ගීතා වගේ අය ඕනෑ තරම් ඉන්නවා | සිළුමිණ

ගීතා වගේ අය ඕනෑ තරම් ඉන්නවා

 සිය කුලුඳුල් ඡන්දය තමා වෙනුවෙන් ම පාවිච්චි කොට 1991දී කරන්දෙණිය ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ බන්දුල ලාල් බණ්ඩාරිගොඩ පිට පිට පස් වතාවක් ම දකුණු පළාත් සභාවට පත් වන්නේ ඉහළම ජනතා මනාපය දිනා ගනිමිනි. එහි කූටප්‍රාප්තිය 2015 අගෝස්තු මහ මැතිවරණයයි. ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු ලෙස අද මැතිසබයේ අසුන් ගෙන උස් හඬ නඟන ඔහු වෙනුවෙන් මෙවර 'පසුපෙළ' වෙන් කැරේ.

ප්‍ර: ආණ්ඩුව පත් වෙලා දෙවසරයි. ඒත් දස වසරක් බලයේ සිටි ආණ්ඩුවකට වගේ විරෝධතා උද්ඝෝෂණ. ඇයි මේ?

රටේ ජනතාවට අද නිදහස උපරිමයෙන් හම්බ වෙලා. බයක් සැකක් නැතිව පාරට බහින්න, සටන් කරන්න, ජනපතිට-අගමැතිට-ආණ්ඩුවට බණින්න අද කාටත් ඉඩ ලැබිලා. ඒකයි මේ. සමහරු ඒ අස්සේ බොර දියේ මාළු බාන්න හදනවා. ජනතාව ආණ්ඩුවට විරුද්ධ බව ලෝකයට පෙන්වන්න බොරු උද්ඝෝෂණ මවා පෙන්වනවා. සුළු සුළු දේවලටත් ජනතාව පාරට ගේන්න දඟලනවා. ඇතැම් අරගල පිටුපස තියෙන්නේ අවස්ථාවාදී දේශපාලන බළල් අත්.

ප්‍ර: ඔබ කියන්නේ ජනතාවට ඇත්තට ම ප්‍රශ්න නැහැ කියල ද?

ආර්ථිකය පැත්තෙන් ගත්තොත් කුළුබඩුවක දෙකක මිල වැඩි වෙලා ඇති. ඒත් ඒවා දීර්ඝ කාලීනව පවතින ඒවා නෙමෙයිනේ. කාලගුණ දේශගුණ වෙනස්කම් වෙන කොට මේවාගේ දේවල් වෙනවා. අපි අත්‍යවශ්‍ය බෙහෙත් මිල අඩු කළා. රජයේ සේවක පඩි වැඩි කළා. ගෑස් විතරක් රුපියල් 1000කින් විතර අඩු වෙලා. අධ්‍යාපනයට ලොකු මුදලක් වෙන් වෙලා. ගැබිනි අම්මලාට පෝෂණ මල්ලක් දෙනවා. වැඩිහිටි ආධාරය ඉහළ දාලා. ඒත් දුන්නු සහන ගැන කතා නැහැනේ. හාල් මිල පොඩ්ඩක් වැඩි වුණා ම ඒක පළමු සටන් පාඨය කරගන්නවා.

ප්‍ර: ජනතාව කියන්නේ සහන පෙන්වලා අනිත් පැත්තෙන් බදු ගහනවා කියලා?

බදු නොගහපු ආණ්ඩුවක් පුළුවන් නම් මට පෙන්වන්න. රාජපක්ෂ යුගයේ දාපු වැට් බද්ද නෙමෙයි අපි අය කරන්නේ ඊට ‍ගොඩාක් අඩු මුදලක්. අපට රට ලැබුණේ ට්‍රිලියන 10ක ණය කන්දක් එක්ක. ඒකයි බදු ගහන්න වුණේ. මේක මේ විදිහට ඇද ගෙන යෑම ම ආශ්චර්යයක්.

ප්‍ර: ආණ්ඩුවේ ගමන පිළිබඳ ඔබේ තක්සේරුව කොයි විදිහද?

අප බලයට එන කොට ලෝකය ඉදිරියේ රටට කළු පැල්ලම් ගොඩාක් තිබුණා. ඒ අඳුරු චිත්‍රය මකලා සොඳුරු රටක් බිහි කරන්න අපට බොහෝ මහන්සි වෙන්න වුණා. ඒකාධිපතිත්වය කරා ගමන් කරමින් තිබූ රටට ප්‍රජාතන්ත්‍රවාදී අංග රැසක් හඳුන්වා දුන්නා. රටට හිතකර නීති අණ පනත් ගෙනාවා. දැන් අධිකරණය ස්වාධීනයි. ආණ්ඩුවක් අවුරුදු 20කටවත් නොකරන තරමේ වැඩ අපි කළා. ඒ නිසා මේවා දිහා බලන්න ඕනේ සාපේක්ෂවයි.

ප්‍ර: ආණ්ඩුවේ ගමන නිකන් අවුල් ව‍ගේ නේද?

මතවාදීව වෙනස් පක්ෂ දෙකක් එක් වෙලා ආණ්ඩු කරන කොට සාමාන්‍යයෙන් අවුල් නොපෙනෙනවා නම් නේ පුදුමේ. මොන මතවාදී ගැටුම් තිබුණත් විරසකයක් නැහැ. ආණ්ඩුව තමන්ගේ ඒ ගමන යනවා. ඒක රටේ ජනතාවට හොඳක්.

ප්‍ර: දෙගොල්ල එළිපිට ගහබැණ ගන්නවානේ?

ඒක හොඳයි. එළිපිට ගහ ගන්නවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක්. එතකොට හරි දේ වෙනවා. ඒකෙ අවසන් ප්‍රතිඵලේ විදිහට රටට ලැබෙන්නේ වඩා හොඳ දේනෙ.

ප්‍ර: ආණ්ඩුව‍ට තිබෙන ලොකුම චෝදනාව හොරු ඇල්ලුවේ නැහැ කියන එකයි?

ඒත් බලන්නකෝ එක හොරෙක් දෙන්නෙක් අල්ලපු ගමන් කට්ටිය ‍පිරිත් කියාගෙන ඒ ආයතන වටලන්න යන හැටි. අපි ඒවාට බයේ වැඩේ පස්ස‍ට දාන්නේ නැහැ. එදා ට්‍රිලියන ගණන් ගහලා තියෙන්නේ ලේසියෙන් අල්ලන්න පුළුවන් විදිහට නෙමෙයි කියලා පොඩි දරුවෙක් වුණත් දන්නවා. ඒ නිසා හොරු ඇල්ලීම එක රැයින් කරන්න බැහැ. අපි කලබලෙන් වැඩ කරලා පොඩ්ඩ ගැස්සුණොත් හොරු එළියට එයි. හොරකම් කරලා. රටත් කාලා. අන්තිමට වීරයොත් වෙයි. ඒ නිසා මේ වැඩේ නියම පිළිවෙළට නියම වෙලාවට සිද්ධ වෙයි.

ප්‍ර: ප්‍රමාදයට හේතුව ‍ඩීල් නෙමෙයිනේ?

මං හිතන්නේ නැහැ ඩීල් දාලා දැන් මේවා නවත්වන්න පුළුවන් වෙයි කියලා. අද රටේ තොරතුරු පනත ක්‍රියාත්මකයි. සියලු දේ ජනතාවට විවෘතයි. එහෙම සැක නම් කාට වුණත් ඒ දේවල් බලා ගන්න පුළුවන්කම තියෙනවා.

ප්‍ර: මේ ආණ්ඩුවේත් හොරු ඉන්නවාය කියන චෝදනාව නම් ටිකක් බරපතළයි?

මම කියන්නේ නැහැ අපි අතර හොරු නැහැ කියලා. කා අතිනුත් වැරදි වෙනවා. මොකද මේ ඔක්කෝම රහත් වෙලා නැහැ. මාර්ගඵල ලබා නැහැ. ඒත් අපි කිසිදාක හොරු රකින්නේ නැහැ. කවුරු වැරදිකාරයා වුණත් දෙපාරක් හිතන්නේ නැහැ. දඬුවම් කරනවා. එදා අද වෙනස ඒකයි.

ප්‍ර: බැඳුම්කර සිද්ධිය ආණ්ඩුවට ලොකු කැළලක් වුණා නේද?

ඒ පිළිබඳ සොයන්න අද කොමිසමක් පත් කරලා. සාක්කි විමසනවා. ඒකෙන් වැරදිකාරයෝ හොයා ගෙන දඬුවම් දෙයි. රාජපක්ෂගේ කාලේ කෝප් කමිටු වාර්තා 40ක් කුණු කූඩෙට දැම්මා. අපි එහෙම කරලා නැහැ. චෝදනා විභාග කරන්න ආණ්ඩුවක් පළමු වතාවට තරමයි මෙහෙම සහාය දෙන්නේ. ඒ වගේ ම වැරදි නොකරන මිනිස්සු - වැරදි නොකරන ආණ්ඩු තව අවුරුදු දහස් ගානක් ගියත් හොයගන්න නම් බැරි‍ වෙයි. වැරදි නොකරන අය හොයා ගන්න බැහැ. අපි කරන්නේ වැරදි කරන අය හොයාගෙන ඒකට දඩුවම් දීමයි. ඒකයි යහපාලනය කියන්නේ.

ප්‍ර: මොකද මන්ත්‍රීතුමා පුංචි ඡන්දය දවසින් දවස කල් යන්නෙ?

මේක තනිකර ම ඇමැති අතේ තියෙන වැඩක්. බැසිල්ලා තමයි මේවාට වග කියන්න ‍ඕනේ. ඒ අය ඒ අයගේ හිතුමනාපෙට වැඩ කරලා තමයි මේ දේවල් මේ තැනට ගෙනාවේ. ඒත් දැන් සීමා නිර්ණය ආදි බොහෝ වැඩ අවසන්.

ප්‍ර: ඡන්දය කල් දැමීම ගැන එජාපය සද්ද නැත්තේ ඇයි?

ඒකාබද්ධ විපක්ෂයට වගේ අපට ගිරිය යටින් කෑගහන්න දෙයක් නැහැ. අපි අවශ්‍ය තැන්වල ඒ ගැන හඬ නඟනවා. ඡන්දය ඉක්මනින් තියන එක අපෙත් වුවමනාවක්. මහ මැතිවරණය අවසන් වුණු ගමන් මේ ඡන්දය තිබ්බා නම් වාසිය කාටද කියලා කාටත් පැහැදිලියිනෙ. ඒ නිසා අප ඡන්ද තියන්න විරුද්ධ නැහැ.

ප්‍ර: ඔබේ දිස්ත්‍රික්කයේ ම ගීතා කුමාරසිංහ මන්ත්‍රීතුමියට අලකලංචියක් වෙලා නේද?

එතුමිය ද්විත්ව පුරවැසියෙක් විදිහට ඡන්දයට ඇවිල්ලා. ඒක මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක්. ඒත් මේක පළමුවැනි එක නෙමෙයි. ඡන්ද පෙත්සම්වලින් මන්ත්‍රීකම අහිමි වුණු අය ඉතිහාසයේ ඕනෑ තරම් ඉන්නවා.

ප්‍ර: නාමයෝජනා දුන්නු දවසේ ම මේ වැඩේ අල්ල ගන්න තිබුණානේ?

කච්චේරියේ දී අපි පෙන්නුවා. ඒත් ඒ ගැන අවසන් තීන්දුව දෙන්න ඒ වෙලාවෙ ම බැහැ. අධිකරණ ක්‍රියාමාර්ගයකට යන්න එපායැ.

ප්‍ර: මන්ත්‍රීතුමාගේ අනාගත බලාපොරොත්තු මොනවාද?

හැම දේශපාලකයෙක්ගේ ම වගේ මගේ බලාපොරොත්තුවත් දේශපාලනයෙන් ඉස්සරහට යෑම තමයි.

ප්‍ර: මැති - ඇමැතිකම් ගැන අදහසක් නැද්ද?

මැති ඇමැතිකම් කියන්නේ තනතුරුනෙ. මගේ බලාපොරොත්තුව ජනතාව වෙනුවෙන් ගමනක් යෑමයි. තනතුරක් ලැබුණොත් බාර ගන්නවා. නැතත් අවුලක් නැහැ.

ප්‍ර: ලැබු‍ණොත් කෝකට ද වැඩිය කැමැති?

ඒකට උත්තර දෙන්න අමාරුයි. මම ඒ ගැන තව ම හිතලා නැහැ.

සංවාදය: සම්පත් දිප්පිටිගොඩ

Comments