Home » කළු කෝපි බොමින් ඡන්දෙ ගැන මහින්ද කිව්වේ මොනවාද?

කළු කෝපි බොමින් ඡන්දෙ ගැන මහින්ද කිව්වේ මොනවාද?

by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකාව දැන් ක්‍රම ක්‍රමයෙන් නොබැඳි පිළිවෙත ඔස්සේ ඉදිරියට යමින් ජාත්‍යන්තරයේ අවධානය යොමු වෙන තැනකට පැමිණ සිටියි. ඒ මුළු ලෝකයේම අවධානය දිනාගෙන සිටි නායකයෙකු ලංකාවේ සංචාරය කිරීමත් සමඟය. විදෙස් රටවල් සේම ලංකාවේ බොහෝ දෙනෙකු සිතුවේ ඉරාන ජනාධිපති අවසන් මොහොතේ සංචාරය අවලංගු කරනු ඇතැයි කියාය. බටහිර සමඟ පවතින ආරෝව මෙයට ආසන්නම හේතුවය.

මැතිනිය හා ජේ. ආර්.ගේ මඟ ගත් රනිල්

බණ්ඩාරනායක මැතිනිය මෙන්ම ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා ක්‍රියාත්මක කළ විදේශ ප්‍රතිපත්තිය රනිල් වික්‍රමසිංහයන් විසින් ක්‍රියාත්මක කරමින් සිටියි. ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ බෝම්බ ප්‍රහාරයේ උණුසුම මැකෙන්නත් පෙර ඉරාන ජනාධිපති සිය පකිස්තාන හා ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කළේය. ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකක අවධානය මේ නිසා ලංකාවටත් යොමුවූවේ නිතැතිනි.

ඉරාන ජනාධිපතිවරයාගේ පකිස්තාන සංචාරයේ සවිස්තර වාර්තාවක් ජනපති රනිල් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්නගෙන් ඉල්ලා තිබුණු අතර ඔහු එය ඉරාන ජනපති ආචාර්ය ඉබ්‍රහිම් රායිසි මෙරටට පැමිණීමට පෙර ලබාදී තිබුණි.

දිනේෂ් මත්තලට…. රනිල් උමා ඔයට

අගමැති දිනේෂ් ගුණවර්ධන ඉකුත් බදාදා පෙරවරුවේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට යද්දී ජනපති රනිල් ගියේ උමා ඔය ව්‍යාපෘති භූමියටය. මත්තලට පැමිණි ඉරාන ජනාධිපතිවරයා උමා ඔයට ගොස් ජල විදුලි ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයට එක්වූයේය. උත්සවය අවසන් වීමෙන් පසු ජනපති රනිල් ගුවනින් කොළඹ පැමිණෙද්දී ඉරාන ජනාධිපතිවරයා මත්තලට ගොස් කටුනායක හරහා කොළඹ පැමිණියේය. ඔහු නවාතැන්ගෙන සිටි හෝටලය වෙත ගොස් සුළු විවේකයක් ගෙන නැවත ජනාධිපති කාර්යාලය වෙත පැමිණියේ රාජ්‍ය ගෞරව සහිත පිළිගැනීමේ උත්සවයට එක්වීමටය.

ඉරාන ජනාධිපතිට උණුසුම් පිළිගැනීමක්

ජනපති රනිල් ඉරාන ජනාධිපතිව උණුසුම්ව පිළිගෙන සිය දූත පිරිස හඳුන්වාදීමෙන් පසු ජනාධිපතිවරයා වෙනුවෙන් ආචාර වෙඩිමුර ඇතුළු උත්තමාචාරය ත්‍රිවිධ හමුදාව විසින් පිළිගැන්වූවේය. ත්‍රිවිධ හමුදා උත්තමාචාරයෙන් පසුව ජනපති රනිල් ඉරාන ජනාධිපතිව මුර සේසත් මැදින් සිය කාර්යාලය වෙත කැඳවාගෙන ගියේ පියගැට පෙළ ඔස්සේය.

ජනපතිවරුන් දෙදෙනා පැයක හමුවක

එහිදි ඔවුන් දෙදෙනා පමණක් සහභාගී වූ සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් ඇදී ගියේ පිටත සිටි අයගේ කුකුස වැඩි කරවමිනි. ඉරාන ජනාධිපතිගේ සංචාරය අතරතුර ඔහුගේ දෛනික ආගමික වතාවත් වෙනුවෙන් කාලය වෙන් කර තිබූණේ ද්විපාර්ශ්වික සාකච්ඡා අවසානයේය. එහෙත් පැමිණීමේ ප්‍රමාදය මත ද්විපාර්ශ­්වික සාකච්ඡාවලට පෙර ඔහුට ආගමික වතාවත් වෙනුවෙන් පිටතට යාමට සිදුවිණ.

ඉරාන ජනපති කොල්ලුපිටියට

ආගමික වතාවත් වෙනුවෙන් ඉරාන ජනාධිපතිවරයා කොල්ලුපිටිය මුස්ලිම් දේවස්ථානය වෙත යද්දී ජනපති රනිල් පෝට් සිටිය වෙත ගියේ එහි ඉදිවූ ජපන් ආපන ශාලාවක් විවෘත කිරීමටය. ඇමැතිවරුන්ට තේ පැන් සංග්‍රහයක් සුදානම් කළ සාගල පිරිස සමඟ ආ ගිය කතා කියමින් සතුටු සාමිචියේ යෙදුණේ ඉරාන ජනාධිපති පැමිණීමට පැයකට වැඩි කාලයක් ගතවන බැවිණි.

මෙහිදි ඇමැතිවරුන් පිරිස ඉරාන ජනපති ආර්යාව හා දියණියගේ පැමිණීම ගැන මෙන්ම ඔවුන්ගේ පෙළපත් ගැනද කතා බහේ නිරත විය. ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා කොමේනි ද අධ්‍යාත්මික නායක තත්ත්වයට පත්වූවේ ජනාධිපති ධුරය දැරීමෙන් පසුවය. අයතුල්ලා කොමේනිගෙන් පසුව අධ්‍යාත්මික නායක තත්ත්වයට පත්වීමේ අවස්ථාව මොහුට හිමිවනු ඇති බව මෙහිදි කියවිණි.

ඉරාන ජනපතිගේ ආරක්ෂාව ගැන ශ්‍රී ලංකාවේ දැඩි අවධානය

පෝට් සිටියට ගිය ජනපති රනිල්ට දැන ගන්නට ලැබුණේ ඉරාන ජනාධිපතිගේ ආරක්ෂාව වෙනුවෙන් මාර්ග කිහිපයක් වසා තැබීම නිසා ආරාධිතයන් බොහෝ පිරිසකට උත්සවයට පැමිණීමට නොහැකිව මාර්ගවල සිරවී ඇති බවකි. ඔහු ඒ මොහොතේම හෝටල් කළමනාකාරීත්වයට කනගාටුව පළ කළේ ඉරාන ජනාධිපතිගේ ආරක්ෂාවේ වගකීම සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවාසීන් සතු බව කියමිණි.

ඇල්පෙනෙත්ති තුඩකින්වත් සීරීමක් නොමැතිව ඔහුව පිටත් කර හැරීම ශ්‍රී ලංකාවේ ගෞරවයට හේතුවනු ඇතැයි ද ජනපති පෙන්වා දුන්නේය. ඉන්පසු ජනපති රනිල් කාර්යාලය වෙත පැමිණියේ ඉරාන ජනාධිපති ආගමික වතාවත් නිමවා නැවත එන බව දැනුම් දීම නිසාය.

ගාසා ගැනත් අවධානය

ද්වී පාර්ශ­්වික සාකච්ඡාවලින් අනතුරුව අවබෝධතා ගිවිසුම් පහකට ද දෙපාර්ශ­්වය අත්සන් තැබූහ. අනතුරුව දෙදෙනාගේ නිල ප්‍රකාශය කෙරුණු අතර, එහිදී ගාසා තීරයේ පවතින තත්ත්වය හා ඊට එක්සත් ජාතීන්ගේ ප්‍රතිචාරය විවේචනය කරමින් ඉරාන ජනාධිපති කතා කරද්දී ජනපති රනිල් ද ගාසා තීරයේ දරුවන්ට ලංකාව කළ උපකාරය ගැන මෙන්ම යුද්ධය අවසන්වී පලස්තීන රාජ්‍ය යළි බිහිවනු දැකීම ලංකාවේ අපේක්ෂාව බවද කීවේය.

රාත්‍රී භෝජන සංග්‍රහයට මහින්දටත් ආරාධනා

නැවත හෝටලය වෙත ගිය ඉරාන ජනාධිපතිවරයා කොළඹ ජනාධිපති මන්දිරයේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයට පැමිණියේ ඉන් අනතුරුවය. ජනපති රනිල් විපක්ෂ නායකවරයාට මෙන්ම පාර්ලිමේන්තුවේ සිටින පක්ෂ විපක්ෂ සියලු මුස්ලිම් මන්ත්‍රීවරුන්ට ඒ වෙනුවෙන් ආරාධනා කර තිබුණි.

සියලු දෙනා ආරාධනය පිළිගෙන පැමිණ සිටි අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙන්ම කථානායකරයා ද ඊට එක්ව සිටියහ. මෙහිදි ඇමතිනි පවිත්‍රා ජනපතිගෙන් විමසා සිටියේ උදේ ඉඳලාම එකදිගටම වැඩ කරලා මහන්සි නැද්ද කියාය. “වෙහෙස නොබලා වැඩ කරපු නිසා තමයි රට අවුරුදු දෙකකින් පැවැති තත්ත්වයෙන් වෙනස් කරලා ඉරාන ජනාධිපතිතුමා ගෙන්න ගන්න පුළුවන් තත්ත්වයට පත්වුණේ. මට එක දිගට වැඩ කරලා පුරුදුයි.” ජනපති කීවේ කොක් හඬලමිනි.

ඉරාන ජනපති පුදුම කළ අපේ ආහාර වට්ටෝරුව

ඉරාන ජනාධිපතිවරයා වෙනුවෙන් ඉඳිආප්ප බුරියානි ලැහැස්තිකර තිබුණේ ජනපති රනිල්ගේ උපදෙසිනි. මීට පෙර එවැනි ආහාර වේලක් ගෙන නොතිබූ ඉරාන ජනපති ඒ ගැන විමසුවේ ජනපති රනිල්ගෙනි. ආහාර සකස් කළ කෝකියෙකු ද ළඟට කැඳවාගත් ජනපති රනිල් එය ලංකාවේ සොයා ගැනීමක් බව කියමින් ආහාර වට්ටෝරුව ගැන ඉරාන ජනාධිපතිට පැහැදිළි කර දුන්නේ ඉරාන දූත පිරිස ද පුදුම කරමිනි. එය ප්‍රණිත ආහාරයක් බවට ඔවුන් සහතිකයක් ලබා දුන්නේ මෙරටට ගෞරවයක් හිමිකරමිනි.

රාත්‍රී භෝජන සංග්‍රහයට පැමිණ සිටි කබීර් හෂිම් ඔහුගේ ගමේ සගයෙකු වූ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න මුණ ගැසුණු අවස්ථාවේ විමසා තිබුණේ “දැන් ඔයාලද අපේ පැත්තට එන්නේ නැතිනම් අපි ද ඔයාලගෙ පැත්තට එන්නේ” කියාය.

“ඒක ඉතින් ඇමැතිතුමා තමයි කියන්න ඕනේ.” ශානුක පිළිතුරු දුන්නේ සිනහවෙනි. කබීර් ලඟට පැමිණි ජනපතිට මේ කතාව ශානුක කියද්දී “මොනවා වුණත් වටිනාකම වැඩි මහගෙදරට ආවමනේ.” කබීර් කීවේ ජනපති දෙස ද බලමිනි.

ජනපති රනිල්ගේ රාජ්‍ය තාන්ත්‍රිකභාවයට ප්‍රසාදය

රාත්‍රී භෝජන සංග්‍රයෙන් පසු ඉරාන ජනපති කටුනායක ගුවන් තොටුපොළින් ටෙහෙරාන් නුවර බලා පිටත්ව ගියේ එක්දින නිල සංචාරය අවසන් කරමිනි. බ්‍රහස්පතින්දා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි ජනපති මුණ ගැසුණු මැති ඇමැතිවරු පිරිසක් මේ සංචාරය ගැන ජනපතිගෙන් විමසන්නට වූහ.

“එදා අපි බංකොලොත් වෙලා වැටිලා ඉද්දි කවුරුත් බැලුවේ නෑ. නමුත් අද ලෝකයම බලාගෙන හිටියේ ඉරාන ජනාධිපති ආපු එක ගැනයි. ලෝකයේ දකුණු කලාපයේ නැඟී ගෙන එන රටක් ලෙස දැන් මුළු ලෝකයම අපේ රට ගැන කතා කරනවා.” ඇමැති ප්‍රසන්න රණතුංග කීවේ ආඩම්බරයෙනි.

“එතුමා පකිස්තානයේ අගනුවර විතරයි හිටියේ. හැබැයි මෙහෙදි රටෙන් භාගයක විතර ඇවිද්දා. හැමෝම හිතුවේ අවසාන මොහොතේ ගමන කැන්සල් වෙයි කියලායි.” ඇමති මනූෂ ද කතාවට එක්වූවේ එලෙසිනි.

බැසිල් හමුවීම ගැන රනිල් කතා කරයි

බැසිල් රාජපක්ෂ ඇමැතිවරයාගේ පැමිණීම ගැන මෙහිදි කිහිප දෙනෙක් විමසා සිටියේ ජනපතිගෙනි.

“ඒක බැසිල් හමුවක් නොවෙයි. ආණ්ඩුවට සහාය දෙන පක්ෂ නියෝජිත හමුවක්. ඒකට අගමැතිතුමත් ආවා බැසිල් ඇමැතිතුමත් ආවා. ටිරාන් අලස් වගේ තවත් පක්ෂ නියෝජිතයෝ ඇවිල්ලා හිටියා. අපි කතා කළේ ආණ්ඩුවේ සංවර්ධන වැඩ ගමට ගෙනියන ආකාරය ගැන.” ජනපති පිළිතුර එය විය.

අධිකරණයේ ස්වාධීනත්වය

“දැන් අධිකරණය ස්වාධීන නෑ කියලා කාටවත් කියන්න බෑ. මොකද අධිකරණ ඇමතිට විරුද්ධවත් නඩු තීන්දු දෙන තැනට රට ඇවිල්ලා. කැබිනට් ඇමැති කෙනෙක්ව හිරෙත් දැම්මා “ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් කියද්දී සැවොම හිස සැලුවා මිස කිසිවෙකුගේ මුව විවරවූවේ නැත.

සාගල, මරික්කාර්ට කීවේ මොනවාද?

මේ අතර ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ඉකුත් ඉරිදා නුගේගොඩ පැවැති ප්‍රිය සම්භාෂණයකට එක්වූයේය. ඒ දිවංගත ඇමැති මංගල සමරවීරගේ උපන් දිනය වෙනුවෙන් මංගලගේ මිතුරන් පිරිසක් සංවිධානය කළ සාදයකි.

එහි ගිය සාගලට සජබ මන්ත්‍රී මරික්කාර් මුණ ගැසුණේ ඔය අතරවාරයේය. “ආ මෙයා ඉතින් හැමදාම මාධ්‍යයට කියනවානේ ජනාධිපතිතුමා ඡන්දෙට එන්නේ නෑ කියලා. ඉතින් මම අද මෙතුමට කියන්න කැමතියි ඔබතුමා ආයේ ඒ කතාව කියන්න එපා. මොකද ජනාධිපතිතුමා අනිවාර්යයෙන්ම ඊළග ජනාධිපතිවරණයට ඉල්ලනවා.” සාගල කියද්දී එහි සිටි පිරිස අත්පොලසන් දුන්නේ රනිල්ගේ ජනාධිපති අපේක්ෂකත්වය අද මෙතනදි තහවුරු කළා කියා කෑ කොස්සන් දෙමිනි.

මැයි දිනයේදී එකම වේදිකාවකට

විශේෂ දේශපාලන සාකච්ඡාවක් මහජන එක්සත් පෙරමුණ නායක අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේ කොළඹදී පැවැත්විණි. ඊට ම.එ.පෙ. නායකයෝ ඇතුළු දේශ විමුක්ති ජනතා පක්ෂය, පොදුජන පෙරමුණ සන්ධානයේ නායකයෝ පැමිණ සිටියහ. එහි ප්‍රධාන අරමුණ වූයේ මෙවර 2024 මැයි දිනය එක්ව පැවැත්වීමය. ම.එ.පෙ. ඇතුළු පොදුජන පෙරමුණ මෙන්ම එහි අනෙකුත් පක්ෂවල වෘත්තීය සමිති නායකයෝ, නියෝජිතයෝද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

දිනේෂ් – බැසිල් හමුවක්

“අපි එකට එක්ව මෙවරත් මැයි දිනය සමරන්න ඕනේ” අගමැති දිනේෂ් කතාව ආරම්භ කළේ බැසිල් රාජපක්ෂ දෙසද බලමිනි.

“ගිය අවුරුද්දේ මැයි දිනෙන් පස්සේ පොදුජන පෙරමුණ විදියට එක්ව රැස්වීමක් තියලා නෑ” වෘත්තීය සමිති නායකයෙක් කීය.

“අපි මේ සැරේ මහජන එක්සත් පෙරමුණ, පොදුජන පෙරමුණ ඇතුළු ප්‍රගතිශීලි කඳවුරේ හැමෝම එක වේදිකාවකට ගේනවා” දිනේෂ් කියද්දී ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයා එය අනුමත කළේය.

“මේ මැයි දිනය එක්ව පැවැත්වීම සම්බන්ධයෙන් ජාතික සංවිධාන, වාම් කඳවුරේ හා මැද මාවත් දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, කම්කරු සංවිධාන ගණනාවක් එක්ක සාකච්ඡා ආරම්භ වෙලා, ඔවුන්ගේ එකඟතාව ලැබිලා තියෙන්නේ” දිනේෂ් තවදුරටත් කරුණු පැහැදිලි කළේය.

ම.එ.පෙ. නායක, අගමැති දිනේෂ්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී බොරැල්ල කැම්බල් පිටියේදී ඒකාබද්ධ මැයි රැලිය පැවැත්වීමටත්, ප්‍රගතිශීලි කඳවුරේ සියලු කණ්ඩායම් ඊට එක්කර ගැනීමටත් තීරණය කෙරිණි.

මෛත්‍රී – අමරවීර වලියත් කරළියට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය මේ වන විට තවත් උග්‍ර වී ඇත.

ඔවුන්ගේ පාර්ශව කිහිපයක් අතර මෙම ගැටුම වර්ධනය වී ඇති අතර එකම මතයක සිටි පිරිස් අතර ද ගැටුම් වර්ධනය වී තිබේ.

ඊට හොඳම උදාහරණය තිලංග සුමතිපාල ද ප්‍රසිද්ධියේම මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා විවේචනය කිරීමට පටන් ගැනීමයි. චන්ද්‍රිකා – මෛත්‍රී, නිමල් – මෛත්‍රී වශයෙන් පැවති මෙම අර්බුදය මෛත්‍රී – අමරවීර වශයෙන් ද මේ වන විට කරළියට පැමිණ තිබේ. මහින්ද අමරවීර තමාට අපහාස සිදුකළ බව සඳහන් කරමින් මෛත්‍රීපාල සිරිසේන විසින් මහින්ද අමරවීරට එරෙහිව රුපියල් බිලියනයක වන්දි මුදලක් ගෙවන ලෙස ඉල්ලා නීතීඥවරු මඟින් ලිපියක් යවා ඇත.

මාධ්‍ය හමුවේදී මහින්ද අමරවීර දැඩි ලෙස චෝදනා එල්ල කළේය. පක්ෂය විකුණා දැමීමට මෛත්‍රීත්, රෝහණ ලක්ෂ්මන් පියදාසත් කටයුතු කරමින් සිටින බවට මහින්ද අමරවීර චෝදනා කළේය.

සුසිල් දොස් කිව්වේ කාටද?

මේ අතර අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පසුගියදා පාර්ලිමේන්තුවේදී මැති ඇමැතිවරුන් පිරිසක් සමඟ කියා සිටියේ ‘අත’ ලකුණින් තරඟ නොකරපු කෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වීමට කටයුතු කිරීම විහිළුවට කරුණක් බවයි. දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ සුසිල් මෙසේ චෝදනා කර තිබෙන්නේ විජයදාස රාජපක්ෂට බවයි.

මහින්ද සතර කන්මන්ත්‍රණයක

පසුගිය බ්‍රහස්පතින්දා දහවල් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් ඔහුගේ දේශපාලන සමීපතමයෙකු ලෙස කලක් කටයුතු කළ ඩලස් අලහප්පෙරුමත්, ප්‍රේමනාත් ශ්‍රී දොළවත්තත්, ලසන්ත අලගියවන්නත් එකම මගුල් ගෙදරක එකම මේසයකදී හමුවීමට නියමිතව තිබිණි. ඒ ප්‍රකට සන්නිවේදකයකු වූ නිමල් වීරතුංගගේ දියණිය විවාහය නිමිත්තෙන් සීදුව රෝයල් රෙමාසල් හෝටලයේ පැවැති මංගල උත්සවයේදීය.

කලක් මහින්ද රාජපක්ෂගේත් ඩලස් අලහප්පෙරුමගේත් සමීපතම මාධ්‍ය ලේකම්වරයෙකුව කටයුතු කළ නිමල් වීරතුංග තම දියණියගේ විවාහය වෙනුවෙන් සාක්ෂියට අත්සන් කරන්නට මහින්ද රාජපක්ෂට ආරාධනය කර තිබිණි. එහෙත් විවාහය ලියාපදිංචි කිරීමේ මොහොත වන විට එතනට පැමිණ සිටියේ හිටපු ජනාධිපතිවරයාත් ප්‍රේමනාත් සී දොළෙවත්ත මන්ත්‍රීවරයාත් පමණි. ජගත් පුෂ්ප කුමාර මන්ත්‍රීවරයාගේ ආදරණීය මෑණියන් ඒ වන විට මියගොස්ව සිටි බැවින් ඩලස් තනමල්විල ජගත්ගේ නිවසට ගොස් නැවත සීදුව මගුල් ගෙදරට නිසි වේලාවට පැමිණිය නොහැකි විය. ලසන්ත අලගියවන්න ඒ වන විට එතනට පැමිණියත් හදිසි නඩු කටයුත්තකට අලුත්කඩේට යා යුතු බව කියමින් නිමල්ට හා දියණියට සුබ පතා යන්නට ගියේ මහින්ද මහතා සිටි පැත්තට ගියහොත් ඇතිවන ප්‍රමාදය නිසාය.

ජනාධිපති මහින්ද සාක්ෂියට අත්සන් තැබීමෙන් අනතුරුව ප්‍රේමනාත් සී දොළවත්ත සමඟ ලොකු කතාබහකට මුල පුරනු ලැබීය. මහින්ද වෙනුවෙන් දිවා ආහාරය සූදානම් කර තිබුණේ හෝටලයේ දෙවැනි මහලේ විශේෂ අමුත්තන්ගේ අවන්හලේය. මහින්ද එහි ගියේ දොළවත්ත මන්ත්‍රීවරයාද කැටුවය. මේ දිනවල දේශපාලන කරළියේ ඉහළ තලයේ කතා බහට ලක්වන මාතෘකාව එතැනදීද සාකච්ඡාවට ලක්වූ බව වාර්තා විය. එනම් ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය වඩා සුදුසු බවට පසුගියදා බැසිල් රාජපක්ෂ ගෙනා තර්කයයි.

අපි බ්ලැක් කෝපි එකක් බොමුද සර්… ප්‍රේමනාත් අසද්දී මහින්ද ඒ යෝජනාව අනුමත කළේය. දෙදෙනා කෝපි බොන අතරතුර නිමල් වීරතුංගද එතනට කිට්ටු විය…

නිමල් අයියට ගොඩක් ස්තූතියි. මට ජනාධිපතිතුමත් එක්ක තනියම මේ වගේ සමීපව කතා කරන්න ඉඩක් ලැබිලම නෑ. ඒ අවස්ථාව ලබා දුන්නට ඔබට බොහොම පිං“

ජේ.වී.පී ලොජික් ගැන ප්‍රසන්න කට අරී

රජය විසින් අඩුආදායම්ලාභීන් සඳහා සහල් ලබාදීමේ ව්‍යාපෘතිය ඉකුත් සතියේදී ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළා.

“මේකෙ කිසිම අඩුපාඩුවක් වෙන්න බෑ. හැමෝටම සාධාරණයක් වෙන්න ඕන” ඇමැති ප්‍රසන්න නිළධාරීන්ට අනතුරු හඟවා තිබුණි.

“ජේ.වී.පී එක හාල් බෙදන වැඩේට ගහනවා” මන්ත්‍රීනී කෝකිලා කීය.

“ඔව්… මටත් ආරංචියි. සමහර තැන්වල දැන්වීම් පවා ගහලලු” ඒ උපුල් මහේන්ද්‍රය.

“ඒව ගැන එච්චර හිතන්න එපා උපුල්. ජේ.වී.පී එක හැමදාම කළේ විවේචනය කිරීම විතරයි. එයාල කරපු කිසිම වැඩක් නෑ. ” ඇමැති ප්‍රසන්න කීය.

“හාල් බෙදාදීම ඡන්ද ගුණ්ඩුවක් කියන ජේ.වී.පී අයත් බඩු බෙදනව. ඒව වෙන්නෙ හොරාට. ඒ දෙන්නෙත් එයාලගේ අයට විතරයි” මන්ත්‍රී සහන් ද කතාවට එක්විය.

“ජේ.වී.පී ලොජික් එයාලට තේරෙන්නෙත් නෑ. අහගෙන ඉන්න අපිට තේරෙන්නෙත් නෑ. හාල් බෙදල ඡන්ද ගන්න තරම් ආණ්ඩුව බංකොලොත් වෙලා නෑ.” ඇමැති ප්‍රසන්න යළි හඬ අවදි කලේය.

සජිත්ට වැරදි තොරතුරු දීලා

පාස්කු ඉරිදා එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය බදාදා පැවැත්විණ. එහිදී විපක්ෂනායක සජිත් බොහෝ උද්යෝගයෙන් කරුණු දක්වනු දක්නට ලැබුණි.

“වව්නතිවු කඳවුරේ පොලිස් නිලධාරීන් දෙන්නෙක් මරපු එක ගැන පරීක්ෂණ වාර්තා හතරක් නිකුත් කර තිබෙනවා. හමුදා බුද්ධි අංශ මේ බොරු තොරතුරු දීලා” සජිත් කීය.

“විපක්ෂ නායකතුමා පරීක්ෂණ වාර්තා හතරක් නෙමෙයි පහක් නිකුත් කරලා. මෙන්න පස්වෙනි වාර්තාව. මේ පස්වෙනි වාර්තාවේ කියන්නේ ආමි මොහිදීන් අත්අඩංගුවට ගන්න කියල” කියමින් මන්ත්‍රී මධුර එම වාර්තාව සභාගත කළේය.

“ඔබතුමා විපක්ෂ නායකවරයා විදියට හරි තොරතුරු සභාවට කියන්න. බොරු කියන්න එපා”මධුර යළි කීය.

“මෙතුමට නිලධාරීන් වැරදි තොරතුරු දෙනවා. විපක්ෂ නායකතුමා ඒව ගැන හොයන්නෙ බලන්නෙ නැතුව ගිරව වගේ කියවනවා. ඔබතුමාට ඔය බොරු තොරතුරු දෙන නිලධාරීන්ම තමයි පාස්කු ඇටෑක් එකට වගකියන්න ඕන” සමන්ප්‍රිය හේරත් ද කතාවට එක්විය.

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් මෙලෙස කී විට සජිත් ඒ ගැන විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ද විමසා ඇත. එමෙන්ම තමන්ට වැරදි තොරතුරු දුන් නිලධාරීන්ට විපක්ෂ නායකවරයා දෝෂාරෝපණය කර ඇති බවද වාර්තාවේ.

ජොනීගේ ගිනි තැබූ කාර්යාලය විවෘත වෙයි.

පසුගිය අරගල සමයේදී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ කුරුණෑගල විල්ගොඩ පිහිටි කාර්යාලය අරගලකරුවන් විසින් ගිනිබත් කර තිබිණි. පසුගියදා නැවත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයන් අතින් එය විවෘත කරන ලදී. මෙහිදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෙහි පැමිණෙන බවට අවසන් මොහොත වනතෙක් කිසිවකු දැන සිටියේ නැත. මෙම විවෘත කිරීමට මුලින්ම පැමිණියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂය.

සහල් රැගෙන වජිර ගාල්ලට

එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනට පසුගිය සතිය ඉතාම කාර්ය බහුල සතියක් විය. ඒ දේශපාලනික සහ සමාජ වැඩකටයුතු කිහිපයකටම සහභාගීවීමට තිබුණු නිසාවෙනි.

අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන සහල් බෙදාදීමේ වැඩසටහන පසුගිය සති අන්තයේදී ආරම්භ විය. ඊට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ සිටින අඩු ආදායම්ලාභී ජනතාවටද සහල් බෙදාදීම එදිනම සිදුවිය. ඒ වජිරගේ ප්‍රධානත්වයෙනි.

කොතරම් කාර්ය බහුල දිනයක් වුවත් ජනතාව අතරට ගොස් ඔවුන් සමඟ කතාබහ කිරීමට වජිර අමතක නොකළේ ජනාධිපතිතුමන්ගේ මේ ක්‍රියාව පිළිබඳ ජනතාවගේ අදහස් දැනගැනීමද ඉතාමත් වැදගත් බැවිනි.

“දැන් ඔයාලට අද සහල් කිලෝ 10ක් හම්බවෙනවා. මේ විදිහටම ලබන මාසයේත් මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. මොකද හිතෙන්නේ?”ජනතාව අතරට පැමිණි වජිර ඔවුන්ගේ අදහස් විමසා සිටියේය.

“අනේ ඇමතිතුමා, ජනාධිපතිතුමාට බොහෝම පින්.

එතුමා මේ ගෙනයන වැඩපිළිවෙළ අපි බොහෝ සෙයින් අගය කරනවා.

ඩීල් කිසිවක් නැති බවට සජිත්ගෙන් සහතිකයක්

පසුගිය අප්‍රේල් 21 වැනිදාට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී වසර 5ක් ගතවී ගොස් තිබිණි. ඒ නිමිත්තෙන් සමගි ජන බලවේගයේ කතෝලික කමිටුව කොළඹ ශාන්ත මරියා වැඩිහිටි නිවාසයේ දානමය පුණ්‍යකර්මයක් සංවිධානය කර තිබුණි. එම දානමය පුණ්‍යකර්මය සංවිධානය කර තිබුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදගේ ප්‍රධානත්වයෙන්ය.

‘‘වසර 5ක් ගතවෙලත් පාස්කු ප්‍රහාර පිළිබඳ සත්‍ය තොරතුරු හෙළිදරව් වෙලා නෑ. මෙතෙක් කල් රටේ බිහිවුණ සෑම නායකයෙක්ම පාස්කු ප්‍රහාරයෙන් පසුව පොරොන්දු වුණා සත්‍ය සොයා දෙනවා කියලා. මේ ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල කළ කූට ත්‍රස්තවාදීන්ට ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්න බව පාලකයන් කිව්වත් ඒ දේවල් සිදුවුණේ නෑ. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට සජබ රජයක් යටතේ උපරිම දඩුවම් ලබාදෙනවා. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සමඟ කිසිදවසක සජබය ඩීල් දාන්නේ නෑ. ‘‘ යනුවෙන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා පැවසීය.

මනූෂ මැදිහත් වී පළාත් පාලන ලොක්කන්ට බලය දෙයි

පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරුන් මාස කිහිපයකට පෙර ඇමැති මනූෂ නානායක්කාර හමුවීමට පැමිණියේ ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සිය සහාය ලබාදීම පිළිබද සාකච්ඡා කිරීමටය. මෙසේ පැමිණි පළාත් පාලන නියෝජිතයෝ සියල්ලෝම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ සභාපතිවරු වූහ.

“අපි ජනාධිපතිතුමා ඒකක ඉන්නවා. පක්ෂය මොනවා කිව්වත් අපි වෙනම හරි එන්නම්” සභාපතිවරු මනූෂට කීවේ ජනවාරි මාසයේදී නුවරඑළියේ දී හමුවූ අවස්ථාවකදීය.

“කලබල වෙන්නේ නැතිව ඉන්න. මම ජනාධිපතිතුමා එක්ක කතා කරලා හිටපු සභාපතිවරු එකට එකතු කරන වැඩක් හදන්නම්”මනූෂ සභාපතිවරුන්ට පොරොන්දු වූහ.

ජනාධිපතිතුමා සමඟ කළ සාකච්ඡාවෙන් පසුව මහනුවර ජනාධිපති මන්දිරයට පළාත් පාලන නියෝජිතයින් කැඳවූ අතර ජනාධිපතිතුමා ඔවුන් සමග සාකච්ඡා කළේ.

පළාත් පාලන හිටපු ප්‍රධානීන්ට ගම් මට්ටමේ ආණ්ඩුවේ කටයුතු සදහා දායකත්වය ලබාදීමට අවස්ථාව ලබාදෙමින් කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කළේය.

“ඇමැතිතුමා මැදිහත්වුණ නිසා තමයි අපිට මේ අවස්ථාව ලැබුණේ”පළාත් පාලන හිටපු සභාපතිවරු මනූෂට ස්තුති කළහ.

අජිත් රාජපක්ෂගෙන් ප්‍රශ්නයක්

අඩු ආදායම්ලාභී පවුල්වලට සහල් බෙදාදීමේ ජාතික වැඩසටහන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුවිය.

සූරියවැව සහ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සහල් බෙදා දීමේ වැඩසටහන පසුගියදා සිදු කෙරුණේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි.

“ දැන් ක්‍රම ක්‍රමයෙන් ආර්ථිකය ශක්තිමත් වෙලා රුපියලේ අගය ශක්තිමත් වෙනවා. රට දැන් ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට යනවා. එහෙම වුණේ ජනාධිපතිතුමා නොබියව පාර්ලිමේන්තුවේ අණ පනත් සම්මත කළ නිසා. එදා ඒ මන්ත්‍රීවරුන්ට පහර දෙන්න කියලා ජනතාවට කියපු කට්ටි දැන් මොකද කියන්නේ?“ යනුවෙන් අජිත් රාජපක්ෂ විසින් විවෘතව ප්‍රශ්න කරන ලදී.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division