Home » දෙස බස නැඟුමට රැස එක්කළ පඬිවරයා

දෙස බස නැඟුමට රැස එක්කළ පඬිවරයා

සිංහල භාෂා දිනය සහ කුමාරතුංග මුනිදාස දිනය වෙනුවෙනි

by Mahesh Lakehouse
March 2, 2024 12:30 am 0 comment

සිංහල භාෂා දිනය මාර්තු 2 වැනිදාට යෙදී තිබේ. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ගේ පාලනයට එරෙහිව වාරියපොළ සුමංගල ස්වාමීන් වහන්සේ ඉංග්‍රීසි ධජය බිම දමා පාගා ලංකා කොඩිය එසවූයේ මාර්තු දෙවැනිදා ය. මෑත යුගයේ මෙරට බිහි වූ විශිෂ්ටතම හා විරල ගණයේ පඬිවරයකු වූ කුමාරතුංග මුණිදාස සූරීන් සිය ජීවිතය ම භාෂා, ශාස්ත්‍ර නිර්මාණ ක්‍රියාකාරකම් සඳහා කැප කර 1944 මාර්තු 02 වැනිදා දැයෙන් සමුගත්තේ ය. අපට දෙස බස රැස යනුවෙන් තවත් තෙරුවනක් ඇති බව කීවෝ ද කුමාරතුංගයෝ ය. එනිසා ම එවන් දුර්ලභ ගණයේ චින්තකයකු වූ කුමරතුඟුවන් නමින් සිංහල භාෂා දිනය නම් කිරීම ද අර්ථවත් ය. මෙම සිදුවීම් දෙක පාදක කර ගනිමින් 1989 දී රජය සෑම වසරක ම මාර්තු 02 වැනිදා සිංහල භාෂා දිනය ලෙස ප්‍රකාශයට පත් කළේ ය. සිංහල භාෂා දිනය මාර්තු 2 දා ලෙස නම් කරන ලද්දේ එවකට සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයාව සිටි වි.ජ.මු. ලොකු බණ්ඩාර ඇමැතිවරයා විසිනි.

එබැවින් සිංහල භාෂා දිනය යෙදෙන දා කුමරතුඟු ස්මරණය යුක්ති යුක්තය. අප මේ ලිපිය ඔස්සේ කුමරතුඟුවන්ගේ භාෂා, සාහිත්යික හා දෙස බස රැස කෙරෙහි වූ අප්‍රමාණ ඇල්ම ගැන විවරණයක යෙදෙන්නේ ඒ ආධ්‍යාශය පෙරදැරි කර ගනිමිනි.

කුමරතුඟුවන් ජීවත් වූ යුගය යටත්විජිතවාදය විසින් සිය තෙද බල බෙහෙවින් පෙන්නුම් කළ අවධියකි. සුදු ජාතිකයන්ගේ සෙවණැල්ල වැටී හෙළ ජනයා එකී සෙවණැල්ලෙන් වැසී ගිය යුගයක අධිරාජ්‍යවාදයට ආවැඩූ පරගැති හෙළයන්ට සිය ආගම ජාතිය සිහිපත් කරන්නට හේ ගත් මඟ අදීන ය. සිංහලයන්ගේ නිවට නියාලු බව නසන්නට පෙරමුණ ගත් ධර්මපාලතුමන්, පියදාස සිරිසේන ගත් මඟ ඔහු ගත් බව අපට පෙනේ. බස රැකුණොත් දෙස රැකෙන බවත් මුලින් ම අත තිබිය යුත්තේ බස රැක ගැන්ම වෙනුවෙන් බවත් හේ ඇදහුවේ ය.

ජාතියක දියුණුව හෝ නැඟීම ඇතිවන්නේ ඒ ජාතියේ චින්තනය මුල් කර ගනිමිනි. ජාතික චින්තනය බිහි වන්නේ භාෂාව මාධ්‍යය කර ගනිමිනි. එබැවින් ජාතියක් නැඟෙන්නට නම් ඒ ජාතිය වහරන බස නොවහල් ව, ඉතා දියුණුව තිබීම අනිවාර්ය කරුණකි. සිංහලයේ ඉතිහාසය විමසා බලන විට භාෂාව නිදහස්ව, නොවහල් ව, දියුණු වී පැවැති කාල වකවානුවල ජාතියත් ඒ ලෙස ම ස්වාධීනව, බලවත්ව සිටි බව පෙනේ. එහෙත් කෝට්ටේ යුගයෙන් පසු භාෂාව පිරිහීමත් සමඟ ජාතියත් පිරිහී පරාධීන විණි. මේ තත්ත්වය මනාව අවබෝධ කරගත් කුමාරතුංග මුනිදාසයන් බස නැංවීම මඟින් රැස හෙවත් ජාතියත් රැස මඟින් දෙසත් නැංවිය හැකි බව පැවැසුවේ එනිසාය.

කුමාරතුංගයන් නුමුසු හෙළ බස පිළිබඳ අදහස ඉදිරිපත් කළේ එමඟින් ජාතියේ අභිමානය ඇති කිරීමට හා ඒ ඔස්සේ අපගේ ස්වායත්ත භාවය ස්වාධීනත්වය පෙන්වීමටයි. එය ජනතාවට වටහා ගැන්මට නොහැකි වීමේ විපාක අපි අදත් විඳිමින් සිටින්නෙමු. ජාතිකත්වයෙහි ලා බසේ අගය මුලින් ම මතු කළේ කුමාරතුංගයන් විසිනි. ඔහු එදා එය පැවසුවේ මෙලෙසිනි.

උගන්නැ සිය බස-මත් වන්නැ එහි රසයෙන්
දකින්නෙහි මහඟු බව-කියා දෙන්න අනුනටත්
කා කුමක් කීවත්-සියබස කෙළෙසා අපට
නිදහසෙක් නො මැ ලැබේ-පටන් ගන්නැ සිය බසින්
අනුන් පර බසෙකැ-අගය වනන පුන පුනා
සිය අගය පානු බැරි-හෙළයා මහ නිවටයෙකි…

වර්ෂ 1887 ජූලි මස 25 වැනිදා මාතර දික්වැල්ලේ දික්හේනේ ඉඳිගස්ආරේ දී උපත ලබන කුමාරතුංගයන් සිංහල ව්‍යාකරණය පිළිබඳ සිය සිසුවකු අසන ලද ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් සිංහල ව්‍යාකරණය පිළිබඳ පර්යේෂණ කරන්නට පෙලඹෙයි. 1921 දී සිය ප්‍රථම ග්‍රන්ථය ‘සාමාන්‍ය දැනීම‘ රචනා කරන කුමරතුඟුවෝ ජීවත් වූ කෙටි කාලය ඇතුළත විවිධ ග්‍රන්ථ 102ක් රචනා කළෝ ය; පුවත්පත් සඳහා සම්පාදනය කළ ලිපි ප්‍රමාණය ගිනිය නොහැකි තරම් ය; ප්‍රවෘත්ති පත්‍ර හා සඟරා ගණනාවක සංස්කාරක ධූරය හෙබවූවෝ ය; පැරණි කෘති 37 කට විවරණ සැපයූ අතර, තවත් කෘති 38 ක් සංස්කරණය කළෝය. ළමා සාහිත්‍යයක්; යොවුන් සාහිත්‍යයක් හා පෙළ පොත් සාහිත්‍යයක් ඔහු අතින් බිහි විණි. ප්‍රතිභාවෙන් නිපන් සතත්‍යාභ්‍යාසයෙන් හැඩ වූ කාව්‍ය නිර්මාණ හා ගී රැසකි.

මානව සංහතියට විශිෂ්ට සාධන රාශියක් කළ කුමරතුඟුවන් ජීවත් වූයේ වසර 56ක් වැනි කෙටි කලකි. එහෙත් වැඩ සියවසක් ඉක්මවන සුළු ය. කුමරතුඟුවන් සොබාදහමට දැක් වූ ඇල්ම ඔහුගේ නිර්මාණ ඔස්සේ මැනවින් විශද වේ. සොබාදහමේ කුඩාම අංශුව පවා විශ්ලේෂණයේ යෙදෙන ඔහු දරුවන්ගේ ලෝකයට චමත්කාරය ගෙන ආවේ ය.

භාෂා මෙහෙවර සාමාන්‍ය ජනතාව වෙත ගෙන යනු වස් ඔහු ඇරඹූ සුබස සඟරාව මෙන්ම ලක්මිණි පහන පුවත්පත ද යෝධ ශක්තියක් විය. සිංහල බස රැක ගැනීමේ වැදගත්කම පෙන්නුම් කරමින් කුමරතුඟුවන් ලියූ කතුවැකි මීට උදාහරණ ය. බසේ තෙරුවන සේ සැලකූ දෙස බස රැස රැක ගැන්ම කෙරෙහි බෙහෙවින් සවිඥානික වූ හේ හෙළ මීයැසියේ ඒ බව සඳහන් කරන්නේ මෙසේය.

‘ මා දෙස හෙළ දෙස
මා රැස හෙළ රැස
මා බස හෙළ බස
මේ මගෙ මතැ හිස ‘

පුවත්පත් මාධ්‍යයට හා පොදුජන ව්‍යවහාරයට වැදගත් නව වදන් රාශියක් කුමරතුඟුවන් නිර්මාණය කරයි. සරසවිය, රෝහල, පාපැදිය, ජනරජය, කමිටුව, සමුළුව, දුරදක්නය, නැවියා, වෙළුම වැනි වදන් ඊට නිදසුන් ය. කුමරතුඟු මඟ ගිය පුවත්පත් කලාවේදියෝ බොහොමයක් වෙති. මහානාම දිසානායක, වෙ. වි. අභයගුණවර්ධන, අනඳපිය කුඩාතිහි වැන්නන් ඊට නිදසුන් ය. පළමුවරට පුවත්පතක් ඔස්සේ ග්‍රන්ථ විවේචන පළ කිරීම ආරම්භ කළේ කුමාරතුංග බව විචාරක මතයයි. මේ පොත් විචාර පළ වී ඇත්තේ ‘ග්‍රන්ථ පරීක්ෂා‘ යන ශීර්ෂය යටතේ ය. ඒ යටතේ ඔහු වික්‍රමසිංහයන්ගේ ‘ සත්ත්ව සන්තතිය‘ වැනි කෘති ද විචාරයට ලක් කර තිබේ. කුමරතුඟුවන්ගෙන් පුවත්පත් කලාවට සිදුවූ සේවය ඇමෙරිකානු පුවත්පත් කලා වංශයෙහි බෙන්ජමින් හැරිස්ගෙන් සිදුවූ සේවයට සමාන යැයි මහාචාර්ය තිස්ස කාරියවසම් කියා තිබේ.

කුමරතුඟුවන්ගෙන් ව්‍යාකරණයට සිදුවූ මෙහෙය අවිවාදිත ය. සිදත් සඟරාව විවේචනය කරමින් ‘සිදත් සඟරා විවරණය‘ නම් විචාරයක් පළ කරන කුමරතුඟුවන් 1938 දී ‘ව්‍යාකරණ විවරණය‘ සම්පාදනය කරයි. මෙය සිදත් සඟරාවට පසු බිහි වූ පළමු සිිංහල ව්‍යාකරණ ග්‍රන්ථයයි. පිටු 420කින් සමන්විත මේ ව්‍යාකරණ ග්‍රන්ථය අබිබවන කෘතියක් මෙතෙක් පහළ වී නැති බව විචාරක මතයයි. හෙළ හවුලේ සබැඳිකම් නැති වූවකුට වුව ද භාෂා සාගරය තරණය කිරීමට කුමාරතුංග මඟ හැර වෙන අන් මඟක් නැත.

කුමාරතුංගයන්ගේ චින්තනය ගතානුගතික වූයේ නැත. භාෂාවේ කවර කේෂ්ත්‍රයක් දෙස වුව ද නව දෘෂ්ටිකෝණයකින් බලන්නට හේ නිර්භය වූයේ ය. ඔහු සිදත් සඟරාව දෙස පවා ගතානුගතිකව නොබැලුවේ ය. ඔහු ක්‍රියා විවරණයේ දක්වන්නේ මුළු මහත් වියරණයේ ම ඇත්තේ ක්‍රියා ගණ 6ක් බව ය. ඒ බල, බම, බණ, පිහිට, රක්, බස් යනුයි. මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි පවසන්නේ මේ ක්‍රියා ගණ හයෙන් පිට ගණයක් හමු නොවූ බව ය. මේ සියල්ල කළේ තනි පුද්ගලයෙක් මිස ආයතනයක් හෝ විශ්වවිද්‍යාලයක් නොවීම ගැන අපට පුදුම නොවී සිටිය නොහැකිය.

අනුරාධපුර යුගයේ සිට මේ දක්වා ඉතිරිව ඇති සාහිත්‍ය කෘති පිළිබඳ උනන්දුවක් ඇතිවෙන ලද්දේ කුමරතුඟුවන් විසින් කළ විවරණ පොත් නිසා ය. මයුර සන්දේශය විවරණයට ඉංග්‍රීසි බසෙන් ලියන ලද දීර්ඝ පෙරවදන ඔහුගේ ඉංග්‍රීසි භාෂා දැනුම ප්‍රකට කරයි. තිසර සන්දේශ විවරණයේදී එහි කර්තෘ හඳුනා ගැනීමට දරන ප්‍රයත්නය, සැලළිහිණියේ රස මතු කරන ආකාරය, එළුඅත්තනගලු වංශ විවරණය විශිෂ්ට විවරණ සම්ප්‍රදානයන් ය.

කුමාරතුංග කාව්‍ය එළැඹුම හුදු පරිකල්පනීය භාව විෂයයක ක්‍රියාවක් නොවීය.

ස්වාධීන චින්තනයෙන් ජනිත වන නව සිතුම් පැතුම් අන්තර්ගත කවිත්වය මිනිසාගේ උත්පාදක ශක්තියෙහි ආබද්ධ අංග සේ පිළිගන්නා හෙතෙම නිදහස් දැයක මුල් පෙලේ කවියා හිඳුවයි. පරාධීනත්වයෙන් අත්මිදීම යනු බටහිර අධිරාජ්‍යවාදී ග්‍රහණයෙන් මතු නොව දේශීය හෝ පෙරදිග හෝ සියලු අගතීන්ගෙන් නිදහස් වීම බව කුමරතුඟු දර්ශනයයි. ඒ බව මැනවින් විෂද වෙන්නේ ඔහු පුරාණ අකුරුකරණය පොත් පෙළෙන් ගණ දෙවි හෑල්ල ඉවත් කර ඒ වෙනුවට අකුරු සැහැල්ල නමින් අලුතෙන් පබඳන ලද කෘතියක් එක් කිරීමෙනි. කාව්‍යකරණය යනු අලුත් අලුත් දෑ නිපදවීමේ පදනම බව කුමරතුඟුවන්ගේ මතයයි. සිංහල කාව්‍ය ක්ෂේත්‍රයේ ප්‍රථම නූතනවාදී කවියා කුමාරතුංග බව නොපැකිලව පැවසිය හැක්කේ එබැවිනි. හේ අදටත් සියවසක් ඉදිරියෙන් සිටින්නෙකි. දරුවන් වෙනුවෙන් පද්‍ය රචනයට පිළිපන් ප්‍රථමයා මුනිදාස කුමාරතුංග ය. ජනකවි බස හා රීතිය එහිදී ඔහුට බෙහෙවින් බලපෑවේ ය.

වහ වහා බිඳෙන විරිත නිරූපිත අවස්ථාවට උචිත අයුරෙන් ගොඩනැඟීමට හේ උත්සුක වෙයි. අවස්ථාවේ හිඳිමින් දුරස්ථ නොවෙමින් දරුවන්ගේ මනසේ වාග් චිත්‍ර නිර්මාණය කරන ඔහු, අවස්ථා පෙරළි බහුල ව යොදයි. දරුවන් වෙනුවෙන් ලියද්දී කොතරම් නිදැල්ලේ බස හසුරුවනවා ද යන්න ‘කුමර ගී‘ කාව්‍යයෙන් පැහැදිලි වෙයි. ස්වභාව සෞන්දර්ය මැනවින් ප්‍රතිනිර්මාණය කරමින් දරුවන්ගේ වින්දන ශක්තිය පුළුල් කිරීමට දායක වූ ළමා නිර්මාණ නූතන දරුවන්ට පරිශීලනයට දිය යුතුම දෙයකි. ආකල්ප පරිසමාප්තිය හා කාව්‍යානුභූති සංකලනය සිය බසෙහි රිද්මය දරුවන්ට හඳුනා ගැනීමට මං හසර විවර කරයි. ප්‍රවීණ අධ්‍යාපනඥයකුගේ සියුම් පරිකල්පනීය ශික්ෂණය දරුවන් කෙරේ විහිදුවා ලූ කුමරතුඟු ළමා සාහිත්‍යය තවදුරටත් අධ්‍යයනය කළ යුතු විෂයය පරාසයකි.

වසර 56ක් වැනි ජීවත් වූ කෙටිකාලය ඇතුළත ව්‍යාකරණ විවරණය, ක්‍රියා විවරණය වැනි මහා සෛධාන්තික කෘති ලියූ වාග් විද්‍යාඥයකු හත්පණ, හීන්සැරය වැනි පොත් යොවුනන්ට ලියා ළමා කව් ගී දරුවන්ට ලිවීම කෙතරම් පුළුල් පරාසයක ඔහුගේ චින්තනය ක්‍රියා කළේ ද යන්නට දෙස් දෙයි.

කුමාරතුංග හුදු ව්‍යාකරණඥයෙක් හෝ භාෂාඥයකු පමණක් යැයි කෙනකු සිතන්නේ නම් එය අභාග්‍යයකි. ඔහු සම්භාව්‍ය සාහිත්‍යය කෘති සංස්කරණය කිරීමෙන් සාහිත්‍යධරයන් ඇමැතීය. පිය සමර වැනි කාව්‍ය කෘති ඔස්සේ රසිකයන් ඇමැතීය. හත්පණ, මඟුල් කෑම වැනි කතන්දරවලින් යොවුනන් ඇමතීය. ළමා කාව්‍ය නිර්මාණයෙන් දරුවන් ඇමැතීය. අලුතෙන් වදන් සෑදීමෙන් ශබ්ද කෝෂ කර්තෘවරුන් පැරදවීය. ඔහු වැනි ඡේකයකු, ධීමතකු රටකට පහළ වෙන්නේ කලාතුරකිනි.

කුමරතුඟුවන් කිසිවිටෙක ප්‍රශංසාව හඹා ගියේ නැත; විමංසනය හා විචාරය ඔහුගේ ජීවන අංග විය; බුද්ධිය හා දැනුම අග්‍රගණ්‍යය ය. භාෂා හැකියාව අතිවිශිෂ්ට ය. මානසික ශක්තිය සීමා රහිත ය. අනෙනෝන්‍ය සුහදතාවෙන් හේ බෙහෙවින් තෘප්තිමත් වීය.

කවියන්ට, කලාකරුවන්ට, ගායකයන්ට හේ ගේ ඇසුර විශ්වවිද්‍යාලයක් විය. ඔහු ආදර්ශවත් අධ්‍යාපනඥයෙකි; බහුශ්‍රැතයෙකි; කියැවීමෙන් කිසිවිටෙකත් විඩාවට පත් නොවූ ශාස්ත්‍රාභිලාෂියෙකි; භාෂා පර්යේෂකයෙකි; ජීවන ගමන ගැන මනා සවිඥානිකත්වයකින් යුතු වූවෙකි; දරුවන්ගේ මනස තේරුම් ගත් මානව විද්‍යාඥයෙකි. එලෙස බැලූ කල හේ සැමතින්ම සුදුර්ලභ සහෘදය බුද්ධිමතෙකි. හේ 1944 මාර්තු 2 වැනිදා නාමශේෂභාවෝපගත වුව ද අද ද දනන් මුව වැඩියෙන් ම කියැවෙන නාමයකි. එබැවින් කුමරතුඟු නාමය සියවස් පුරා බැබළෙන අමරණීය නාමයෙකි.

සුමුදු චතුරාණී ජයවර්ධන

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division