගීමට දරන වෑයමට උර දෙන මහින්දානන්ද අලුත්ගමගේ, කුමාර වෙල්ගම, නාමල් රාජපක්‍ෂ ආදීහූ අනේක වංචා-දූෂණ පිළිබඳ චෝදනා ලබන්නෝ වෙති. බැඳුම්කර පරීක්‍ෂණ අවසන් වන තෙක් රවි කරුණානායක ඇමැති කමෙන් ඉවත් වුණාට මහින්ද රාජපක්‍ෂ නඩු අවසන් වන තෙක් පොහොට්ටුවේ කථීකයන් වන බැසිල්ට නාමල්ට මහින්දානන්දට ගෙදර ඉන්න කියන්නේ නැත. ඊට අමතරව පොහොට්ටුව සමඟ පෙළගැසුණු දිනේශ් බන්දුල ගම්මන්පිල විරවංශ සිව් දෙනාම ජාතිවාදි ඡන්ද හරහා කොළඹින් පාර්ලිමේන්තුවට යන්නෝ වෙති. මේ සිද්ධ වෙන්නේ 1966 ජනවාරි 8 දා කොල්ලුපිටියේ දී සිදු වූ දේමය. එදා දෙමළ භාෂා විධිවිධාන පනතට එරෙහි වීමෙන් ඇන්ඇම්, කොල්වින්, එස්ඒ වික්‍රමසිංහ මෙන්ම, 2010 දී මහින්දගේ 18 වැනි සංශෝධනයට ඡන්ද දීමෙන් තිස්ස විතාරණ, ඩියු ගණසේකර ආදීහුද, ඉතිහාසයේ කුණුබක්කියට විසි වූහ. මුළු මහත් රටක් කැසිනෝ පනතට එරෙහි වෙද් දී, හෙළ උරුමයේ පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමි ඊට අත ඔසවා භික්‍ෂු සමාජයම කෙලෙසීය.

මේ සාරාංශගත කළේ 1930 ගණන්වල පටන්ගත් ශ්‍රී ලංකාවේ වාම දේශපාලනය සහ 2000 ගණන්වල ආරම්භ වූ හෙළ උරුමය මහින්ද විසින් විනාශ කරන ලද කතාවය. ඒ සියලු පසුබෑම්වල විපාක මහින්ද රාජපක්‍ෂ නිසා, 2015 දී ශ්‍රීලනිපය ජනතාවගෙන් ප්‍රතික්ෂේප විය.

එළඹෙන පුංචි ඡන්දය හරහා ශ්‍රීලනිපය ලිට්මස් පරීක්‍ෂණයට මුහුණ දෙමින් සිටිති. කිසි විටෙක අමෙරිකන් පුරවැසිභාවය අත් නොහරින බව බැසිල් සහ ගෝඨාභය ප්‍රකාශ කර හමාරය. ද්විත්ව-පුරවැසි භාවය නිසා ගීතා කුමාරසිංහගේ දේශපාලනය විතැන් විය. ඡන්ද ගුණ්ඩුවක් ලෙස බෙදූ සිල් රෙදි සඳහා රාජ්‍ය මුදල් භාවිත කිරීම වැරදි බව අධීකරණය තීන්දු කළේය. ඊට එරෙහි ජනමතයක් ගොඩනැගීමට භික්‍ෂූන් පිණ්ඩපාතයේ යෑමට පෙලඹවීමෙන් භික්‍ෂූහු අපහසුවට පත් ව සිටිති. ඉපැයූ මුදල් වත්කම්වලින් පොහොට්ටුව සංවිධානය කරන්නේ දේපළ හිමිකම් අත්හරින බව පෙන්වන බැසිල් රාජපක්‍ෂ විසිනි. ඉපැයූ කෝටි ගණන් වටිනා දේපළ උපයාගත් ආකාරය කිව නොහැකිව, විමල් විරවංශට නඩු පැවරී ඇත. ඔහුගේ පක්‍ෂයේ උපනායකයා පවා මේ වන විට මෛත්‍රිගේ නායකත්වය පිළිගෙන ශ්‍රීලනිපයට එක්ව සිටියි. ගෝඨාභය රාජපක්‍ෂ දෙමවුපියන්ගේ නම් විකුණා සොරකම් කළ රාජ්‍ය මුදල් පිළිබඳව නීතියේ රැහැනේ එතෙමින් සිටියි. දිනක් තුළ ඒකපාක්‍ෂිකව ගෝඨා වෙනුවෙන් නිකුත් වූ අධිකරණ නියෝගයට නීතිපති විසින්ම අභියෝග කර හමාරය.

පසුගිය සතියේ 'සිළුමිණ' පත්‍රයෙන් විග්‍රහ කළ පරිදි නිදහස් ශ්‍රී ලංකාව මේ ගත කරන්නේ සිය 69 වැනි වසරය. ලෝක ඉතිහාසය වෙනස් කළ ඔක්තෝබර් විප්ලවයට සිය 69-70 වැනි වසර දරාගත නොහැකි තීරණාත්මක එකක් විය. විප්ලවයෙන් 69-70 වැනි වසරෙහි සෝවියට් රුසියාව විතැන් විය. ඔක්තෝබර් විප්ලවයට සියවස උදා වන විට, 'සෝවියට් රුසියාවක්' මිහි තලයෙහි නොතිබිණ. මේ කෙටි උදාහරණය මඟින් ශ්‍රීලනිපය තීරණය කළ යුත්තේ ශ්‍රීලනිපය තවදුරටත් බොරුකාරයන්ගේ ගොදුරක් වනවාද නැද්ද යන්න පමණකි; හෙවත් කාලය නිර්මාණය කළ යථාර්ථයට මුහුණ දෙනවාද නැද්ද යන්න පමණකි. සමහරු පෙරෙස්ත්‍රොයිකාව නිසා ගොර්බචෝව්ට 'ද්‍රෝහියා' කීහ. සමහරු මෛත්‍රිට 'නිකමා' කීහ. මෛත්‍රි ජය ගත් වහා මහින්ද වටේ සිටි සමහරු වහා දිව ආහ. එසේ පැමිණි ඔවුන්ට දූෂණයෙන් තොර පාලනයක හැඩ-රුව දැකීමේ අවස්ථාව උදා වී ඇත.

මෛත්‍රීපාල සිරිසේන යථාර්ථය තේරුම් ගත් නායකයා පමණක් නොව, එජාපය-ශ්‍රීලනිපය එක් කොට ජාතික ප්‍රශ්න සාකච්ඡා කිරීමේ කැඳවුම්කරුද වී සිටියි. ඔහු නිර්මාණය කළ සංහිඳියා පාලම දිගේ කොළඹ පැමිණි ආර් සම්පන්දන්ලා ඒකීය රටක ජීවත් වීමේ අපේක්‍ෂාව සහතික කර ඇත.

 නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

Comments