Home » කෞටිල්‍යගේ ආර්ථික විග්‍රහය

කෞටිල්‍යගේ ආර්ථික විග්‍රහය

by Mahesh Lakehouse
March 23, 2024 12:30 am 0 comment

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දුන් උපදෙස් අනුව ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ අත්කරගෙන ඇති ප්‍රතිඵල ප්‍රශංසනීය බවත්, එමඟින් සාර්ථක ප්‍රගතියක් ලබමින් සිටින බවත්, අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාවේ උද්ධමනය පහත වැටුණු අවස්ථාවේ ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගත් ක්‍රියාමාර්ග ප්‍රශංසනීය බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේදී පසුගිය (21) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

එහිදී විශේෂ දැනුම්වත් කිරීමක් කළ පීටර් බෘවර් මහතා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවට මේ අර්බුදයෙන් මිදී ප්‍රකෘතිමත්වීමට අවස්ථාව හිමිව ඇති බවත් එහෙත් ඒ සදහා වූ මාවත ‘පිහිතල‘ ඇතිරූ දුෂ්කර මාවතක් බවයි. එසේම පසුගිය වසර දෙක තුළදී ශ්‍රී ලාංකික ජනතාව කළ කැපකිරීම් හමුවේ මේ ගමන ආපසු හැරවිය නොහැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.

එහිදී ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩලය නියෝජනය කරමින් එහි ප්‍රධානී පීටර් බෘවර් මහතා සහ නියෝජ්‍ය ප්‍රධානී කත්සියරිනා ස්විරිඩ්සෙන්කා මහත්මිය විසින් හෙළි කළ කරුණු අතර ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව දැක්වූ කරුණු සහ ඉදිරියේ ක්‍රියාත්මක කළ යුතු කරුණු වැදගත් වේ.

ඒ අනුව ආර්ථික ප්‍රතිසංස්කරණ අනුව පාලන දුර්වලතා සහ දූෂණ අවදානම පිළිබඳ අවධානය යොමු කිරීම මෙහිලා වැදගත් වේ.

විශේෂයෙන්ම 2023 තෙවන හා සිව්වන කාර්තුවලදී පිළිවෙළින් සියයට 1.6ක් සහ සියයට 4.5ක වාර්ෂික වර්ධනයක් වාර්තා විය. අධි සංඛ්‍යාත ආර්ථික දර්ශක මඟින් පෙන්නුම් කරන්නේ නිෂ්පාදන, ඉදිකිරීම් සහ සේවා අංශවල අඛණ්ඩ වර්ධනයක් පවතින බවයි. උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේදී සියයට 70ක උපරිමයේ සිට 2024 පෙබරවාරි මාසයේ වන විට සියයට 5.9ක් දක්වා පහත වැටී ඇත. මහ බැංකුව විසින් සිදු කර ඇති සැලකිය යුතු විදේශ විනිමය මිල දී ගැනීම් සමඟ 2024 පෙබරවාරි මස අවසානය වන විට නිල සංචිත ප්‍රමාණය දළ වශයෙන් ඩොලර් බිලියන 4.5 දක්වා ඉහළ ගියේය.

ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකා රජය දක්වන කැපවීම අපි පිළිගන්නෙමු. 2025 වසර සහ ඉන් ඔබ්බට ආදායම් උපයා ගැනීමේ ඉලක්ක සපුරාලීම සඳහා සිදු කළ යුතු ආදායම් ඉහළ නැංවීමේ පියවර සමඟ දේපොළ බද්ද හඳුන්වාදීම අඛණ්ඩ ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා ඉතා වැදගත් වේ.

ඉහත ප්‍රකාශයන්ට අනුව විශේෂයෙන්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාටත් ජනතා විමුක්ති පෙරමුණටත් අරගලකරුවන්ටත් අවශ්‍යයෙන්ම ඉගෙන ගත යුතු පාඩම් ගණනාවක් සංක්ෂිප්තව දක්වා ඇත. එනම් මේ පාර්ශ්ව කිසි විටකත් මේ තාක්ෂණික කරුණු කාරණා පිළිබඳ යථාර්ථය පිළි නොගන්නා අය වීමයි. ඊට ඇති හොදම උදාහරණය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් කොළඹ සිටින විට ‘කොළඹ නගරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මරඋගුල පරදවමු‘ යන සටන්පාඨය යටතේ උද්ඝෝෂණ පෙළපාළිය සංවිධානය කිරීමයි.

එතුළින් ඔවුන් මුළු ලෝකයටම පෙන්වා දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට සහ පෙරටුගාමීන්ට දේශපාලනය කළ හැකි බවත් එහෙත් තමන් දරණ මතයට වෙනස් මතයක් දරන අය වේ නම්, ඇතැම් විට ඔවුන් මරා දැමීමටද තීරණය කරනු ලැබිය හැකිය. නමුත් ඔවුන්ට සති දෙකක්වත් ලංකාව ආණ්ඩු කළ නොහැක.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් සදහන් කර ඇති පරිදි විශේෂයෙන් ඉදිරි දශකය තුළ රටට ගමන් කිරීමට සිදුව ඇත්තේ පිහිතල ඇතිරූ මාර්ගයකය. ඉතාම සූක්ෂමව, කල්පනාකාරීව නිසි සැලකිල්ලකින් තොරව මෙම ‘පිහිතල‘ ඇතිරූ මාර්ගයේ ගමන් කිරීම අන්තරාදායකය. උදාහරණ කිහිපයක් මෙසේ දක්වමු.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානියාගේ ප්‍රකාශයේ දැක්වෙන පරිදි ශ්‍රී ලංකාවේ දැන් ජාත්‍යන්තර මූල්‍ය සංචිතය ඇමරිකන් ඩොලර් බිලියන 4.5 දක්වා වැඩිවී තිබේ.

එසේ ජාත්‍යන්තර සංචිතය ඉහළ ගොස් ඇති නිසා දැන් බැංකු හරහා ණයවර ලිපි විවෘත කරවා ගත හැක. ඒ නිසා ඛනිජ තෙල් ආනයනය කළ හැක. බේත් හේත් ආනයනය කළ හැකිය. පොහොර රසායනික ද්‍රව්‍ය ආනයනය කළ හැකිය.

නමුත් මෙම විදේශ සංචිත වර්ධනය වීම හෙමින් සිදුවන බැවින් බොහෝ ආනයන සීමාවන් පනවමින් රනිල් වික්‍රමසිංහයන් බෙහෙවින් අමාරු ගමනක යෙදේ. උදාහරණ වශයෙන් තව වර්ෂ කිහිපයක් යන තෙක් ශ්‍රී ලංකාවට මෝටර් වාහන (බස් ලොරි හැර) ආනයනය කිරීමට ඉඩ දෙන්නේ නැත. ‘වක්කඩ කැඩුවා‘ සේ ආනයන සීමා ලිහිල් කළහොත් මේ සංචිත හිඳී ගොස් පිටරටවලින් අත්‍යවශ්‍ය භාණ්ඩවත් ගෙන්වා ගත නොහැකි වනු ඇත.

මේ නිසා පිටරටවල විශ්වවිද්‍යාලවල සහ උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන දරුවන්ට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය යැවීමට පුළුවන්කම ලැබී ඇත්තේ විදේශ විනිමය අරපිරිමැස්මෙන් භාවිත කරන බැවිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන තිබෙන විස්තීර්ණ ණය ගිවිසුම අනුව මෙම විදේශ විනිමය සංචිත ප්‍රමාණය 2027 වන විට අ‍ෙමරිකානු ඩොලර් බිලියන 14 දක්වා ඉහළ නංවා ගත යුතුය. එසේ රට සතු විදේශ වත්කම් ඇමරිකානු ඩොලර් බිලියන 14 දක්වා වැඩි කරගත නොහැකි වුවහොත් 2027 ඇතිවන විදේශ සම්පත් හිඟය පියවා ගැනීම සදහා ජාත්‍යන්තර වෙළෙඳ පොළෙන් ණය ලබාගත නොහැකි වේ. මූල්‍ය අරමුදල දක්වන පරිදි 2027 වර්ෂයේදී ඇතිවිය හැකි විදේශ සම්පත් පරතර හිඟයෙන් අ‍ෙමරිකානු ඩොලර් මිලියන 1500ක් පමණ පියවා ගත යුත්තේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයන් නිකුත් කිරීම තුළිනි. 2027 වන විටත් විදේශ විනිමය සම්බන්ධයෙන් රට පසුවන්නේ ඉතා අසීරු තත්ත්වයකය. ඒ නිසයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානියා ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික ගමන් මාවතේ ‘පිහි අතුරා‘ ඇති බව සඳහන් කර තිබෙන්නේ. ඉහතින් දක්වා ඇත්තේ එක් පිහි ඇතිරීමක් පමණී. තවත් අතුරා ඇති පිහි බොහෝය.

ශ්‍රී ලංකා ආර්ථිකයේ ලෝක ප්‍රකට විද්වතුන් දක්වා ඇති අර්බුදයෙන් මිදීමේ මඟ පිළිබඳ සාකච්ඡාවන්ට විපක්ෂ නායකතුමා රූපවාහිනී මාධ්‍යවල තම තම නැණ පමණින් කතා පවත්වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් පිරිසක් ද කැඳවා ගෙන යාමෙනි. ඔහු එයින් පෙන්නුම් කරන්නේ අන්තර්ජාතික වශයෙන් රට මුහුණ පා ඇති දැවැන්ත අර්බුදය එතුමා දකින ආකාරයයි. අර්බුදයේ දිග පළල පිළිබඳ එතුමාගේ නිසි දැක්මක් නොමැති බවයි. අන්තර්ජාතික මූල්‍ය අර්බුදයක් සම්බන්ධව එතුමාගේ ඇති අනවබෝධයයි.

ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳ කරන ලද පූර්ණ අධ්‍යයන වාර්තාව මූල්‍ය අරමුදලේ ‘වෙබ් අඩවියේ‘ දක්වා ඇත. ඒ පිළිබඳ මෙරට විද්වතුන් බුද්ධිමතුන් හා විශේෂයෙන් ව්‍යවසායකයන්ගේ හා ආයෝජකයන්ගේ අවධානය යොමු කළ යුතු යැයි අපි සිතමු.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division