Home » වෛද්‍යවරයෙක් වෙන එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව

වෛද්‍යවරයෙක් වෙන එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව

by thanushika
March 23, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකා නාමය ලෝකය ඉදිරියේ බබළවන හෙළ දූ පුතුන් ගැන දැන් දැන් වැඩි වශයෙන් අසන්නට, දකින්නට ලැබේ. ක්‍රීඩාවට පමණක් සීමා වූ දස්කම් මේ වන විට අනෙක් අංශයන් කෙරෙහි ව්‍යාප්ත වී තිබීම ද සතුටට කරුණකි. වැඩිහිටියන් මෙන්ම දරුවන් ද දැන් ජාත්‍යන්තර ජයග්‍රහණවල කොටස්කරුවන් වී සිටීම ලාංකේය අභිමානය ලෝකයා ඉදිරියේ නැවත නැවතත් පිළිබිඹු කරන්නකි. අද අප කියන්නට යන්නේ ද එවන් ජයක් ලැබූ පුතකු ගැනයි. අමෙරිකා එක්සත් ජනපදයේ වාර්ෂිකව පවත්වනු ලබන (බකමූණා පාදක කරගත්) ජාත්‍යන්තර ළමා චිත්‍ර තරගයේ 10-14 වයස් කාණ්ඩයේ 2024 වසරේ ජයග්‍රාහකයා වන මේ පුතු නිසිත් චන්මල්ය. රටවල් 33ක, තරගකරුවන් 3920 දෙනෙකු අතරින් ජයග්‍රාහකයා බවට පත්වූ නිසිත් කුරුණෑගල රෝයල් ඉන්ටර්නැෂනල් කොලේජ්හි 10 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි.

“පුංචි කාලෙ ඉඳන්ම මං අනෙක් විෂයන්වලට වඩා චිත්‍ර අඳින්න ආසයි. අනෙක් විෂයන්වලටත් දක්ෂයි. ඒත් චිත්‍රවලට වැඩි කැමැත්තක් තිබුණා. මං කුරුණෑගල රෝයල් ඉන්ටර්නැෂනල් කෝලේජ් එකේ 10 වසරේ ඉගෙන ගන්නේ. මගේ ජයග්‍රහණය පසුපස හිටිය හැමෝටම මං ස්තුතිවන්ත වෙනවා. මගේ පාසලේ විදුහල්පතිතුමා, චිත්‍ර ගුරුතුමා ඇතුළු ගුරු මණ්ඩලයට වගේම මේ තරගය සඳහා උපදෙස් දෙමින් මඟපෙන්වූ සේනක ජයසිංහ සර් වගේම අ‍ෙමරිකාව හා සම්බන්ධතාව ගොඩනැඟූ පියසේන සර්ටත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. අපිට අඳින්න තිබුණේ බකමූණව අපි දකින විදිහ. 2024 ජනවාරි මාසෙ 15 වැනිදා තරගය පැවැත්වුණේ. ගුරුවරුන්ගෙ උපදෙස් හා මඟපෙන්වීම එක්ක මං හොඳ නිර්මාණයක් කළා කියල මට හිතෙනවා. මේක ජාත්‍යන්තර ජයග්‍රහණයක් නිසා මට ගොඩක් සතුටුයි. ඉදිරියටත් මගේ හැකියාව දියුණු කරගෙන මේ වගේ තරග ජයග්‍රහණ ලබන්න කැමතියි. වෛද්‍යවරයෙක් වෙන එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව .“

නිසිත්ගේ පියා නිමල් ජයපාල ද චිත්‍ර කලාවට හැකියාවක් තිබූ අයෙකි. ශ්‍රී ලංකා පොලිසියේ කුරුණෑගල පොලිස් ස්ථානයේ සේවය කරන ඔහු විවේක වෙලාවන්හි තම පුතු හා එක්වෙමින් චිත්‍ර ඇඳීමට පුරුදු වී සිටියේය. නිසිත්ගේ මව ද පුතුගේ හැකියාවට හැකි සෑම අයුරින්ම සහාය වූවාය. තම පුතුගේ ජයග්‍රහණය ගැන බෙහෙවින්ම සතුටට පත්ව සිටි නිසිත්ගේ මව තම පුතුගේ කුඩා කල මතකයක් අවදි කරමින් මෙසේ පැවැසුවාය.

“නිසිත් කියන්නෙ ආදරණීය, හොඳ දරුවෙක්. එයා නිතරම අනෙක් අය ගැන හිතනවා. ආර්ථික දුෂ්කරතා කොතරම් තිබුණත් අපි පුතාගෙ දේවල් කොහොමහරි කරනවා. එයා නැති නාස්ති කරන දරුවෙකුත් නෙවෙයි. පාට පෙට්ටිය වුණත් අන්තිම දක්වා පාවිච්චි කරනවා. අලුතෙන් එකක් ඕන වුණත් අම්මට පුළුවන් නම් විතරක් අරන් දෙන්න කියලයි කියන්නෙ. පුතා ජයග්‍රහණය කරල කියල දැනගත්තම පුදුම සතුටක් දැනුණා. මේ තරගෙට ඉදිරිපත් වෙන්න සේනක සර් පුතාට ගොඩක් උදවු කළා. ඒ වගේම ගාල්ල ශ්‍රී ලංකා චිල්රන් ආර්ට් සෙන්ටර්හි පියසේන ද සිල්වා සර්ටත් ස්තුතිවන්ත වෙනවා ජාත්‍යන්තර තරගයකට ඉදිරිපත් වෙන්න පුතාට අවස්ථාව ලබා දීම ගැන. ඒ වගේම මුල ඉඳන්ම පුතාට චිත්‍ර අඳින්න උදවු උපකාර කළ සියලුම ගුරුවරුන්ට ස්තුතිවන්ත වෙන්න මං මේක අවස්ථාවක් කරගන්නවා. චිත්‍රවලට පුතා කොතරම් දක්ෂ වුණත් එයාගෙ ලොකුම බලාපොරොත්තුව වෛද්‍යවරයෙක් වෙන එක. ඒකටත් විශේෂ හේතුවක් තියෙනවා.

පුතා පොඩි කාලෙ මගේ එක ඇහැක් පේන්නෙ නැතුව ගියා. ඒ නිසා මට රැකියාවක් කරන්නත් බැරි වුණා. අදටත් ඒ ඇහැ පේන්නෙ නෑ. ඒක පුතාට ලොකුවටම බලපෑවා. අනෙක් ඇහැත් දැන් ටිකක් දුර්වලයි. ඒත් මං පුතාගෙ පස්සෙම හිටියා. මට මතකයි පුතා පොඩි කාලෙ ඉස්කෝලෙදි අනාගත බලාපොරොත්තු ගැන රචනාවක් ලියන්න දීලා තිබුණා. පුතා ලියල තිබුණෙ මගෙ අම්මගෙ ඇස් සනීප කරගන්න, මට වෛද්‍යවරයෙක් වෙන්න ඕන කියලා. එදා ඒක බලපු ගුරුවරියටත් ඇඬුණා. පුතා මට ගොඩක් ආදරෙයි. එයා හැමදේටම දක්ෂ දරුවෙක්. ඉගෙනගන්න විතරක් නෙවෙයි ක්‍රීඩාවටත් දක්ෂයි. ආර්ථික අපහසුතා කොච්චර තිබුණත් අපිට ඕන කොහොමහරි එයාව ඉදිරියට යවන්න. “

චිත්‍ර කලාවට උපන් හපන්කම් දක්වන නිසිත් පුතුට ජාත්‍යන්තර ජයග්‍රහණයක් හිමිවීම සම්බන්ධයෙන් සුබ පැතුම් එක්කළ පොළොන්නරුව රාජකීය මහා විද්‍යාලයේ චිත්‍ර ආචාර්ය සේනක ජයසිංහ මහතා අප හා පැවසුවේ මෙවන් කතාවකි.

“නිසිත් චන්මල් කියන්නෙ ගොඩක් දක්ෂ දරුවෙක්. එයාට ඕන ගයිඩ් එකක් විතරයි. කියන දේ හරියටම ඔළුවට දාගෙන එයා ඒ විදිහටම වැඩේ කරනවා. ලොකු ගමනක් යන්න හැකියාව තියෙන දරුවෙක්. මේ චිත්‍රය වුණත් ඇඳල තියෙන්නෙ වෙනස්ම දැක්මකින්. අනෙක් චිත්‍රත් එක්ක බැලුවම ඒක වෙනමම කැපිල පේනවා. ඒ වෙනසම වෙන්න ඇති මේ ජයග්‍රහණයට හේතුවත්. මටත් හරිම සතුටුයි මේ වගේ දක්ෂ දරුවෙක්ට උදවු කරන්න ලැබීම ගැන. නිසිත් පුතේ ඔයාගෙ පැහැදැලි අනාගතයට හදවතින්ම සුබ පතනවා.“

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division