Home » මරණය පෙනි පෙනී ඇල්ලූ මාතර කුඩු ජෝඩුව

මරණය පෙනි පෙනී ඇල්ලූ මාතර කුඩු ජෝඩුව

by thanushika
March 23, 2024 12:30 am 0 comment

පිටබැද්දර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරංග ජයතුංගගේ නැණ නුවණින් හෙරොයින් මත්කුඩු ජාවාරාම්කාර අඹුසැමියන් සහ ඔවුන්ගේ හවුල්කරුවන් දෙදෙනෙකු පසුගියදා නීතියේ රැහැනට කොටුකර ගැනීමට හැකි වූයේ පොලිස් නිලධාරීන්ගේ සහ ප්‍රදේශවාසී ජනතාවගේ සහයෝගය හා දක්ෂතාව මතය.

මෙලෙස අත්අඩංගුවට පත්වූයේ මාතර, නාවිමන ප්‍රදේශයේ පදිංචි අඹුසැමියන්ය. 38 හැවිරිදි සැකකරුගේ දෙවන විවාහය වන අතර, 35 හැවිරිදි සැකකාර කාන්තාවගේ තෙවැනි විවාහයයි.

“මත්කුඩු ජාවාරම්කාර ජෝඩුවක් පිටබැද්දර නිවසක නැවතී ඉන්නවා” යැයි පොලිස් ස්ථානාධිපතිවරයාට රහසිගත තොරතුරක් ලැබී තිබුණේ ඔවුන් සතු මෝටර් රථය සම්බන්ධ සියලු තොරතුරුද සමඟිනි.

පිටබැද්දර පොලිස් ස්ථානාධිපතිවරයා සෙසු නිලධාරීන් මේ ගැන දැනුවත් කරමින් නිලධාරීන් පිරිසක් සමඟ එම නිවස වැටලීමට ගියේ මත්කුඩු ජාවාරාම්කාර අඹුසැමියන් නීතියේ රැහැනට කොටුකර ගැනීමේ අදිටනිනි. නමුත් ඔවුන් ඒ වෙලාවේ එම නිවසින් බැහැරව ගොස් තිබිණි.

ඉකුත් 08 වැනි දින ස්ථානාධිපතිවරයා යතුරුපැදියෙන් පිටබැද්දර නගරයේ තැනින්තැන විපරම් කරමින් සිටියේ මේ යුවළ ගැන යම් හෝඩුවාවක් ලබා ගැනීමේ අරමුණිනි.

සවස් යාමයේ විදුලි වේගයෙන් දෙහිගස්ප ප්‍රදේශය දෙසට ධාවනය වූ ටොයොටා වර්ගයේ රිදී පැහැති මෝටර් රථය ඔහුගේ ඇස ගැටුණි. ස්ථානාධිපතිවරයා එසේ තමන් වහා ඉදිරියට එන මෝටර් රථයට නවතින ලෙස සංඥා කළේ තොරතුරින් කියැවුණු මෝටර් රථය මෙය බව සැණින් අවබෝධ කරගෙනය. රථය පොලිස් අණ නොතකා නොනවත්වා ඉදිරියට ඇදුණි. ස්ථානාධිපතිවරයා යතුරුපැදියෙන් එම රථය පසුපස හඹා ගොස් හරස් කර ධාවනය වන රථයේ දොරේ එල්ලී රථය නවතා ගැනීමට උත්සාහ කළද රථය නවතන පාටක් පෙනෙන්නට තිබුණේ නැත. රථය නොනවත්වා ධාවනය වන්නේ එහි යම් රහසක් ඇති නිසා බව ඔහුට ඉවෙන් මෙන් වැටහිණි. රථය සමඟ ඇදී ගිය ඔහු රථය අත්හැර යතුරුපැදිය දෙසට දිව ගියේ වෙනත් ක්‍රියාමාර්ගයක් ගැනීමේ තිර අදිටනිණි. දෙහිගස්ප මාර්ගයේ විදුලි වේගයෙන් යන රථය පසුපස යතුරුපැදියෙන් නැවත හඹා යමින් ඔහු එසැණින් තම නිලධාරීන් සහ දෙහිගස්ප ප්‍රදේශයේ තමන් දන්නා හඳුනන පුද්ගලයින් වෙත හදිසි දැනුම් දීමක් කිරීමට කටයුතු කළේය.

දෙහිගස්ප ප්‍රදේශයේ පිරිසක් එකතූවී ට්‍රැක්ටර් සහ ට්‍රක් රථවලින් මාර්ග බාධක යොදා මාර්ගය අවහිර කරමින් දෙහිගස්ප ග්‍රාමීය රෝහල අසලදී රථය නවතා ගැනීමට කටයුතු කරන ලදි. පොලිස් නිලධාරීන් විසින් රථයේ ගමන් ගත් අඹුසැමි යුවළ අත්අඩංගුවට ගත්හ. ජාවාරාම්කාර කාන්තාව සහ ඇයගේ සැමියා නිරුත්තරය. හෙරොයින් ග්‍රෑම් 65ක පැකට් තොගය සමඟ ජංගම දුරකතන 08ක්, ඒටීඑම් කාඩ්පත් 06ක්, විදේශ ගමන් බලපත්‍ර 02ක්, විදත් තරාදි 02 ක් ඇතුළු සියලු භාණ්ඩ පොලිස් භාරයට ගැනිණි. මෙම කාන්තාව නඩු කටයුත්තක් සම්බන්ධයෙන් සිරගත වී සිට පැමිණි තැනැත්තියකි. ඇගේ සැමියාද මත්කුඩු ජාවාරාම්කාරයෙකි. අහංගම, මිදිගම ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් මත්කුඩු ගෙනැවිත් මාතර ප්‍රදේශයේ හිතවත් තරුණයින් කිහිප දෙනෙකු යොදවා ඊසි කෑෂ් ක්‍රමයට බැංකු ගිණුම්වලට මුදල් බැර කරවාගෙන මත්කුඩු අලෙවි කරන බව හෙළි විය. මාතර දිස්ත්‍රික්කයේ පමණක් නොව මාතර – තංගල්ල – හම්බන්තොට ප්‍රදේශවල ද මත්කුඩු අලෙවි කරන බව අනාවරණය විය.

මාතරදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් පැවැත්වෙන බැවින් මෙම යුවළ තම නිවසේ රැඳී නොසිට වෙනත් ස්ථානයන්හි රැඳී සිටින බවත් තමන් සිරගත වී සිටි සමයේදී නඩු කටයුත්තක් සම්බන්ධයෙන් සිරගත වී සිටි පිටබැද්දර කාන්තාව සහ තමන්ගේ තිබෙන මිත්‍රත්වය මත පිටබැද්දර නිවසකට පැමිණි බවද ඔවුන්ගෙන් හෙළි විය.

ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමේදී තවත් මත්කුඩු ජාවාරම්කාරයෙකු කොටුකර ගැනීමට පොලිසිය සමත් විය. මාතර ආයතනයක රියැදුරුවරයෙකු ලෙස සේවය කරන 57 හැවිරිදි පුද්ගලයෙකු ද මත්කුඩු පැකට් 150ක් සමඟ අත්අඩංගුවට පත්වන්නේ ඉන් අනතුරුවය.

සැකකාර කාන්තාවගේ පිටබැද්දර යෙහෙළියගේ සැමියා ද හෙරොයින් ග්‍රෑම් 20ක් සමඟ අත්අඩංගුවට ගැනිණි. එම නිවසේ මත්කුඩු පැකට් කර අලෙවි කරන බව අනාවරණය වී ඇත.

සැකකරුවන් සිවුදෙනා පසුගිය 9 වැනිදා මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව සැකකාර කාන්තාවගේ සැමියා සහ පිටබැද්දර යෙහෙළියගේ සැමියා රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන තවදුරටත් විමර්ශන කරන අතර, සැකකාර කාන්තාව සහ මාතර ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් රියැදුරු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, හම්බන්තොට/මාතර දෙදිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාරගේ උපදෙස් මත මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහගේ අධීක්ෂණය යටතේ පිටබැද්දර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරංග ජයතුංග, උප පොලිස් පරීක්ෂක පී. විජේසිංහ, සැරයන් 25014 දිසානායක, කොස්තාපල්වරුන් වන 103598 දේශප්‍රිය, 823412 ප්‍රියන්ත, 29321 රන්දොඹේ, 105218 මධුෂංක, කාන්තා පොලිස් කොස්තාපල් 1192 තාරකා සහ 12083 රත්නායක ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම වැටලීමට එක්වී සිටියහ.

විජිත සල්ගාදු - අකුරැස්ස මධ්‍යම විශේෂ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division