Home » ඩී.ආර් විජයවර්ධනයන් මඩකලපුවේ ව්‍යාපාරික මලලගම එම්. ඩබ්ලිව්. දිනමිණ කර්තෘ කළ හැටි

ඩී.ආර් විජයවර්ධනයන් මඩකලපුවේ ව්‍යාපාරික මලලගම එම්. ඩබ්ලිව්. දිනමිණ කර්තෘ කළ හැටි

by Mahesh Lakehouse
February 17, 2024 12:30 am 0 comment

පෙබරවාරි 23 වැනිදාට යෙදෙන ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 138වැනි ජන්ම සංවත්සරය වෙනුවෙනි

පෙබරවාරි 23 වැනිදා සැලකෙන්නේ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ ජන්ම දිනය ලෙසය. දේශපාලනයට ඒමට පෙර ආනන්ද තිස්ස ද අල්විස් මෙරට පත්‍රකලාව තුළ දැවැන්ත චරිතයක් විය. මේ කඩවසම් ආනන්ද තිස්ස තරුණ කාලයේ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් යටතේ ලේක්හවුසියේ සේවය කළ පුද්ගලයකු ද විය. යළි උපන් ලංකාදීපය ඇරඹෙන්නේ 1986 දී ඩී.ආර්. විජයවර්ධනයන්ගේ උපන්දිනය දාය. විජයවර්ධනයන් ලේඛකයකු ලෙස ආනන්ද තිස්සට තම පුවත්පත තුළ අත දිගහැර ලියන්නට අවස්ථාව උදාකර දුන්නේය.

මෙයින් වසර 34කට පෙර 1990 දී ආනන්ද තිස්ස තම මතකය විජයවර්ධනයන් ගැන පළ කළේ මෙසේය.

“හරිම පුදුමයක්. විජයවර්ධන මහතාගේ පුවත්පත් සමූහයට අභියෝගයක් ලෙස එදා ඇරඹුන ලංකාදීපය කලකට පසු නතර වුණා. මේ ආකාරයට නතර වූ ලංකාදීපය යළි උපන්නෙ “විජය” ප්‍රකාශනයක් ලෙසිනුයි. මේක පුදුමයක් වගේම ලංකාදීපය පැත්තෙන් බලන විට දෛවයේ සරදමක් ලෙස සලකන්නත් පුළුවන්. විශාල පුවත්පත් සමූහයක් භාෂා තුනකින් පවත්වා ගෙන ගිය විජයවර්ධන මම දකින්නේ අපේ පුවත්පත් කලාවේ පදනම ලෙසයි. නමුත් අපි තවත් පැත්තක් අමතක කර දමා තිබෙනවා. ඒ තමා දේශපාලන නිදහස පතා ඇරඹි ව්‍යාපාරවලට පසුබිමේ සිට අවශ්‍ය ශක්තිය සැපයූ පුද්ගලයා ඔහු බව.”

ආනන්ද තිස්ස අල්විස් විසින් ඩී.ආර්. විජයවර්ධනයන්ගේ ලේඛක මතකය ගැන සටහනක් තබා ඇත්තේ ද මෙසේය.

“වරක් මා ලේක්හවුස් පුස්තකාලයේ සේවය කරද්දී කතුවැකි රචකයෙක් පැමිණ ඊට පෙර සතියේ ‘ලන්ඩන් ටයිම්ස්’ පත්‍රයේ පළවී ඇතැයි විජයවර්ධන මහතා ඔහුට කී ලන්ඩන් නුවර ආදාහනාගාරයක් විවෘත කිරීම පිළිබඳ පුවතක් ඉල්ලුවා. පුවත්පත කිහිපවරක්ම බැලුවත් එවැනි ප්‍රවෘත්තියක් එහි තිබෙනු මා නොදුටුවෙන් ඒ බව මා ඔහුට කීවා. එවිට ඔහුගේ පිළිතුර වූයේ ‘එම්.ඩී. (මැනේජින් ඩිරෙක්ටර්) ඔය පත්තරේ ඒ ප්‍රවෘත්තිය තියෙනවා කිව්ව නම් ඒක තියෙන්නම ඕන’ යන්නයි. පසුව යළිත් පරික්ෂාවෙන් බලන විට එම පුවත පත්තරේ එක් පිටුවක පහළම කොණක සිරස්තලක් පවා නැතිව පේළි දෙකකට සීමා වී පළවී තිබෙනු දැකිය හැකි වුණා.

විජයවර්ධනයන්ට තිබුණේ එවැනි සුවිශේෂ මතකයක්. ඔහුගේ මතකය ගැන සෙසු සේවකයන් තුළ තිබුණෙත් එවැනිම විශ්වාසයකුයි. කතුවැකි රචකයාට ඔහු එම ප්‍රවෘත්තිය කියවන්නැයි දැනුම් දී තිබුණේ ලංකාවට ද එවැනි ආදාහනාගාරයක පවතින අවශ්‍යතාව පෙන්වා කතුවැකියක් ලියනු පිණිසයි.

“අපි නොදන්නා නිවුස් තොගයක් එම්.ඩී. දැනගෙන හිටියා.” විජයවර්ධනයන් සමඟ සිරිත් පරිදි පැවැත්වෙන දෛනික සාකච්ඡාවකට ගොස් ආ පුවත්පත් කතුවරුන් එකිනෙකා සමඟ කතාවෙනු බොහෝවිට එකල අපට අසන්නට ලැබුණු දෙයක්. ඒ ඔහු සැබෑ පුවත්පත්කරුවකු මෙන් රටේ තොටේ සිදුවෙන දේ ගැන විමසිලිමත්ව සිටි නිසයි.

ආනන්ද තිස්ස අල්විස් නමැති ලේඛකයා තමන්ව ලේඛකයකු කිරීම ගැන ඩී.ආර්. විජයවර්ධනයන්ට තුති පුදා ඇත්තේ තම ප්‍රථම ග්‍රන්ථය වූ ‘යළි එළිවෙන්න එපා’ නමැති කෘතියෙන් බව අද බොහෝ දෙනා නොදන්නා කරුණකි.

මෙරට ග්‍රන්ථකරණයේ යෙදෙන ලේඛකයකු ජනපති ධුරයට පත්වන්නේ ආර්. ප්‍රේමදාස නම් වූ දෙවැනි විධායක ජනාධිපතිවරයා ලෙසය. ලේඛකයකු ලෙස මුල්ම ලිපිය ආර්. ප්‍රේමදාසයන් පළකොට ඇත්තේ ඩී.ආර්. විජයවර්ධන යුගයේ ‘සිළුමිණ’ පුවත්පතේය. ඒ හික්කඩුව ශ්‍රීලාල් ලියනගේ කර්තෘ ධුරය හෙබවූ සමයේය.

ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ සියවැනි ජන්මදින සමරුවේදී ආර්. ප්‍රේමදාසයන් ඒ ගැන තම මතකය අවධිකොට තිබුණේ මෙසේය.

“සුළුවෙන් පටන්ගත් පුවත්පත් ව්‍යාපාරයක් ලේක්හවුස් ප්‍රවෘත්ති පත්‍ර සමූහය වශයෙන් බලගතු ජනමත ප්‍රකාශන මාධ්‍යයක් බවට ගොඩනැගුවේ එතුමා විසිනි. වෘත්තියෙන් නීතිඥවරයකුව සිටිය ද, එම වෘත්තියෙන් අත්කර ගත හැකිව තිබුණු යශෝකීර්තිය එතුමා ප්‍රතික්ෂේප කළේය. එතුමා ඇදී ගියේ සිය මවුබිම විදේශ ආධිපත්‍යයෙන් මුදා ගැනීම සඳහා එකල පැවති ජාතික කාහල නාදය දෙසටය. සිය මවුබිම නිදහස කරා ළඟා කරවීමට එතුමාගේ ආයතනය මහෝපකාරී විය. එතුමා වැදගත් කොට සැලකුවේ එම ආයතනයේ විශාලත්වය නොව එහි ගුණාත්මක බවයි. පුවත්පතින් ඉටුවිය යුත්තේ පුවත් පළ කිරීම පමණක් නොව, එය දැනුම ගෙදරට ගෙනෙන, මහජනතාවට අධ්‍යාපනයක් සලසන මාධ්‍යයක් නොහොත් ජංගම සරසවියක් විය යුතු යයි ඔහු විශ්වාස කළේය.

“පියසේන නිශ්ශංක, මාර්ටින් වික්‍රමසිංහ, ශ්‍රී ලාල් ලියනගේ, ඩබ්ලිව්. ඒ. සිල්වා, මීමන ප්‍රේමතිලක, හේමපාල මුනිදාස වැනි භාෂාව, සාහිත්‍ය කලාව පිළිබඳ මනා දැනුමක් හා අවබෝධයක් ඇති පුවත්පත් කලාවේදීන් තම ප්‍රකාශන තුළින් හඳුන්වා දෙමින් එක්කර ගනිමින් විශාල පෙරළියක් ඇති කළේය. පුවත්පත් කර්මාන්තය තුළද ඔහුගේ සේවය කැපී පෙනෙයි. “සිළුමිණ” පුවත්පත “ශත දහයේ විශ්වවිද්‍යාලය” නමින් ප්‍රකට වූයේ ද මේ නිසාය.

මාර්ටින් වික්‍රමසිංහගේ ලේඛන කුසලතා දැක ඔහුව ලේක්හවුසියට බඳවා ගන්නේ ඩී.ආර්. විජයවර්ධනයන්ය. වික්‍රමසිංහයන් මුලින්ම දිනමිණට ලිපියක් සපයා ඇත්තේ 1916 ජනවාරි 21 වැනිදාය. වෘක්ෂලතා සහ සත්වයෝ නම් එම ලිපියේ නම සඳහන්ව ඇත්තේ මාටින් වික්‍රමසිංහ ලෙස නොව මලලගම එම්.ඩබ්ලිව්. ලෙසය. එවකට වික්‍රමසිංහ මඩකලපුවේ තරුණ ව්‍යාපාරිකයකු විය.

දිනමිණ පුවත්පතේ කතු මඬුල්ලට බැඳෙන විට වික්‍රමසිංහගේ වයස අවුරුදු තිහකි. මේ වන විට ඔහු කියවීමෙන් එක් රැස්කරගෙන තිබුණු දැනීම, එවක සාමාන්‍ය පත්තරකාරයකු නොලද ප්‍රමාණයේ දැනුම් සම්භාරයකි. ඊටද අමතරව ඔහු මනුෂ්‍ය ජීවිතයත්, ලෝකය හා සත්ව ගණයාත් පිළිබඳව අත්දැකීම් බහුල විය. ඒ වන තුරු ද, ඔහු කිසිදු මතවාදයක් හෝ දෘෂ්ටියක් හෝ හිසින් බදාගත්තෙක් වූයේ නැත.

ඩී.ආර්. ජයවර්ධන චරිතය, මාර්ටින් වික්‍රමසිංහගේ දිනමිණ සම්ප්‍රාප්තිය වාර්තා කොට තබන්නේ මෙසේය.

“අද ප්‍රසිද්ධ ලේඛකයකුව සිටින මාර්ටින් වික්‍රමසිංහ ආවේ මඩකලපුවේ තරුණ වෙළෙඳ ව්‍යාපාරිකයකුව සිටි ගමන්ය. ඒ කාලයෙහිත් ඔහු නොයෙක් ශාස්ත්‍රීය විෂයයන් ගැන ලියන ලද පොත් කියවා තබන ලද උගැන්ම ඇති ලේඛකයකුව සිටියේය.

මාර්ටින් වික්‍රමසිංහ වෘත්තීය පුවත්පත් කලාවට පිවිසෙන්නේ ඉතා විවෘත මනසකින් යුතුවය. ඒ වූ කලී, විචාරවත් හොඳ පත්තරකාරයකු බිහිවීමට තුඩු දෙන මානසික ශික්ෂණයකි. මාර්ටින් වික්‍රමසිංහ “සහජයෙන්ම පුවත්පත් කලාවට උරුමයක් දැක්වූ” කෙනෙකැයි, ඔහුගේ දීර්ඝ කාලීන පත්තර සගයකු වූ වී. (වික්ටර්) ඩී. ද ලැනරෝල් පවසන්නේ එහෙයිනි.

ගමෙහි පිහිටුවන ලද මුල් ඇත්තේ වී නමුදු, ඔහුට නාගරික ජීවිතය ද නුහුරු නොවෙයි. මන්ද යත් පැටි විය ඉක්මවූවත් සමඟම, මීට කලින් ද ඔහු කොළඹ නැවතී සුළු රැකියාවක් කර තිබූ හෙයිනි. අනෙක් අතට, මඩකලපුවේදී වුව, ඔහු ගතකළේ අර්ධ නාගරික ජීවිතයකි. ඒ නිසා වික්‍රමසිංහට නගරය නුහුරු තැනක් නොවීය. අනෙක් අතට ඔහුගේ තරුණ අවධියේදී නගරය, අද තරමට සංකීර්ණ ද ජනාකීර්ණ ද වී තිබුණේ නැත.

කෙසේ වෙතත් පත්තරකාරයකු හැටියට ජීවිතය උපයා ගැනීම සඳහා දෙවැනිවර කොළඹ නවතින්ට පැමිණ සිටින වික්‍රමසිංහ ගත කරන්නේ ගමත් නගරයක් අතර දෝලනය වන්නාවූ ජීවිතයකි. එය එක් ආකාරයක අඩ නින්දක් වැනිය.

කිසියම් චින්තන වාදයෙක එල්බ නොගත්තේ වුවද, ඔහුගේ ලෝක දැක්මත්, ආකල්පයත්, සැබවින්ම හේතුවාද ලක්ෂණවලින් පෝෂණය වූයේ වන, එකී ශික්ෂණය සකස් වනුයේ ඔහු කියවන ඉංග්‍රීසි පොතපත හේතුකොට ගෙනය. ඒ හික්මීම, ඔහුට සිංහල සමාජයත් සිංහල සංස්කෘතිය් දෙස ස්වාධීන වූ විවෘත මනසකින් බලන්නට ද අනුබල දුන්නේය.

ඔහු දිනමිණට බැඳී උපකතුවරයකු හැටියට එහි කතු මඬුල්ලෙහි තමාට හිමි තන්හි අසුන් ගැනීමෙන් ඉක්බිතිව, පත්තරයේ සෙසු කාර්යයන්ට අමතරව, සතියකට වරක් “හේතුවාදී” නමින් යළිත් ලියන්නට වන්නේය. ඒ ලිපි මාලාවෙහි මුඛ්‍ය අරමුණ වූයේ එදා සිංහල සමාජය තුළ පැළපදියම්ව පැවති ගතානුගතික අදහස් විවේචනයට ලක්කිරීමය. මේ ලිපි හේතුකොට ගෙන වාද විවාද ද පැන නැග්ගේය. ඒ වාද විවාද පත්තරයේ ජනප්‍රියතාවට මෙන්ම එහි බුද්ධි ප්‍රියතාවට ද ඇතැම් විට එහි අලෙවියට ද බලපෑවේය.

ලංකාවේ ප්‍රථම ප්‍රවෘත්ති අධ්‍යක්ෂ එච්.ඒ.ජේ. හුලුගල්ල හා සිළුමිණ ආරම්භකක කර්තෘ පියසේන නිශ්ශංකයන් විසින් ලියන ලද ඩී.ආර්. විජයවර්ධන චරිතාපදානයේ ‘දිනමිණ’ මිල දී ගත් හැටි ගැන සඳහන්ව ඇත්තේ මෙසේය.

ඩී.ආර්. විජයවර්ධනයන් සරසවි සඳරැස පත්‍රයේ කර්තෘවරයකුව සිටියා වූ ද ප්‍රසිද්ධ සිංහල පත්‍ර කලාවේදියකු වූ ද එච්.එස්. පෙරේරාගෙන් දිනමිණ පත්‍රය මිලට ගත්තේය. මේ ගනුදෙනුව පිළිබඳව ද කතාන්තරයක් ඇත. එච්.එස්. පෙරේරා අසාධ්‍ය රෝගයකින් ඔත්පල විය. ඔහුට අයත් පත්‍රය නවතින තැනට කරුණු යෙදුණේය. එසේ වීමෙන් රටට වන පාඩුවත් ලෙඩ ඇඳට වී සිටින එච්.එස්. පෙරේරාට මුදල් අතින් තිබුණ දුෂ්කරතා ගැන සැලකූ ඩී.බී. ජයතිලක ඒ දෙකම පිරිමැසෙන්නට පත්‍රය හොඳින් පවත්වාගෙන යෑමේ ශක්තිය ඇති කෙනකුට මිලට ගෙනදීමට අදහස් කළේය. මේ ගැන සිතන විට ජයතිලක මහතාට පෙනී ගියේ ඩී.ආර්. විජයවර්ධන මතාය. දිනපතා ඉංග්‍රීසි පුවත්පතක් මිලට ගැනීමට කලිනුත් සිතමින් සිටි විජයවර්ධන මහතාට මේ ගැන කතා කළ විට ඔහු ඊට කැමැති විය.

එකල දිනමිණ රොබට් බටුවන්තුඩාවේගේ ලංකා ලංකාභිනවවිශ්‍රැත යන්ත්‍රාලයෙහි මුද්‍රණය කරවන ලද ඩිමයි භාගේ කුඩා පත්‍රයකි. පත්‍රය මිලට ගන්නා කවරකුට වුවත් අයිතිවන්නට තිබුණේ දිනමිණ යන අකුරු සතර පමණය. එහෙත් විජයවර්ධනයන් තම සොහොයුරු ඩී.සී. විජයවර්ධනයන් ද කොටස්කාරයකු හැටියට ඇතිව එය මිලට ගෙන පිටකොටුවේ නෝරිස් වීදියෙහි ඉඩකඩ ඇති ගොඩනැඟිල්ලක වෙනමම යන්ත්‍රාලයක් පිහිටුවා උගත් කර්තෘ මණ්ඩලයක් ද පත්කරගෙන පත්‍රය විශාල කොට නව මුහුණුවරක් මුද්‍රණය කරවීම ආරම්භ කළේය.

මාර්ටින් වික්‍රමසිංහයන් සිළුමිණ පුවත්පතේ ද කතු ධුරය හෙබවූයේය. ඩී.ආර්. විජයවර්ධනයන් පුවත්පත් කතුවරුන් ගැන දැක්වූ මතවාදය ‘උපන් දා සිට’ කෘතියේ වික්‍රමසිංහ සඳහන් කරන්නේ මෙසේය.

“අලුත් දෙයකට අතගැසීමට බියවීම නිසා, අවුරුදු දහ අටක් පමණ පුවත්පත්කම කරමින් මම කාලය ගෙවීමි. පත්‍ර හිමියන්ට වුවමනා දේ ලිවීම, ඇතැම් විට කතුකම කරන්නාගේ හිත් වේදනාවට හේතු වුවද, පහසු කාරියකි. එවැනි කතුවැකියක් හෝ ලිපියක් මා ලියුවේ කලාතුරකින් දවසකයි. මට ඇති නිදහස අනුව පත්‍ර හිමියන්ගේ හැඟීමට ද කෙළින්ම පටහැනි නොවන සේ කතුවැකි හා ලිපි ලිවීම, කඹයක ගමන් කිරීම වැනි මදක් අමාරු කාරියකි.”

“තනිකර දේශපාලන ප්‍රශ්නයක් හැර රට, ජාතිය, බස පිළිබඳ අනික් ප්‍රශ්න ගැන මගේ වැටහීම කීමට මට එක්තරා නිදහසක් තිබිණ. ඒ නිදහසින් රටට සේවයක් කරන්නට වැටහෙන නුවණත්, අවංකකමත්, ඉවසීමත් ඇත්තාට, දිනමිණ හිමි විජයවර්ධන ඉඩ දුන්නේය. අමාරු වූයේ අවංකවත් මධ්‍යස්ථවත් ඒ කාරිය කිරීමයි.”

මාටින් වික්‍රමසිංහයන්ගෙන් පසු ඩී.ආර්. විජයවර්ධනයන් “සිළුමිණ” කතු ධුරයට පත්කරන ලද්දේ ලියනගේ පරම්පරාවේ පත්‍ර කලාවේ මීමුත්තාය. මේ ලියනගේ ඒ වන විටත් පදිංචිව සිටියේ වික්‍රමසිංහයන්ගේ නිවසේය. වික්‍රමසිංහයන් තම කාර්යාලයට මේ කැඳවූයේ හික්කඩුව ශ්‍රීලාල් ලියනගේය.

“හෙට හොඳට ඇඳගෙන එන්න මම ඔබවට සිළුමිණ කර්තෘ ධුරයට පත්කරනවා.” ඩී. ආර්. විජයවර්ධන පවසන්නට විය.

විජයවර්ධනයන්ට ඒ වන විට ඉපැරණි ටයිම්ස් ඔෆ් සිලෝන් කොම්පැනියෙන් පටන් ගත් ‘ලංකාදීප’ නම් පුවත්පතේ අභියෝගයට මුහුණ දෙන්නට අලුත් තරුණ කතුවරයක් අවශ්‍යව තිබුණි. නහයට අහන්නැති හික්කඩුව ශ්‍රීලාල් ලියනගේට විජයවර්ධන ‘සිළුමිණ’ භාර දුන්නේ ඒ නිසාය. වික්‍රමසිංහයන්ගේ කර්තෘත්වයෙන් ශ්‍රාස්ත්‍රීය මඟක ගිය ‘සිළුමිණ’ පොදු ජනතාවගේ ආදරය දිනාගත් ‘සත දහයේ විශ්වවිද්‍යාලය’ බවට පත් කළේ හික්කඩුව ශ්‍රීලාල් ලියනගේ විසිනි.

මෙහි වඩාත් දෛවෝපගත සිදුවීම වන්නේ ලංකාදීප බිහි කරන්නට මුල්වූ ඩී.බී ධනපාලයන් ද හඳුන්වා දුන්නේ ඩී.ආර්. විජයවර්ධන විසින් වීමය. එහෙත් ලංකාදීපයේ ආරම්භක නාමික කතුවරයා වූයේ ජූලියස් ලැනරෝල්ය. ඩී.බී. ධනපාලයන්ව පත්‍ර කලාවට ගෙන එන ලද්දේ ඩී.ආර්. විජයවර්ධනයන් විසින් බව අද බොහෝදෙනාට අමතකව තිබේ.

ඩේලිනිවුස්, දිනමිණ, සිළුමිණ පුවත්පත් ආරම්භයේම ලංකාවේ ජනමතය යායුත්තේ – ගෙන යා යුත්තේ කොතැනකට දැඩි න්‍යාය පත්‍රයක් විජයවර්ධනයන් සතු විය. පාඨක ආදරය දිනූ ලේඛකයන් හඳුනා ගැනීමේ පුදුම ඉවක් විජයවර්ධනයන් සතුවිය. ඉන්දියානු නිදහස් අරගල යුගයේ “ජේනස්” නමින් ලිපි ලියූ ලංකාවේ පුරවැසියකු වූ තිස්සමහාරාමයේ උපන් ඩී.බී. ධනපාලයන් ලංකාවට ගොසින් ලේක්හවුසියට සම්බන්ධ කර ගත්තේ ඩී.ආර්. විජයවර්ධනයන්ය.

ඩී.බී. ධනපාලයන්ව එදා විජයවර්ධනයන් ලංකාවට ගෙන්වා නොගත්තේ නම් ඩී.බී. ධනපාල නම් වූ ලේඛකයා ඉන්දියාවට සින්න වී මියපරලොව යෑමට තිබූ ඉඩකඩ බොහෝය.

ඩී.බී. ධනපාලයන් විසන් ලියා ඇති Among those Present නමැති ග්‍රන්ථයේ තමන්ව ඉන්දියාවේ සිට ‘සිලෝන් ඩේලි නිවුස්’ පුවත්පතට ඩී.ආර්. විජයවර්ධනයන් විසින් හඳුන්වා දුන් අන්දම ගැන සඳහන් කොට ඇත.

ලෙනාඩ් වුල්ෆ් නවකතාකරුවකු බවට පත් කරවමින් ප්‍රථම වරට ඔහුගේ “Village in the Jungle” නමින් වූ පසුව ලෝක ප්‍රසිද්ධියට ද ලක් වූ සිලෝන් රටේ අතිශය දුෂ්කර ගම්බද පළාතක ගැමියන් මුහුණ දුන් වෘත්තාන්තය ඉංග්‍රීසි නවකතාවක් ලෙස ප්‍රථම වරට මුද්‍රණයෙන් පළවූයේ වර්ෂ 1913 දීය.

විජයවර්ධනයන් තම පුවත්පත් තුළින් ලෙනාඩ් වුල්ෆ්ගේ කෘතියට දැවැන්ත ප්‍රචාරයක් ලබා දුන්නේය. එයින් නොනැවතී ලෙනාඩ් වුල්ෆ්ගේ සේවය ලේඛකයකු ලෙස සපයා ඔහු මෙරට ජනතාව අතර ලේඛකයකු ලෙස ජනප්‍රිය කළේ ඩී.ආර්. විජයවර්ධනයන්ය. බැද්දේගම යනුවෙන් ලෙනාඩ් වුල්ෆ්ගේ ග්‍රන්ථය සිංහලට පෙරළුනත් ඉන්පසු ලෙනාඩ් වුල්ෆ් ලංකාව ගැන පොත් තුනක්ම පළකරන ලදි. ඒවා ග්‍රන්ථ දෙස එළිදැක්වීමටත් පෙර ලිපි වශයෙන් එවකට ඩේලිනිවුස් පුවත්පතේ ඩී.ආර්. විජයවර්ධනයන් විසින් පළකොට තිබුණි. ඩී.ආර්. විජයවර්ධනයන් අභාවයත් සමඟ මෙම කෘති තුනෙන් එකක්වත් සිංහලයට පරිවර්තනය නොවීම කනගාටුවට කරුණකි.

ශූර ලේඛකයන් ගැන ඉවෙන් දත් විජයවර්ධනයන් ඩී. ඩබ්ලිව්. සේනාධීරයන්ට ‘දඩ ගහපු’ කතාව ද අමුතුම එකකි.

සේනාධීරයෝ ලේක්හවුසියට එක්වන්නේ 1926 දීය. එවකට ඒ.ඊ. ගුණසිංහයන්ගේ කම්කරු ව්‍යාපාරය බොහෝසෙයින් සාර්ථකව පැවැති යුගයක් විය. මේ දිනවල ගුණසිංහ පිළිබඳ ප්‍රවෘත්ති දිනමිණේ පළ කිරීම කුමක් හෝ කරුණක් නිසා අත්හිටුවා තිබුණේය. සේනාධීරට වෙන් දිනයෙක ගුණසිංහගේ රැස්වීමක් පිළිබඳ ප්‍රවෘත්තියක් ඔහුගේ මිතුරෙක් ගෙනවිත් දී එය දිනමිණේ පළ කරවා ගන්නට අවශ්‍ය බව පැවසීය. සේනාධීරයෝ ද එය දිනමිණේ පළ කළහ.

ප්‍රවෘත්තිය පත්‍රයේ පළවූ දින විජයවර්ධනයන් සේනාධීරට කතා කළේය. රුපියල් පහළොව බැගින් දඩ නියම කෙළේය. ඔහුගේ වැටුපෙන් එය අය කර ගන්නට විධාන කෙළේය.

සේනාධීරයන්ගේ ඉංග්‍රීසි දැනුම දුටු විජයවර්ධනයන් ‘ග්‍රන්ථකරණයට’ යොමු කිරීමට ආර්ථික වශයෙන් පවා අනුබල දී ඇත . ජී.බී. සේනානායකයන්ට දිනමිණේ රැකියාව විජයවර්ධනයන් ලබා දෙන්නේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ රෙකමදාරුව පිටය. විජයවර්ධන යුගයේ නිසඳැස බිහිවූ ආකාරය ගැන ජී.බී. සේනානායක සටහන් කොට ඇත්තේ මෙසේය.

මගේ මුල්ම නිසඳැස නිර්මාණය ‘දාසයා’

දාසයා මා විසින්ම කළ නිර්මාණයකි. එය ලීවේ මම මුල්වර දිනමිණෙන් අස්වූවාට පසුවය.

“දාසයා” නිදහස් පද්‍යය මෙසේය.

මට පුළුවනි
කටු සෙමිටියෙන්
පහර කන්න
වලන් කඩ
කරින් ගෙන
අරගෙන ගිහින්
කඩේ ඉඳගෙන
හෝදන්න පිළිවනි.
ඒත් ආත්මයෙන්
දාස වෙන්න

මේ කවිය ලියන්නට හේතු වූයේ තමා ලේක්හවුසියේ රස්සාව කිරීමෙන් ලද අත්දැකීම් යැයි සේනානායක පසු කලෙක කීය. තමා මේ කවිය පළ කිරීමෙන් ටික දිනකට පසු ලේක්හවුසියේ වැඩ කළ සිළුමිණ කර්තෘ මීමන ප්‍රේමතිලක තමා හමුවී සේනානායක දිනමිණෙන් අස් වී ගොස් පත්තරකාරයන්ට අපහාස කළායි චෝදනා කළ බව ද ජී.බී. පවසා ඇත.

එමෙන්ම ලංකාවේ ග්‍රාම සංවර්ධනයට නිසි ක්‍රමවේදයක් චින්තනයක් ලබාදීමට තම ඩේලි නිවුස් පුවත්පත මඟින් ඩී.ආර්. විජයවර්ධනයන් පියවර ගෙන තිබුණේ නවසිය විසිගණන් අගභාගයේදීය. මෙකී වකවානුවේදී නිරවුල් දර්ශනයක් ඇතිව කතා කළ හැකි ලේඛන ශක්තියක් ඇති තරුණයකු විජයවර්ධනයන් හඳුනාගත්තේ එංගලන්තයේදීය. ඔහු නමින් විල්මට් ඒ. පෙරේරාය. නවසිය තිස් ගණන්වල ආරම්භය වන විට මෙරට ග්‍රාමීය ජන ජීවිතය ගැන ආණ්ඩුවත්, එංගලන්තයේ කිරීට පාලකයන්ටත් අවබෝධයක් තිබුණේ නැත. අපේ ජන ජීවිතයේ කේන්ද්‍රස්ථානය වූයේ ගම බව විජයවර්ධනයන් හොඳ හැටි දැන සිටියේය. මෙකී වකවානුවේ විල්මට් පෙරේරා ඩේලි නිවුස් පුවත්පතට ලිපියක් ලියමින් මුල්වරට පෙන්වා දුන්නේ රටේ ජනතාවගේ තත්ත්වය නඟා සිටුවීමට නම් මුලින්ම අපි ජනතාවගේ තත්ත්වය නගා සිටුවිය යුතු බවය. ගම ගැන කොතරම් පුළුල් අවබෝධයක් විල්මට් පෙරේරාට තිබුණේ දැයි ඩී.ආර්. විජයවර්ධනයන් හොඳින් දැන සිටියේය. ගම නඟා සිටුවීමට ගම ගැන ලිවීමට විජයවර්ධනයන් තම ඩේලිනිවුස් පුවත්පතේ අතදිග හැර ලිවීමට විල්මට් පෙරේරාට අවස්ථාව දුන්නේ නියම දේශප්‍රේමියකු ලෙසය. ඉන් නොනැවතුණු විජයවර්ධන ඩේලිනිවුස් පුවත්පතේ පළ කෙරුණු විල්මට්ගේ ඇතැම් දේශප්‍රේමී ලිපි පරිවර්තනය කොට දිනමිණ පුවත්පතේ පළ කරන්නට ද උපදෙස් දුන්නේය.

“විල්මට්ගේ මේ ලිපි පෙළ පොතක් හැටියට මූලිකව ප්‍රකාශයට පත් කෙරෙන්නේ ඩී.ආර්. විජයවර්ධනයන්ගේ ලේක්හවුස් ප්‍රකාශනයක් ලෙසය. එයට තම PROBLEMS OF RURAL CEYLON යනුවෙන් හැඳින්විණි. මෙය පසුව “ග්‍රාමීය ලංකාවේ ප්‍රශ්න” නමින් සිංහලයට පරිවර්තනය කෙරිණි. එය ද විජයවර්-ධනයන්ගේ අනුග්‍රහය යටතේ මුද්‍රණය කෙරුණේ ලේක්හවුසියේමය.

ඩී.ආර්. විජයවර්ධනයන් ඉතිහාසගතව ඇත්තේ මෙරට මුල්ම විධිමත් පත්‍ර කලා අධිරාජ්‍යයක් ගොඩනැඟූ පුද්ගලයා ලෙසය. පත්‍රකලා අධිරාජ්‍යයක ලේඛකයන් වනාහි මඟුල් ගෙදරක මනමාලි වැනිය. පත්‍රකලාවේදීන් – ලේඛකයන් නැති පත්‍රකලා අධිරාජ්‍යයක් මනමාලිය නැති මඟුල් ගෙයක් වගේය. ඩී.ආර්. විජයවර්ධන විසින් මෙරට පත්‍රකලාවට හඳුන්වා දුන් ලේඛකයන් විසින් ඉතිහාසයේ විජයවර්ධනයන් බිහි කළ පත්‍ර කලා අධිරාජ්‍යයේ විජයවර්ධනයන් සිහසුන් ගැන්වූ බව ඉතිහාසය මනා ලෙස සාක්ෂි දරා ඇති බව අවසානයේ සඳහන් කළ හැකිය.

වජිර ලියනගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division