Home » මම පොර කියලා කීම යථාර්ථවාදී නැහැ

මම පොර කියලා කීම යථාර්ථවාදී නැහැ

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි

by Mahesh Lakehouse
March 16, 2024 12:30 am 0 comment

ජනාධිපති අපේක්ෂකයෙක් තෝරගන්න බැරිව පොහොට්ටුව මහ මැතිවරණයකට යන්න හදනවා කියනවා?

ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුත්තේ ජනාධිපති මැතිවරණයයි. එය ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතුයි. ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙයි. අපේක්ෂකයන් තෝරා ගැනීමේ කිසිදු ගැටලුවක් නැහැ. හැබැයි දිනන අපේක්ෂකයාව තමයි මේ යොදා ගන්න අවශ්‍ය දිනන කෙනෙක් කොහොමත් ඉදිරිපත් වෙයි. ඒ සඳහා සුදුසු කෙනෙක් ඉදිරිපත් වෙයි. පොහොට්ටුවේ සන්ධානයට එකතු වී සිටින දේශපාලන පක්ෂයක් අපේ පක්ෂයත්.

ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානයක් ඉදිරියේදී ගොඩනැඟෙනවා, එය විශේෂයෙන් සියලු පක්ෂ වලට අභියෝගයක් වෙයි නේද?

සියලු දෙනා එකට එකතු වීම හොඳයි. එහි නායකත්වය පිළිබඳව සමාජය තුළ විශ්වාසයක් නැහැ. පක්ෂයට අවශ්‍ය වෙන්නේ විශ්වාසයයි. කෙසේ වුවත් මම නියෝජනය කරන්නේ මහජන එක්සත් පෙරමුණ පොදු ජන පෙරමුණ තුළ සන්ධානගත වූ එක් පක්ෂයක් පමණයි. අපි පක්ෂයක් හැටියට ජනතාව, වෘත්තිය සමිති රැස්වීම් කරනවා. ආසන මට්ටමින් මහජන එක්සත් පෙරමුණේ කණ්ඩායම් රැස් කරමින් රැස්වීම් පවත්වනවා.

ඔබේ පක්ෂය සන්ධානගතවී සිටින පොජපෙ නැවත් නැඟිටීමක් නැහැ කියලයි ජවිපෙ කියන්නේ?

අපේ රටේ දේශපාලන පක්ෂ තියෙනවා. එක් එක් තීරක බලවේග තියෙනවා. ඒවගේ පොදුජන පෙරමුණ ජාතිකවාදී ප්‍රගතිශීලි වමට බර දේශපාලන ව්‍යාපාරයක්. සමහර දේශපාලන පක්ෂවල අය පක්ෂ නායකයන් විවේචන කරමින් කරන දේශපාලනයක් කරන්නේ. කෙසේ වුවත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට මේ රටේ ජනතාව ආදරේ කරනවා.

රට ගොඩගන්න පුළුවන් සජබයට පමණයි කියලා ඔවුන් කියන්නේ?

හැම කෙනෙකුගේම මේ අවස්ථාවේ අවශ්‍යතාව එයයි. එය එක් පක්ෂයකට පමණයි කියන අදහසට අපිට එකඟ වෙන්න බැහැ. සියලු දෙනාටම එහි අවශ්‍යතාවක් තිබිය යුතුයි. මම පොර කියලා කීම යථාර්ථවාදී නැහැ. රට ගොඩනැඟීමේ අවශ්‍යතාව තිබිය යුතුයි සියලු දෙනාටම.


අපිට පුළුවන් ද බැරි ද කියලා සහතික අවශ්‍ය නැහැ
– ජාතික ජන බලවේගයේ, ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජවිපෙට කරන්න පුළුවන් දෙයක් නැහැ කියලා සජබ මන්ත්‍රිවරු කියනවා ?

ඔය කියන මන්ත්‍රිවරුන්ගේ දේශපාලනය ගැන අපි දන්නවා. යූඑන්පී එකෙන් පොහොට්ටුවට යනවා සජබ ගිහින් දැන් කියන දේවල් අපි දන්නවා. මේ රට ආර්ථික වශයෙන් බංකොලොත්වීම ගැන වගකියන්න අවශ්‍ය ගෝඨාභය රාජපක්ෂ පමණක් නොවෙයි. හිටපු පාලකයෝ සියලු දෙනා වගකියන්න අවශ්‍යයි. ජාතික ජන බලවේගයට පුළුවන් ද බැරි ද කියලා කාගෙන්වත් සහතික අවශ්‍ය නැහැ. මේ රටේ ජනතාව අනුමත කරමින් යනවා අපිට පුළුවන් කියලා . අපි ආණ්ඩුවක් අරගෙන කරන වැඩ එදාට බලමු. ඒ සම්බන්ධයෙන් ඉදිරි මැතිවරණයකදී බලාගන්න පුළුවන් වෙයි.

කවුරු තරඟ බිමේ හිටියත් දිනන්නේ පොහොට්ටුව කියලා ඒ අය කියනවා.?

මේවන විට පොහොට්ටුවේ නැවත නැගිටීමක් නැහැ. කිසිඳු රාජපක්ෂවරයෙක්ව ජනාධිපති අපෙක්ෂකයෙකු ලෙස පිළිගන්නේ නැහැ. රාජපක්ෂවරයෙකුට හෝ පොහොට්ටුවට ජනතාව ඡන්දය දෙන්නෙ නැහැ. පළමු වැනි කාරණාව තමයි ඡන්දය කල් දැමීමට කිසිවෙකු ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරීමේ නොහැකියාව සහ ජනතාව නැවත රාජපක්ෂවරයෙකුට ඡන්දය නොදීම. පරාජයට පත් වූ පක්ෂයක් බවට පොහොට්ටුව පත්වී ඉවරයි. පොදුවේ බිම් මට්ටමේ දේශපාලන කටයුතුවලට පවා ඔවුන්ට තියෙන විරෝධය ඔවුන් දන්නවා. ඒ නිසා ඒ අය කැමැති ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයට යන්න. මේ කරන්නේ තමන්ගේ පක්ෂ අභ්‍යන්තරයේ ඇති ගැටලුවක් විසඳා ගැනීමක්.

තරුණ කොටස් දේශපාලනය ගැන කලකිරී ඉන්නේ කිව්වොත්?

තරුණ කොටස් දේශපාලනය ගැන කලකිරිලා නැහැ. ඒ අය මැදිහත් වෙන ආකාරයේ යම් වෙනසක් ති‌ෙයනවා. සමාජ මාධ්‍ය ලෙස බැලුවාම අපිට සහයෝගය දක්වන හැටි සහ මෙරට පාලනය කරපු අයට විරෝධය දක්වන හැටි පේනවා. ෆේස් බුක් බලඇණියක් විතරයි අපිට තියෙන්නේ කියලා ඒ අය කියනවා. නමුත් ඒ කමෙන්ට් දිහා බැලුවාම පේනවා; ස්වේච්ඡාවෙන් මේ රටේ දේශපාලන ගමන වෙනස් කරන්න ඒ අය කැමැතියි කියලා ඒ අයගේ කමෙන්ට් සහ ෆේස් බුක් පවත්වා ගෙන ආකාරයෙන් පේනවා. මේ ආණ්ඩු පක්ෂය විපක්ෂ කලබල වෙලා ඉන්නේ. අනෙක් පැත්තේන් කාන්තා සමුළු ශක්තිමත් කරලා තියෙනවා. බස්වලින් අපි සෙනඟ ගෙනියනවා කියනවා. මේවා පරාජය වහගන්න කියන කතා. මැතිවරණයකදී බලාගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා.


බලය ලබාදිය යුත්තේ ජාතික ආරක්ෂාව සහඅනන්‍යතාව ආරක්ෂා කරන පක්ෂයකටයි
– නිදහස් ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චන්න ජයසුමන

නිදහස් ජනතා සභාව තවම තියෙනවාද?

ඔව්. නිදහස් ජනතා සභාව අපි ලියාපදිංචි දේශපාලන පක්ෂයක් නෙවෙයි. අපි කණ්ඩායමක් හැටියට පාර්ලිමේන්තුවේ සහ විපක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් හැටියටත් කටයුතු කරනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ “ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය ග්‍රන්ථය” සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?

ඇත්තටම එතුමාගේ ඒ ග්‍රන්ථයෙන් අත්දැකීම් හෙළිදරව් කරපු එක හොඳයි. විශේෂයෙන්ම අද සමාජ මාධ්‍ය තුළින් පමණක්ම ලෝකය දකින පරම්පරාවට ලෝකයේ දේශපාලනික තත්ත්ව සහ විවිධ රටවල් තමන්ගේ දේශපාලන ආර්ථික සහ සමාජීය සිද්ධි සම්බන්ධයෙන් මූලිකවම මෙහි පැහැදිලි තැන් තියෙනවා. විවිධ රටවල් තමන්ගේ අභිලාෂ මුදුන්පත් කර ගන්න කොහොමද කටයුතු කරන්නේ කියන කාරණය පිළිබඳ යම් අවබෝධයක් ලබාගන්න ඒ ග්‍රන්ථය වැදගත්. එදා අපි කියපු විදිහට එතුමා වැඩ කළේ නැහැ. එතුමා අපේ හඬට ඇහුම්කන් දෙන්නේ නැතිව එතුමා වටා හිටපු හමුදා නිලධාරීන් කිහිප දෙනෙක්ගේ හඬට තමයි ඇහුම්කන් දුන්නේ. එතකොට ඒ දිනවලම අපි ඒ ගැන විවේචනය කළා.

වියත් මඟට මොකද වුණේ?

මම වියත් මඟේ සාමාජිකයෙක් නොවුණත් මම එහි වැඩවලට සහභාගි වෙලා තිබෙනවා. දායකත්වය ලබාදීලා තිබෙනවා. මගේ සම්බන්ධය එපමණයි. ඒ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගොඩනඟාගෙන සිටිය සංවිධානයක්. එතුමාගේ ඉවත් වීමත් සමඟ එයත් පරිහානියට පත් වී ඇති බව පේනවා.

ඊළඟ මැතිවරණයට නිදහස් ජනතා සභාව සන්ධානගත වෙන්නේ කුමන පක්ෂයක් සමඟ ද?

නිදහස ජනතා සභාව තුළ විවිධ දේශපාලන මත ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතාම පැහැදිලි සංවාදයක් තියෙනවා. යම් පිරිසක් ඍජුවම සජබ බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමඟ එකතු වීමක් තියනවා. තවත් කණ්ඩායමක් පුළුල් දේශපාලන සංවාද ඇති කරගෙන තියෙනවා. ඉදිරියේදි එන කවර හෝ මැතිවරණයකදී සහය ලබා දිය යුත්තේ මේ රටේ ජාතික සම්පත් විකුණන්නේ නැති බටහිර හෝ ඉන්දියාවට කඹුරන්නේ නැති, ජාතික ආරක්ෂාව සහ අනන්‍යතාව ආරක්ෂා කරන්න පුළුවන් පක්ෂයකට සහ කණ්ඩායමකට පමණයි. අද ජාතික අනන්‍යතාවයට ජාතික ආරක්ෂාවට ලොකු තර්ජනයක් තියෙනවා කියලා පේනවා.


අපේ පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් නිසා නිදහසේ සිතීමට ඉඩ තියනවා
– සජබ පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂිම්

ජනාධිපතිවරයා වටා සජබ ඇතැම් පිරිස් එකතු වෙනවා නේද?

අපි නම් දන්නෙ නෑ, එහෙම එකක්. අපි දන්න තරමට ඕනම මැතිවරණයකට, ජනාධිපතිවරණයකට, මහ මැතිවරණයකට වෙනත් පක්ෂ එකතු වෙනවා. සජබ ප්‍රගතිශීලී බලවේග ඉන්නවා නම් සම්බන්ධ වෙන්න කියලා අපි ආරාධනා කරනවා. නමුත් අපේ ප්‍රතිපත්තිය අපේ වැඩපිළිවෙළ අනුව වැඩ කරනවා නම් පමණයි.

සජබ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නේ කවද ද?

අපි ආර්ථිකය පිළිබඳව දැනටම ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කර තියෙනවා. අපි තමයි එකම දේශපාලන පක්ෂය ආර්ථිකය පිළිබඳව පොදු වැඩසටහනක් ඉදිරිපත් කරපු. මේ අර්බුදයෙන් ඉවතට එන්නේ කොහොමද කියලා අපි පුළුල් විග්‍රහයක් එහිදී ඉදිරිපත් කර එහි පිටපතක් නිකුත් කළා. එය නැවත සංශෝධනය කර ඉදිරිපත් කළා. විටින්විට ආර්ථිකයම පරිසරය සහ ඉලක්ක වෙනස් වන නිසා අපි නැවත සංශෝධන ඉදිරිපත් කරනවා. මිනිස්සුන්ව වින්දනයට පත් කරන්න වේදිකාවල කතා කියලා වැඩක් නැහැ. ආර්ථිකමය ගැටලුවලටයි පිළිතුරු ලබා දිය යුත්තේ.

පක්ෂයේ අභ්‍යන්තරික ගැටුම් දැන් බිම් මට්ටම දක්වා ගිහින් නේද?

අපේ පක්ෂයේ කිසිඳු ගැටුමක් නැහැ. මෙය හිට්ලර්ගේ පක්ෂයක් නොවෙයි. ඒකාධිපති පාලකයෙක් හෝ පක්ෂයක් නොවෙයි.

අපිට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස නිදහසේ හිතන්න ඉඩ තියෙනවා. පක්ෂයේ ව්‍යවස්ථාමය නීතිරීති කඩ කෙරුවාම ඒ අයව අපිට ඉවතට දාන්න වෙනවා. ඒ නිසා ඉවසීමෙන් සියලු දෙනාගේම අදහස් ගොනු කරගෙන සමඟියෙන් කටයුතු කරනවා. පොඩි පොඩි පරස්පර අදහස් තියෙන්න පුළුවන්. ඒ දේවල් සාමාන්‍ය දෙයක්. කොයි පක්ෂයේ ද එවැනි මතවාද නැත්තේ. එය පක්ෂයේ ඉදිරි ගමනට බාධාවක් නොකර ගෙනයි යා යුතු වෙන්නේ.

ඔබේ සජබ නායක IMF නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඇයි?

IMF අපි හැමදාම දකින්නේ ඒ අය මාර්ගෝපදේශකයන් පමණයි. ඒ අය අපේ ප්‍රතිපත්ති හදන හැටි අපේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ආකාරය ගැන බලපෑම් කරන්නේ නැහැ. අදහස් උපදෙස් පමණයි ඒ අය ලබා දෙන්නේ. IMF සමඟ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන ප්‍රධානම කාරණාව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division