Home » ලංකාව බැබළ වූ මාධ්‍යවේදිනියන් 4කට හරසර ප්‍රණාම

ලංකාව බැබළ වූ මාධ්‍යවේදිනියන් 4කට හරසර ප්‍රණාම

by Mahesh Lakehouse
March 16, 2024 12:30 am 0 comment

ජාත්‍යන්තර කාන්තා දිනය නිමාවී මේ වන විට ගතව ඇත්තේ සතියකුත් දින කිහිපයක් පමණී. කාන්තාව වෙනුවෙන් එක් දිනක් පමණක් වෙන් කළ විට සෑහේ දැයි ඇතැමුන් ප්‍රශ්න කරන විට ඒ දිනය නිමිති කරගෙන විවිධ වැඩසටහන් පවත්වන සහ සංවිධානය කරන රාජ්‍ය ආයතන මෙන්ම පුද්ගලික ආයතන ද වෙනත් සංවිධාන ද වේ. මේ අතුරෙන් ජාත්‍යන්තර මාධ්‍ය සංසදය විසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී පවත්වන ලද විශේෂ කාන්තා දින උත්සවයේදී ජ්‍යෙෂ්ඨ ගුවන්විදුලි, රූපවාහිනි මාධ්‍යවේදිනියන් වන සුමනා ජයතිලක, සුමනා නෙල්ලම්පිටිය, දයා ද අල්විස් හා ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදිනි කරුණා පෙරේරා යන අය පිදුම් ලැබූහ. මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය, බන්දුල ගුණවර්ධන වන අතර අමාත්‍යවරයා අතින් මේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියෝ සම්මාන ලැබූහ.

අද මෙන් විද්‍යුත් නාළිකා නොතිබූ යුගයක ගුවන්විදුලියෙන් දිනපතා අපේ නිවෙසට පැමිණි ඔවුන් හැමවිටම අපට දුන් දැනුම්, අවබෝධය විනෝදය මෙන්ම රටතොට ගැන ලබා දුන් තොරුතුරු බොහෝය. හැට හැත්තෑව දශකවලදී පමණක් නොව අසූව අනූව දශකවල මෙන්ම අද ද ගුවන්විදුලියෙන් අපේ පොඩිත්තන් අමතන ඒ හඬට ප්‍රිය කරන්නෝ ආදරය කරන්නෝ බොහෝය.

කරුණා පෙරේරා

ජාත්‍යන්තර මාධ්‍ය සංසදය පැවැත්වූ කාන්තා දින උත්සවයේදී සම්මානයෙන් පිදුම් ලැබූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනි කරුණා පෙරේරා ද පුවත්පත් කලාව හා ගුවන්විදුලි කලාව යන ද්විත්ව මාධ්‍යයෙහිම සුරුකම් පෑ සුවිශේෂි චරිතයකි.

1939 වසරේ අගෝස්තු 15 දා උපන් ඇය පාසල් වියේ සිටම ලේඛනයට විශේෂ ඇල්මක් දක්වන්නට විය. මේ නිසාම ලේඛනය සිය වෘත්තීය ජීවිතය කරගත් කරුණා බාල වියේ සිටම සිය පවුල වෙනුවෙන් වෙහෙසුණාය.

“මම උසස් පෙළ ඉගෙනුම අවසන් කරලා හිටිය කාලෙදි තමයි මගෙ තාත්තා නැති වුණේ. මට මල්ලිලා පස් දෙනෙක්, නංගිලා දෙන්නෙක් ඉන්නවා. මම තමයි පවුලේ වැඩිමලා. පවුල් බරට කරගන්න වුණා කිවුවොත් හරි. ඒ කාලේ මම ළමයින්ට උපකාරක පන්ති කෙරුවා. ඒ කාලේ බොරැල්ලේ තිබූ ජනතා පොත්හලේ දරුවන්ට ටියුෂන් දුන්නා. ජනතා පොත්හලේ අයිතිකරු දවසක් මගෙන් ඇහුවා කැමැති නැද්ද රස්සාවක් කරන්න කියලා. ඒකාලේ වෙනකොටත් මම ජනතා පත්තරේට ලිපි ලියනවා. ඇත්ත කන්තෝරුව තිබුණේ බොරැල්ල කොටා පාරේ. එවකට ඇත්ත කර්තෘ ලෙස සිටියේ බී. ඒ. සිරිවර්ධන මහත්මයා. දවසක් සිරිලාල් කොඩිකාර මහත්තයයි බී. ඒ සිරිවර්ධන මහත්මයයි තවත් මහත්මයෙක් එක්ක කන්තෝරුවේ හිටියා. සිරිවර්ධන මහත්මයා මගෙන් ඇහුවා මෙයාව දන්නවද කියලා. මම නැහැ කිවුවා. මේ තමයි සුගතපාලද සිල්වා කියලා සිරිවර්ධන මහත්මයා මට ඔහුව හඳුන්වා දුන්නා. මගේ කෙටිකතා හොඳයි කියලා ඔවුන් අගය කළා. ඒ කාලය වන විට මම ගුවන්විදුලියටත් කෙටි කතා ලියනවා. මට මතක හැටියට ගුවන්විදුලියෙන් රුපියල් 45ක් ගෙවනවා කතාවකට. දවසක් සිරිවර්ධන මහත්මයා මට එන්න කියලා කිවුවා මගෙ කතා ටිකත් අරගෙන. පැන්සලෙන් ලියපු කුරුටුත් ගාපු කතා නවයක් එකතු කරගෙන මම ඔහු හමුවෙන්න ගියා. ඔහු මට කිවුවා හංස ප්‍රකාශකයෝ එකට යන්න කියලා. ඒ ඔෆිස් එක තිබුණේ කොල්ලුපිටියේ ක්ලිෆඩ් ඇවනිව් එකේ. එතැන පිළිගැනිමේ නිලධාරිනියට හිටියේ සුනිලා අබේසේකර. මම එතැනට ගියා. උඩට යන්න කියලා ඇය මට කිවුවා. එතැන හිටියා මර්වින් හේරත් කියලා මහත්මයෙක්. ඔහු විදුහල්පතිවරයෙක්. මම මගේ කතා ටික එතුමාට දුන්නා. ඔහු එකින් එක කතා කියවනවා. මට හිතුණා මගේ කතා ඔහුට තේරෙන්නේ නැහැ කියලා. මම හිතුවා මම යන්න ඕන කියලා. “ඔය කතා මහත්තයට තේරෙන්නේ නැහැ“ කියලා මම ඔහුගෙන් මගේ කතා ටික ඉල්ලුවා.

“සුද්දගෙ බංගලාවේ වැඩ කළේ මගේ ආච්චි“ කියලා ඔහු කිවුවා. ඔහු මගෙන් කෙටි කතා ගැන ඇහුවා. ඒ. ජේ. ගුණවර්ධන, විමල් දිසානායක, ආදි මහත්වරු හය හත්දෙනෙක් ඇතු‍ෙළ් ඉඳලා ඇවිල්ලා මගෙ කතා බලනවා. ඔවුන් මගෙන් එක එක දේ අහනවා. “අපි මේක අච්චු ගහනවා… තව කතාවක් හොයා ගන්න නැද්ද?“ කියලා ඇහුවා. මට හරි පුදුමයක් දැනුණා. මම කතාවක් ලියලා දෙන්න පොරොන්දු වුණා. ඒ විදිහටයි මගේ පළමු කෙටි කතා පොත හංස ප්‍රකාශකයෝ අඳුරට එළියක් කෘතිය එළි දැක්වුයේ. රෙජී සිරිවර්ධන මහත්මයා පත්තරවලට මේ පොත ගැන ලිව්වා. 1971 අවුරුද්දේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේදී හොඳම කෙටිකතා පොතට හිමි සම්මානය ලැබුවා. එම උත්සවයේදීම ගුණදාස අමරසේකර මහතාටත් සම්මාන ලැබුණා. එදා සිට මම තවමත් පොත් ලියනවා. ගුවන්විදුලියටත් ලියනවා. මම තවමත් ලියන එක නතර කරලා නැහැ. ඇත්ත පත්තරෙන් ලියන්න පටන් ගත්ත මම 1980 ලංකාදීප ආයතනයට සම්බන්ධ වුණා. විජය පත්තරයටත් සිරිකතටත් සම්බන්ධ වී ලියන්න ගත්තා. මගේ ජීවිතයේ එදා මෙදා ගැන “මගේ මතක පොත“ නමින් පසුගිය වසරේදී එළිදැක්වුවා. මට මතක විදිහට මේ වෙන කොට නවකතා පොත් 12ක්, පරිවර්තන කතා පොත් 4, කෙටි කතා පොත් 11, අනුවර්තන පොත් 2ක්, යොවුන් නවකතා 4ක් ලියා තියෙනවා. මට දැන් අවුරුදු 86ක් වෙනවා. ඒත් තවමත් මගේ හිතේ වැඩි කැමැත්ත තියෙන්නේ ලියන්න. මේ දවස්වලත් මම නවකතාවත් ලියමින් ඉන්නේ.“ ඇය පවසන්නේ සතුටිනි.

තරුණයන්ගේ තරුණියන්ගේ ප්‍රශ්න, සමාජ ප්‍රශ්න ගැන මෙන්ම සමාජයේ විවිධ පැතිකඩ ගැන ඇය තවමත් උනන්දුය. ඇය යෞවනියක මෙන් ක්‍රියාශීලීය. ඒ ඇගේ ස්වභාවයයි.

සුමනා නෙල්ලම්පිටිය

ඒ එක්දහස් නවසිය අසූව දශකයයි. මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයට අලුත්ම මාධ්‍යයක් එක් වන්නේ මේ යුගයේය. රූපවාහිනිය ආරම්භ වීමත් සමඟ එහි පළමු ප්‍රවෘත්ති නිවේදිකාව වන්නේ ඇයයි. ඇය නම් සුමනා නෙල්ලම්පිටියයි. 1944 මැයි මාසේ 23 දා උපන් සුමනා ගුවන්විදුලියට එක්වන්නේ 1967 ජූලි පළමුවැනිදාය. ඒ වන විට ඇගේ වයස අවුරුදු විසිතුනකි.

“මම ගුවන්විදුලියට එක්වන්නේ සහන නිවේදිකාවක ලෙස. ඒ කාලේ අපට හොද පුහුණුවක් ලැබුණා. ඒ පුහුණූවෙන් පස්සේ මැදිරි නිවේදන කටයුතුවලට සම්බන්ධව රාජකාරිය කළා. නමුත් ප්‍රවෘත්ති කියන්න වෙනම පරීක්ෂණයක් තිබුණා. ප්‍රවෘත්ති කියන එක වෙනමම වැඩක්. එය අපිට ආවාට ගියාට කරන්න පුළුවන්කමක් නෑ. ප්‍රවෘත්ති කියන එකට අමතරව වෙළෙද වැඩසටහන්, කාන්තා වැඩසටහන් එළිමහන් පටිගත කිරීම් ආදියටත් සම්බන්ධ වුණා. නමුත් 1981 වසරේ රූපවාහිනිය ආරම්භ කළාට පස්සේ මම එහි කටයුතු කරගෙන ගියා. මට මතකයි ඒ යුගයේ ඒ කියන්නේ යුද්ධය පැවැති කාලයේ මට මරණ තර්ජන නිතර දෙවේලේ ආවා. ඒ ආවේ මට ප්‍රවෘත්ති කියන එක නතර කරන්න කියා. නමුත් මම මේ ක්ෂේත්‍රයට තිබුණ ආසාව කැමැත්ත නිසාම රස්සාව අතහැරියේ නැහැ. රූපවාහිනිය ආරම්භ කිරීමත් සමඟ එහි ප්‍රවෘත්ති කියූ පළමු නිවේදිකාව මම. රූපවාහිනි සංස්ථාවේ මම අවුරුදු දහයක් “

අැය සිය අතීත මතකයන් දිග හරිමින් නිවේදිකාවක ලෙස ක්ෂේත්‍රයේ එතෙක් මෙතෙක් ආ දුර පවසන්නට විය.

“ගුවන්විදුලියෙන් ප්‍රවෘත්ති කියූ මට රූපවාහිනියෙන් ප්‍රවෘත්ති කියන්න ගියා කියලා ඒක අමාරු කාර්යයක් වුණේ නැහැ. එකම වෙනස තිබුණේ මයික්‍රෆෝනයෙන් කැමරාවට මාරු වුණ එක විතරයි. එදා ගුවන්විදුලියෙත් රූපවාහිනියෙත් ප්‍රවෘත්ති කීමේ රටාවක් තිබුණා. නමුත් අද ඒ රටාව කොතැනකවත් දකින්න නැති තරම්. ඒ කාලේ ප්‍රවෘත්ති කියන්නේ හරිම විශේෂ දෙයක්. නමුත් අද එහෙම නෑනේ. දැන් අතේ තියෙන ජංගම දුරකතනයෙන් අපට අපේ රට ගැන වගේම විදෙස් රටවල් ගැන ඕන අස්සක මුල්ලක වන දේ ගැන සැණෙන් දැනගන්න පුළුවන්. නමුත් අප මේ ක්ෂේත්‍රයට පැමිණි කාලයේ එහෙම නෑ. ප්‍රවෘත්ති කියූ මට වගේම එය ලියා සකස් කළ අයටත් ඒ ප්‍රවෘත්ති ගැන වගකීමක් තිබුණා. නමුත් අද අපට එහෙම එකක් දකින්න නැහැ. මම විශ්වාස කරනවා අපි මොනදේ කළත් ඒ කරන කියන දේවල් ගැන අපි බොහෝම වගකීමෙන් කටයුතු කරන්න ඕන. අද ප්‍රවෘත්තිවල ගැඹුරක්, හරයක්, වැදගත්කමක් දකින්නට නැහැ.“

ශාන්ත ජෝන් මිශ්‍ර පාසලේ මූලික අධ්‍යාපනය ලැබූ ඇය පසුව සුජාතා විද්‍යාලයෙන් ද ඉන්පසු ගෝතමී විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබීය. සහෝදර සහෝදරියන් අට දෙනෙකුගෙන් යුතු පවුලක දෙවැනියා වූ නිවේදිකාවක ලෙස කටයුතු කරනවාට සුමනාගේ පියා කිසිසේත් කැමැති නොවීය.

“තාත්තා කැමැති වුණේ නෑ මම මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවට.බොහෝම අමාරුවෙන් තමයි ඔහුව කැමැති කර ගත්තේ. නමුත් පසුකාලීනව තාත්තා බොහෝම ආදරෙන් තමයි මා ගැන කතා කළේ. ඒක මට ලොකු සතුටක්.“

අද වන විට අසූ වැනි විය පසුකරමින් ජීවිතය දරු මුනුබුරන් ඇසුරේ කාලය ගත කරන සුමනා නෙල්ලම්පිටිය ජීවිතය දෙස ආපසු හැරි බලන්නේ බොහෝ සතුටිනි.

දයා ද අල්විස්

ජීවිතය මහ පුදුමාකාරය. අපි විටෙක බොහෝ සතුටින් ද විටෙක කිසිවෙකුටත් කියා ගන්නට බැරි වේදනාවෙන්ද පෙළේ. කෙනෙකු ඒ වේදනාව දරා ගන්නට බැරිව හඬන විට කෙනෙකු තම සිත උපන් දුක වේදනාව අකුරු බවට පත් කරයි. ඇය ද එවැන්නියක යැයි කීවාට වරදක් නැතැයි සිතේ. එක්දහස් නවසිය හැටේ දශකයේදී “කඳුළු අතරට සිනා රැලි වෙමි” ගීතය ලියමින් ගීත රචිකාවක ලෙස කලඑලිබසින ඇය දයා ද අල්විස් නම් වන්නීය. එදා මෙදා තුර ඈ ලියූ ගීත සංඛ්‍යාව තුන්සියකට වඩා වැඩිය. 1964 වසරේදී සහන නිවේදිකාවක ලෙස ගුවන්විදුලියට එක්වන ඇය පසුව කාන්තා වැඩසටහන්වලට මුල්තැන දෙමින් වැඩසටහන් නිෂ්පාදිකාවක ලෙස ද දශක තුනකට වැඩි කාලයක් ගුවන්විදුලියේ සේවය කළාය.

“මම උපන්නේ 1936 සැප්තැම්බර් 30 වන දා. මම ඉගෙන ගත්තේ අම්පිටිය කාමල් හීල් කන්‍යාරාමයේ. ඒ කාලේ අපිට කියවන්න නියමවෙලා තිබුණේ ඉංග්‍රීසි පොත් විතරයි. නමුත් අපේ විදුහලට ඒ කාලයේ සිංහල ගුරුවරියක් අලුතෙන් ආවා. ඇය තමයි අපේ පාසලට සිංහල පොත් ගෙනාවේ. ඉංග්‍රීසි පොත් කියවපු අපිට සිංහල පොත් කියවන එක ලොකු ආස්වාදයක් වුණා. 1964 අවුරුද්දේ තමයි මම ගුවන්විදුලියට එක්වන්නේ“ පාසල් වියේදී තමන්ගේ සිංහල භාෂාව දියුණු වීම ගැන ඇය පවසන්නේ එලෙසිනි.

ගුවන්විදුලියේ සේවය කරන අතරේම ඇය ගීත ලියන්නට පෙලඹුණාය. එකල ගුවන්විදුලියට විවිධ වැඩසටහන්වලට සම්බන්ධ වීමට පැමිණි ගායක ගායිකාවෝ ඈ ලියූ ගී ගැයුහ. පරාජීත ප්‍රේමය, ගැන පමණක් නොව සොයුරු ප්‍රේමය, සහෝදර සම්බන්ධතා, ආදරය ආදි විවිධ මාතෘකා ඇගේ ගීතවලට මාතෘකා විය.

“අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක
ඇයි දෝ යළි ආවේ…”

ආදි වශයෙන් ගී ලියූ ඇය සොබාදහම මුල්කර ගනිමින් ගී පද බැන්දාය. “හිරුට අයිති බව හිරු පවසනවා, සඳක් නම් බැස යන්න තිබුණා, නොතැවෙන් සූරියකාන්තා, පිනි බිඳු විසිරෙන සීතල හිමිදිරියේ, දෑස වසා ගමි ඔබ නොපෙනෙන්නට, නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා, කඳුළු අතරට සිනා රැලි වෙමි, පෙම් කළ වරදට මට වද දෙන්නේ, මගේ හිත ගැන ඔබ පමණි දන්නේ, යළි උපදින්නම් අලුත් කෙනකු වී, පියාපත් දෙන්න මට ඉගිළෙන්න හිස් අහසෙ ආදී වශයෙන් ගී රැසක් ලියා ඇත.

“කාන්තා දිනය වෙනුවෙන් ලද උපහාරය ගැන හිතට සතුටක් තියෙනවා. ලීවිමෙන් මා ලබන්නේ සතුටක්. මගේ දරු මුනුපුරු මිනිබිරියන් නිසා මම ජීවිතයේ විශාල සතුටක් ලබනවා. ජීවිතේ අතීතය දිහා ආපසු හැරිලා බලන විට සතුටක් වගේම දුකකුත් දැනෙනවා.“

සුමනා ජයතිලක

“ලොව ඝනඳුර දුරු කරන්න
ගුණ නුවණට මඟ පෙන්වන
පුංචි අපට දැනුම දෙන්න
හඳ මාමාට සවන් දෙන්න”

හඳ නැන්දා හෙවත් ජ්‍යෙෂ්ඨ ගුවන්විදුලි ශිල්පිනි සුමනා ජයතිලක ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට එක්වන්නේ සිය විවාහයෙනුත් පසුවය. ඇය විවාහ වන්නේ ප්‍රකට ගත්කතුවරයකු වන කේ. ජයතිලකයන් සමඟය. ඒ 1953 වසරේ මැයි මස 23 දාය.

“මම ඉගෙන ගත්තේ මියුසියස් විද්‍යාලයේ. විවාහවෙලත් කාලයකට පස්සේ තමයි ගුවන්විදුලියට සම්බන්ධ වුණේ. මහත්තයාගේ කිසිම අකමැත්තක් තිබුණේ නැහැ ඒ ගැන. මුල්කාලේ අධ්‍යාපන සේවය කියලා වෙනම සේවයක් තිබුණා. මට මතකයි ඒ කාලේ ගුවන්විදුලියේ කවි ගායනයට රුපියල් අටක් වැනි මුදලක් ගෙවනවා. රිජ්වේ තිලකරත්න, නෙවිල් ජයවීර, ලිවී විජේමාන්න යන මහත්වරු තමයි ඉහළ තනතුරු දැරුවේ. ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදකයකු ලෙස කේ. ඒ. ඩබ්ලිව් මහත්මයා කටයුතු කළේ. ඒ ඔවුන් තමයි හඳ මාමා වැනි වැඩසටහනක් පටන් ගන්න මුල් වුණේ. හඳ මාමා කියන නම යෝජනා කරන්නෙත් ඔහුමයි. 1963 දෙසැම්බර් 14 වනදා තමයි මුල්ම වැඩසටහන විකාශනය කරන්නේ. හඳ මාමා වැඩසටහනේ තේමා ගීතය ගයන්නේ මිල්ටන් පෙරේරා. එදා මෙදාතුර හඳ මාමා වැඩසටහන අාරම්භ කර දැන් අවුරුදු හැටක් වෙනවා. මේ වැඩසටහන මඟින් ඉදිරියට ආ දරුවෝ බොහෝමයක් අද විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයෝ වී ඉන්නවා. එය මට සතුටක්.“

සුමනා ජයතිලකයන් පවසන්නේ තමන් කරන ලද කාර්යය පිළිබඳ සිත උපන් සතුටිනි. ඇය ගුවන්විදුලිය තුළින් මෙරට ළමා පරපුරට පමණක් නොව ගුවන්විදුලි ශ්‍රාවකයන්ට කරන කරන ලද මෙහෙය සුවිශාලය.

“මම හැම විටම හිතුව දෙයක් තමයි මට මගේ රටේ දරුවන්ගේ අනාගතය පිළිබඳ මට වගකීමක් තියෙනවා කියලා. ඒ නිසා මම හැමදාම හොඳම දේ දරුවන් වෙනුවෙන් දෙන්න උත්සාහ ගත්තා. අද මේ සමාජය දිහා බැලුවම අපට විවිධ දේ දකින්න පුළුවන්. මම විශ්වාසයෙන් කියන්නේ අපේ දරුවෝ හොඳයි. වැඩිහිටියෝ මේ දරුවන්ව ඔවුන්ගේ අනාගතය ගැන තේරුම් ගන්න එකයි කරන්න ඕන. එහෙම කළොත් අපට මේ දරුවන්ගේ හෙට දවස වගේම රටේ අනාගතයත් ලස්සන කරන්න පුළුවන්.“

මාධ්‍ය ක්ෂේත්‍රෙය් බොහෝ වගකීමෙන් කටයුතු කළ ඇය අද ද කටයුතු කරන්නේ එලෙසිනි. ඇය දරුවන් සිව්දෙනෙකුගේ ආදරණීය මවකි. 1937 අප්‍රේල් 29 දා උපන් ඇය මේ වන විට 87 වැනි වියේ පසු වේ.

 අැමැති බන්දුල ගුණවර්ධන සම්මානලාභීන් සමඟ

අැමැති බන්දුල ගුණවර්ධන සම්මානලාභීන් සමඟ

 

ඡායාරූප – තිලක් පෙරේරා

ඉනෝකා සමරවික්‍රම

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division