Home » මිනිසුන් රවටා සල්ලි ගරන පිටකොටුවේ හොර ලොතරැයි සූදුව

මිනිසුන් රවටා සල්ලි ගරන පිටකොටුවේ හොර ලොතරැයි සූදුව

by thanushika
March 9, 2024 12:30 am 0 comment

“ස්විප් එකක්වත් ඇදෙන්න ඕනෑ මේ ණය කන්දෙන් නිදහස් වෙන්නනං… මට නම් ලොකු විශ්වාසයක් තියෙනවා කවදහරි ස්වීප් එකක් ඇදෙයි කියලා. ඒකනේ මම වරද්දන්නේ නැතුව හැමදාම ස්වීප් ගන්නේ…“

ජීවිතයේ දී ඇතිවන නොයෙක් ආර්ථික ප්‍රශ්න හමුවේ බොහෝ දෙනෙක් එසේ සිතන බව නොරහසකි. එමෙන්ම ලොතරැයි දිනුම් ඇදුණු අය එම මුදල් මනා ලෙස ආයෝජනය කර ඉතා යහපත් ජීවිත ගත කරන බව ද පැහැදිලිය.

ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලොතරැයි අලෙවි කිරීමේ කටයුතු ආරම්භ කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිවය. එමෙන්ම ඉතා විනිවිදභාවයෙන් යුතුව සිදු කෙරෙන මෙම කටයුතුවලින් ජාතික ආර්ථිකයට විශාල ශක්තියක් සපයනවා මෙන්ම ජනතාවගේ දුගී දුප්පත්භාවය දුරු කිරීමේ කාර්යයටද විශාල අත්වැලක් සපයන බව නොරහසකි.

නගරයක් නගරයක් පාසා හන්දියක් හන්දියක් පාසා ඇති ලොතරැයි අලෙවි කුටිවලින් ලොතරැයි පත් මිලදී ගැනීමට ජනතාව පෙලඹී ඇත්තේ විශාල විශ්වාසයකින් යුතුවය. ඒ ඉතා විනිවිදභාවයෙන් සිදුකරන මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵල ඇස් ඉදිරිපිටම ලබා ගැනීමට හැකි වී තිබෙන බැවිනි.

එහෙත් මෙම ව්‍යාපාරයටද කූට වෙළෙන්දන්ගේ ආගමනය සිදුවී ඇත්තේ කිරි කළයකට ගොම බිඳක් මුසූ වූ පරිද්දෙනි. පිටකොටුවේ ජනාකීර්ණ වීදි සිසාරා අඩියෙන් අඩියට ඇති ලොතරැයි වෙළෙඳ කුටි අතරද නොයෙක් අක්‍රමිකතාවන් සිදු කරමින් ජනතාව මුළා කරන කපටි වෙළෙන්දන් අරක්ගෙන ඇති බව රහසක් නොවේ. පසුගිය කාලයේ පිට නැති කමිස විකිණීමේ ජාවාරමක් සිදු කෙරුණේද ඒ අයුරිනි. අහිංසක ජනතාව ගොනාට අන්දවා ඔවුන් අතේ ඇති තුට්ටු දෙකට විඳින හිතක් පපුවක් නොමැති කූට වෙළෙන්දන් නිසා පීඩාවට පත් වූ පුද්ගලයන් සුසුම් හෙළන්නේ කරකියා ගත හැකි දෙයක් නොමැතිවය.

ලොතරැයි මණ්ඩලයේ අලෙවි කුටිවලටද මෙවැනි වංචනික පුද්ගලයින් රිංගා ඇති බවට අනාවරණය වූයේ පසුගියදා පිටකොටුව පොලිසිය මඟින් සිදු කළ විමර්ශනයක ප්‍රතිඵල වශයෙනි. පුද්ගලයෙකු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව පිටකොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගම ඇතුළු නිලධාරින් විසින් මෙම විමර්ශන කටයුතු ආරම්භ කර තිබිණ.

“සර් මං පිටකොටුවෙදී රුපියල් සීයකට ලොතරැයි ටිකට් පහක් අරගෙන හීරුවා. ඒකට රුපියල් 180,000ක බෝනස් එකක් තියෙනවා කියලා කිවුවා. ඒක ගන්නනම් රුපියල් අටදාහක පැක් එකක් ගන්න කියලා කිවුවා. අටදාහේ පැක් එක ගත්තට පස්සේ එකයි පනහක දිනුමක් තියෙනවා කියලා කිවුවා. ඒක ගන්නනම් තව රුපියල් 65000ක පැක් එකක් ගන්න ඕනේ කියලා කිවුවා. ඒ හැටපන්දාහ ගන්න මං අතේ සල්ලි තිබුණේ නැහැ. මං අතේ තිබුණේ හතළිස්දාහයි. මං අතේ තිබුණ හතළිස්තුන්දාහට හරියන පැක් එකක් ඔයාට දෙන්නම් කියලා මට පැක් එකක් දුන්නා. ඒකට තුන්ලක්ෂ අසූදාහක දිනුමක් තියෙනවා කියලා කිව්වා. ඒ මුදල ගන්න ඕන නිසා මං හතළිස්තුන්දාහෙ පැක් එක ගත්තා. ඒක හීරුවට පස්සේ ඒකට එක දිනුමක්වත් නෑ කියලා කිවුවා. ඊට පස්සේ මගේ හිත හැදෙන්න නැවත මට ෆී ටිකට් එකක් දුන්නා. ඒකටත් දිනුමක් නෑ කියලා දිනුම් තිබුණ සේරම ටිකට් ටික එක්කම ඉරලා දැම්මා…“

පිටකොටුවේ පළමුවන හරස් වීදිය හා ඕල්කට් මාවත හමුවන හන්දියේ ඇති ලොතරැයි කූඩුව ළඟ නතර වී කඩි ගුලක් මෙන් පොදි කකා ලොතරැයි පත් සූරන පිරිසගේ දෑස්වල ඇත්තේ හෙට දිනයේ කෝටිපතියෙකු වීමේ සිහිනය බව සැබෑය. ඒ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් හඬ නඟා පවසන පරිදි දිනුම් ඇදී ඇති අය මුදල් ලබාගන්නා අයුරු ඇස්පනාපිටම දැකගත හැකි වන බැවිනි. කාගේ කාගේත් උනන්දුව දෙගුණ තෙගුණ වී ටිකට්පත් වැඩි වැඩියෙන් සූරන්නේ එබැවිනි. අතේ ඇති මුදල අවසන් වන තුරුම ටිකට් පත් සූරන ජනතාව ආපසු හැරී යන්නේ අවසානයේ හිස් අතිනි.

“ලක්ෂ ගණන් දිනුම් තිබුණු කීදෙනෙක් හිටියද එතන. මගේ ටිකට් ටිකට විතරයි ඇදුණේ නැත්තේ…“

දිනුම් ඇදුණු පුද්ගලයන් අලෙවි නියෝජිතගේ හිතවතුන් බව දන්නේ ඔවුන්ම පමණි. මෙම කපටි පුද්ගලයා අහිංසක ජනතාව මුළා කර ඇත්තේ ඒ අයුරිනි.

පිටකොටුවේ පොලිස් නිලධාරින් මෙම ස්ථානය අවට ආවේක්ෂණ රාජකාරියේ යෙදුණේ දිනක් දෙකක් නම් නොවේ. අලෙවි නියෝජිතයාගේ තැරැව්කරුවන් කවුරුන්ද යන්න හරිහැටි තෝරා බේරාගෙන හඳුනා ගැනීමේ කාර්යයට මුල් තැන දීමට මෙහිදී වගබලා ගත්තේ මෙම කූට උපක්‍රමයට ජනතාව හසු කරගන්නා අයුරු පැහැදිලි කරගත හැකි වන්නේ එවිට බැවිනි. කිසිවකුටත් අනුකම්පාවක් නොදක්වන මෙම කූට වෙළෙන්දා දිනකට සෑහෙන ටිකට් පොත් ප්‍රමාණයක් අලෙවි කරගැනීමට ද මේ මඟින් කටයුතු කර තිබෙන්නේ ඔහුගේ අතමිට සරු කරගැනීම සඳහාය. එහෙත් එය සාධාරණව කළ යුතුය. වංචා සහගත මෙම ක්‍රියාව නිවැරදිව හෙළිදරව් කර ගත් පිටකොටුව පොලිස් නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගත්තේ ඒ අනුවය. ලොතරැයි මණ්ඩලය විසින් නිකුත් කර ඇති අනුමත ටිකට්පත්වල කිසිම වරදක් නොමැති බවත් වරද ඇත්තේ ඒවා අලෙවි කරන ක්‍රමය තුළ බවත් මෙහිදී පොලිස් නිලධාරින්ට අනාවරණය කරගැනීමට හැකි වී තිබේ.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකු වන මෙම අලෙවි නියෝජිතගේ ලොතරැයි අලෙවි බලපත්‍රය අහෝසි කරන ලෙස ලොතරැයි මණ්ඩලයෙන් ඉල්ලීමක් කිරීමටද පොලිසිය මේ වන විට කටයුතු කර තිබෙන්නේ තවදුරටත් මෙවැනි වංචා සිදු කිරීම වළක්වා ජනතාව මෙම මුළාවෙන් බේරා ගැනීම සඳහාය. මොහු එසේ වංචා කළද අනෙකුත් අලෙවි නියෝජිතයන් වැඩි පිරිසක් එලෙස කටයුතු නොකරන අය බව ද සිහි තබාගත යුතුය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කොළඹ මධ්‍යම ලලිත් ලීලාරත්නගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී කොළඹ මධ්‍යම 1 කමල් කිරිඇල්ලගේ අධීක්ෂණයෙන් පිටකොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගම, උප පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න, කොස්තාපල්වරුන් වන 94404 අබේසිංහ, 98214 ප්‍රියසංඛ යන නිලධාරීහු විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

විනීතා මානෙල් ගමගේ - හල්තොට සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division