Home » මෛත්‍රීපාල සිරිසේනගෙන් පක්ෂය බේරා ගැනීමට සිදුවෙලා තියෙනවා

මෛත්‍රීපාල සිරිසේනගෙන් පක්ෂය බේරා ගැනීමට සිදුවෙලා තියෙනවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක

by Mahesh Lakehouse
April 6, 2024 12:30 am 0 comment

– නඩු ගොන්නක පැටලිලා නිසා ඔහු සිටින්නේ ආතතියෙන්
– ඔහු කිසිදු පිළිගත හැකි චෝදනාවක් එල්ල කළේ නැහැ
– නව නායකත්වය ගැන ප්‍රශ්නයක් නැහැ. පක්ෂය ශක්තිමත් කරනවා

ඔබ පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රීලනිප සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. මේ අනුව පක්ෂයේ ඉදිරි ගමන් මඟ කෙසේ වෙයිද?

අධිකරණයෙන් සාධාරණ තීන්දුවක් දුන්නා. එතුමාට සභාපති ධුරයේ කටයුතු කිරීම තහනම් කරමින් නියෝගයක් ලබා දුන්නා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා අසරණ නොකිරීම සඳහා පක්ෂය ශක්තිමත් කිරීමේ ගමන ආරම්භ කර තියෙනවා.

නව නායකත්වයක් මේ වන විට තීරණය කර තිබේද?

අපිට නායකත්වය ගැන ප්‍රශ්නයක් නැහැ. නමුත් පක්ෂය ශක්තිමක් කිරීමේ ගමන අරඹනවා. මේ අධිකරණ තීන්දුව මත පක්ෂයේ ඉදිරි ගමන් මඟ අප තීරණය කරනවා. නායකකමේ ගැටලුවක් නැහැ.

මොකක්ද පසුගියදා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පුපුරා ගිය ගැටුම?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රිපාල සිරිසේන මහතායි මමයි 2015 වසරේදි එළියට බහින්නේ පවුල් වාදයෙන් පක්ෂය බේරා ගන්න. නමුත් දැන් අපිට අකමැත්තෙන් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් බේරා ගැනීමට සිදුවෙලා තියෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාලාන්තරයක් තිස්සේ තිබුණු ගැටුමක්ද අවසානයේ ඔබ තිදෙනාගේ පිටින් ගියේ?

මෙය පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. මමත් ලසන්න හා මහින්ද අමරවීර යන ඇමැතිවරුත් උසාවි ගියේ අපේ තනතුරුවලට නෙමෙයි. පක්ෂයක තනතුරු කාලයකට තියෙනවා. තවත් කාලකට නැතිවෙන දෙයක්. එය වෙනමම කරුණක්. නමුත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා රැක ගැනීමේ වගකීමක් පවතිනවා. ඒ වගකීම වෙනුවෙනුයි උසාවි ගියේ. 2015 වසරේ මෛත්‍රිපාල සිරිසේන මහතාත් සමඟ එළියට බැස්ස මම යහපාලන ආණ්ඩුවක් හැදුවා. එය සකස් කළේ සියයට සියයක්ම මහින්ද රාජපක්ෂ විවේචනය කරමින් හා එතුමාව පරද්දවමින්. 2018 අපි කවුරුත් දන්නේ නැතිව උදවු කළ අය පවා දන්නේ නැතිව එතුමා මහින්ද රාජපක්ෂ මහතාව අගමැති කළා. මෙවැනි අත්තනෝමතික කටයුතු බොහෝමයක් පසුගිය කාලයේ සිදු වුණා. කිසිදු සාකච්ඡාවකින් තොරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස එතුමා ගත් අත්තනෝමතික තීන්දු ක්‍රියාත්මක කළා. මේ තීන්දු තීරණ කිසිවක් පාක්ෂිකයන්ට හා රටේ ජනතාවට අදාළ නැහැ. පුද්ගලිකවම ඔහු මත ගත් තීන්දු තීරණ. මෙයත් එවැනිම තීන්දුවක්.

ඔබගේ පක්ෂයේ නායකයා කියන කරන දේ වැඩිය ගණන් ගත යුතු නැති බවට පවසනවා? පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙනුත් ඔහු විහිළු සහගත කතා පවසන බවට චෝදනා පවතිනවා?

විවිධ පාක්ෂිකයන් එවැනි දේ කියන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ලෙස අපිට බැහැනේ කියන දේ පිළිගන්නේ නැති නායකයකු ලෙස ඔහු පවසන, කරන දේ පිළි නොගෙන සිටීමට.

ඔබ පවසන්නේ ඔහු වගකීමෙන් විරහිතව කටයුතු කරන බවද?

වගකීම් විරහිතව කටයුතු කිරීමට වඩා දෙයක් මෙතැන තියෙන්නේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රුපියල් මිලියන 100ක් ඔහුට ගෙවීමට සිදුවීම හා නඩු හාර පන්සියයක් තිබීමත් නිසා ඔහු සිටින්නේ දැඩි ආතතියකින් බවයි මගේ අදහස. සාමාන්‍යයෙන් එක නඩුවක් තිබුණත් යමෙකුට මේ පීඩනය ඇති වෙනවා. මානසික මට්ටම මත වෙන අය එතුමා පාවිච්චි කරනවා. නමුත් ඒ පීඩනය පක්ෂය හෝ පාක්ෂිකයා පිටින් යවන්න බැහැ. රටේ ප්‍රශ්න ඇති කරවන්නත් බැහැ. ඒ වගේම ඔහුට මෙවන් තනි තීරණයකට පිවිසෙන්න බැහැ.

පක්ෂයේ තනතුරුවලින් නෙරපීමේ තීන්දුවට එරෙහිට නඩු මඟට පිවිසියා නේද?

අපි උසාවියෙන් එය නිවැරදි කර ගත්තා. උසාවියෙන් තීන්දු කළා ඔහු අපිව නෙරපීමට තීරණය කිරීම වැරදි බව. මේ තීන්දුවත් සමඟ මම තවමත් ජාතික සංවිධායක. ලසන්න ඇමැතිවරයා භාණ්ඩාගාරික. මහින්ද අමරවීර ඇමැතිවරයා ජ්‍යේෂ්ඨ උප සභාපති.

මේ පිටුපස ඇති ප්‍රබල චෝදනාව මතු වන්නේ ජනපති රනිල්ගේ මැතිවරණ ව්‍යාපාරයට ඔබලාගේ සහය ලබා දුන් නිසා බවයි. මොනවද එල්ල වූ චෝදනා?

ඔහු කිසිදු පිළිගත හැකි චෝදනාවක් එල්ල කළේ නැහැ. පක්ෂයක තනතුරුවලින් යමකු එළවන විට එය ප්‍රසිද්ධ රැස්වීමක කතාවකින් එළවන්න බැහැ. ඒ පිළිබඳ නිශ්චිත කරුණු ඉදිරිපත් කර පක්ෂයක ව්‍යවස්ථාව අනුවයි ඒ කටයුතු කළ හැකි වන්නේ. වත්මන් ජනාධිපතිවරයාට සහය දක්වන බවට අපිට චෝදනා කරනවා නම් එතුමාත් ජනාධිපතිවරයා හමුවී උදව් ඉල්ලපු එක ගැන මොනවද කියන්නේ. අපේ සභාපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයා හමු වී උදවු ඉල්ලලා තියෙන බවට අපිට ආරංචියි. එයාට උදවු ගන්නත් පුළුවන් නම් අපිට රටක් වැටුණු වෙලාවේ රටේ ජනතාව වෙනුවෙන් යම් තීන්දුවක් ගැනීමේ ගැටලුවක් ඇති වෙන්න බැහැනේ.

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බංකොලොත්. මන්ත්‍රිවරුන් 140ක් සමඟ භාරගත්තු පක්ෂයේ අද ඉතිරිව ඉන්නේ දෙදෙනෙකු පමණයි?

මේ දක්වා බංකොලොත් වෙලා තිබුණා. ඒත් දැන් බංකොලොත් නැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවැනි වැඩපිළිවෙළ නිසා අනාගතයක් පවතීද?

අනිවාර්යයෙන්ම. ඉදිරියට හොඳ අනාගතයක් පවතිනවා

මේ තත්ත්වය මත වෙනත් පක්ෂයකින් ආරාධනා ලැබුණේ නැද්ද?

අපි වෙන කිසිදු පක්ෂයකට යන්නේ නැහැනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර අපේ කණ්ඩායම වෙන පක්ෂයකට යාමේ බලාපොරොත්තුවක් නැහැ. නමුත් අපි මුල සිටම පක්ෂය ඇතුළේ සිට සටන් කළේ පක්ෂය බේරා ගැනීමට මිස අපේ ගමන හදාගන්න නෙමෙයි. අපිට අවශ්‍යය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවැරදි තැනකට ගෙන ඒම හා නිදහස් පාක්ෂිකයාට සාධාරණයක් ඉටු කිරීමයි. නමුත් හැමදාම සිදු වුණේ පක්ෂයකින් ප්‍රශ්නයක් ඇති වූ පසු තමන්ගේ ගමන සොයා ගෙන යාමයි. අපේ කණ්ඩායමේ සිටින සියලූම දෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර අන් සියලු පක්ෂවලින් ආරාධනා කළත් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ පාක්ෂිකයන්ට සාධාරණයක් කිරීම වෙනුවෙන් මේ තුළ සිටම වෙනස්කම් සිදු කිරීමයි.

ජනපති රනිල්ගේ රට ගොඩ දැමීමේ ක්‍රියාදාමය පිළිබඳ සැහීමකට පත්විය හැකිද?

අපි හැමෝම පෝලිම් යුගයෙන් විදුලිය කැපීමෙන් ඉවත් වී සිටිනවා. ඒ පිළිබඳ රටවැසි­‍ෙයක් ලෙස අපි සතුටු විය යුතුයි. විදුලි කැපූ කාලයෙ එය කවදා දක්වා සිදුවේදැයි එදා අපි නොදැන සිටියා. නමුත් වත්මන් ආණ්ඩුව තුළ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පොහොට්ටුව මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ඉන්නවා. ඒ සියලු දෙනාම මේ වගකීම භාර ගෙන රට යම් තත්ත්වයකට පත්කළා. සියයට සියයක් හොඳද නැද්ද යන්න වෙනමම කාරණාවක්. නමුත් අද අපි තිබුණු ප්‍රශ්නවලින් මිදිලා ඉන්නවා.

විපක්ෂය නම් පවසන්නේ රජය මේ සහන දෙන්නේ විදේශ ණය නොගෙවන නිසා කියලයි?

විපක්ෂය මෙන්ම කවුරු රට භාර ගත්තත් කරන්න වෙන්නේ මේ දේමයි. අනුර කුමාර දිසානායක භාර ගත්තත් කරන්න වෙන්නේ මේ දේමයි. මුලින්ම කරන්න ඕන මිනිසුන්ට හුස්ම ගන්න ඉඩක් දීම. ඊට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මෙන්ම කාටවත් චෝදනා කර තේරුමක් නැහැ. අද පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඒ පහසුකම ජනතාවට ලබා දී තියෙනවා. ජීවත් වීම අමාරුයි. බඩු මිල වැඩියි කියලා අපි දන්නවා. නමුත් අපේ මුල්ම සටන් පාඨය වුණේ මේ පෝලිම නැති කරන්න. අද එයින් එතුමා වැඩපිළිවෙළක් සහිතව දේශපාලන පක්ෂ සමඟ කතා කර ඉදිරිපත් කළොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් ලෙස අපිටත් ඒ පිළිබඳව සිතිය හැකියි.

ඉදිරි ජනාධිපතිවරණයේ සහය වත්මන් ජනාධිපතිවරයාට ලබා දෙනවාද?

අපි පක්ෂයක් ලෙස ඒ පිළිබඳව තවමත් සාකච්ඡා කර නැහැ. ඉදිරියේදි ඒ ගැන බලමු.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division