Home » ගල්නෑවේ කපු නෝනාට කුඹුරෙන් හමු වූ නිධානය

ගල්නෑවේ කපු නෝනාට කුඹුරෙන් හමු වූ නිධානය

by thanushika
March 16, 2024 12:30 am 0 comment

නිධන් ගැනීමට තැත් කළ පුද්ගලයන් රැසක්ම පසුගිය කාලයේ පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවට පත්වූ සිදුවීම් වාර්තා විය. විශේෂයෙන්ම අනුරාධපුර, පොලොන්නරුව වැනි ඓතිහාසික සිද්ධස්ථාන ගහන ප්‍රදේශවලින් නිදන් ගැනීමට ගිය පුද්ගලයන් සැලකිය යුතු පිරිසක් යුක්තිය මෙහෙයුම නිසාම නීතියේ රැහැනට පසුගිය දිනවල කොටු වූ අවස්ථා එමටය.

නිධානයකින් ලබාගත් බවට සැක කරන පෞරාණික වටිනාකමකින් යුත් දඹ රන් බුදුපිළිමයක් සහ මැණික් ගල් හතරක් ඉකුත් පෙබරවාරි 03 වැනිදා රුපියල් ලක්ෂ 50කට විකිණීමට තැත් කළ දේවාලයක් පවත්වාගෙන යන තැනැත්තියක් අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරින්ට හැකි විය.

දඹ රන් බුදුපිළිමය සහ මැණික් ගල් හතර සමඟ එම දේවාලය පවත්වාගෙන ගිය ගල්නෑව පොලිස් වසමේ පත්තිනිගම පදිංචිකාරියක වන 62 හැවිරිදි සිරිමා කුමාරි නමැත්තිය අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් කළ මෙහෙයුම පොලිස් පොතේ සටහන් වන්නේ මෙලෙසය.

දිනය ඉකුත් පෙබරවාරි 2 දාය. එදින අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ විමර්ශන අංශ දෙක භාර උප පොලිස් පරීක්ෂක ආර්. ඩී. ජී. එල්. රාජපක්ෂ සොයා ඔහුගේ පෞද්ගලික තොරතුරුකරවකු පැමිණියේ කලබලයෙනි.

“ගල්නෑවේ පත්තිනිගම දේවාලයක් කරන ගෙදරක් තියෙනවා… ඒ ගෙදර ගෑනු කෙනා තමයි දේවාලේ කරන්නේ… ඒ ගෑනු කෙනා ළඟ ලක්ෂ පනහකට විකුණන්න මැණික් කැට හතරකුයි රත්තරන් බුදුපිළිමෙකුයි තියෙනවා… රේඩ් එකක් කළොත් අල්ලගන්න පුළුවන් වෙයි සර්…“ යැයි එම තොරතුරුකරු උපපොලිස් පරීක්ෂක රාජපක්ෂ ඉදිරියේ පැවැසීය.

අදාළ තැනැත්තියගේ නම්-ගම්ද ඇතුළු තොරතුරුකරු ලබා දුන් තොරතුරු අතර එම නිවසේ ලිපිනයද තිබිණි. උප පොලිස් පරීක්ෂක රාජපක්ෂට එය නියම හෝඩුවාවකි. පසුගිය කාලයේ ලැබුණු එවැනි තොරතුරු ඔස්සේ උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ වැටලීම් රැසක්ම කළ දක්ෂ නිලධාරියෙකි. තමන්ට ලැබුණු එම තොරතුර පිළිබඳව උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ සිය ජ්‍යෙෂ්ඨ නිලධාරින් දැනුම්වත් කරන්නේ ඒ මොහොතේමය.

ඒ අනුව අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණගේ උපදෙස් මත පොලිස් අධිකාරි ධර්මදාස අධිකාරිගේ අධීක්ෂණයෙන් එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරිගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ආර්. ඩී. ජී. ඩී. එල්. රාජපක්ෂ සමඟ සැරයන්වරුන් වන 24410 රළපනාව, 48059 අමිල, කොස්තාපල්වරුන් වන 57357 බණ්ඩාර සහ කොස්තාපල් රියැදුරු 14074 සුසිල් ඇතුළු කණ්ඩායම එම නිවස වැටලීමට මෙහෙයුමක් සූදානම් කරන්නේ සැකකාරිය ‘අතටම අල්ලා ගැනීම සඳහාය.

ඒ තොරතුර ලැබුණු දිනට පසු දින එනම්, පසුගිය පෙබරවාරි 3 වැනිදාය. එදින දහවල් පත්තිනිගම අදාළ නිවසේ විකිණීමට තිබෙන මැණික් ගල් හතර සහ රත්රන් බුදුපිළිමය මිලදී ගැනීමට යන ආකාරයට පොලිස් උපාය දූතයකු සූදානම් කෙරිණි. ඔහු එම ඒකකයේ සැරයන්වරයෙකි.

එම සැරයන්ට සරමක් සහ ෂර්ටයක් අන්දවා පෞද්ගලික කාර් රථයකින් එම නිවසට යැවීමට සූදානම් කෙරිණි.

එම කාර් රථයට පිටුපසින් උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ ඇතුළු කණ්ඩායමද පොලිස් ජීප් රථයෙන් පිටත් විය. උපාය දූත සැරයන් බුදුපිළිම විකිණීමට තිබෙන නොම්මර 62, පත්තිනිගම, කලංකුට්ටිය, ගල්නෑව ලිපිනයේ නිවසට ගියේය. ඒ වන විට එම නිවසේ දේවාලය පවත්වාගෙන යන කාන්තාව සිටියාය.

“ඔබතුමිය නේද දේවාලය කරන්නෙ…? මම පොඩි කාරණාවකට ආවේ… මට ආරංචියක් ආවා මැණික් වගේකුයි පිළිමයකුයි විකුණන්න තියෙනවා කියලා… මං ආවේ ඒක බලලා යන්න… මගේ මුදලාලි වාහනේ ඉන්නවා… මට මැණික් ටිකයි පිළිමෙයි බලන්න පුළුවන් ද?“ උපාය දූත වෙස්ගත් සැරයන් එලෙස විමසීය.

ඒ වනවිට එම කාන්තාව එම මැණික් සහ පිළිමය විකිණීමට කිහිප දෙනෙකුටම ඒ බව පවසා තිබිණි. උප පොලිස් පරීක්ෂක රාජපක්ෂට තොරතුරු ලැබුණේ ද එවැනි එක් පුද්ගලයකුගෙනි.

“ඔය කියන පිළිමෙකුයි මැණික් ගලුයි විකුණන්න මෙහේ නෑනේ මහත්තයෝ… කවුද ඔබතුමාට ඔය කතාව කිව්වේ… ඒක බොරුවක්…“ එම කාන්තාව නෝක්කාඩුවෙන් මෙන් පැවැසුවාය.

“නෑ… නෑ… මට පොඩි ආරංචියක් ආවා… ඒකයි මං මේ පැත්තේ ආවේ… මට ‘අහවලා‘ කිව්වේ… එයා ඔබතුමිය හොඳටම දන්න-කියන කෙනෙක්…“ උපාය දූත සැරයන් යම් පුද්ගලයකුගේ නමක් කීවේය.

ඒ සමඟම ඇගේ සැර බාල වූයේ එම පුද්ගල නම ඇය විසින් පිළිමය සහ මැණික් ගල් විකිණීම ගැන කියූ පුද්ගලයන්ගෙන් කෙනෙකුගේ නමක් වූ නිසාය.

“ආ… මහත්තයට එයාද කිව්වේ… එහෙනම් කමක් නෑ… එහෙම පිළිමයක් මගේ ළඟ තියෙන බව හැබෑව… හැබැයි මහත්තයෝ… ඒක මං විකුණන්නේ නම් නෑ“ යැයි කාන්තාව කීවේ ඇඟට-පතට නොදැනෙන ආකාරයෙනි.

“අනේ ඔබතුමිය එහෙම කරන්න එපා… අපි ඒවා අද අරගෙන යන්නමයි ආවේ…

කාර් එකේ සල්ලිත් තියෙනවා…“ උපාය දූත වෙස් ගත් සැරයන් කීවේය.
“ඒක විකුණන්න නෙවෙයි මහත්තයෝ තියෙන්නේ… මං පිළිමෙට පුද පූජා කරනවා… ඒක කොහොමටවත් විකුණන්නේ නෑ නෑමයි…“ ඇය ස්ථිරවම එලෙස කීවාය.
එහෙත් මඳ වේලාවක් දෙදෙනා අතර කතාබහ ඇදිණි. ඒ සමඟම ඇයගේ ‘නොවිකිණීමේ‘ කතා විලාසය ද වෙනස් වන්නට විය. “මහත්තයා… පිළිමෙයි… මැණිකුයි අරන් යන්නම ආව නම් කමක් නෑ… ඉන්නකෝ මං අල්ලපු ගෙදරට ගිහින් එනකම්…“ යැයි කී කාන්තාව අසල නිවසකට ගොස් සුදු රෙදිකඩකින් ඔතන ලද රන් පිළිමය සහ මැණික් ගල් හතර රැගෙනවිත් එය මිලට ගැනීමට පැමිණි පුද්ගලයාට දුන්නේ මාස ගණනාවක් පුරා ඇගේ සිතේ තිබූ ප්‍රාර්ථනාව ඉටුවන බව සිතමිනි.
“මේවා කීයටද ඔබතුමිය දෙන්නේ…“ උපාය දූත වෙස් ගත් තැනැත්තා විමසීය.
“මම ලක්ෂ පනහකට තමයි දෙන්නෙ…“ ඇය පැවැසුවාය.
“අයියෝ මිස් පිළිමේ චෙක් කරන්න කෙමිකල් එක ගේන්න බැරි වුණානේ… කාර් එකේ කෙමිකල් බෝතලේ… ඉන්නකෝ මං මහත්තයට කෝල් එකක් දෙන්නම් කෙමිකල් බෝතලේ අරන් එන්න කියලා…“ යැයි කී ඔහු එම ස්ථානයෙන් මඳක් පිටතට විත් දුරකතන ඇමතුමක් ගත්තේ එම නිවසට මීටර් 150ක් පමණ වන්නට ජීප් රථයේ සිටි උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ වෙතයි.
“සර්… වැඩේ හරි… ඉක්මනට එන්න…“ සැරයන්ගේ එම දුරකතන ඇමතුමත් සමඟ ක්ෂණයෙන් උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ ඇතුළු කණ්ඩායම එම නිවසට ගියහ. ඒ සමඟම එලෙස දඹ රන් බුදුපිළිමයක් සහ මැණික් ගල් හතරක් විකිණීමට තැත් කළ එම කාන්තාව පොලිස් අත්අඩංගුවට ගැනිණි.
ඇය 62 හැවිරිදි උදම්මිට රාලලාගේ සිරිමා කුමාරිය. ඇය තමන් පදිංචි නිවසේ දේවාලයක් පවත්වාගෙන යන්නේ කලක සිටය.
“කොහෙන්ද මේ පිළිමෙයි… මැණික් ගලුයි හම්බ වුණේ…?“ යැයි උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ සිරිමා කුමාරිගෙන් ප්‍රශ්න කෙළේය.
“සර්… මට කුඹුරක් තියෙනවා… මාස හයකට විතර කලින් කුඹුර කෙටුවා… ඒ වෙලාවෙ තමයි කුඹුරේ ගල් පතුරක් අස්සේ තිබිලා මේවා හම්බ වුණේ…“ යැයි ඇය පැවසුවාය. අනතුරුව මීටර් 100ක් පමණ ඈතට වන්නට පිහිටි එම කුඹුර ද ඇය විසින් පොලිස් නිලධාරින්ට පෙන්වීය.
මීට මාස හයකට පමණ පෙර එම පිළිමය සහ මැණික් ගල් ලැබුණ ද ඇයට ඒවා විකිණීමට නොහැකි වී තිබුණේ පවුලේ දූ දරුවන්ගේ විරෝධය නිසාවෙනි. සිරිමාගේ එකී ‘වැඩ‘වලට දරුවන් අකැමැතිය. එම නිසා ඇය එම පිළිමය සහ මැණික් ගල් නිවැසියන්ට හොර රහසේ තබා තිබුණේ වෙනත් නිවසක සඟවාය.
එහෙත් කල් යද්දී මුදල් හිඟතා සිදුවන විට ඇය එම දඹ රන් බුදු පිළිමය සහ මැණික් ගල් විකුණා ගැනීමට නොයෙක් පුද්ගලයන් දැනුම්වත් කළේ එය ‘රහසක්‘ ලෙස සඟවා තබාගන්නා ලෙසට ද උපදෙස් දෙමිනි. එහෙත් ඇය මැණික් සහ පිළිමය විකිණීම සඳහා ඒ ගැන තොරතුරු කී එක් පුද්ගලයකු මඟින් උප පොලිස් පරීක්ෂක රාජපක්ෂට තොරතුරු ලැබීමත් සමඟ ඇගේ පිළිම විකිණීමේ සිහිනය කෙසේ වෙතත් නීතියේ රැහැනට කොටු වීමට නම් සිදු විය.
ඒ අනුව අත්අඩංගුවට ගත් සිරිමා කුමාරි අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරින් විසින් අදාළ පොලිස් වසම වන ගල්නෑව පොලිසියට භාර දීමෙන් පසු ගල්නෑව පොලිස් නිලධාරින් විසින් කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. එහිදී සිරිමා කුමාරි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
මීට පෙරද මෙම කාන්තාව දේවාරූඪයෙන් කියා තිබුණේ ඇගේ නිවසට යාබද නිවසකද නිධානයක් තිබෙන බවයි. ඒ බව අසල්වාසී නිවැසියන්ට කී පසු එම නිවැසියන් ද මීට මාස හයකට පමණ පෙරදී එම නිධානය සොයා කැණීම් සිදු කරද්දී ගල්නෑව පොලිසිය විසින් වටලා එම පිරිස ද අත්අඩංගුවට ගෙන තිබිණි.
කෙසේ හෝ තමා සතුව තිබූ දඹ රන් පිළිමය සහ මැණික් ගල් හතර විකිණීම කෙසේ වෙතත් අවසන සිරිමා කුමාරිට සිදු වූයේ බන්ධනාගාරයේ කූරු ගණින්නටය.
උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද, අනුරාධපුර-පොලොන්නරුව දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන, අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණගේ උපදෙස් මත පොලිස් අධිකාරි ධර්මදාස අධිකාරිගේ අධීක්ෂණයෙන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරිගේ මෙහෙයවීමෙන් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ විමර්ශන අංශ දෙක භාර උප පොලිස් පරීක්ෂක ආර්. ඩී. ජී. එල්. රාජපක්ෂ සමඟ සැරයන්වරුන් වන 24410 රළපනාව, 48059 අමිල, කොස්තාපල්වරුන් වන 57357 බණ්ඩාර සහ කොස්තාපල් රියැදුරු 14074 සුසිල් ඇතුළු නිලධාරීහු වැටලීමට එක් වූහ.

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division