බෙලිහුල්ඔයෙන් ඇරැඹි සහජීවනයේ යොවුන් රැල්ල | සිළුමිණ

බෙලිහුල්ඔයෙන් ඇරැඹි සහජීවනයේ යොවුන් රැල්ල

 

කොල්ලුපිටිය Management and Science Institute ආයතනය අසල නවතා තිබු අධි සුඛෝපභෝගී යෝධ බස් රියට මා ගොඩ වුයේ දිගු ගමනක විඩාව කලින්ම සිහි කර ගනිමිනි.එහෙත් ඊළඟ නිමේෂයේදීම එය එසේ නොවේ යැයි පසක් වූයේ ළෙන්ගතු සිනහවෙන් පිරි මුහුණු රැසකින් බස් රථයෙහි අසුන් පිරී යනු දැකීමෙනි. කෙනෙක් දෙයක් අසයි. තවෙකෙක් ඊට පිළිතුරු දෙයි. පිටු පස අසුන් ගත් තවත් කිහිප දෙනෙක් මොනවදෝ කියා මහ හයියෙන් සිනාසෙන හඬ අතර මා අසල සිටි තවත් තරුණයන් දෙදෙනෙක් යමක් මුමුණනු ඇසෙයි. මේ තරුණ තරුණියන් කියනා කිසිම දෙයක් මට නොතේරෙන්නේ ඔවුන්ගේ භාෂාවන් එකිනෙකට වෙනස් නිසාවෙනි. මට තේරුම්ගත හැකි එකම භාෂාව වූයේ ඒ මුහුණු වලින් උතුරා යමින් තිබු සතුට හා ළෙන්ගතු බවින් පිරි සිනහව පමණි.

මද වේලාවකින් අප රැගත් බස් රථය ගමන් ගත්තේ බෙලිහුල්ඔය බලාය. අප සියල්ලෝම මෙලෙස එක් වූයේ පසුගිය 04 වැනිදා සිට 08 වැනිදා තෙක් පැවැති Global Young Leaders Peace Camp හෙවත් අන්තර්ජාතික තුරුණු නායකත්ව කඳවුරට සහභාගී වීමටය. ආගම් සහ ජාතින් අතර සහජීවනයෙන් ලෝක සාමය අත්කර ගැනීම යන තේමාව යටතේ ඇරැඹී මෙම කඳවුර දෙවැනි වතාවටත් Management and Science Institute සහ Universal Peace Federation යන ආයතන මූලිකත්වයෙන් සංවිධානය වී තිබූ අතර අන්තර්ජාතික තුරුණු නායකත්ව කඳවුරෙහි සියලු කළමනාකරණ කටයුතු සිදු වූයේ Colombo Conference ආයතනයෙනි. මෙම කඳවුර මෙවරත් අති සාර්තකව පැවැත්වීමට Colombo Conference ආයතනය වෙනුවෙන් මාධවි ඇන්තනි සහ ප්‍ර‍ගීත් හේවගේ යන මහත්ම මහත්මීන්ගේ කැපවීම අගය කළ යුතුමය. මෙවර කඳවුර සඳහා ඉන්දියාව, බංගලාදේශය, ෆීජී, මාලදිවයින, කසකස්තානය, ඇෆ්ගනිස්තානය, පකිස්තානය, පිලිපීනය, ඉන්දුනීසියාව, වියට්නාමය, ඉරාකය ඇතුළු තවත් රටවල් කිහිපයකින්ම තරුණ තරුණියන් සහභාගී විය.

බෙලිහුල්ඔය කරා ළං වන විට හැන්දෑව කෙමෙන් කෙමෙන් ගෙවෙමින් තිබුණී.. අපේ නවාතැන වූයේ සුන්දර කඳු පන්තියකට මැදිව පිහිටි බෙලිහුල්ඔය Mount Field Resort හෝටලයයි. බස් රථයෙන් බසිත්ම ගත දැවටි යන සීතල සුළඟ ගමන් වෙහෙස නිවා ගතට නව ප්‍රබෝදයක් ලබා දුන්ෙන්ය. හෝටල් කාර්ය මණ්ඩලයේ ළෙන්ගතු පිළිගැනීමත් රසවත් රාත්‍රි ආහාර වේලත් විදෙස් තරුණ පිරිසට අප රටේ ආගන්තුක සත්කාරය පිළිබඳ වටහා ගැනීමට හොඳ අවස්ථාවක් විය. එදින රැය පහන් වූයේ ඔවුන්ගේ ගී හා නැටම් වැයුම් වලිනි...

කඳවුරේ පළමු දිනය ඇරැඹෙන්නේ සර්වාගමික වැඩසටහන් කිහිපයකිණි. උදෑසනම හල්දුල්මුල්ල ග්‍රාමය බලා පිටත් වූ තරුණ කැල එදින දවස පුරාම බෞද්ධ සිද්ධස්ථානය, කතෝලික දේවස්ථානය, මුස්ලිම් පල්ලිය සහ හින්දු කෝවිල ආශ්‍රිතව එහි ආගමික නායකයන්ගේ මූලිකත්වයෙන් විවිධ ආගමික සහ අධ්‍යාපනික වැඩසටහන් වලට සහභාගි වුහ. එහිදි මෙරට පවතින සර්වාගමික සහජිවනය දුටු මේ තරුණ කැල ඒ පිළිබඳ වඩාත් සතුට හා ප්‍ර‍ශංසාව පළ කළහ. කඳවුරෙහි දෙවැනි දින වැඩසටහන් පෙළ ගැන්වී තිබුණේ උදෑසන වරුව තරුණ නායකත්වය පිළිබඳ වූ විවිධ දේශන කිහිපයකිනි.Women in Managment Sri Lanka හි ආචාර්ය සුලෝචනා සිගේරා සහ Universal Peace Federation හි ආචාර්ය එඩ්ගාර් ටනාර්ටේ යන මහත්ම මහත්මින් විසින් එම දේශන පවත්වන ලදී.සැඳෑ වරුව සැලසුම් කොට තිබුණේ සොබා සෞන්දර්යෙන් අනූන වූ ස්ථාන කිහිපයක් නැරඹීමටය. එහෙත් එහා මෙහා නොපෙනෙන තරමට වැසි ගිය මීදුම සහ විටින් විට ඇද හැලුණු මහ වර්ෂාව නිසා අපේ සැලසුම දිය වී යාදෝ කියා සිතුණද කඳුකර අසිරිය විඳිගන්නට මේ පිරිසගේ තිබූ මහත් උනන්දුව එම ගමන වැළැක්වීමට සමත් වුයේ නැත.

ත්‍රාසයෙන් හා විනෝදයෙන් පිරි ක්‍රීඩාවන්ගෙන් ඇරැඹි තෙවැනි දින රාත්‍රිය මෙම තරුණ තරුණියන් ගත කළේ කූඩාරම් තුළ රංචු ගැසෙමිනි. ඒ වන විටත් මුල් දිනයේ තිබූ ආධුනික බව තුරන්ව එකිනෙකා ළෙන්ගතු බවින් හඳුනාගෙන තිබූ අප උතුරා යන සෙනෙහසකින් එක පවුලක් සේ සිතින් බැඳී සිටියෙමු.

ආදරය හා විනෝදය පිරි මේ කඳවුරේ ගෙවුණු දින කිහිපයේ මේ පවුලේ සියල්ලන්ට විවිධ ආදරණීය නාමයන් පට බැඳි තිබිණ. ඉරාකයෙන් පැමිණි Bukli අප තරුණ හවුලේ ‘ලොකු සහෝ‘ හෙවත් Big Bro ලෙස ආදර දිනා ගත්තේය. දිනකට සෙල්ෆි 20 කින් 30 කින් පමණ තම දුරකතනය ගැලරිය පුරවා ගන්නා පකිස්තානයෙන් පැමිණි Kulsum Bano නැමැති සුරූපිණියගේ ආදරණීය ආමන්ත්‍ර‍ණය වුයේ ‘සෙල්ෆි කුමාරිකාව‘ නමිණි. කඳවුර ඇරැඹි දින සිට සැම මොහොතකම කුමක් හෝ කියා නැතිනම් කුමක් හෝ අමුතු දෙයක් කරමින් සියලු දෙනාව සෑම මොහොතකම විනෝදයෙන් අමන්දානදයට පත් කළ ගැටවරයෙන් තිදෙනෙක් සහ ගැටිස්සියක්ද විය. ඒ වියට්නාමයෙන් පැමිණි Giang, ඉන්දියාවේ සිට පැමිණි Shraiyash, කසකස්තානයෙන් පැමිණි Akbota සහ මාලදිවයිනෙන් පැමිණි Auxam, ඔහුට හෑමොම කිවේ ‘Captian Awesome‘ කියාය. මේ සිව් දෙනාගේ විහිළුවලට සිනා නොවී සිටින්නට නම් කිසිම කෙනෙක් සමත් වූයේ නැත. කඳවුරු ලාගත් අවසන් දින රාත්‍රිය අප දෑස් කඳුළින් තෙත් කළ සිත් සතුටින් පුරවා ලූ අමරණීය රාත්‍රියක් විය. මේ දින කිහිපය පුරාවට තමන් රැස් කර ගත් විවිධ මතක සටහන් රැසක එකතුවකින් සාදා තිබූ වීඩියෝ දර්ශන අප නැරඹුවේ දෑස් අග පිරි කඳුළු බිඳුද සමගිනි. එහෙත් ඒ සතුටු හා සෙනහස උතුරා යන කඳුළුය.

පසු දින අප නැවත කොළඹ බලා පිටත් වීමු. එදින වෙන්කර තිබුණේ ශ්‍රී ලංකා පාර්ලිමේනතුව දැක බලාගැනීම සහ කාර්යබහුල කොළඹ නගරයේ සංචාරයක යෙදීමටය. අනතුරුව එක කඳවුරක එක පවුලක් ලෙස ගත කළ දින කිහිපයේ අවසාන පැය කිහිපය එළඹ තිබිණ. සැඳෑ හිරු බටහිර අහසේ රත් පැහැය තවරා තිබූ මොහොතේ ගෝල්ෆේස් හීදී එකිනෙකාව හද උතුරායන ආදරයෙන් වැළඳ ගනිමින් ද එකිනෙකාට සුබ පතමින්ද සමු ගත් තුරුණු නායකත්ව කඳවුරුට සහභාගී වූ මේ තරුණ තරුණියන් පිරිස පසු දින නැවත ඔවුන්ගේ මවු රට කරා පිටත් ව ගියේ තමන් ලොව කොතැනක සිටියත් බෙලිහුල්ඔයදී ගොඩනැඟුණු මේ ආදරණීය පවුල කිසිදු දිනෙක අමතක නොකරන පොරොන්දුව සහ අදිටනද සමගිනි. 

Comments