ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී වැඩියි | සිළුමිණ

ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී වැඩියි

 ආණ්ඩුව පත්වී වසර දෙකකට පසුව උද්ගතවී ඇති තත්ත්වය, සයිටම් සහ විශ්වවිද්‍යාල ප්‍රශ්නය, අතුරුදන් කරවීම් වලට එරෙහි අන්තර්ජාතික ප්‍රඥප්තියට අස්සන් කිරීම, පළාත් පාලන ඡන්දය පැවැත්වීම යන කාරණා පිළිබඳ සමාජ සවිබලගැන්වීම, සුබ සාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී. දිසානායක මෙසේ අදහස් දක්වයි.

* ආණ්ඩුව පත්වෙලා වසර දෙකකට ආසන්නයි. ගෙවිලා ගිය කාලය දිහා බලපුවාම රටේ අර්බුදකාරී තත්ත්ව දිනෙන් දින උග්‍රවුණා කියන චෝදනාව නැගෙනවා. එක් අතකින් ආණ්ඩුව අභ්‍යන්තරයේත් ප්‍රශ්න, රට අභ්‍යන්තරයේත් සයිටම් නිසා, විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළු තවත් ප්‍රශ්න ගණනාවක් මතුවෙලා තිබෙනවා.‍ මෙහෙම බලපුවාම මේ ආණ්ඩුවට තවදුරටත් ඉදිරියට යාම ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා නේද?

ආණ්ඩුව ඇතුළේ අර්බුද ගණනාවක් තිබෙනවා කියන කාරණය මේ ආණ්ඩුවට අලුත් දෙයක් නො වේ. මගේ දෘෂ්ටි කොණයෙන් බලනකොට එහෙම අර්බුදයක් නැත්නම් ‘ඒ මොකද බොල එහෙම වෙලා තියෙන්නේ?’ කියලයි මම බලන්නේ. මගේ මතය අනුව මේ ආණ්ඩුව ඇතුළේ අර්බුද තිබෙනවා නම් හරි. මොකද හේතුව ලෝක ඉතිහාස‍යේ පළමු වතාවට රටක ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එහෙම නැත්නම් එකිනෙක ප්‍රතිවිරුද්ධ මත දරන දේශපාලන පක්ෂ දෙක එකතුවෙලා ආණ්ඩුවක් හදලා තිබෙනවා. මේ පක්ෂ දෙකේ ඇතැම් කරුණු මේ පක්ෂ දෙකට ගැළපෙන්නේ නැහැ. සමහර එක්සත් ජාතික පක්ෂ මතවාද අපිට ගැළපෙන්නේ නැහැ. අපේ මතවාද එක්සත් ජාතික පක්ෂයට ගැළපෙන්නේ නැහැ. එහෙම තත්ත්වයට ආණ්ඩුව ඇතුළේ මේවගේ අර්බුදයක් තිබෙන එක සාමාන්‍ය දෙයක්.

ඔබ ආණ්ඩුවෙන් එළියේ තිබෙන ප්‍රශ්න ගැන කිව්වනේ. එළියේ තිබෙන දේවල් දෙස මම පෞද්ගලිකව දකින්නේ ඒවා මර්දනය කරලා දාන්න ඕනේ කියන එකයි. මොකද ආණ්ඩුව තීන්දුවක් ගත්තම ඒවාට විරුද්ධ වෙනවා නම් ඒවා මර්දනය කරලා දාන්න ඕනේ.‍ බොහොම සාමකාමීව විරෝධයක් දක්වන්න පුළුවන්. හැබැයි ඒක දිගටම යනවා නම්, වෛද්‍යවරු වගේ කණ්ඩායමක් අනවශ්‍ය විදිහට වර්ජනයට යනවා නම් හදිසි නීතිය දාලා, රාජකාරිය අත්‍යවශ්‍ය සේවාවක් කරලා, සියලු දෙනාගේම දේපළ රාජසන්තක කරනවා කියන තැනට ගිහිල්ලා, ඒක ඉවරයක් කරලා දාන්න ඕනේ කියන එකයි මම කියන්නේ. ඒක 1975-76 වගේ කාලයේ ජෝර්ජ් රාජපක්ෂ සෞඛ්‍ය ඇමැතිවරයා කළා. ඒවගේ දේවල් වලට සමාව දෙන්න හොඳ නැහැ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ වුවත් ඔවුන් අද පෙනී සිටින්නේ සයිටම් එකට විරුද්ධව නො‍ වේ. සමස්ත පෞද්ගලික අධ්‍යාපනයටම විරුද්ධවයි. මේ ළමයි කියන්නේ උතුරු කොරියාව නැත්නම් කියුබාව දෙන්න කියලයි. ඒක ඒ අයගේ තියෙන දැනුමේ, කියවීමේ, ලෝකයේ ප්‍රවණතා පිළිබඳ තිබෙන අවබෝධයේ දුප්පත්කමයි. ඒ නිසා ඒ ළමයින්ට දගලන්න දෙන්න හොඳ නැහැ. මම විශ්වවිද්‍යාල බාර ඇමැතිවරයා වශයෙන් සිටියා නම් මේ අයට විශ්වවිද්‍යාලයෙන් එළියට එන්න දෙන්නේ නැහැ. මම එහෙම කරලත් තියෙනවා. මේ අයට මේ ආණ්ඩුව හොඳ වැඩියි. ජනාධිපතිතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන, නිදහස ගැන තිබෙන අදහස අපිට තිබෙන අදහසට වඩා පුළුල්, ප්‍රබලයි. මේනිසාමනේ දැන් ඔය පොදු විපක්ෂය කියලා එකක් බිහිවෙන්නෙත්. එතුමාම තමයි කිව්වේ කමක් නැහැ එළියට ගිහින්ලා විපක්ෂයේ ඉන්න කියලා. ඒනිසා අවුරුදු දහයක ආඥාදායකත්ව පාලනයකින් රටේ අයට නිදහස ලබපුවාම ‍බොහෝ පිරිසක් නිදහස අයුතු විදිහට පාවිච්චි කරනවා. මාධ්‍ය ගැන බලන්න. සමහර මාධ්‍ය හැසිරෙන්නේ ජනතාවට, රටේ සාමයට, නීතියට, සංහිඳියාවට තර්ජනයක් වෙන විදිහටයි. මම මේක දකින්නේ යහපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් ලෙසයි.

* ඔබ මෙහිදී මර්දනය කළ යුතු බව කිව්වා. යහපාලනයට මර්දනය කැපද?

මම එතැන්දි මර්දනය කියලා අදහස් කළේ මේවා වළක්වන්න ඕනේ කියන එකයි. මර්දනයයි, වැළැක්විමයි කියන්නේ දෙකක්. හදිසිනීතිය වගේ තත්ත්වයක් දාලා, අත්‍යවශ්‍ය සේවයක් කරලා වර්ජනය පරාජය කරලා දාන්න ඕනේ. මර්දනය කියන්නේ ඕක නො වේ. මර්දනයට ‍හොඳ උදාහරණයක් තමයි ‍ඩෙන් ෂියා‍ඕ පින් තරුණයෝ මර්දනය කළ ආකාරය. එතකොට එහෙම තත්ත්වයක් නොවේ මම මෙතෙන්දි අදහස් කළේ.

* අමාත්‍යවරුන් අතරත් බොහෝවිට ගැටුම් වාර්තා වෙනවා. විශේෂයෙන්ම කැබිනට් ඇමැති, රාජ්‍ය ඇමැති, නියෝජ්‍ය ඇමැති ගැටුම නිතරම දකින්න තිබෙනවා. මෙය ඉදිරියට යාමට තවත් බාධාවක් නේද?

මමත් 1994 ඉදන් ඇමැතිවරයෙක් ලෙස කටයුතු කරලා තියෙනවා. 94 ඉදන්ම මම දකින දේ තමයි, උප ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරු නිතරම ඉන්නේ ප්‍රශ්න, කලකිරීම්, මැදයි. ඒ තත්ත්වය චන්ද්‍රිකා මැතිනි‍යගේ ආණ්ඩුවෙත් තිබුණා. 2001-2003 රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවෙත් තිබුණා. මහින්ද රාපපක්ෂ මහතාගේ ආණ්ඩුවෙත් තිබුණා. වර්තමාන ආණ්ඩුවෙත් තියෙනවා. ඊට කලින් යුගවලදීත් මේ තත්ත්වය තිබුණා.

ඇමැතිවරුත් මේවා තමන්ට හම්බවුණු බූදලක් නොවේ. තාවකාලික කොන්ත්‍රාත් කියලා හිතාගෙන කටයුතු කරනවා නම් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. මගේ අවුරුදු ගණනක ඉතිහාසය තුළ නම් කිසි දවසක නියෝජ්‍ය ඇමැති එක්ක ගැටුම තිබුණේ නැහැ. සුහදශීලිව කටයුතු කළා. අදත් රන්ජන් රාමනායකයි, මමයි බොහොම සුහදශීලීව කටයුතු කරනවා.

අනික අනිත් ආණ්ඩු එක්ක බලපුවාම මේ ආණ්ඩුව හොඳයි. මේ ආණ්ඩුවේ ඇමැතිවරුන්ට එළියට ඇවිල්ලා කතා කරන්න නිදහස තියෙනවා. පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කට අරින්න දුන්නෙත් නැහැ. ඒත් අද එහෙම නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න විවෘතව කතා ‍කරනවා.

* ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අස්සන් කරලා තිබෙන අවබෝධතා ගිවිසුමේ කාලය අගෝස්තු මාසයෙන් අවසන් වන බව කියනවා. එතනින් එහාට මොකද වෙන්නේ?

මම නම් ඔය අවබෝධතා ගිවිසුමක් ගැන දන්නේ නැහැ. මට ඒක කිසිම වැදගත්කමකුත් නැහැ. පක්ෂ දෙක එකට ඉදීම යුගයේ අවශ්‍යතාවක් නම් අපි එකට ඉන්නවා. අපි මේ ප්‍රශ්නයේදී බලන්න‍ ඕනේ ර‍ටේ අවශ්‍යතාවයි, සංවර්ධනයයි, ඒනිසා මට ඔය අවබෝධතා ගිවිසුම කවද්ද ඉවරවෙන්නෙ කියන එක කිසිම වැදගත්කමක් නැහැ. මේ පක්ෂ දෙකට ජනතාවට පොරොන්දු වෙච්ච දේවල් තියෙනවා තව ඉෂ්ට කරන්න. අපි තවම අලුත් ඡන්ද ක්‍රමයකට ගිහින්ලා නැහැ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන තවම සාකච්ඡා කරනවා. ලෝකයෙන් අපිට එල්ල වුණු චෝදනා තවම අවසන් වෙලා නැහැ. ඉතින් මම හිතන්නේ මේ අවශ්‍යතාව මත තමයි ඉදිරිය බලන්න වෙන්නේ. හැබැයි මැතිවරණයකදී පක්ෂ දෙක දෙපැත්තට වෙලා තරග කරන්න ඕනේ කියලයි මම විශ්වාස කරන්නේ.

* නමුත් ආණ්ඩුවේ හිටියා ඇතියි කියලා හිතන පිරිසක් ඉන්න බව පේනවා. මේ නිසා නේද 18 දෙනෙක් ස්වාධීනව ඉන්නවා කියලා කියන්නේ?

එහෙම මත එක එක්කෙනා කියනවා. මාධ්‍යවේදීන් ඉන්නවා විවිධ මත දරන. ඒවාගේම තමයි දේශපාලනඥයෝ. ඔවුන්ටත් විවිධ මත තියෙනවා. ඒ අය ඒක ප්‍රකාශ කරනවා. ඒවා අපිට වැදගත් නැහැ. රටේ අවශ්‍යතාවයි වැදගත් වෙන්නේ.

* මහින්ද රාජපක්ෂ මහත්තයා සමඟ ඉන්න ඒකාබද්ධ විපක්ෂයේ පිරිස සමඟ එකමුතු වෙන්න කරන සාකච්ඡාවල අරමුණ මොකක්ද?

මහින්ද රාජපක්ෂ මහත්තයා අපේ පක්ෂයත් එක්ක ඉන්න ඕනේ කියන මතය හැමදාම තියෙන දෙයක්. මොකද මේ පක්ෂය බෙදීමක් නොවී ඉවර කරගන්න මහින්ද රාජපක්ෂද, චමල් ද, ගෝඨාභය ද අපිට වැදගත් වෙන්නේ ඒ හැමෝම එකතු කරගන්න ඕනේ. හැබැයි අපේ පක්ෂයෙන් විපක්ෂයට ගිය සමහර පිරිස් ඉන්නවා ඒ අයට ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණයකදී සම්පූර්ණයෙන්ම පරාද වීමයි. ඒක ඒ අයගේ සිතීමේ නිදහස, ඒ අනුව ක්‍රියා කිරීමේ නිදහසත් ඒ අයට ති‍යෙනවා. නමුත් පක්ෂයේ එකතුවෙලා ගමනක් යන්න ඕනේ කියන පිරිසක් ඉන්නවා. ඒ අයට මේ එකමුතුව අවශ්‍යයි.

* පසුගියදා අස්ගිරි විහාරයේ නායක හිමිවරුන් ප්‍රකාශයක් නිකුත් කළා. දැන් මල්වතු-අස්ගිරි ඇතුළු ත්‍රෛ නිකායික භික්ෂූන් වහන්සේලා නිවේදනයක් නැවතත් නිකුත් කරලා තියෙනවා. ඒ අනුව ආණ්ඩුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට යෑමේ අවශ්‍යතාවක් නැහැ කියලා තියෙනවා?

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට යන්න එපා කියන කණ්ඩායමේ මමත් ඉන්නවා. ඒක මම පක්ෂය ඇතුළෙත් කියලා තියෙනවා. මොකද අපිට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට යන්නට ජනවරමක් ආණ්ඩුවට නැහැ.

* ඔබ ‍ඔහොම කිව්වට රාජිත සේනාරත්න ඇමැතිතුමා කියන්නේ ආණ්ඩුවට ජනවරම තියෙන්නේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහයි කියලයි.

නව ආණ්ඩුක්‍රමය පිළිබඳ සාකච්ඡාවකට ගිහින්, ඒ පිළිබඳව කෙටුම්පත් හදන එක කිසිම වරදක් නැහැ. අපි එදිනෙදා පවතින ප්‍රශ්න එක්ක ජීවත්වෙන්න ඕනේ. ඒනිසා අපි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන හිතන එක හොඳයි. හැබැයි. ත්‍රෛනිකායික හිමිවරු කියන විදිහට තමයි මමත් එකඟ වෙන‍්නේ. මොකද ආණ්ඩු ක්‍රමයකට යන්න මේ ආණ්ඩුවට ජනවරමක් දීලා නැහැ. ඒ එක්කම උන්වහන්සේලා කියනවා, නිවැරදි මැතිවරණ ක්‍රමයකට යන්න කියලා. අපි 19 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනයට ගියෙත් 20‍ගේනවා කියලා පොරොන්දු වූ නිසයි. ජනාධිපතිතුමයි, අගමැතිතුමයි දෙන්නම 20 වැනි සංශෝධනය ගේන්න පොරොන්දු වුණා. අපි අදත් කියන්නේ 20 ගේන්න කියලයි.

හැබැයි මෙතෙන්දි තව එකක් කියන්න මම කැමැතියි. මේ රටේ ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්නය වෙනුවෙන් අපි යමක් කරන්න ඕනේ. එතකන් සංශෝධන වලට අපි එකඟයි. ඊළාම් හදන්නේ නැතිව, පෙඩරල් හදන්නේ නැතිව සුළු ජනතා‍වගේ අයිතීන් ආරක්ෂා වෙන වෙනස්කම් වලට අපි සම්පූර්ණයෙන්ම එකඟයි. ඒ නිසා අපි මේ ගැන කතා කරලා කලබල වෙන්නේ නැතිව ප්‍රශ්නය විසඳා ගනිමු. නායක හාමුදුරුවරු රටට ආ‍‍දරෙයි. ජනතාවට ආදරෙයි. ඒ නිසා හොඳම දේ හොඳම විදිහට කෙරෙනවා දකින්න උන්වහන්සේලා කැමැතියි. ඒනිසා අපිට කිසිදෙයක් ගැන බයවෙන්න දෙයක් නැහැ.

* අතුරුදන් වූවන් පිළිබඳ පනත ගැන විශාල කතාබහක් ඇතිවෙලා තිබෙනවා.මෙයින් රණවිරුවන් සහ ත්‍රස්තවාදය මැඬලීමට නායකත්වය දුන් අය දඩයම් කිරීමට නේද සූදානම් වෙන්නේ?

ඒ පනත ඔය විරෝධතා දක්වන පිරිස නිසා තමයි බාල්දි වැටිලා තියෙන්නේ. ඔයාලා පෙන්වන කිසි දෙයක් ඒකේ නැහැ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ රටට පටවපු බෝම්බයෙන් ගැලවෙන්න හොඳ ප්‍රවේශයක් මේක. අපිට, රටට, ජාතියට එක්සත් ජාතීන්ගේ සංවිධානය විවිධ චෝදනා ගෙනාවේ පසුගිය ආණ්ඩුව අන්තර් ජාතික ව‍ශයෙන් 2010 පස්සේ හැසිරුණු ආකාරය නිසයි. ඔය පනත පිළිබඳ ගත්තු තීරණය රටේ ආරක්ෂාවට, ජනතා‍වගේ ආරක්ෂාවට, ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂාවට කරන දෙයක්. ඒ නිසා මහින්ද රාජපක්ෂ සහ එතුමා එක්ක ඉන්න පිරිස් කියන දේවල් සහ සමහර මාධ්‍ය කියන දේවල් ඇත්ත නොවේ.මේක රටට අහිතකර වෙන්නේ නැහැ.

* නමුත් රණවිරුවන් දඩයම් කිරීමට කරන දෙයක් කියලා ලොකු ‍‍චෝදනාවක් නැගෙනවානේ?

නැහැ. එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ. රණවිරුවෝ බේරෙන එකයි මේකෙන් වෙන්නෙ. ඔබ කියන විදිහට කියන්නේ ජනමාධ්‍ය ආයතන කිහිපයක් විතරයි.

* නමුත් අතුරුදන් වූවන් පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥප්තියට ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, කැනඩාව වැනි රටවල් අස්සන් කරලා නැහැ. ඉන්දියාව වගේ රටක් ගත්තම මේක අස්සන් කරලා තිබුණට තහවුරු කරලා නැහැනේ?

අපි ඔය පනත තදින් ක්‍රියාත්මක කරයි කියලා ලෝකය බලාපොරොත්තු වෙන්නේ නැහැ. රටට ඕනේ කම තියෙනවා මේ හරහා මුළු යුරෝපයේම ආධාර, ආශිර්වාදය, ආරක්ෂාව ලබා ගන්න. ඇමෙරිකා , යුරෝපය අස්සන්කරලා නැති දෙයකදී ඒ අය අපි ගැන එය කරයි කියලා කොහෙත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. අනික හොඳින් මතක තියා ගන්න ඇමෙරිකාව, යුරෝපය යමක් අස්සන් කළා කියලා අපිත් ඒක අස්සන් කරන්න ඕනේ කියලා නැහැ. එයාල අස්සන් නොකලා කියලා අපිත් අස්සන් නොකර ඉන්න ඕනෙත් නැහැ.

* පළාත්පාලන ඡන්දය පැවැත්වීම ගැන තිබෙන බලාපොරොත්තු තවත් ඈතට ගිහින් තිබෙන බවයි පසුගියදා වාර්තා වුණේ?

අපි කල්දාලා නැහැ. මෙතැන වෙලා තියෙන්නේ නීත්‍යනුකූල කටයුත්තක්. පුළුවන් තරම් ඉක්මනින් පළාත් පාලන ඡන්දය ති‍යනවා. සමහර විට පළාත් සභාවට ඉස්සරලා පළාත් පාලන ඡන්දය තියන්න පුළුවන් වේවි.

සංවාදය
මලික් චමින්ද ධර්මවර්ධන 

Comments