Home » රටටම බෙදන්න ගෙනා මත් කරල් 79,000ක ගබඩාව හිරණ නිවසක

රටටම බෙදන්න ගෙනා මත් කරල් 79,000ක ගබඩාව හිරණ නිවසක

by thanushika
April 20, 2024 12:30 am 0 comment

මත් ජාවාරම්කාරයන් 6500ක් මේ වන විට හඳුනාගෙන ඇතැයි ද ඉන් 4500ක් පමණ යුක්තිය මෙහෙයුමෙන් අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් පසුගියදා හෙළි කළේය.

යුක්තිය මෙහෙයුම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සිය කටයුතු නිරුපද්‍රිතව සිදු කරගෙන යාමට මේ වන විට ප්‍රබල බාධාවක් වී ඇති බව පොලිස්පතිවරයාගේ මේ කතාවෙන් පෙනෙන්නට ඇත.

එහෙත් ඇතැම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඉතා සූක්ෂමව තවමත් එම ජාවාරම්වල නිරතව සිටින්නේ ඉන් ලැබෙන මිල මුදල් කන්දරාව නිසාය.

යුක්තිය මෙහෙයුම මඟින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දිගින් දිගටම අත්අඩංගුවට ගැනීමත් සමඟම සමාජයේ මත්ද්‍රව්‍ය සංසරණය වීමේ යම් අඩුවක් පෙනෙන්නට ඇතත් ජාවාරම්කරුවෝ ඊටද විසඳුමක් ලබා දෙමින් මත්ලෝලීන් සඳහා මත්කරල් අලෙවි කිරීම ඉතා සංවිධානාත්මකව සිදු කරගෙන යන අයුරු පෙනෙන්නට ඇත. පොලිස් වාර්තා සඳහන් කරන අන්දමට යුක්තිය මෙහෙයුමේදී මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මත්කරල් සංඛ්‍යාව ලක්ෂ 5කට ආසන්නය.

මත්ලෝලීන් සඳහා මත්කරල් නීති විරෝධීව ලබා දුන් ඖෂධහල් ගණනාවක්ද පොලිසිය විසින් පසුගිය කාලයේ වටලා තිබිණි. පොලිසිය සඳහන් කරන අන්දමට මත්ලෝලීන් මෙලෙස පරිභෝජනයට ගන්නා කරල මානසික රෝගීන් සඳහා ලබා දෙන ඒවාය.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සංඛ්‍යා ලේඛනවලට අනුව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින පුද්ගලයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 5ක් වන අතර විෂ පෙති සහ මත් කරල්වලට ඇබ්බැහි වූවන්ගේ සංඛ්‍යාව විසිපන්දහසක් පමණය.

මේ මත්කරල් ජාවාරමක් වශයෙන් සිදු කරන පුද්ගලයන් ඒවා හොරෙන් ගෙන්වන්නේ ඉන්දියාවෙනි. මෙලෙස බෝට්ටු මඟින් අඩු මිලට ඉන්දියාවේ සිට ගෙන්වන මත් කරල් තොග පිටින් යාපනය, මන්නාරම, කල්පිටිය සහ උතුරු මුහුදු තීරයේ ස්ථානවලින් මෙටට ඇතුළු කර ඉතා සංවිධානාත්මකව රට ඇතුළට බෙදා හරින බව රහසක් නොවේ. හෙරොයින්, අයිස්, ගංජා ජාවාරමේ මෙන්ම මත්පෙති, මත් කරල් ජාවාරමට නැවතීමේ තිත තැබීම සඳහා යුක්තිය මෙහෙයුමේ නිරත නිලධාරීන් දිවා රෑ කරන කැපවීම සුළුපටු නොවේ.

මත් කරල් ජාවාරමක නිරත වූ පුද්ගලයකු අල්ලාගෙන එම ජාවාරමේ අලගිය මුලගිය තැන් අනාවරණය කර ගැනීමට කළුතර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධරයන්ට පසුගියදා හැකි වන්නේ මෙවැනි වටපිටාවකදීය.

කළුතර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධරයන් කළුතර නගරයේදී පසුගියදා කිසියම් පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගන්නේ ඔහු පිළිබඳ ලැබී තිබූ තොරතුරකට අනුවය.

මේ සැකකරුගෙන් පොලිස් නිලධාරීන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරද්දී ඔහු සතුව තිබුණු මත් කරල් 1500 ක් සහ කේරළ ගංජා කිලෝවක් සොයා ගැනීමට හැකි විය.

මෙලෙස අල්ලා ගන්නා ලද පුද්ගලයා පිළිබඳව වැඩිදුර තොරතුරු සොයන පොලිසිය සැකකරු පාණදුර, හිරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට තොරතුරු හෙළි කරගන්නේ තවත් ස්වල්ප වේලාවකින් අනතුරුවය. සැකකරු කැටුව පාණදුර, හිරණ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවෙසට යන පොලිස් නිලධාරීන් විස්මයට පත්වන්නේ ඔහුගේ නිවසේ සඟවා තිබුණු මත් කරල් ප්‍රමාණය දැකිමෙනි. එහි මත්කරල් 76,980 ක් තිබුණු අතර එය තනි පුද්ගලයෙක් සතුව තිබියදී යුක්තිය මෙහෙයුමෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති වැඩිම මත් කරල් තොගයයි.

සැකකරුගෙන් ප්‍රශ්න කරද්දී හෙළි වී ඇත්තේ පෙර කීවාක් මෙන් මේ මත්කරල් ඉන්දියාවෙන් ගෙන්වන ඒවා බවය. යුක්තිය මෙහෙයුම නිසා හෙරොයින්, අයිස්, ගංජා ජාවාරම්වලට විශාල බලපෑමක් එල්ලවී ඇති බැවින් ඒවාට ඇබ්බැහිව සිටින මත්ලෝලීන් විශාල පිරිසකගෙන් මත්කරල්වලට ලොකු ඉල්ලුමක් ඇති වී ඇති අතර එය සපුරා ලොකු මුදලක් හරිහම්බ කර ගැනීම මේ ජාවාරම්කරුගේ අභිප්‍රාය වී තිබේ.

සැකකරු මේ ජාවාරම කොතරම් කල් සිට සිදු කරන්නේ ද? ඔහුට මේ ජාවාරම සිදුකරගෙන යන්නට උදව් පදව් කළ පුද්ගලයන් සහ මේ ජාවාරමෙන් උපයා ගත් මුදල් පිළිබඳව සොයා ගැනීම සඳහා ද විමර්ශන පැවැත්වෙයි.

මත්කරල් ඇතැම් පාසල් ළමුන්ගේ භාවිතයට එක්වී ඇති නිසා මේ සැකකරු පාසල් ළමුන්ටද මත්කරල් මීට පෙර අලෙවිකර ඇත්දැයි සෙවීම සඳහා පරීක්ෂණ මේ වන විට ආරම්භ කර ඇත.

කළුතර අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ජී. නන්දන, සහකාර පොලිස් අධිකාරී යු.ඩී.එල්. ක්‍රිෂාන්ත යන නිලධාරීන්ගේ උපදෙස් මත එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව, උපපොලිස් පරීක්ෂකවරුන් වන උපුල් හර්ෂ, කේ.ඩී.එම්. මධුෂාන්, සැරයන්වරුන් වන (69479) ප්‍රසන්න, (69613) ජයසුන්දර, කොස්තාපල් (79335) තුෂාර යන නිලධාරීන් වැටලීම සිදු කරන ලදි.

ඡායාරූප – පොතුපිටිය සුමිත් ප්‍රේමතිලක

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division