Home » 2024 අලුත් අවුරුද්ද ඔබට කොහොමද?

2024 අලුත් අවුරුද්ද ඔබට කොහොමද?

by Mahesh Lakehouse
April 6, 2024 12:30 am 0 comment

– ලග්න 3කට හර්ෂ, සරලා හා විමලා යෝගය: සියලු ලග්නවලට මයුරපාල යෝගය
– මිථුන, කන්‍යා, ධනු, මීන ලග්නවලට මාලවි යෝගය
– නව අවුරුද්ද උදාවට දින 3කට පෙර සිට සූර්ය පිරිත, මෝර පිරිත අනිවාර්යයෙන් කියවන්න
– ලග්න 12 න් උපන් අය මේ වසරේ කළ යුතු පොදු වත්පිළිවෙත්
– මේ වසරේ සූර්ය ග්‍රහණ දෙකක් සහ චන්ද්‍ර ග්‍රහණයක්

2024 සංවත්සරය මීන රවි 31 භාග බක්මස පුර විසේතිය වරා සැටවක නම් තිථිය ලත් ශනි දින මධ්‍යම උදයාදී පැය 37 විනාඩි 17 තත්පර 30 ට හෙවත් ක්‍රි:ව: 2024 ක්වූ අප්‍රේල් මස 13 වෙනි ශනි දින ලංකා සම්මත ඔරලෝසු වේල­ාවෙන් අපරභාග 09 මිනිත්තු 05ට සිදුවේ. සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන මේ සුබ මොහොත වන විට කුජ හිමි වෘශ්චික ලග්නය ද කුජයම අයත් මුවසිරස නැකත ද උදාව පවතින අතර, එම කුජ ස්වක්ෂේත්‍ර වූ සෙනසුරු සමඟ කුම්භ රාශිගතව ඇත. උත්සාහය ක්‍රියාශූරත්වය ඉවසීම යහගුණය වැනි උතුම් උසස් ධර්මතා එම සංයෝගයෙන් පිළිබිඹු වේ.

රවි සඳු ගුරු සිකුරු බුධ රාහු කේතු යනාදී අනෙකුත් ග්‍රහයන්ගේ රාශිගතවීම් ග්‍රහබල, සංයෝග වියෝග, ගෝචර සහ ග්‍රහණ ආදිය අනුව ද ස්වාභාවික පරිසරයේ විපර්යාසයන් අනුව ද සුබ අසුබ දෙයාකාරයෙන්ම දක්නට ලැබෙයි. මෙම වර්ෂය තුළ සූර්යග්‍රහණ දෙකක් සහ චන්ද්‍රග්‍රහණ දෙකක් යෙදී ඇත.

රට තුළ ආර්ථික සාමාජීය අධ්‍යාපනික සෞඛ්‍ය කෘෂිකාර්මික යන අංශවල වෙනසක් පොදු ජනතාවට සුබවාදී වන අයුරින් දක්නට ලැබෙයි. ආශිර්වාද සිතින් සත්භාවයෙන් අධිෂ්ඨානශීලීව කටයුතු කිරීමට ඔබට හැකියාව ඇතොත් අපල මගහැරී සියලු යහපත් කරුණු පලදරනු ඇත. 2024 නව අවුරුදු උදාව සාමයෙන් සතුටින් පිරි එකක්ම වේවා යන්න අපගේ ප්‍රාර්ථනාවයි. ඔබගේ ලග්නයට අනුව සුබ අසුබ විමසා බලමු. එක් එක් ලග්නයට අදාළව පලාපල විග්‍රහයක් සිදුකළ ද පොදුවේ ලග්න දොළහෙන් උපන් ඔබ සියලු දෙනාටම අලුත් අවුරුදු උදාවත් සමඟ පවතින්නා වූ සුබපල වර්ධනය කර ගැනීමටත් අපල අවම කර ගැනීමටත් කායික මානසික සුවතාවය ළඟා කර ගැනීමටත් සිදු කළ යුතු වත්පිළිවෙත් සෙත් ශාන්ති පහතින් දක්වමි.

නව අවුරුද්ද ලබන්නට දින තුනකටවත් පෙර සිට ඔබ උදෑසන පන්සිල් ගැනීමෙන් පසුව සූර්ය පිරිත මෝර පිරිත අනිවාර්යයනේම කියන්න අසන්න.

එමෙන්ම අපගේ බරපතළ අකුසල කර්ම තිබේ. නම් ඒවා තරමකට හෝ අඩුකර ගැනීමට අන්තරාය නිවාරණ පිරිත 7 වරක්වත් කියන්න. ශක්‍ර දේවේන්ද්‍රයාණන්ට පළමුව පින් දෙන්න. ඒ සමඟ අපට පිහිටවන පිහිටක් නොවන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට පින් දෙන්න.

අවුරුදු උදාවට පෙර සිට ආරම්භ කළ ඒ ආගමික පිළිවෙත දිගටම කරගෙන යන අතරතුර ඔබට අපල ගෙවා ගැනීම සඳහා තව බොහෝ දේ කළ හැකිය. බුද්ධ පූජා, බෝධි පූජා, කිරි ආහාර පූජා ඉතා සුබ ආනිසංස ගෙන දෙයි.

ඒ හැරුණු විට අටවිසි බුද්ධ පූජා පිංකම්, විශේෂිත වූ මල් පින්කම්, පහන් පින්කම්, උපාසක දාන, පිරිත් පින්කම්, අසරණ සරණ සුබ සාධන, සමාජසේවා කටයුතු, බලු කපුටු දාන, ගිලනුන්ට, මවුපියන්ට වැඩිහිටියනට උපස්ථාන කිරීම්, කුඩා දරුවන්ට රැකවරණය සලසාදීම් ආදිය ද ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට අදාළව සිදු කළ හැකිය. සොබා දහම පරිසරය ආරක්ෂා කිරීම, පිරිසිදුව තබා ගැනීම, දහම් පොතපත පරිත්‍යාග කිරීම, ධර්මය ඇසීම, ධර්ම දානය වැනි දෙයින් ද ග්‍රහ අපල දුරුවේ.

රාත්‍රී නින්දට පෙර තුන් සූත්‍රය කියා දෙවියන්ට පින් දෙන්න. මෙවන් කුසලයන්ට අනුගත වී ජීවිතය පවත්වාගෙන යාමෙන් කිසිම ග්‍රහ අපල වෙනත් උපද්‍රව ඔබ කරා ළං නොවේ.

මිථුන, කන්‍යා, ධනු, මීන ලග්නවලට මාලවි යෝගය ද සියලු ලග්නවලට මයුරපාල යෝගය ද ලග්න තුනකට හර්ෂ, සරලා සහ විමලා යන යෝග ද යෙදෙන අලුත් අවුරුදු උදාවකි.

මේෂ 
දරුවන්ගේ බලාපොරොත්තු ඉටුවෙයි

•ගෘහ ජීවිතය :- අලුත් අවුරුදු උදාවත් සමඟ ඔබගේ 5 වැන්න අධිපති රවි ග්‍රහ ලොව ප්‍රධානියා ලග්නයේම උච්ච වීම උතුම් ග්‍රහ බලයකි. එම රවි සිටින්නේ ගුරු සමඟය. ඒ අනුව ගෘහ ජීවිතය තුළ සිදුවිය යුතු කාර්යයන් ඉතා හොඳින් ඉෂ්ට සිද්ධ කරමින් එකිනෙකා වෙනුවෙන් කැපවීමෙන් මහත් උනන්දුවකින් උද්‍යෝගයකින් කටයුතු කරන බවක් පෙන්වයි. ඔබ ගැන අන්‍යයන් පැහැදෙයි. අගය කිරීමකට ලක්වෙයි. දරුවන්ගේ සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන බවක් ද දක්නට ඇත. විදෙස්ගතවීම් සහ විදෙස්ගතව සිටින හිතවතුන්ගේ උදව් උපකාර ලැබේ. වැඩිහිටි අයට සලකයි. පින් දහම්හි නියැළේ. සුබපල ලබන කාලයක් වෙයි.

•රැකියාව :- 10 වැන්න වූ රැකියා ස්ථානයේ අධිපති ශනි ලග්නාධිපති සමඟ අයස්ථානය වූ 11 වැන්නේ ගෝචරව සිටී. රැකියා ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන අත්කර ගත හැකි කාලයකි. ඊට අමතරව ඥාති හිතවත් අයගේ උපකාර ද ලබයි. වැඩිහිටි අයගෙන් ලැබිය යුතු දේපළ ද ලබයි. ආර්ථිකය ශක්තිමත් බවක් උසුලයි. එහෙත් දෙවැන්නාධිපති 12 වැන්නේ බැවින් මුදල් වියදම් කිරීම් ණයට දීම් පිළිබඳව ප්‍රවේශමෙන් කටයුතු නොකළහොත් පසුතැවිලි වීමට සිදුවේ.

•අධ්‍යාපනය :- විද්‍යාස්ථානාධිපති රවි ලග්න භාවයේ උච්චව සිට තම භාවය දැකීම හේතුවෙන් අධ්‍යාපනය ලබන දරුවනට සුබපල උදාකරයි. උනන්දුව ධාරණ ශක්තිය නිරෝගී බව ඇති කරයි. විභාගවලින් ජයග්‍රහණ ලබා දෙයි. ඔබ ආගම දහමට ලැදිව ගුරු භවතුන්ගේ ඉගැන්වීම තුළින් හා ඔවුන්ගේ ආශිර්වාදය ඇතිව විභාගවලට මුහුණ දෙන්න.

•සෞඛ්‍යය :- සෙම් රෝග, ක්ලාන්ත ගති, ආමාශගත රෝගවලට ඉඩ ඇති බැවින් සෞඛ්‍ය තත්වය පිළිබඳව සැලකිලිමත් වන්න. හදිසි සුළු අනතුරු ආදියට ඉඩ ඇත.

•සුබ අංක – 1, 4, 7 / •සුබ වර්ණ – රතු, නිල් •සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා

•අපල අවම වීමට ඉවසීම, තැන්පත් බව ඇතිකර ගැනීම, පුණ්‍ය කටයුතුවල නියැලීම, දුර්වලයිනට උපකාර කිරීම ආදියෙන් හැකිවේ.

වෘෂභ 
යාන වාහන දේපළ ලැබීම්

•ගෘහ ජීවිතය :- ලග්නාධිපති සිකුරු උච්චව 11 වැන්නේ නීච භංග යෝගයක් ද උදාකරමින් ගෝචර වීම අලුත් අවුරුද්ද ඔබට සුබපල ගෙනදෙනු ලබයි. සියලු ලැබීම්වලට හේතු වෙයි. ධනය දේපළ, යාන වාහන ලැබීම් මෙන්ම දරුවන්ගේ සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වන ලකුණු ද ඇත. විදෙස්ගතවීම් විදෙස්ගත හිතවතුන් පැමිණීම දක්නට ලැබෙයි. ධෛර්ය සම්පන්නව උද්‍යෝගයෙන් තම පදිංචි ස්ථානයේ අලුත්වැඩියාකිරීම්, පුණ්‍ය කටයුතු, උත්සව ආදිය සිදුකරයි. යුග දිවියේ ගැටලු පැන නැඟුණද ඒවා තාවකාලික වේ.

•රැකියාව :- රැකියා ස්ථානය වූ 10 වැන්න තුළ හත්වැන්නාධිපති සමඟ සෙනසුරු ස්වක්ෂේත්‍රව ගෝචර වීම ඉවසීමෙන් දරා ගැනිමේ ශක්තියෙන් යුතුව තමා කරන කියන රාජකාරි කටයුතු නිසි ලෙස කරගෙන යන බවත් පෙන්වයි. ව්‍යාපාරවලින් ලාභ ලබයි. කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙන්, සෞඛ්‍ය සේවා තුළින් පුද්ගලිකව මුදල් හදල් උපයාගත හැකි අතර පොළොවෙන් ලබන වස්තූන් (මැණික් ව්‍යාපාර) ආදිය ද දියුණුවේ. අතේ මුදල් රඳවා ගැනීම අසීරු තත්වයක් පෙන්වන බැවින් අත්‍යවශ්‍යම දේට පමණක් මුදල් යෙදවීමට වගබලා ගන්න. මැයි මාසය වන විට මේ තත්වය සුබ අතට හැරී තැන්පත් ධනයක් පවත්වා ගැනීමට හැකියාව ඇත.

•අධ්‍යාපනය :- 5 වැන්න හෙවත් විද්‍යාස්ථානය අධිපති බුධ 11 වැන්නේ නීච භංග යෝගයකින් ගෝචර වීම අධ්‍යාපනික තත්ත්වය උසස් කරලීමක් ලෙස දැක්වේ. කලාත්මක අංශවල අධ්‍යාපනය ලබන දරුවනට විශේෂ හැකියාවන් ඉස්මතු වේ. අනෙකුත් දරුවන්ට ද පොදුවේ සියලුම විෂයය කරුණුවලට අවශ්‍ය දැනුම මතක ශක්තිය ගොඩ නැංවෙන ග්‍රහබලයක් පෙන්නුම් කරයි. උත්සාහයෙන් කටයුතු කරන්න.

•සෞඛ්‍යය :- සියලුම සෙම් රෝග, හෘදය ආශ්‍රිත අසනීප, දණහිස් ආබාධ මතුවිය හැකි බැවින් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වන්න..

•සුබ අංක – 4, 6 / •සුබ වර්ණ – සුදු, රෝස, ක්‍රීම් / •සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා, බදාදා

•අපල අවම වීමට සිකුරාදා දිනය නිර්මාංශව සවස් වරුවේ බෝධිපූජා තබන්න.

මිථුන 
උගත් බුද්ධිමත් අය ඇසුරට

•ගෘහ ජීවිතය :- පදිංචි ස්ථානය ප්‍රිය උපදවන ස්ථානයක් බවට පත්කරන ඔබගේ අවුරුදු උදා ග්‍රහ සටහන බොහෝ සුබපල උදාකර දෙයි. සිතිවිලිවලට අධිපති සඳු ලග්නගත වීම ඥානවන්තව වසර තුළ කළ යුතුව ඇති දියුණුවට අදාළ කටයුතු සැලසුම් කරයි. 10 වැන්නේ පිහිටි බුධ සිකුරු නීච භංගයෝගය අනුවත් මාලවි යෝගය අනුවත් උගත් බුද්ධිමත් උපදේශයක් ගත හැකි පිරිසක් ඇසුරට ලැබෙනු ඇත.

කලක සිට සිතෙහි පැවති යහපත් අදහසක් ක්‍රියාවට නැංවී පුණ්‍ය කටයුත්තක් නිවසේ සංවිධානය වෙයි. එසේ නොමැති නම් විහාරස්ථානයක, අනාථ නිවාසයක වැනි තැනක ද විය හැක.

දූ දරු මා පිය ඥාති හිතමිතුරු සහයෝගය එයට ලැබෙයි. සමගිය සමාදානය කුටුම්භ ස්ථානයේ නිරතුරුව දක්නට ලැබෙයි. වාසනාවන්ත අවුරුදු උදාවකි. ඉඩකඩම් දේපළ මිලදී ගැනීම් විකිණීම් ආදියේදී සැලකිලිමත් වන්න.

•රැකියාව :- රැකියාව හෝ ව්‍යාපාර කටයුතු පිළිබඳ නව උද්‍යෝගිමත් බවක් ඇතිකරයි. තැනට අවශ්‍ය නුවණ පිළිවෙළ පිරිසිදුකම රැකගෙන වැඩ කරන නිසා උසස්වීම් ප්‍රධානීන්ගේ සැලකිලි හිමිවෙයි. ව්‍යාපාර දියුණු වෙයි. සුඛෝපභෝගි භාණ්ඩ අලෙවිකරණය පොත්පත් ලිපි ද්‍රව්‍ය සැපයීමේ ආයතනවලට පාරිභෝගිකයා ඇදී එයි. මැණික් කර්මාන්ත, කෘෂිකර්මය තුළින් ආදායම් ලබයි. අමතකවීම් අතපසුවීම් නිසා ගැටලු මතුවිය හැක.

•අධ්‍යාපනය :- අධ්‍යාපනය ලබන දරුවනට විවිධ භාෂා හැකියාවන් කලාත්මක අංශවල දියුණුව ගෙන දෙයි. විදෙස් අධ්‍යාපනය සඳහා යොමුවීම් ද දක්නට ලැබෙයි. කුඩා දරුවන්ට පරිගණක භාවිතය සඳහා පූර්ණ නිදහස නොදී දෙමාපියන් විසින් සොයා බැලිය යුතුව ඇත.

දරුවන් නොමඟ යෑමේ ඉඩ ප්‍රස්ථා ද පෙන්නුම් කරයි. නීතිය වැනි දේ හදාරන සිසු සිසුවියනට ජයග්‍රාහි කාලයකි. පොදුවේ ඉදිරියේ තිබෙන අභියෝගාත්මක විභාගවලට මුහුණදී ජයග්‍රහණ ලබන පිරිස වැඩිය.

•සෞඛ්‍යය:- සෙම් රෝග, ස්නායු දුබලතා, වාතාබාධ ඇතිවිය හැකි බැවින් සෞඛ්‍යය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වන්න.

•සුබ අංක – 3, 5, 7 /•සුබ වර්ණය – කොළ

•සුබ දවස් – සිකුරාදා, බදාදා, බ්‍රහස්පතින්දා

•අපල අවම වීමට බුද්ධ පූජා, බෝධි පූජා සහ ධර්ම දානමය පින්කම් සිදු කරන්න.

කටක 
රැකියාවේ සුබවාදි වෙනස්විම්

•ගෘහ ජීවිතය :- දෙවැන්නාධිපති රවි උච්චව දිග්බලව 10 වැන්නේ ගුරුත් සමඟ ගෝචර වීමත් අයස්ථානාධිපති 9 වැන්නේ බුද සමඟ නීච භංග යෝගයකින් සහ උච්ච බල ඇතිව සිටීමත් නව අවුරුදු උදාවේදී ඔබට සුවිශේෂී යහපත් ග්‍රහබල පෙන්වයි. ආර්ථික අපහසුතා දුරුවී සමාදානයෙන් කල්ගත කළ හැකි වාතාවරණයක් ගෙනදෙයි. වචනයේ ප්‍රබලත්වය හා ප්‍රියමනාප බව නිසා අන්‍යයන්ගේ සිත් දිනයි.

ඒරාෂ්ටක අපල පැවතියත් මෙවර අවුරුදු උදාවෙන් සුළු අස්වැසිල්ලක් ජීවිතයට ලැබෙන බැවින් ගෘහ ජීවිතය සතුටින් ගෙවෙයි. පදිංචි ස්ථානයේ අත හැරී තිබූ වැඩ කොටසක් නිමා කර ගැනීමට හැකිවෙයි.

විදෙස්ගත වීම් දක්නට ලැබෙයි. නැතිනම් නිතර දුරබැහැර ගමන් යෙදෙයි.

•රැකියාව :- රාජ්‍ය අංශවල සේවය කරන්නන්ට උසස්වීම්, තනතුරු, ප්‍රධානීන්ගෙන් උදව් උපකාර මෙන්ම එම ආයතන තුළ තිබූ යම් යම් බාධක ඉවත්වෙයි. නීති ගරුකව යුක්ති ගරුකව මහජනතාවට යුතුකම් වගකීම් ඉටුකිරීමට අණපනත් සැකසෙයි.

පුද්ගලික අංශවල සේවය කරන්නන්ට පවා රැකියා ස්ථානයේදී සුබවාදී වෙනස්කම් ඇතිවී අතමිට සරු කාලයක් උදාවෙයි.

•අධ්‍යාපනය :- විද්‍යාස්ථාන අධිපති කුජ 8 වැන්නේ බැවින් අධ්‍යාපනය ලබන කටක ලග්න දරුවන්ට බාධක, මතක ශක්තියේ දුර්වලතා ගෙන දීමට පුළුවන. අඟහරුවාදා දිනවල බෝධි පූජා තැබීම තුළින් එම අපල මගහරවා ගත හැකියි.

සිකුරු ග්‍රහයාට ත්‍රිකෝණ දෘෂ්ටියෙන් විද්‍යාස්ථානය පෙනීම නිසා බාධක දිගටම රඳා නොපවතී. උනන්දුව ඇති කර ගන්න.

•සෞඛ්‍ය :- ආමාශගත සහ පිත් රෝග රුධිර පීඩනය පිළිබඳ ගැටලු සහ හදිසි සුළු අනතුරු පැවතිය හැකි බැවින් කරන කියන කටයුතුවලදී කල්පනාවෙන් වැඩ කරන්න.

•සුබ අංක – 2, 7, 9

•සුබ වර්ණය – රතු

•සුබ දවස් – ඉරිදා, සඳුදා, අඟහරුවාදා, සිකුරාදා

•අපල අවම වීමට චන්ද පිරිත කීම, පත්තිනි මෑණියන්ට පින්දීම, සඳුදා දවස නිර්මාංශ වීම වැදගත්වේ.

සිංහ 
පුණ්‍ය කටයතුවලට දායකත්වය

•ගෘහ ජීවිතය :- ලග්නාධිපති රවි 9 වැන්නේ උච්ච බල ඇතිව ගුරු සමඟ ගෝචර වීම අනුව නිතර පුණ්‍ය කටයුතුවලට දායකත්වය ලබාදෙන අනුකම්පා සහගතව කටයුතු කරන, එහෙත් අයුක්තිය ඉදිරියේ තද හිතක් ඇතිව කටයුතු කරන වාතාවරණයක් පෙනෙන්නට ඇත. විදෙස්ගතවීම් විදෙස්හි සිට පැමිණෙන හිතවතුන් නිවසට පැමිණේ. වැඩි කථාබහ නැති ක්‍රියාශීලිත්වය කැපී පෙනෙන නිතර දුර ගමන් බිමන් යෙදිය හැකි අවුරුදු උදාවකි. යෝගකාරක කුජ 7 වැන්නේ සෙනසුරු සමඟ යෝගවීම අනුව ඉවසීම, ධාරණ ශක්තිය ගෙන දෙමින් සහකාර පාර්ශවයන් සමඟ සුහදතාවයෙන් කටයුතු කරයි. පදිංචි ස්ථානීය වෙනසක් හෝ නවීකරණයක් සිදුවෙයි. සුබ කාලයකි. විවාහය පිළිබඳ ගැටලු මතුවිය හැකි බැවින් එක් අයෙක් නිහඬ වීම වැදගත්ය.

•රැකියාව :- 10 වැන්නාධිපති සිකුරු නීචභංග යෝගයකින් යුතුව අටවැන්නේ ගෝචරව සිටීම අයහපත් නැත. ඔබ ව්‍යාපාරිකයෙක් නම් සුඛෝපභෝගී භාණ්ඩ රෙදිපිළි විසිතුරු දේ වැඩියෙන් අලෙවි විය හැක. රාජ්‍ය අංශවල සේවය කරන්නන්ට උසස්වීම් තනතුරු ලාභ පවතී. කෙසේ වුවත් මිල මුදල් සම්බන්ධව බුද්ධිමත්ව සිතන්න. ණයට දීම්, ණයට ගැනීම් ඉදිරි කාලය තුළ නොකර සිටීම වැදගත් වේ.

•අධ්‍යාපනය :- විද්‍යාස්ථාන අධිපති ගුරු 9 වැන්නේ නිසා අධ්‍යාපනය ලබන සියලු දරුවනට සුබපල ගෙන දෙන බවක් පෙන්වයි. ඔබගේ උනන්දුව තුළින් එම ජයග්‍රහණ වැඩිකර ගන්න. ඉදිරියේ මුහුණ දෙන අභියෝගාත්මක අවස්ථා නිසැකවම ජයග්‍රහණය කරයි. තැන්පත් මනසකින් විභාගයට මුහුණ දෙන්න.

•සෞඛ්‍යය ‍:- ලේ ගමන පිළිබඳ ගැටලු, මූත්‍රා දෝෂ, ස්නායු දුබලතා ආදියට ඉඩ ඇති බැවින් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වන්න.

•සුබ අංක – 1, 4, 7

•සුබ වර්ණය – රතු / සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා

•අපල අවම කර ගැනීමට ඉවසීම, වචනය ප්‍රවේශමෙන් හැසිරවීම, පින් දහම් කටයුතුවල යෙදීම වැදගත් වේ.

කන්‍යා 
රැකියා ව්‍යාපාරවලින් ආදායම්

•ගෘහ ජීවිතය :- ලග්නාධිපති නීච භංග යෝගයක් උදා කරමින් යෝග කාරක සිකුරු සමඟ 7 වැන්නේ තැන්පත්ව සිටීම සුබදායකය. ගුරු අටවැන්නේ නිසා අඟහිගකම් පැවතුන මුත් අලුත් අවුරුදු උදාවත් සමඟ ආර්ථිකය ශක්තිමත් වේ. රැකියා ව්‍යාපාරවලින් ආදායම් ලබයි. සිකුරු උච්චව මාලවි යෝගයකින් සිටීම නිසා සැප සතුට සෞභාග්‍ය පිරි නව අවුරුදු උදාවත් වනු ඇත. අයුක්තියට අසාධාරණයට විරුද්ධව අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සටන් කරයි. පෙර ආත්මවල ඔබ කරන ලද කුසල කර්ම ඉස්මතු වෙයි. යුග දිවියේ ගැටලු ඇතිවිය හැකි බැවින් අනියම් සබඳතාවලින් මිදී තම කුටුම්භය ආරක්ෂා කර ගැනීම වැදගත් වේ. වචන හුවමාරු වීම් දිගින් දිගට නොයා එක් අයෙකු නිහඬ වන්න. සාමය සතුට පිරි නව වසරක් ඔබට උදාවනු ඇත.

•රැකියාව :- රැකියා ව්‍යාපාරවල වැඩ කටයුතු සඳහා වැඩියෙන් ඇවිදීමට සිදුවන බැව් පෙනේ. සුඛෝපභෝගී භාණ්ඩවලට වැඩි ඉල්ලුමක් දක්නට ලැබෙයි. මැණික් ව්‍යාපාර, කෘෂිකාර්මික අංශවලටද සුබ වන අතර රවි බලවත්ව සිටින බැවින් ප්‍රධානීන්, උතුම් උසස් පුද්ගලයන්ගෙන් උපකාර ලැබෙනු ඇත.

•අධ්‍යාපනය :- අධ්‍යාපනය පිළිබඳ පවසන 5 වැන්නේ අධිපති 6 වැන්නේ ගෝචරව සිටින්නේ ස්වක්ෂේත්‍ර බලයකිනි ඒ නිසා බාධක කොතෙක් පැමිණියද ඉගෙනීම අඩාල නොකර කන්‍යා ලග්න දරුවන් ජයග්‍රහණ අත්පත් කර ගනී. කලා විෂය ධාරාව හදාරන සිසුන්ට සුවිශේෂී දක්ෂතා මතුකරයි. පොදුවේ ගත් කළ ඉවසීමෙන් ගැටලු විසදා ගැනීමට සෑම දරුවෙකුටම ශක්තිය ධෛර්ය උපදියි.

•සෞඛ්‍යය :- උණ රෝග, වකුගඩු මූත්‍රා ආසාදන, වාත රෝග ආදියට ඉඩ ඇති බැවින් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වන්න.

•සුබ අංක – 3, 5, 7 •සුබ වර්ණය කොළ

•සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

•අපල අවම කර ගැනීමට ඔබ කරුණාව මෛත්‍රිය පෙරදැරිව අන්‍යයන් හා සුහදතාවය රඳවා ගනිමින් කටයුතු කරන්න.

තුලා 
උතුම් , උදාර අදහස් හා සිතුවිලි මතුකරයි

•ගෘහ ජීවිතය :- අලුත් අවුරුදු උදාවේදී ඔබගේ ලග්නයට අදාළ ග්‍රහ පිහිටීම් අනුව ලග්නාධිපති සිකුරු උච්චව 6 වැන්නේද සඳු 9 වැන්නේද ගෝචරව ඇති හෙයින් උදාර උතුම් අදහස් හා සිතුවිලි මතු කරයි. පොදුවේ ඇසුරු කරන සමාජය තුළ අනුකම්පා සහගතව කටයුතු කරයි. ගෘහ ජීවිතය තුළ තමා ප්‍රධානියාම වෙයි. අන්‍යයන් තමාගේ අණසකට යටත් විය යුතුය යන හැඟීම් එයි. ආර්ථිකය ශක්තිමත් බවක් පෙනෙන්නට ඇත. යෝග කාරක සෙනසුරු 5 වැන්නේ ස්වක්ෂේත්‍රව දෙවැන්නාධිපතිව සිටීමෙන් ඉවසීමද දුක, සැප සමබරව දරා සිටීමේ හැකියාවද ඔබට තිබේ. දියුණුවට අදාළ, අතපසුව තිබු සියලු දේ ඉෂ්ට කර ගැනීමට ඔබට මේ අවුරුදු උදාවත් සමඟ හැකි වනු ඇත. යාන වාහන දේපළ හිමිවීමටද ඉඩ ඇත.

•රැකියාව :- රැකියා කාරක සෙනසුරුගේ බලය ඔබට නොඅඩුව ලැබෙයි. ඔබ මෙතෙක් රැකියාවක් නොලද අයෙක් නම් ඔබ බලාපොරොත්තුවෙන් සිටින අන්දමේ රැකියාවක්, ජීවන වෘත්තියක් ඔබට ලැබෙනු ඇත. විදෙස් රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටියේ නම් එයටද සුබ පණිවුඩ ලැබීමට පුළුවන. දැනට කරගෙන යන්නා වූ වෘත්තීන් හා යහපත් වූ වෙනස්කම් දක්නට ලැබෙයි.

•අධ්‍යාපනය :- සියලුම විෂය ධාරාවන්ගෙන් ඉගෙනුම ලබන දරුවනට මතක ශක්තිය, උනන්දුව, උ‌ෙද්‍යා්ගය ගෙන දෙයි. එලෙස නොවන්නේ නම් ඒ දරුවා දැනට ගත කරන දශාව අනුවයි. ඒ පිළිබඳව පිළිවෙත් කරන්න. ඉදිරියේ එන අභියෝගාත්මක විභාග ජයග්‍රහණ කිරීමට හැකිවේ. ආගමානුකූලව කටයුතු කිරීමටද දරුවන් උනන්දු කරවන්න.

•සෞඛ්‍යය:- වකුගඩු මූත්‍රා ආසාධන කොදු ඇටපෙළේ දෝෂ පැවතීමට ඉඩ ඇති බැවින් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ප්‍රවේශම් වන්න.

•සුබ අංක – 4, 6 •සුබ වර්ණය – ලා නිල

•සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

•අපල අවම වීමට මෛත්‍රී භාවනාව වඩන්න.

වෘශ්චික 
ස්වයං රැකියාවෙන් බොහෝ සුබපල

•ගෘහ ජීවිතය :- ලග්නාධිපති සිව්වැන්නේ සිව්වැන්නාධිපති සමඟ ගෝචර වීම අනුව අලුත් අවුරුදු උදාවෙන් පසුව ඔබට පදිංචි ස්ථානයේ දියුණුවක් සැලසෙනු ඇත. ස්වෝත්සාහයෙන් අනාගතය වෙනුවෙන් යම් ආයෝජනයක් සිදු කරයි.

පුණ්‍ය කටයුත්තක් නිවසේ සිදු කර ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරයි. ඉවසීම දරා ගැනීමේ ශක්තිය ඔබ තුළ ඇති වෙයි.

දරුවන්ගේ යහපත් බලාපොරොත්තු ඉටුවීමේ සුබ ලකුණු එහෙත් ඔවුන්ගේ විවාහ වැනි සුබ කටයුතුවල තීන්දු තීරණ ගැනීමේදී හොඳින් සොයා බැලිය යුතු වන්නේ රැවටිලිවලට හසුවිය හැකි බැවිනි. රෝග නිවාරණ ශක්තිය ගෙන දෙයි.

•රැකියාව :- ස්වයං රැකියා කරන අයට බොහෝ සුබපල අත්පත් කර ගැනීමට පුළුවන. කෘෂිකාර්මික කටයුතුවලින් පොළොවෙන් ලබන මැණික් වැනි වස්තුන්ගෙන් වාසනාව මතු කරයි.

ඔබ අවුරුදු උදාවෙන් පසු ගෙවත්තේ සිටුවන දෙයින් පල ප්‍රයෝජන ලාභ ආදායම් ඇති කරයි.

රාජ්‍ය අංශවල සේවය කරන අයටද නීති ගරුක යුක්ති ගරුක සාධාරණ ක්‍රියා පිළිවෙත් අනුව නොසිටියොත් නීතියෙන් දඬුවම් ලබන්නට ඉඩ තිබේ.

•අධ්‍යාපනය :- කලාත්මක අංශවලින් ජයග්‍රහණ ලද හැකි ආකාරයේ සුබවාදී බවක් අලුත් අවුරුදු උදාවෙන් නිර්මාණය කෙරෙයි.

සියලු දරුවන් අතර පොදුවේ දැනුම මතක ශක්තිය ගොඩ නැගෙන ග්‍රහබල ඇති හෙයින් ඉදිරියට මුහුණ දෙන්නට සිදුව ඇති අභියෝගාත්මක විභාගවලින් ජයග්‍රහණ ලද හැකියි. උනන්දුවෙන් වැඩ කර එම සුබපල වර්ධන කර ගැනීමට දරුවන් උනන්දු කරවන්න.

•සෞඛ්‍යය :- මූත්‍රා ආසාදාන ලේ දෝෂ ගර්භාෂගත අසනීපවලට හේතුයි. සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරගන්න.

•සුබ අංක – 4, 5 •සුබ වර්ණ – රතු •සුබ දවස් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

•අපල අවම වීමට උදේ සවස රතන සූත්‍රය කියන්න.

ධනු 
නිවෙසේ සිට කරනා ව්‍යාපාරවලින් ජය

•ගෘහ ජිවිතය :- සටහනේ පෙනෙන ග්‍රහ පිහිටීම අනුව අලුත් අවුරුදු උදාව ඔබට යහපත ගෙන දෙනු ඇත. ඔබ සතු සහජ හැකියාවන් ඇතොත් එයින් පල ප්‍රයෝජන ගැනීමට යම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කාලය පැමිණ ඇත. සමහර විට එය නිවසේ සිටම කරගෙන යා හැකි දෙයක් වීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. මෙතෙක් ඔබ වාහනයක් මිලදී ගැනීමට සිතා සිටියේ නම් හෝ තිබෙන වාහනයක් අලුත් වැඩියා කර ගැනීමට හෝ ඒ කරුණු පල දරනු ඇත. දරුවන්ගේ දියුණුව හා ගුණ ගරුක දරුවන් බිහි කරයි. පොදු සමාජ සුබසාධක කටයුතුවලට සිය කැමැත්තෙන් ඉදිරිපත් වන ඔබට ළැදි හිතවතුන් පිරිසක්ද ගොඩ නැගේ. මාලවි යෝගය සිව් වැන්නේ යෙදී ඇත.

•රැකියාව :- පරිගණක තාක්ෂණය උපයෝගී කරගෙන කරුනු ලබන රැකියාවකට ඔබට බොහෝ දුරට ඉල්ලුම තිබේ. ඒ ආශ්‍රිත ආයතනයක පුහුණුවක් ලබමින් හෝ වැඩ කිරීමටද තමාගේම ව්‍යාපාරයක් ගොඩ නංවා ගැනීමටද එයින් අතමිට සරු කර ගැනීමට ද හැකිවනු ඇත. උනන්දු වන්න. එසේ නොවුණහොත් පොත පත පරිහරණය කෙරෙන ආයතනවල සේවය කරන්නට ලැබේ. දැනට කරගෙන යන කුමන හෝ රැකියාව සාර්ථක කර ගැනීමටත් අතිරේක ආදායමක් ලබා ගැනීමටත් පුහුණු වීමක් සිදුකර ගැනීමට කාලය මේ බැව් සලකන්න.

•අධ්‍යාපනය :- බොහෝ උනන්දුවෙන් උත්සාහයෙන් තම අනාගතය සකස් කර ගැනීම උදෙසා කැපවන දරු පරපුරක් දක්නට ලැබෙයි. රවි උච්චව ගුරු සමග 5 වැන්න වූ විද්‍යාස්ථානයේ ගෝචරව සිටීම මෙය සනාථ කරයි. ගුරු භක්තිය ඇතිව ධනු ලග්නය හිමි දරුවන් මේ කාලයේ විභාග ජයග්‍රහණය ලබමින් අභිමතාර්ථ ඉෂ්ඨ සිද්ධ කර ගැනීමට සමත් වේ.

•සෞඛ්‍යය:- හෘදයාබාධ වැනි දේට මුහුණ දීමට ඉඩ කඩ ඇති හෙයින් කල් ඇතිව තම සෞඛ්‍ය පරීක්ෂා කරවාගෙන උපදෙස් පිළිපදින්න. එවිට ගැටලු නිරාකරණය කර ගැනීමට හැකිවේ.

•සුබ අංක – 6,8 •සුබ වර්ණ කහ

•සුබ දවස් – ඉරිදා, බදාදා

•අපල අවම වීමට බුදු ගුණ සත්‍යක්‍රියාව දිනපතා කියවන්න.

මකර 
දරුවන්ගේ දක්ෂතා නිසා සතුට

•ගෘහ ජීවිතය :- නව අවුරුදු උදාව ග්‍රහ සටහන අනුව ලග්නාධිපතිත් සිව්වැන්නාධිපතිත් දෙවෙනි භාවයේ ගෝචරව සිටීම අයහපත් නැත. ගෙදර දොර වැඩ කටයුතු සඳහා කෙසේ හෝ යහපත් ආකාරයට මුදල් උපයා සපයා ගැනීමට උත්සාහයක් දරන්න. එය සාර්ථකත්වයට පත්වේ. දරුවන්ගේ දක්ෂතා තුළින් සතුටට පත්විය හැක. ඔවුන්ට අවශ්‍ය කරන මාර්ගය සකස් කර දීමට මැලි නොවන්න. වචනය පිට කිරීමේදී ඉක්මන් නොවන්න. ප්‍රියමනාපව කිවයුතු දේ කීමෙන් ඔබට මිතුරන් අමනාප නොවී තබා ගැනීමට පුළුවන.

•රැකියාව :- කෘෂිකර්මාන්තයට යොමු වී සිටින අයට වෙහෙස මහන්සි වුවත් යම් ආදායමක් උපයා සපයා ගැනීමට හැකියාව පවතී, ආරක්ෂක අංශවල සේවය කරන්නේ නම් ඉවසීම බුද්ධිමත්කම අනුව තීන්දු තීරණවලට එලඹෙන්න. වෛද්‍ය අංශය නීති අංශය ආදියේ කටයුතු කරන අයද සාධාරණව රාජකාරි කළ යුතු කාලයක් වෙයි. නැති නම් ගැටලු ඇතිවේ.

•අධ්‍යාපනය :- කලා අංශවල ඉගෙනුම ලබන දරුවන්ට සුවිශේෂි ජයග්‍රහණ අත්පත් වේ. විදේශ ගමන් පවා යෙදෙන්නට පුළුවන. පොදුවේ ගත් කල අනෙකුත් සියලු අංශවල ඉගෙනුම ලබන දරුවන්ටද ගැටලු තැන් විසදාගත හැකි දැනුම ශක්තිය ලැබේ.

•සෞඛ්‍යය:- පාදවල වේදනා, ලේ අඩුකම, අක්ෂි රෝග පෙන්නුම් කරන බැවින් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වන්න.

•සුබ අංක – 6,8 •සුබ වර්ණ – නිල්

•සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

•අපල අවම වීමට දෙමව්පිය, වැඩිහිටි අයට සලකන්න.

කුම්භ 
සෑම දෙනෙකුගේම ගෞරවාදරයට

•ගෘහ ජීවිතය :- අලුත් අවුරුදු උදාවත් සමඟ ඔබගේ ලග්නයට අදාළ ග්‍රහ පිහිටීම් අනුව බලන කල ඔබ බොහෝ දෙනා අතර ප්‍රිය මනාප ඒ අයගේ ගෞරව ආදරය දිනා ගනිමින් නිතර පල ප්‍රයෝජන සහිත වැඩක යෙදෙන බවක් පෙන්වයි. තම පෞරුෂය අනන්‍යතාවය පලුදු වන කිසිම කටයුත්තක නොයෙදෙයි. යුක්ති ගරුකව නීති ගරුකව කටයුතු කරයි. ගෙදෙර දොර අලංකාරවත් කිරීමට පදිංචි ස්ථානයේ දියුණුවට වැඩ සැලසුම් කරයි. දරුවන්ගේ සියලු යහපත් බලාපොරොත්තු ඉටු විය හැකි වසරකි. ගේ දොර යාන වාහන දේපල පිළිබඳව සුබවාදී බලාපොරොත්තු ඇති කර ගත හැකි වකවානුවකි. මුදල් හදල් විය හියදම් කිරීමේදී ප්‍රවේශම් සහිත වන්න.

•රැකියාව :- රැකියා කාරක සෙනසුරු 10 වැන්නාධිපති සමඟ ලග්නයේම ගෝචර වීම අනුව ආරක්ෂක අංශවල අන්‍යයන්ට උපදෙස් දෙමින් හසුරුවන තනතුරු මෙන්ම කෘෂිකාර්මික අංශවලද රැකියා නියැළීමක් දක්නට ලැබෙයි. ඉවසීම තුළින් ජයග්‍රහණ අත්කර ගැනීමටද තමා බලාපොරොත්තු වන උසස්වීම් ආදිය ලබා ගැනීමටද හැකිවේ. මෙතෙක් රැකියාවක් සොයමින් සිටියේ නම් නව අවුරුදු උදාවෙන් පසුව ඔබ උනන්දු වන්න. ඔබ බලාපොරොත්තු වන අන්දමේ වෘත්තියක් ලැබෙනු ඇත.

•අධ්‍යාපනය :- 5 වැන්න වු විද්‍යස්ථානයේ අධිපති බුධ, සිකුරු හා යෝගව උදා කරන නීච භංග යෝගය අනුව අධ්‍යාපනය හොඳින් කර ගැනීමට ශක්තිය ධෛර්යය දැනුම මතක ශක්තිය ගොඩ නැඟේ. කලාත්මක අංශවල ජයග්‍රහණ අත්පත් වේ. විදෙස්ගත අධ්‍යාපනයට ඉල්ලුම් කර තිබු අයට ඒවා සපල වීමට ද ඉඩකඩ පවතී.

•සෞඛ්‍යය:- පාදවල වේදනා, ලේ නහර මතුවීම්, ඉදිමීම්, හෘද රෝග, අක්ෂි රෝග ආදියට ඉඩ ඇත.

•සුබ අංක – 8, 9

•සුබ වර්ණ – නිල්

•සුබ දවස – සිකුරාදා

•අපල අවම වීමට රතන සූත්‍රය රාත්‍රී නින්දට පෙර කියන්න.

මීන 
පොදු වැඩට, පොදු කටයුතුවලට ආරාධනා

•ගෘහ ජීවිතය :- අවුරුදු උදාවන විට ඔබගේ ලග්නයට අනුව සිකුරු උච්ච බලයකින් මාලවි යෝගයෙන් යුතුව ලග්නයේ ගෝචර වී සිටීම වැදගත් අගනා ග්‍රහ බලයකි. නීච භංග යෝගයක්ද බුධ සමඟ නිර්මාණය වී ඇත. සාමාජීය පොදු වැඩ සංවර්ධන වැඩ උදෙසා රට තුළ ප්‍රදේශය තුළ සිදු කෙරෙන ප්‍රධාන කටයුතුවලට ඔබට ආරාධනා ලැබෙයි. ගෙදර දොර පදිංචි ස්ථානීය දියුණුව ඇතිවේ.

ධනය, දේපළ හිමිවේ. ඒරාෂ්ටකයක් ගත වුවද සහනදායි බවක් ගෙන දෙයි. දුර ගමන්, වන්දනා ගමන්, විදෙස් ගමන්වලට ඉඩ ඇත. ඔබගේ අණසකට පවුලේ සියලු දෙනා ඇහුම්කන් දෙන්නේ නිරායාසයෙනි.

•රැකියාව :- රැකියා ස්ථානයේ අධිපති ගුරු දෙවැන්නේ රවි සමඟ ගෝචර වීම රාජ්‍ය අංශවල රැකියාවක් කරන අයට සිටින්නාවු තත්ත්වයෙන් උසස් වීමක් හෝ පඩි වැඩි වීමක් දක්නට ලැබෙයි. වැඩි පුරම ප්‍රධානීන් සමඟ වැඩ කරන්නට අවස්ථාව සැලසෙයි. තමාටද ප්‍රධානියෙකු සේ අන්‍යයන් මෙහෙයවා වැඩ ගැනීමට අවස්ථා එළඹෙයි. විදෙස් සේවාවල යෙදෙන අයට ධනය හරි හම්බ කර ගැනීමට පහසු මාර්ග යෙදේ.

•අධ්‍යාපනය :- අධ්‍යාපනය ලබන දරුවන්ට භාෂා නිපුනත්වය පෙන්වන ග්‍රහපල පිහිටීම් පෙන්වන බැවින් එම හැකියාවන් වැඩි දියුණු කර ගැනීමට අවස්ථා යෙදේ. ප්‍රාථමික අධ්‍යාපනය හදාරන දරු දැරියනටද සුබ කාලයකි.

ඔවුන්ගේ හැකියාවන් ගොඩ නැංවේ. ගායන, වාදන, නැටුම් අංශවලින් රාජ්‍ය මට්ටමේ ජයග්‍රහණ අත්කර ගනී. ක්‍රීඩා කරන අයටද එලෙස දක්ෂතා මතු කරයි.

•සෞඛ්‍යය:- සෙම් රෝග, ලේ දෝෂ ඇති විය හැකි අතර පාදවල ඉදිමුම් ස්වභාවයන් ගෙන දෙයි.
•සුබ අංක – 3, 9
•සුබ වර්ණ – කහ, රතු
•සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
•අපල අවම වීමට තෙරුවන් ගුණ භාවනාව කියවන්න.


රාහු කාලය

අප්‍රේල් 08 සඳුදා සිට 14 ඉරිදා දක්වා

•08 බදාදා: දිවා 07.37 – 09.09 දක්වා
රාත්‍රි 19.47 – 21.16 දක්වා
•9 අඟ­හ­රු­වාදා: දිවා 15.15 – 16.47 දක්වා
රාත්‍රි 03.08 – 04.37 දක්වා
•10. බදාදා: දිවා 12.12 – 13 .44 දක්වා
රාත්‍රී 00. 11සිට -01.40 දක්වා
•11. බ්‍රහ­ස්ප­තින්දා: දිවා 13.43 – 15.15 දක්වා
රාත්‍රි 01.39 -03.08 දක්වා
•12. සිකු­රාදා: දිවා 10.39 – 12.12 දක්වා
රාත්‍රී 22.43 – 00.11 දක්වා
•13. සෙන­සු­රාදා: දිවා 09.07 – 10.39 දක්වා
රාත්‍රි 21.15 – 22.43 දක්වා
•14. ඉරිදා: දිවා 16. 47 – 18.19 දක්වා
රාත්‍රී 04.34 – 06.02 දක්වා

ප්‍රවීණ ජ්‍යෝතිර්වේදිනී ශ්‍රීයා ගනේගොඩ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division