Home » කෙටි කතාව

කෙටි කතාව

by gayan
April 20, 2024 12:30 am 0 comment

‘ඇත්තමයි සමරේ, වනිගතුංග කියන්නේ දාහකිං හොයාගන්න බැරි තරම් හොඳ මනුස්සයෙක්’ කලකට පසු මුණගැසුණ සමරේට ඒ මා හඳුන්වා දුන්නේ මගේ අනාගත මාමණ්ඩිය ය. අවුරුද්දකට වතාවක් හෝ සමරේ සමඟ පයුරු පාසානයේ යෙදීම සඳහා මේ සුන්දර ගම්මානය කරා පැමිණීමට මම අමතක නොකරමි. සෑමවිටම පාහේ මේ ගමන සිදුවන්නේ සිංහල අවුරුද්ද කටමුලදී ය. එය දිගින් දිගට ම, අඛණ්ඩව ම සිදුවන්නේ ඔහු මට හමුවූ දුර්ලභ ගණයේ මිනිසකු වන හෙයිනි.
මගේ කථාව ඇසූ සමරේ සිනාසුණේ ය. ඔහුගේ ඒ නිහඬ සිනාවට යටින් ඇඳී ගියේ පේන නොපෙනෙන තරමේ සෝපහාසයකි. මම අන්දමන්ද වුණෙමි. දැන් මා, මගේ නිගමනය සනාථ කරනු පිණිස කුමක් හෝ කිව යුතුම ය.
මොහොතකට පෙර මා පදවාගෙන පැමිණි අලුත්ම ලෑන්ඩ් කෲෂර් රථය සමරේගේ මිදුලේ නැංගුරම් ලා තිබිණ. එය මගේ මාමණ්ඩියගේ පරිත්‍යාගශීලිත්වය ඇස්පනාපිට ඔප්පු කෙරෙන අපූරු සාක්කියකි. මගේ මාමණ්ඩිය විසින් මේ ලෑන්ඩ් කෲෂර් රිය මිලදී ගනු ලැබුවේ මා සඳහා ය. එය මෙවර සිංහල අවුරුද්ද වෙනුවෙන් මා ලද අපූරු අවුරුදු තෑග්ගකි. මා විවාහ වන්නට සූදානම්ව සිටින්නේ වෙසක් මාසයේ ය. මගේ අත ගන්නේ වනිගතුංගගේ එකම දියණියයි. මේ ගනුදෙනුව සිදුවූයේ හෝරාවකට දෙකකට ඉහතිනි. රථයේ යතුරු දෙක රැඳවූ කුඩා වළල්ල තවමත් මගේ මැදැඟිල්ලේ ඔංචිලි පදිමින් සිටියි. යතුරු දෙක එකිනෙක ගැටීමෙන් ‘ස්රින්’ හඩක් නැඟුණේ මා ඕනෑකමින් එය පැද්දූ නිසා වන්නට ඇත.
‘ඕක තමයි සිරි මගේ ප්‍රශ්නේ?’
‘මොකක්ද?’
‘සිරි ඔය කියන හොඳ මිනිහා තමයි මාත් මේ හොයන්නෙ.’
සමරේ නැඟී සිටියේ මට එරෙහිව දමා ගැසිය හැකි ආයුධ රාශියකින් සන්නද්ධව සිටින බවක් හඟවමිනි. ඔහුගේ දෙතොලේ රැඳී ඇත්තේ ආත්ම විශ්වාසයෙන් බැබළෙන සිනාවකි. සමරේගේ උකුළ මත තිබී ‘දඩස්’ හඬින් බිම වැටුණ ලොකු පොත ‘සිංහල මාලකවි සංග්‍රහය’ බව මම දුටුවෙමි. පොත අහුලා කනප්පුව මත වූ තවත් පොතකට යටකර තබද්දී උඩින් වූ පොතේ ලොකු අකුරු ද මට පෙනී ගියේ ය. …. ගීත ගෝවින්දය….
අනතුරුව සමරේ ‘හොඳ මිනිහා’ හඳුන්වා දෙන්නට නිදර්ශන දෙකක් ඉදිරිපත් කළේ ය. හොඳ මිනිසුන් පිළිබඳව එවැනි නිදර්ශන ඉසේ කෙස් ගාණට පෙන්නා දිය හැකි බව ද කීවේ ය. ඔහු මුලින්ම පැවසූ වෘත්තාන්තයේ කථා නායිකාව වූයේ යෞවනියකි. ඇයට උන්හිටි තැන් අහිමිකර ඉබාගාතේ යන්නට මඟ පෑදුවේ ඇගේ ජීවිතයට වැඩියෙන්ම උදව් උපකාර කළ තැනැත්තා යැයි ඔහු කීවේ ය.
‘ඒ ගෑනිට අම්මෙක් තාත්තෙක් හිටියෙ නෑ. අඩුගාණේ අර එක බඩවැල කඩාගෙන එනවයි කියන සහෝදරයෙක්වත් නෑ. ඒ ගෑනි නතරවෙලා උන්නේ පුංචි අම්මලයි දිහා. බාප්පා අමු බේබද්දා. කනමදයා වගේ බීගෙන ඇවිත් මේ කෙල්ලට අඩන්තේට්ටම් කරනවා. පුංචි අම්මත් ඒකට උඩගෙඩි දුන්නා. අන්තිමට මං ඔය කියන හාදයා තමයි ඒ ගෑනිව ඔය මරුකටින් බේරුවෙ.’
ඇගේ විමුක්තිදායකයා වූ ඔහු නමින් වීරමන් ය. වීරමන් ඇයට බෝඩිම් කාමරයක් සපයා දීමෙන් පමණක් නොනැවතී ඇගේ අධ්‍යාපන කටයුතු සඳහා ද බරපැන දැරුවේ ය. එහෙත් ඒ ටික කලකට ය.
‘එයා මගේ පූරුවෙ ණයකාරයෙක් කියල මට හිතුණා. ඉෂ්ට දේවතාවෙක් කියලත් හිතුණා. ඒත් පස්සෙ පස්සේ එයා රෑට රෑට මගේ බෝඩිම් කාමරේට ආවා. ඒ ආපු පළමුවෙනි දවසෙදිම තමයි ගොනා හැරෙන්නෙ පොල් පැළේ කන්නයි කියල මට තේරුණේ’ යි ඇය සමරේට කියා තිබිණ.
‘ඉතිං ඊට පස්සේ ?’ යි මම ඇසුවෙමි. මා ඒ ඇසුවේ කමක් පලක් නැති ප්‍රශ්නයක් බව ඊළඟ තත්පරයේදීම හැඟුණ නිසා සිතට ලැජ්ජාවක් ද දැනුණේ ය. එහෙත් මිනිසුන්ගේ ව්‍යසන, ඛේදවාචක තළු මරමින් අසා සිටින්නට පොළඹවන සුළු ජාන මා තුළ ද පිහිටා තිබිණ.
‘ඊට පස්සෙ මේ කෙල්ලට බෝඩිමේ ඉන්න සිද්ධ වුණේ අර මිනිහාගේ ගෑනි ඇවිත් සෝලි තියලා කෙහෙවල්ලෙන් අල්ලලා එළියට ඇදල දානකම් විතරයි.’
සමරේ අපූරුවට සංස්කරණය කළ ඒ දිග කතාව තුළින් මට ද පොටක් පෑදිණ.
‘හරි සමරේ, ඒත් ඉතිං ඒ ගෑනියෙක් නේ? ගෑනියෙකුට උදව් කරන්න මිනිහෙක් ඉදිරිපත් වෙන්නේ ඇයි කියන කාරණාව තේරුම් ගන්න ඉතින් සාමාන්‍ය දැනුමක් තිබුණම හොඳටම ඇති. ඒත් මිනිහෙක් තවත් මිනිහෙකුට අතදෙනවයි කියන්නෙ ඊට වැඩිය වෙනස් කාරණයක් නේද?’
සමරේ සිනාමුසු බැල්මක් හෙළුවේ ය.
‘සිරිගේ ඔය මාමණ්ඩි ගැන නං මට කිසිදෙයක් කියන්න බෑ. මං ඒ මනුස්සය දැක්කෙත් නෑනේ. හැබැයි එකක්. තව අවුරුදු පහකට පස්සෙ උදාවෙන සිංහල අවුරුද්දෙදිත් මාව මුණගැහිල ඔය කතාව ඔය විදිහටම කියන්න සිරිට පුළුවන් වේවා කියල මං ප්‍රාර්ථනා කරනවා. එච්චරයි.’
මා සිටියේ තරමක් අවුල්සහගතව ය. සමරේගේ මුහුණ බලාගෙන සහතිකයක් නිකුත් කරන්නට මට ද පුළුවන්කමක් නොවූ හෙයිනි.
‘මිනිස්සු ගැන අපේ අදහස් අවුරුදු පහෙන් පහට වෙනස් කරන්න සිද්ධ වෙනවා සිරි’ සමරේ කීවේ ය.
‘සමහර විට අවුරුද්දෙන් හමාරෙනුත් ඒක කරන්න වෙනවා. ඊටත් වඩා පුංචි කාලෙකදි උනත් ඒක වෙන්න බැරි නෑ.’
මා සිටියේ බැදෙන කැවුමක සුවඳකට ඉව අල්ලමිනි. සිත දුර ගමනක යෙදුණේ සමරේගේ කතාව දිගේම ය. කර කර ගා හැපෙන විස්කෝතු ගැන, වෙනත් ආහාර විශේෂ ගැන කොතෙකුත් අසන්නට ලැබෙන වෙළෙඳ දැන්වීම් මට මතක් වූයේ පැණි, ලුණු සමඟ පදමට බැදුණ පැණි කැවුමක් තළු මරද්දී දිවට දැනුණ අමරස ද සමඟිනි. තේ බොන අතරේ ද සමරේගේ දර්ශනය ගැන මම සිතා බැලුවෙමි. මට මා දන්නා හඳුනන කිහිප දෙනෙකු ඒ ඔස්සේ සිහිවෙයි. යුග පුරුෂයන් ලෙස එක්තරා යුගයකදී අපට පෙනීයන ඇතැමුන් කාලය විසින් නිවටුන් හා අවස්ථාවාදීන් බවට පත් කරනු ලැබූ අවස්ථා, කාලවකවානු කීපයක් අප පසුකර ඇති බව ද මට මතක් වේ. සමරේ ඉන් අනතුරුව අවධාරණය කළේ ද එවැන්නකු පිළිබඳව ය.
‘මිනිහ අපේ කෝපරේෂන් එකේ වයිස් චෙයාමන් වෙලා ආවේ දේශපාලන පත්වීම කින්. කොහොමටත් ඉතිං ඒක දේශපාලන පත්වීමක්නේ. හැබැයි මිනිහ එකපාරටම ප්‍රාදුර්භූත වුණේ දේවතාවෙක් වගේ. ‘අපේ වයිස් චෙයාමන් දෙයියෙක්’ කියලයි හැමෝම කිව්වෙ. ලේබර් කෙනෙකුට උනත් දවසේ ඕනෑම වෙලාවක මිනිහා මුණගැහෙන්න පුළුවන් වුණා. අපේ මිනිස්සුන්ටත් ඉතිං තියන ප්‍රශ්නවල, දුක්ගැනවිලිවල අවාසි ඇතුවයි? මිනිහ දුක්ගන්නාරාල වගේ හැමෝගෙම අඳෝනාවලට කන්දුන්නා. සමහර විට ස්ටාෆ් මීටින්, කොන්ෆරන්ස් කට් කරලත් මිනිහා සේවක ප්‍රශ්න විසඳනවා.’
‘ඉතිං? මොකක් ද එතකොට ප්‍රශ්නෙ?’
‘ඔය අතරේ මිනිහා පොඩ්ඩන්ගෙන් අහන්න ගත්තා ලොක්කන්ගේ ජරා ගැහිලි ගැන. හැමෝම හිතුවෙ මිනිහගෙ පරමාර්ථය ආයතනයට ලාබ ඉතුරු කරන එකයි කියලා. ජී.එම් වගේම අනිත් විධායක නිලධාරින්ගේත් ගෑනු කේස් ගැන මිනිහ දැනගත්තෙ සුළු සේවකයන්ගෙන්. වී. සී ගෙ සමානාත්මතා ගුණේට වශීවෙලා උන්නු මයිනර් ස්ටාෆ් එකත් පලිප්පු දදා මේ ලව් ස්ටෝරි රස කර කර කිව්වා. කොහොමටත් ඉතිං ඔය දෙගොල්ල කවදත් පෑහුණේ නෑනේ? පාලකයොයි සේවකයොයි අතරේ කවද්ද යටින් හොඳ හිතක් තිබුණෙ.’
සමරේගේ කතාව නතර වූයේ යසෝමා පැමිණි නිසා ය. කාර්යාල න්‍යාය හා සේවක චින්තනය පිළිබඳ සමරේගේ දාර්ශනික එළැඹුම ගැන සිතමින් මම අයෝමා දුන් බිබික්කම් පාර්සලය අතට ගතිමි.
‘ආරංචියි කසාද බඳින්න යනවයි කියල’ යි සිනාමුසුව පැවසූ යසෝමා, මගේ මනාලියගේ හැඩරුව, පවුල් පසුබිම ඇතුළු වැල්වටාරම් විමසමින් කාලය කා දැමූ නිසා සමරේගේ කතාව අසන්නට සිත තුළ වූ කැමැත්ත නොඉවසීමක් දක්වා වැඩී යමින් තිබිණ. ඇය නික්ම ගිය පසු සමරේ පැවසූ කථාවේ සාරාංශය මෙසේ ය:
තුන්වෙනි පන්තිය දක්වා පමණක් පාසල් ගිය උප සභාපතිට සංස්ථාවේ වෙනත් තනතුරු දැරූ විධායකයන්ගේ උසස්වීම්, උපාධි සහතික හිසරදයක් මෙන් පෙනුණේ ය. සුළු සේවකයන්ගේ විමුක්තිකාමියකු බවට ඔහු අනුක්‍රමයෙන් රූපාන්තරණය වූයේ ඒ අනුව ය. එහෙත් නොසිතූ මොහොතක ඔහුගේ දේශපාලන පත්වීම අවලංගු කෙරෙන ලිපියක් අමාත්‍යාංශයෙන් නිකුත් කෙරිණ. ඊට හේතු වූයේ ලාබ ලබන ආයතනයක් නොවූ සංස්ථාවේ මූල්‍ය තත්ත්වයට ඔරොත්තු නොදෙන තරමේ ප්‍රසාද දීමනා ඔහුගේ අත්සනින් අනුමත වී තිබීම ය.
‘ඉතිං මේ හොඳ මනුස්සයාට ගෙදර යන්න වුණා. ‘පුදපු ගමන් කාපි යකා’ කිව්ව වගේ අර බෝනස් එකත් මාසයක් ගාණෙ අපේ පඩියෙන් කැපුණා.’ කියමින් සමරේ හඬනඟා සිනාසුණේ ය.
‘මෝඩයෙක්’ යි මට කියවිණ.
‘ඒත් ඉතිං ඒ මෝඩකමේ හරි හොඳකමේ හරි යථාර්ථය තේරුම් ගන්න එකපාරටම බෑනේ, කොයි සක්කරයටවත්.? මිනිස්සු වැඩිදෙනෙක් ඉතිං හැමදාම රැවටෙනවා. ඊළඟට තව කාව හරි රවට්ටනවා. සමහරු මේක කරන්නේ දැන දැන; තවත් සමහරු නොදැන.’
රතිඤ්ඤාවක් පුපුරා හැලෙන්නට වූයේ නොනගතයේ ඇරඹුම සලකුණු කරමිනි. පාපිස්ස මත වක ගසාගෙන සිටි දුඹුරු බල්ලා සමරේගේ දෙපා යටින් රිංගා බිත්තියට හේත්තු වුණේ මුළු ගැන්වෙන්නට ය.
‘අවුරුද්දට මිනිස්සු රතිඤ්ඤා පත්තු කරනකොට දඩාවතේ යන බල්ලො ඔළුව හැරුණු අතේ දුවනවා.’
සමරේගේ ඒ කතාවේ නම් එතරම් වැදගැම්මක් ඇතැයි මට නොසිතිණ. ක්ෂණික කුහුලක් හටගත්තේ ඊළඟට ඔහු පැවසූ දෙය කෙරෙහි ය.
‘එහෙම බයේ දුවද්දි වාහනවල හැප්පිලා අතපය කඩාගත්තු කණ්ඩායමක් වෙනුවෙන් මං අටවගත්තු සුනඛ ඉස්පිරිතාලෙ තියෙන්නේ වත්ත පිටිපස්සෙ.’
‘මොකක්? ඒ පාර උඹ පශූ වෛද්‍ය වැඩේටත් බැස්ස ද?’
‘මොන? මං දන්න වෙදකමක් නෑ’ කියමින් සමරේ සිනාසුණේ ය.
‘බලු වෛද්‍ය විශේෂඥයො මං ගෙන්න ගන්නෙ පිටිං. සල්ලි දීලා’
‘උඹට පිස්සු ද?’ යි ඇසෙන්නට ගිය ද කට ඉස්සර කර ගත යුතු නැතැයි ඒ සමඟම සිත කීවේ ය.
අපි ටික වේලාවක් කතා නැතිව සිටියෙමු. රූපවාහිනියේ දිවා ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් විදෙස් තොරතුරු එළිදකිමින් තිබිණ. රුසියානු – යුක්රේන යුද්ධයේ ගිනිදැල්, තිරයට රතු ලකුණක් යොදා තිබූ අතර නිවේදිකාවගේ හඬ ගිලී ගියේ ගමේ ගෙවල්වලින් අවදිව නැඟුණු අවුරුදු රතිඤ්ඤා වරුසාව තුළ ය.
‘කවදාහරි ලෝකෙ යුද්ධ නතර වෙන්න නං එහෙම වෙන්නේ කවද ද කොහොම ද කියන එක ගැන අදහසක් තියෙනව ද උඹට?’
මා නිරුත්තරව බලා සිටියේ සැබැවින්ම මට එවැන්නක් මතක් වී තිබුණේ වත් සිතන්නට වුවමනාවක් තිබුණේ වත් නැති නිසා ය.
‘ඒක වෙනව නං වෙන්නේ දැං ඔය හැමෝම පට්ට ගහන මානව දයාව කියන මනුස්ස හැඟීම විශ්ව කරුණාවකට රූපාන්තරණය වුණාට පස්සෙ’
ඔහේ බලා සිටිය ද මගේ හිත අහඹු සැක සංකා ගණනාවකින් තදබද වී තිබිණ.
‘මං ඊයේ ‘සඳගිරි පාමුල’ කියල ආඛ්‍යාන කාව්‍යයක් කියෙව්වා’ යි සමරේ යළි කීවේ බැරෑරුම් හඬකිනි.
‘කවියා එතැනදී යෝජනා කරන්නේ ආදරේ, කරුණාව, ආගම විය යුතුයි කියලා’
මම කතා නැතිව සිටියෙමි. වරින්වර රතිඤ්ඤා පුපුරා ගියේ ය. හීන් දෙවට දිගේ මල්වට්ටි ද රැගෙන යමින් සිටියේ නොනගතයට පන්සල් යන මිනිසුන් ය. මම ද නැගී සිටියෙමි. ඒ වචනවලට ලඝු කළ නොහැකි අවිනිශ්චිත හැඟීමකිනි.
‘යමු නේ ද ලෙඩ්ඩු බලන්න?’
බලු නඩයකගේ ස්නේහවන්ත කෙඳිරීම්, ආයාචනාත්මක බිරුම් අතරේ ද රතිඤ්ඤා පුපුරා ගියේ ය. හදවත තිගැස්සුණේ එල්ලයක් නැති කෝපයක් ද සමඟිනි.
‘මේ හැමෝම රතිඤ්ඤාවලට බයේ දුවල කොඳු කඩාගත්තු අය නෙවෙයි’ සමරේ කීවේ ය.
‘ඒත් ඉතිං ඔය ඔක්කොම අනාථයෝ’
සුනඛ රෝහලේ කබොක්ගල් බිත්තියක් මත ලැමිනේටින් කළ කිසිවක් කම්බියකින් එල්ලා තිබුණේය. එය පුවත්පතක පිටුවක් බව තේරුම් ගියේ ළං ළං වී විමසූ විට ය. ඡායාරූපයෙහි දෑස් මහත්ව, විවර කරගෙන සිටියේ බියෙන් තැතිගත් සුනඛයෙකි.
‘ඔය ඇවිල්ල සත්ත්ව ආරක්ෂණ සංවිධානයක් ජාතික පුවත්පතක් එක්ක එකතුවෙලා අවුරුදු තුන හතරකට කලින් පළ කරල තිබුණ පේපර් ඇඩ් එකක්’ යි සමරේ කීවේ ය.
යළිත් වරක් මහ හඬින් පුපුරා යන්නට වූ ගිනිකෙළි වරුසාවක් මැද මා දැන්වීමේ අකුරු කියවා ගත්තේ ඇඟිලි තුඬින් දෙකන වසා ගනිමිනි. කිසිවකු එහි කිසියම් වැකියක් ලේඛනගත කර තිබුණේ සුනඛයාගේ පාර්ශ්වයෙන් සිතා ය.
ඔබේ විනෝදය අපේ භීතියයි; ගිනිකෙළිවලට අපි බයයි.

කැත්ලීන් ජයවර්ධන

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division