Home » ජීවිතයේ පැතිකඩක් විවර කරන ද්‍රෝහී

ජීවිතයේ පැතිකඩක් විවර කරන ද්‍රෝහී

by Mahesh Lakehouse
March 9, 2024 12:30 am 0 comment

ප්‍රවීණ ලේඛිකා කැත්ලීන් ජයවර්ධනගේ ‘ද්‍රෝහී’ නවකතාව කියවූවෙමි. වරක් නොව දෙවරක් ම කියවූවෙමි. පළමුවර කියවීමේ දී යම් රසයක්, කුහුලක්, බුද්ධිමය කම්පනයක් මා තුළ ජනිත වී ද, දෙවැනි වර කියවීමේ දී ද ඊට නොදෙවෙනි, හෝ ඊටත් වඩා වැඩියෙන් එම රසය, කුහුල, බුද්ධිමය ප්‍රකම්පනය මා තුළ දැල්විණ. පළමුවර කියවීමේදී ඇති නොවුණු සුපැහැදිලිතාවක් ද දෙවනුව ඇති විය. පොත කියවා අවසන් වූ කල්හි සිදුවූයේ කුමක් දැ යි අදහාගත නොහැකිව මදක් වික්ෂිප්තව බලා සිටියෙමි.

‘ද්‍රෝහී’ නවකතාව කවර වර්ගයකට අයත් නවකතාවක් ද? එය දේශපාලනික කෘතියක් ද? මනෝ විද්‍යාත්මක නවකතාවක් ද? දාර්ශනික කතාවක් ද? එසේත් නැතහොත් ආගමික විචාර කෘතියක් ද? වත්මන් ජරපත් සමාජ ආර්ථික දේශපාලන රටාව පිළිබඳ යථාර්ථවාදී කියවීමක් ද? ‘ද්‍රෝහී’ වනාහි මේ කවර ක්‍ෂෙත්‍රයකට හෝ ලඝු කළ නොහැකි, කොටු කළ නොහැකි කෘතියකි. මේ සෑම ක්‍ෂේත්‍රයක් පිළිබඳවම නිර්දය විචාර, විවේචන මෙන්ම ඒ සියල්ලට වඩා කලාත්මක නවකතාවක තිබය යුතු සාහිත්‍යාංග අඩු නැතිව මේ කෘතිය තුළ දක්නට ලැබේ.

අනුහස් දේශපාලනඥයෙකි. ප්‍රභූ පැලැන්තිය නියෝජනය කරන්නෙකි. ඔහු ශිරෝමිව විවාහ කරගෙන ඇත්තේ හුදෙක් ඇමැති බිරිඳකට; ‘ආර්යාවකට’ සුදුසු රූප සෝබාවක් ඇය සතු නිසා ය. බොහෝ ධනවත් ප්‍රභූ, ඇමැති බිරින්දෑවරුන්ට සේ ඇයට ද සිදුවූයේ ආලකමන්දාව තුළ: (එනම් අනුහස්ගේ බංගලාව තුළ) මහා සම්පත් මැද සිරගතව දිවි ගෙවන්නට ය. ක්‍රිෂ්ණගේ විප්ලවීය නව්‍ය දාර්ශනික චින්තාවේ ආලෝකය ඇය වෙත පතිත වන්නේ මෙසේ ජීවිතය ඇදි ඇදී යන අතරේ ය. ඒ චින්තනයේ මහිමයෙන් ඇය නැවත ජීවය ලබයි.

“ඇත්තටම මට මැරෙන්නයි හිතිල තිබුණෙ” යි ශිරෝමී වරක් කීවා ය. “හැබැයි දැන් ආස ජීවත් වෙන්න.” (ද්‍රෝහී 91 පිටු)

ශිරෝමි කෙරෙහි පතිත ක්‍රිෂ්ණ‍ෙග් ආනුභාව එබඳු ය. මේ දාර්ශනික, ආත්මීය සම්බන්ධයේ අවසානය වූයේ ප්‍රේමය ය. හෙමි හෙමින්, ඉතාමත් හෙමි හෙමින් දලු ලා වැඩුණු ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය එක්තරා දවසක කාය සංසර්ග සම්භෝගය දක්වා ප්‍රසාරණය විය. සුවිසල් මහා මන්දිරයක, ධන සේනා සම්පත් මැද සිය සියන්ගෙන් වෙන්ව, ස්වාමියාගේ නොසැලකිල්ලට භාජනය වෙමින් මරණයට පෙම් බඳිමින් වෙසෙන ශිරෝමිගේ සහ පවත්නා සමාජ, ආර්ථික, සංස්කෘතික, ආගමික ජීවන රටාවෙන් අභිනිෂ්ක්‍රමණය කොට එක්තරා විදිහක ‘හුදෙකලා’ ජීවිතයක් ගත කරන ක්‍රිෂ්ණගේ සිත එවන් මධුර ස්පර්ශයක් වෙත ඇදී යෑම අරුමයක් නොවේ.

මේ නවකතාව තුළ මනුෂ්‍ය ජීවිතය හා බැඳුණු ඉතා වැදගත් පැතිකඩක් විවරණය වෙයි. එනම් ප්‍රේමය, විවාහය සහ ලිංගිකත්වය යි. එම විශ්ලේෂණය කෙරෙන්නේ ක්‍රිෂ්ණ – ශිරෝමි දෙදෙනා අතර පවත්නා සම්බන්ධය පදනම් කර ගෙන ය. ඔවුන් දෙදෙනා අතර පවතින්නේ දාර්ශනික අදහස් හා මතවාද පිළිබඳ සම්බන්ධයකි. ජීවිතය හා ලෝකය පිළිබඳව මේ දෙදෙනාගේම අදහස් බොහෝ දුරට සමාන ය. මුලින් ශිරෝමි එම අදහස් ප්‍රශ්න කළත් අවසානයේ දී ක්‍රිෂ්ණටත් වඩා ප්‍රගතිශීලි ලෙස සිතන්නට ශිරෝමි පෙළඹුණා ය. ඔවුන් දෙදෙනා අතර එම සම්බන්ධය ප්‍රේමයක් දක්වා පරිණාමය වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

සත්‍ය වශයෙන්ම තමන්ගේ හැටි තමන් දන්නේ නැත. ගරු රේරුකානේ චන්දවිල ස්වාමීන්ද්‍රයන් වහන්සේ වඤ්චක ධර්ම නමින් ලියා ඇති කෘතිය පුරාම තියෙන්නේ තමා තමන්ට රැවටෙන අයුරු ය. තමාගේ සන්තානයේ පවත්නා කෙලෙස් පිළිබඳ කිසිදු අවබෝධයක් තමා තුළ නොමැති ය. ඒ නිසා එකී කෙලෙස් හෙමි හෙමින් වැඩී ප්‍රබලත්වයට පත්ව එකවරම පුපුරා යයි. තමා තුළ එකී ක්ලේශය පැවතුණු බව ඔහුට දැනෙන්නේ ඉන් පසුව ය. මෙසේ තමාව නිතරම වංචා කරන කෙලෙස් සිතුවිලි නාහිමියන් නම් කර ඇත්තේ වඤ්චක ධර්ම වශයෙනි.

ශිරෝමි – ක්‍රිෂ්ණ දෙදෙනා අතරත් පැවති සම්බන්ධය එබඳු ය. ඒ තුළ ප්‍රේමය, රාගය සැඟවී පැවති බවක් ඔවුහු නොදත්තෝ ය. පිටට පෙනෙන අදහස් හා මතවාදවල සාම්‍යය, ගැළපීයෑම මිත්‍රශීලී, උතුම් මානවීය බැඳීමෙකැයි ඔවුහු සිතුවෝ ය. එහෙත් සුදුසු කල් පැමිණි කල එහි සැඟව සිටි ‘හැඟුම් ගජ සෙන් යදම් බිඳ වැද ඔවුන්ගේ නිසල ජීවන තපෝ වන මැද ළපලු තුරු වැල් කැකුළු මල්පෙති තළා සිඳ කම්පනය කරවී’ ය.

චන්දවිමල නා හිමියන් විසින් වඤ්චක ධර්ම ලෙස නම් කර ඇති ඒ හැඟීම නවකතාව තුළ නම් කොට ඇත්තේ ‘සර්පයා’ වශයෙනි. එකී සර්පයාගේ ඔවුන්ගේ නිසල ජීවන තපෝ වනය තළා සිඳ කම්පනය කළේ ය. කතුවරිය ප්‍රේමය හා ලිංගිකත්වය පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක යෙදෙන්නේ මේ අවස්ථාවේ දී ය.

උපන්දා ඉඳන්ම අප නිදි ය. අප කරන්නේ මොනවා ද, අප වටා සිදුවන්නේ මොනවා ද, අප අභ්‍යන්තරයේ සිදුවන්නේ මොනවා ද ආදී මේ කිසිත් අපි නොදනිමු. ආගම, සංස්කෘතිය, සම්ප්‍රදාය, ජාතිය ආදී අති ප්‍රබල නිර්වින්දන බෙහෙත්වලින් සිහි මුලා වී අපි උපන් දා පටන්ම මර නින්දේ පසුනොවන්නෙමු ද? කෙසේ වුවද මරණය පිළිබඳව මේ කෘතියෙහි කර ඇති දාර්ශනික විග්‍රහය විස්මය දනවන සුලු ය;

“මරණය මිනිසුන් කරා පැමිණෙන්නේ විශාල අඬහැරයක් පාමින්, රෞද්‍ර ලෙස කඩා වදින යක්ෂයෙකුගේ වෙසින් නොව, මල නොතළා රොන් ගන්නා බඹරෙකුගේ සන්සුන් විලාශයෙකින් බවට වැටහීමක් මා තුළ මුල් ඇදුණේ ද මේ රෝහලේ වාට්ටුව තුළ දී ය. මිනිසුන් අනේකවිධ වේදනා අත් විඳින්නේ රෝගාබාධ හේතුවෙන් මිස මරණයේ දළ පහරින් නොවේ; කිසිසේත් රෝගාබාධයක් නොවන මරණය රෝගාබාධයන්ගේ නිවාරණයකි. බොහෝ රෝගීන්ට අවසාන අදියරේ දී වේදනා නාශක අවශ්‍ය වන්නේ යැයි මම නොසිතමි. නින්දට සූදානම් ව සයනයක් මත දෑස් පියා වැතිර සිටින මිනිසුන් නින්ද විසින් ඩැහැගනු ලබන්නේ කවර නම් මොහොතක දී දැයි ඒ මිනිසුන් පවා නොදනිති. ‘නින්ද’ යනු මරණයේ පුංචිම මොඩලයයි.” (ද්‍රෝහී පිටු 295)

මරණය ගැන මා කියවා ඇති වඩාත් විශ්වසනීය සහ ප්‍රබලතම විවරණය මෙයයි. මරණසති භාවනාව මේ බව නිතර නිතර මෙනෙහි කිරීම ම යැයි පැවසීමෙහි කවර නම් වරදක් ද? මේ කොටස කියවන විට මාහට සිරි ගුණසිංහයන්ගේ මරණය නොසැලී හිමාලයක් මෙන්… පද්‍ය ඛණ්ඩය සිහිපත් විය.

මියගිය පුද්ගලයා දෙවියන් විසින් ස්වර්ගයට කැඳවා ගත්තේ යැයි පැවසෙන දේවවාදී ආගමික ඇදහිල්ල ද මේ කෘතිය තුළ නිර්දය විවේචනයට ලක්කර ඇති අයුරු මෙසේ ය.

“මරණයක දී, වියෝ වේදනාව රතු ඉර පන්නලා තියෙන මොහොතක දී මැරුණ මිනිහා දෙවියන් වහන්සේ අඬගහ ගත්තයි කියන එක මොන තරම් හිතක් පපුවක් නැති කතාවක් ද? ඒක කොච්චර නං නපුරු ද? දෙවියන් වහන්සේට කරන අසාධාරණයක් නෙවෙයි ද ? ඒ නැතිවූ වස්තුව පැහැර ගත්ත පුදගලයා දෙවියන් වහන්සේ කියන එක වරෙන්තුවක් නිකුත් කිරීමක් නෙවෙයි ද? තැවෙන, දැවෙන හිතක උපදින ස්වභාවික නොසතුටට ඇයි දෙවියන් වහන්සේ ගොදුරක් වුණෙ?” (ද්‍රෝහී පිටු 70)

බෞද්ධයන් විසින් අතිශය ගෞරවයෙන් පුදනු ලබන සීලයට ද කිතුනුවන්ගේ බැතිබර මාවත වන දස පනතට ද අවිචාරයෙන් යටවීම මිථ්‍යාවක්ම බව පහත සඳහන් ප්‍රකාශය තුළින් ඉස්මතු කරනු ලැබ ඇත. උදැල්ලෙහි හැපී ගැරඬියෙකු මියගිය මොහොතක කථකයා දෙවියන් අමතා කරන මේ ප්‍රකාශය බලන්න.

“ඔබ වහන්සේ කුරුල්ලන්ට පියාපත් දුන්නා.

මාළුන්ට පීනලා යන්න වරල් දුන්නා.

පස්සෙන් පන්නගෙන එන සතුන්ගෙන් බේරිල යන්න සිවුපාවොන්ට කකුල් හතරක්ම දුන්නා.

මිනිස්සුන්ට කකුල් දෙකක් විතරක් දුන්නේ දියුණු මොළේකුත් එක්ක.

ඒත් සර්පයන්ට……?

හැබෑටම සර්පයන්ට එච්චර දිග ශරීරයක් දුන්නු එක අසාධාරණ නැත් ද? සතුරෙක් පන්නගෙන එන කොට උන් කොහොම ද පණ බේරගන්නේ?

උන් කොහොම ද ඔය තරම් දිග ශරීර ආම්බාන් කර ගන්නේ”

(ද්‍රෝහී පිටු 67)

නවකතාව රචනා කර ඇත්තේ සබ්බපාණභූත හිතානුකම්පී දෘෂ්ටියෙනි; හෙවත් සර්වජීවවාදී දැක්මෙනි. කුඩා කෘමියා, කැරපොත්තා, ගැරඬියා, පූසා, බල්ලා ආදී සතුන්ගේ සිට මිනිසා දක්වා සමස්ත සත්ත්ව වර්ගයාගේම ජීවත් වීමේ අයිතිය, හිංසාවට පීඩාවට පත් නොවීමේ අයිතිය මේ කෘතිය තුළ අති ප්‍රබල ලෙස අවධාරණය කර ඇත. කැරපොත්තන් වැනි අතිශය කරදරකාරී, පිළිකුල් සහගත සතුන් පවා මරණයට බිය බව, ජීවිතයට කැමති බව, උන්ට රිදුම් කැක්කුම් දැනෙන බව අපට මුල් වතාවට සිහිපත් කර දෙන්නේ ‘ද්‍රෝහී’ ය.

“කැරපොත්තා බලා උන්නේ මගේ මූණ දිහා; මං බලාගෙන උන්නේ කැරපොත්තගෙ මූණ. කැරපොත්තට මූණක් තියෙනවා ද කියල හොයන්නයි මගේ ඊළඟ තත්පර දෙක තුන වැය වුණේ.

කැරපොත්තා කියන්නේ නිකම්ම නිකං පොත්තකට විතරයි කියන අදහස තුනී වෙලා තුනී වෙලා ගිහින්, මේ ඉන්නෙ පණ ඇති සතෙක් බව, මේ ශරීර කූඩුවටත් රිදුම් වේදනා දැනෙන බව තේරුම් බේරුම් කර ගත්තේ මේ දැන්; මෙතනදීම යි.” (ද්‍රෝහී පිටු 149)

මෙහි ප්‍රබල ලෙස ඉස්මතු කෙරෙන අනිත් කරුණ නම් ‘ස්වයං ඝාතනය හෙවත් සියදිවි නසා ගැනීම හැම විටම පාපකර්මයක් නොවේ’ ය යන්න යි. ස්වයං ඝාතනය සාධාරණීකරණය කෙරෙන ඉඟි කෘතිය පුරාම තැනින් තැන මතු වී පෙනෙයි. කෘතිය ආරම්භ කෙරෙන්නේ ම ස්වයං ඝාතනය පිළිබඳ කියවෙන ‘වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි’ යන කෘතිය මතුකොට දක්වමිනි. නවකතාව පුරාම වරින් වර එම කෘතිය හුවා දක්වා ඇත.

ජීවිතය පරිපූර්ණ වී ඇති මොහොතක, සුව කළ නොහැකි ලෙස දැඩි සේ ගිලන් වූ මොහොතක, තමන්ගේ කටයුතු තමන්ට කරගත නොහැකිව මඤ්චපරායනව, අන්‍යයන්ට කරදරයක්ව සිටින මොහොතක සියදිවි නසා ගැනීම හෝ ඉල්ලීම පරිදි දිවි නසා ගැනීමට උපකාර කිරීම හෝ වරදක් විය හැකි ද යන ප්‍රශ්නය ‘ද්‍රෝහී’ අප ඉදිරියේ තබයි.

මෙය වේරම්බ වාතයක් සේ බොදුනුවන් කළඹවන සුලු සංකල්පයකි. එහෙයින් මේ පිළිබඳව සැබෑම බෞද්ධ අදහස ත්‍රිපිටකාගත කරුණු ඔස්සේ විමසා බැලිය යුතු වෙයි.

ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා ද සිය දිවි නසා ගත් අවස්ථා කිහිපයක් ත්‍රිපිටකයේ දක්නට ලැබෙයි. ඉන් එක් නමක් වනුයේ වක්ඛලී මහ තෙරුන් වහන්සේ ය. උන් වහන්සේ බලවත්ව රෝගී ව බොහෝ වේදනා විඳිමින් එක්තැන්ව සිටියහ. බුදුරජාණන් වහන්සේ උන් වහන්සේගේ සුව දුක් බැලීමට වැඩම කොට උන් වහන්සේගේ සුව දුක් විමසා අනිත්‍යතා ධර්මය සිහිපත් කළ සේක. බුදුරජාණන් වහන්සේ ආපසු වැඩම කොට නොබෝ වේලාවකින් වක්ඛලී තෙරණුවෝ ආයුධයකින් ගෙල සිඳ ගත්හ. එහෙත් උන් වහන්සේ මිය යන මොහොතේ අර්හත්වයට පත්ව සිටි බව පසුව බුදුරජාණන් වහන්සේ භික්ක්‍ෂූන් වහන්සේලාට වදාළහ. මේ පුවත එන්නේ සංයුත්ත නිකායේ ඛන්ධක සංයුත්තයේ වක්ඛලී සූත්‍රය නමිනි. එහෙත් කිසි විටෙක කුමන හේතුවක් මත හෝ පර පණ නැසීම නිවැරදි බවක් ත්‍රිපිටක ධර්මයේ කිසි තැනක සඳහන් නොවේ.

‘ද්‍රෝහී’ නවකතාව මරණයට ‘නව අරුතක්’ එකතු කර ඇත. කවුරුන් කෙසේ කුමක් කීව ද ඊට එකඟ විය හැකි බව මගේ අදහසයි.

ශරීරය වනාහි මනුෂ්‍යයා සතුව පවත්නා ප්‍රබල ආස්වාදනීය වස්තුවකි. මිනිසා අත් විඳින සියලු ප්‍රිය මධුර ආස්වාදයන් විඳිනු ලබන්නේ මේ කය මුල් කර ගෙන ය. ඒ නිසා මනුෂ්‍යයා ලොව පවත්නා අන් සියල්ලට ම වඩා මේ කයට ආදරය කරයි. ආශා කරයි. කය පිළිබඳව මනුෂ්‍යයා තුළ පවත්නා මුලා බව සක්කාය දිට්ඨි ලෙස බුදු දහමේ පෙන්වා ඇත. බුදු බණට අනුව ‘ද්‍රෝහියා’ යනු මෙකී සක්කාය දිට්ඨියම මැයි. මනා සිහි නුවණින් යුතුව, විචාරශීලීව, විමංශනශීලීව යමෙක් මේ කෘතිය කිය වුවහොත් ඔහු තුළ පවත්නා සක්කාය දිට්ඨිය ප්‍රහාණය වීමට එය හේතුවන බව ඉඳුරා ප්‍රකාශ කළ හැකිය.

ගෝනදෙණියේ විමලජෝති හිමි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division