Home » පළාතටම කුඩු බෙදූ උපාධිධාරි ගුරුවරිය

පළාතටම කුඩු බෙදූ උපාධිධාරි ගුරුවරිය

by thanushika
April 20, 2024 12:30 am 0 comment

තල මිටක් සොරා කෑ වරදට රජ කුමරකු හට උණ පත්තෙන් තැලු දිසා‍පාමොක්වරයෙක් ගැන කියවෙන ඉතිහාසයක් අපට ඇත්තේය. තමන් තළන්නේ රජ කුමරකු හට බව අමතක කරන්නට තරම් එදා දිසාපාමොක්වරයා එඩිතර වූයේ තමන් නිතරම දරුවන්ට, රටට, සමාජයට නිවැරැදි දේ දිය යුතු බව තරයේ විශ්වාස කළ නිසා විය යුතුය. රජතුමන්ගේ බල පරාක්‍රමයට බිය නොවී තම සේවය අකුරටම ඉටුකරන්නට තරම් එදා දිසාපාමොක්වරු කටයුතු කළ බව අපට අමතක කළ නොහැකිය.

එසේ නිතරම හරි දේ පමණක් කරන්නට සැරසුනු දිසාපාමොක්වරුන්ට අගරු කරන ගුරුවරු මෙදා සමාජයේ ඉඳහිට එකා දෙන්නා හමුවෙයි. මුදලට ලාභයට සමහර ගුරුවරු කටයුතු කරන බව වර්තමානයෙහි කිසිවෙකුට රහසක් නොවේ.

ඒ අතර එම තත්ත්වයේ පිරිසට ද අවමානයක් ගෙන දෙමින් ක්‍රියා කළ ගුරුවරියක පිළිබඳ අපුල දනවන පුවතක් නව වසර උදාවෙන්නට දෙදිනක් තිබියදී අපට අසන්නට ලැබුණේ ගම්පහ දිසාවේ වේයන්ගොඩ පුරවරයෙනි.

යුක්තිය මෙහෙයුමත් සමඟම මත්කුඩු සහ පාතාලය මර්දනයට වේයන්ගොඩ පොලිසිය වෙහෙසක් ගන්නා බව ජනතාව අතර ප්‍රචලිත වී හමාරය. ඒ ඔවුන් මේ වන විට කළ කී දේ ගැන ජනතාව අතරට යාම නිසාය. මේ අතර පසුගියදා වේයන්ගොඩ පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයට ලද තොරතුරකින් කියවුණේ කොරස ප්‍රදේශයේ පදිංචි ගුරුවරියක හොර රහසේ හෙරොයින් ජාවාරමේ නිරත වන බවය.

මේ බව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංක රංගනට දන්වනු ලැබීය. වැටලීමට අවශ්‍ය කරන උපදෙස් ස්ථානාධිපතිවරයාගෙන් ලැබිණි. ඒ අනුව වැටලීම කරන ආකාරය සැලසුම් කරනු ලැබීය.

ඇය ඊෂි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන ඒ ඒ ප්‍රමාණයේ හෙරොයින් මත්කුඩු පැකට් හඳුනාගත් විශේෂිත ස්ථානයන්හි සඟවා තබා ගැණුම්කරුවන් අතට පත්කරන බවත් ඇය මීගමුව ප්‍රදේශයේ පාසලක සේවයේ නිරත උපාධිධාරි ගුරුවරියක බවටත් අනාවරණය කරගන්නට පොලිස් ස්ථානාධිපතිවරයාට හැකි වූයේ බුද්ධි අංශ නිලධාරීන් මාර්ගයෙනි.

ඒ අනුව ස්ථානාධිපතිවරයා මේ කාන්තාව කොටුකර ගන්නට මෙහෙයුමක් ආරම්භ කරනු ලැබීය. එමෙන්ම ඇගේ පියා මෑතකදී මත්කුඩු සමඟ බෙම්මුල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීමෙන් පසු දියණිය පියාගේ අඩුව පුරවන්නටද කටයුතු කරන බවට තොරතුරු ලැබිණි. කෙසේ හෝ වේවා දියණියට පියාගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන් සපුරන්නට ද සිදුවිය. ඒ නිසා ඇය විවිධ පෙදෙස්වලට ගමන් කිරීමේදී තනි නොතනියට සිය මවගේ සහාය ලබා ගැනීමට ද කටයුතු කළාය.

කිසිවකුටත් සැක නොසිතෙන අන්දමින් සිය ජාවාරම කරගෙන ගිය මේ උපාධිධාරිනිය තමන්ගේ කටයුතු පිළිබඳව පොලිස් ඇස යොමුවී ඇති බව නොදත්තාය. ඒ නිසා ඇය නිදහසේ රිසි සේ තම ජාවාරම කරගෙන ගියේ සැහැල්ලුවෙනි.

සැකකාර ගුරුවරිය නිට්ටඹුව, මල්වත්ත ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකිවුණේ පසුගිය 10 වැනිදාය. ඇය සමඟ සිටි ඇගේ මවද මේ අවස්ථාවේදීම පොලිස් අත්අඩංගුවට ගැනිණි. සැකකාරියන් දෙදෙනා පරීක්ෂාවට ලක් කිරීමේදී පාසල් ගුරුවරිය සන්තකයේ තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 2300ක් සහ ඇගේ මව සන්තකයේ තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 4500ක් සොයා ගැනීමට පොලිස් කණ්ඩායමට හැකි විය.

මෙසේ අත්අඩංගුවට ගැනුණේ වේයන්ගොඩ, කොරස ප්‍රදේශයේ පදිංචිකාරිනියන් දෙදෙනෙකි. උපාධිධාරිනී ගුරුවරිය මීගමුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක අපොස උසස් පෙළ සිංහල විෂය උගන්වන අතර ඇගේ වයස අවුරුදු 28කි.

සැකකාර ගුරුවරිය විසින් තවත් පුද්ගලයින් යොදවා හෙරොයින් ග්‍රෑම් 01, මිලි ග්‍රෑම් 500 බැගින් වූ පැකට් සාදා නිට්ටඹුව, තිහාරිය, මල්වත්ත, කොරසේ ඇතුළු ප්‍රදේශවල ඉතා සූක්ෂම අයුරින් සඟවා ඊෂි කෑෂ් ක්‍රමය යටතේ මුදල් ලැබුණු පසු හෙරොයින් සැඟවූ ස්ථාන ගැනුම්කරුවන්ට පවසන බව විමර්ශනවලදී හෙළි වී ඇත. මත්කුඩු සඟවන ලද ස්ථාන පිළිබඳව සටහන් තැබූ සටහන් පොතක් සහ ජාවාරම් සඳහා යොදාගත් යතුරුපැදියක්ද වේයන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකාර ගුරුවරියගේ පියා වේයන්ගොඩ ප්‍රදේශයේ නමගිය මත්කුඩු ව්‍යාපාරිකයකු වන අතර දින කිහිපයකට පෙර ඔහු හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා මත බෙම්මුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවද පොලිසිය සඳහන් කළේය.

මෙම ගුරුවරිය මේ අන්දමට පාසල් දරුවන්ට ද මත්කුඩු බෙදීමේ නිරතව සිට ඇද්දැයි හෙළිකර ගැනීමටද පොලිස් පරීක්ෂණ ආරම්භ කරනු ලැබ ඇත.

උපාධිධාරී පාසල් ගුරුවරිය සහ ඇගේ මව වේයන්ගොඩ පොලිසිය විසින් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අත්තනගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න නියෝග කළේය.

ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණගේ උපදෙස් මත අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රසාද් ප්‍රනාන්දුගේ අධීක්ෂණයෙන් වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංක රංගනගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක හෂාන් වීරසිංහ, කොස්තාපල්වරුන් වන 68493 සුනන්ද, 86231 රංග, 87712 දිලංක, සැරයන් රියදුරු 11216 වීරසූරිය, කාන්තා පොලිස් කොස්තාපල් මෛත්‍රි යන නිලධාරීහු වැටලීම සිදු කළහ.

එම්. පුෂ්පකුමාර - කොටදෙනියාව සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division