Home » රට කැලඹු දෙමටගොඩ කුඩු පවුල

රට කැලඹු දෙමටගොඩ කුඩු පවුල

by thanushika
February 17, 2024 12:30 am 0 comment

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් මේ වන විට මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙරට ජනතාව අතරින් කිහිප දෙනෙකු ඉපැයූ රුපියල් මිලියන 2141ක දේපළ වත්කම් ක්‍රියා විරහිත නැතිනම් තහනම් කර ඇති බව අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පැවැසීය. ඒ අනුව එම දේපළ වත්කම් සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිත බව හෙතෙම සඳහන් කළේය.

මේ අතර යුක්තිය මෙහෙයුම ඇරැඹි පසුගිය දෙසැම්බර් 17 දා සිට මේ වන විට නීති විරෝධි වත්කම් විමර්ශනය කොට්ඨාසය මඟින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිය වත්කම් ඉපැයූ ආකාරය නිසි ලෙස අනාවරණය කළ නොහැකියාව නිසා පුද්ගලයන් අටදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන අවසානය. එසේම එකී චෝදනා නිසා තවත් දසදෙනෙකු ද සැකකරුවන් ලෙස නම්කර ඇත.

එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ රුපියල් මිලියන 459කට ආසන්න වත්කම් සහ දේපළ ද තහනම් කර ඇත. යුක්තිය මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් අටදෙනා අතර ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දෙමටගොඩ රුවන්ගේ පුතු තරිඳු මධුෂංක, බිරිය ශානිකා ලක්මාලි සහ සමන්ති නිර්මලා රුවන්ගේ සහෝදරිය ද සිටින්නීය.

අත්අඩංගුවට ගත් අය අතර සිරිනායක පතිරණලාගේ රුවන් චමිල ප්‍රසන්න හෙවත් දෙමටගොඩ රුවන්ගේ පවුලේ අය විශේෂත්වයක් වන්නේ ඔවුන්ගේ සිය පවුලම පාහේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට පත්වීමයි.

ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරමකු වන දෙමටගොඩ රුවන්ගේ පවුලේ උදවිය ගතකරන අතිසුඛෝපභෝගී දිවියට අවැසි මුදල් කෙලෙස උපයනවා ද යන්න නිසි ලෙස අනාවරණය කිරීමට ඔවුන්ට නොහැකි වීම සහ දෙමටගොඩ රුවන් නීති විරෝධී ලෙස ඉපැයූ මුදල්වලින් මිලට ගත් යම් යම් දේපළ පසුගිය 31 වැනිදා අත්අඩංගුවට ගත් රුවන්ගේ පුතු, බිරිය සහ සහෝදරියගේ නම්වලට තිබීම මෙලෙස එම පවුලේ අය අත්අඩංගුවට ගැනීමට හේතු වූ බව පොලිසිය පවසයි.

කොළඹ කායවර්ධන මධ්‍යස්ථානයක සිටියදී ඉකුත් 31 වැනිදා අත්අඩංගුවට ගත් රුවන්ගේ පුතු භාරයේ තිබී බී.එම්.ඩබ්ලිව් රථ දෙකක්, ඩිපෙන්ඩර් රථයක් අත්අඩංගුවට ගැනිණි. එම දේපළවල වටිනාකම මිලියන 76කට අධිකය. බැංකු ගිණුම්වල රුපියල් කෝටි 17ක් ද තිබිණි. එම ගිණුම් ද තහනමකට ලක්කෙරිණි.

එසේම මොවුන්ගේ නම්වලින් විවිධ සමාගම් ද පවත්වාගෙන ගොස් තිබිණි. ඒ අතර රාත්‍රී සමාජ ශාලා සහ ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ආයතන ද විය. මේ වන විට එම ආයතන ද ක්‍රියා විරහිත කර තිබේ.

රුවන්ගේ බිරිය භාරයේ තිබී මිලියන 47ක් පමණ වටිනා මෝටර් රථයක්, විවිධ මූල්‍ය ආයතනවල ගිණුම් ක්‍රියා විරහිත කරනු ලැබීය. තවද රුවන්ගේ සහෝදරිය ද එම සමාගම්වල කොටස් ලබාගෙන කටයුතු කරමින් සිටි තැනැත්තියකි.

එලෙස අත්අඩංගුවට පත් රුවන්ගේ බිරිය, පුතු සහ සහෝදරිය ඉකුත් 8 වැනිදා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කළේය. එසේම මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඉදිරියේදී කොළඹ මහාධිකරණයේදී නඩු පවරන බවද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාස නිලධාරිහු එදින අධිකරණයට දන්වා සිටියහ.

පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් වෙනත් නඩුවකට අත්අඩංගුවට ගෙන පසුගිය කාලයේ බූස්ස බන්ධනාගාරයේ අධි ආරක්ෂිත කලාපයේ රඳවා මේ වනවිට මුදාහැර සිටින දෙමටගොඩ රුවන් මුලදී කළ කේරළ ගංජා ජාවාරමෙන් පසු ටොන් ගණන් මත්කුඩු මෙරටට ගෙන එමින් මත්ද්‍රව්‍ය රාජධානියක් ගොඩනඟමින් කෝටි ගණනින් මුදල් උපයමින් ගෙවූ දිවියට ‘තිත‘ තැබීමේ පසුබිම් කතාව දිගහැරෙන්නේ මෙලෙසිනි.

එවකට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ආරම්භව ගතවූයේ වසරකටත් අඩු කාලයකි. 2020 වසරේ අවසාන භාගයේ දිනක රුවන් චමිල ප්‍රසන්න හෙවත් දෙමටගොඩ රුවන් නමැත්තා සිය වත්කම් උපයාගෙන ඇති ආකාරය පිළිබඳව විමර්ශනයක් කරන ලෙස එවකට පොලිස්පතිව සිටි සී.ඩී. වික්‍රමරත්නගෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් හට උපදෙස් ලැබී තිබිණි.

ඒ අනුව රුවන් ගැන විමර්ශනයක් සිදුවෙද්දී 2021 වසරේ අප්‍රේල් 19 වැනිදා ‘ශෂිලා දුව‘ බෝට්ටුවේ ගිය මෙරට ධීවරයන් පස්දෙනෙකු හෙරොයින් කිලෝ 340ක් සමඟ ඉන්දීය ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වූයේ රුවන්ලාගේ දෛවය වෙනස් කරන ගමනක ආරම්භය ලෙසිනි. එම පස්දෙනා ඉන්දීය ආරක්ෂක අංශ අත්අඩංගුවේදී පවසා තිබුණේ තමන් එම මත්කුඩු පිළිබඳව කිසිවක් නොදන්නා බවයි. එහෙත් තම කණ්ඩායම රැගෙන යන මත්කුඩු තොගය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ පිරිසක් සිටින බවද ඔවුන් අනාවරණය කර තිබිණි.

වහා ක්‍රියාත්මක වූ ඉන්දීය ආරක්ෂක අංශ ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව මෙරට ආරක්ෂක අංශ දැනුම්වත් කළේ මත්ද්‍රව්‍ය තොගය ලබාගැනීමට මෙරට සිටින කණ්ඩායම ගැන වහා විමර්ශනයක් සිදු කරන ලෙසයි.

ඒ අනුව සැණින් ක්‍රියාත්මක වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඉන්දීය අත්අඩංගුවේ පසුවූ අයගේ සැටලයිට් දුරකතන ඔස්සේ විමර්ශන සිදුකොට හලාවත තොඩුවාවේ සහ නුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගැනුණේ 2021 වසරේ සැප්තැම්බර් දිනෙකයි. ඒ ඉන්දීය අත්අඩංගුවට පත්වූ මත්කුඩු තොගය මෙරට තුළදී ලබා ගැනීමට සිටි කණ්ඩායමයි.

එම කණ්ඩායමට අයත් වූයේ හලාවත, තොඩුවාවේ පදිංචිකරුවන් වන නුවන් ප්‍රියලාල් තිසේරා, අසංක සුමින්ද පෙරේරා, මියුසියස් තිසේරා හෙවත් ලක්ෂ්මන් සමඟ රියැදුරෙකු වූ නුවර පදිංචි ශ්‍රීමාල් ප්‍රනාන්දුය.

අත්අඩංගුවට ගත් එම මහා පරිමාණ හෙරොයින් තොගය ලබාගැනීමට බලාපොරොත්තුව සිටි සිවුදෙනා එවකට රඳවා සිටියේ බූස්ස බන්ධනාගාරය තුළය. නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාස නිලධාරිහු එම සිවුදෙනාගෙන් ප්‍රශ්න කරන්නට වූයේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේය. “සර් අහුවෙච්ච කුඩු තොගේ අපි මුහුදට ගිහින් ඩිංගි බෝට්ටුවලින් හරි තෙප්පලම්වලින් හරි ගොඩබිමට ගේන එක ඇත්ත. ඒත් ඒවා අයිති දෙමටගොඩ රුවන්ට… අපි ගොඩබිමට ගෙනාවට පස්සෙ ඒවා කොළඹට ගෙනියන්නෙ එයාගෙ කට්ටිය… මේවයි නියම අයිතිකාරයෝ ඉන්දියාවෙන් අල්ලගත්තු අය දන්නෙ නෑ… මීට අවුරුදු දහයකට… එකොළහකට විතර කලින් අපි ධීවර රස්සාව කරගෙන හිටපු අය… පස්සෙ .තමයි මේ දේවල්වලට යොමුවුණේ…“ යැයි ඔවුහු පැවැසූහ. එම පිරිසේ පාපෝච්චාරණයත් සමඟ බොහෝ තොරතුරු හෙළි වන්නට විය. එම පිරිස මුහුද ගැන පරතෙරට දන්නා අතිදක්ෂ බෝට්ටු ස්කීපර්ලාය. ඔවුන් 2010ට පෙර බෝට්ටු රස්සාව හරහා විදෙස් රටවලට මිනිස් ජාවාරමේ යෙදුණු පිරිසකි.

එම කණ්ඩායමේ සිටි අසංක සුමින්ද ඇතුළු පිරිසක් 2011 වසරේ මාරවිල සමාගමක සිදුවූ මංකොල්ලයකට අත්අඩංගුවට ගෙන මීගමුව, වැලිකඩ ආදි බන්ධනාගාරවල රඳවා සිටියේය.

එසේ බන්ධනාගාරගත වන ඔවුන්ට එම කාලයේදී දෙමටගොඩ රුවන් මුණ ගැසුණේ කේරළ ගංජා ජාවාරමකට හසුව රුවන් ද මීගමුව බන්ධනාගාරයට පැමිණි හෙයිනි. රුවන් එම කේරළ ගංජා නඩුවට අත්අඩංගුවට පත්වූයේ සුසිල් නිශාන්ත ප්‍රනාන්දු හෙවත් තොඩුවාවේ නිශාන්ත නමැත්තා ද සමඟිනි.

රුවන් ඒ වන විට ඉතාලියට මිනිස් ජාවාරම කළ ප්‍රකට පුද්ගලයෙක්ව සිටි තොඩුවාවේ නිශාන්ත හෙවත් බෝට්ටු නිශාන්ත සමඟ එක්ව හලාවත ප්‍රදේශයෙන් මෙරට තුළට මහා පරිමාණයෙන් කේරළ ගංජා ගෙන එමින් ජාවාරමේ යෙදී සිටි අයෙකි.

රුවන්ට තොඩුවාවේ නිශාන්ත මුණගැසෙන්නෙ 2009 වසරේ වැලිකඩ බන්ධනාගාරයේදීය. ඒ රුවන් ගහමරා ගැනීමේ නඩුවකට වැලිකඩ බන්ධනාගාරයේ සිටියදීය. ඒ කාලයේදී නිශාන්ත ද මිනිස් ජාවාරමකට ත්‍රිකුණාමලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන වැලිකඩ බන්ධනාගාරයට යොමු කළේය. රුවන් සහ නිශාන්ත එකම වාට්ටුවේ සිටියදී ඔවුනට තවත් පුද්ගලයකු දැනහඳුනා ගැනීමට හැකි විය. ඔහු ලංකාවේ විසූ ඉන්දීය දමිළ ජාතිකයකු වූ අසෝක් නමැත්තාය. ඔහු හරහා රුවන් සහ නිශාන්ත කේරළ ගංජා ජාවාරමට සම්බන්ධ වී ඇත. අනතුරුව එම පිරිසේ කේරළ ගංජා ජාවාරමට හලාවත අයෙක් වන නොන්ඩි ක්‍රිෂ්ටි නමැත්තා සහ තවත් අයෙක් ද එක්වී සිටියේය.

2011 වසරේදී රුවන් කේරළ ගංජා තොගයක් සමග සීදුව, 18 කණුව ප්‍රදේශයේදී ‘නාකොටික්‘ අත්අඩංගුවට පත්විය. එහි වැඩිදුර විමර්ශනයේදී තොඩුවාවේ නිශාන්ත සතුව ද කේරළ ගංජා තිබී පොලිසියට කොටු විය. රුවන් සහ නිශාන්ත මීගමුව බන්ධනාගාරයට යොමු කෙරිණි. ඒ වන විට බන්ධනාගාරයේ සිටි අසංක සුමින්ද ඇතුළු කණ්ඩායම සමඟ රුවන් සහ නිශාන්තගේ සම්බන්ධය ඇතිවූයේ බන්ධනාගාරයේ එකම වාට්ටුවේ සිටියදීය. අසංක සුමින්දගේ සහෝදරයා අරුණ රංග කුමාර හෙවත් තොඩුවාවේ රංගය. ඔහු ඒ වන විට ඩුබායි රටේ කලක් ගතකොට පැමිණ සිටියේය. ඒ නිසා ඔහු උර්දු භාෂාව ඇතුළු භාෂා කීපයක් හැසිරවීමට දැන සිටියේය. රංග සිය සොහොයුරා අසංක බැලීමට බන්ධනාගාරයට ‘විසිට්‘ ගියේය. පකිස්තාන් ජාතික ඛාන් නමැත්තා ද අත්අඩංගුවට පත්ව ඒ වන විට මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටියේය.

මේ අතර මත්ද්‍රව්‍ය නඩුවකට හසුව රංග ද බන්ධනාගාරගතව මීගමුව බන්ධනාගාරයේ සිය සහෝදරයා අසංක, රුවන් සහ නිශාන්ත සිටි වාට්ටුවටම යොමු කෙරිණි. එහිදී රංග, පාකිස්තාන ඛාන් සමඟ කුලුපගව ඔහු සමඟ උර්දු බසින් කතාබහ කරන ආකාරය රුවන් ඇතුළු කණ්ඩායම හොඳින් නිරීක්ෂණය කරමින් සිටියේය.

මේ සියලු දෙනා එකම කාලයකදී බන්ධනාගාරයෙන් නිදහස ලබා පැමිණියේය. එළියට පැමිණි රුවන්, අසංක, නිශාන්ත සහ රංග ඛාන්ගේ සහායෙන් පාකිස්තාන මත් ජාවාරම්කරුවන් හා එක් විය. ඊට අරුණ රංගගේ භාෂා දැනුම මහත් උපකාරි විය.

රංග ඩුබායි වෙත ගොස් සියල්ල සූදානම් කරන අතරේ අසංක සහ නිශාන්ත සැටලයිට් දුරකතන ද දී බෝට්ටුකරුවන් සොයාගෙන මුහුදට යවද්දී දෙමටගොඩ රුවන් මත්කුඩු ජාවාරමට මුදල් සැපයීය. එසේම හලාවත සිට සිය මත්කුඩු කොළඹට ප්‍රවාහනය කළේ මුල් කාලයේ රුවන් විසින්මය. පසුව ගෝලයන් යොදවා සිදු කෙරිණි. ඒ අනුව කේරළ ගංජා ජාවාරම සිදුකළ රුවන් මෙකී කණ්ඩායමේ එකතුවත් සමඟ හෙරොයින් ජාවාරමට පිවිසි ආකාරය පොලිස් විමර්ශනවලදී හෙළි විය.

බෝට්ටුකරුවන් බහුදින යාත්‍රා මඟින් මාලදිවයින් දූපත් අතරින් ධීවරයන් අතර ‘දූපත් දියඹ‘ ලෙස හඳුන්වන ප්‍රදේශය පසුකර ජාත්‍යන්තර මුහුදු සීමාවට ගොස් පාකිස්තාන සහ ඉරාන නැව් මඟින් ගෙන එන මත්තුඩු තොග ලබාගත්තේය. එම මත්කුඩු බහුදින යාත්‍රා මඟින් මෙරටට ළඟා වන විට ඩිංගි බෝට්ටු සහ තෙප්පලම් යොදාගෙන හලාවත, තොඩුවාවේ කඩොලාන ගහන මෝයකට ප්‍රදේශයෙන් රට තුළට ගෙනඒම මේ ජාවාරම්කරුවන් වසර කීපයක් පුරා කරගෙන ගියේය. එය ආරක්ෂක අංශවල උකුසු ඇස්වලට හසු නොවී සූක්ෂ්මව සිදුකළ ජාවාරමකි. වරකට හෙරොයින් කිලෝ දෙසීය, තුන්සියය ලෙස වසරකට වරක් දෙවරක් ලෙස අවස්ථා හය, හතකදී හෙරොයින් කිලෝ ටොන් ගණනින් රුවන් විසින් මෙරටට ගෙන්වා ඇති බව අත්අඩංගුවේ පසුවූ සිවුදෙනාගේ පාපෝච්චාරණයෙන් විමර්ශන නිලධාරිහු අනාවරණය කර ගත්හ.

බූස්ස බන්ධනාගාරයේ සිටි සැකකරුවන් සිවුදෙනාගේ පාපෝච්චාරණවලින් වැඩිදුරටත් හෙළි වන ආකාරයට එලෙස හෙරොයින් මත්ද්‍රව්‍ය ගෙන එන අවස්ථා කීපයකදී නාවික හමුදාවට ද කොටු වී ඇත. එහෙත් ඒ කිසිම අවස්ථාවකදී එම මත්ද්‍රව්‍ය කාගේද යන්න නිශ්චිත ලෙස අනාවරණය වී නැත්තේ දියඹට යන බෝට්ටුකරුවන් එම මත්ද්‍රව්‍යවල නියම අයිතිකරුවා කවුරුන් ද යන්න කිසිවක්ම දැන නොසිටි හෙයිනි.

අත්අඩංගුවේ පසුවූ සිවුදෙනාගෙන් හෙළිදරව් අනුව 2019 නොවැම්බර් මාසයේ නාවික හමුදාව විසින් මහ මුහුදේදී අත්අඩංගුවට ගත් ‘බුද්ධිමා‘ බෝට්ටුවේ රැගෙන ආ හෙරොයින් තොගය ද රුවන්ට අයත් ඒවා බවය. එතෙක් එම හෙරොයින් කාගේද යන්න නිසි ලෙස අනාවරණය නොවිණි.

එසේ රුවන්ගේ පැටිකිරිය අනාවරණය වීමත් සමඟ ඒ වන විටත් විමර්ශන සිදු කරමින් සිටි නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාස නිලධාරිහු රුවන් ඇතුළු පවුලේ උදවියගෙන් අවස්ථා ගණනාවකදීම ප්‍රශ්න කරන්නට වූහ.

ඒ වන විට රුවන් පෙනී සිටියේ ගිම්හානා රෙස්ටුරන්, බොලිවුඩ් කැසිනෝ ශාලාව, තම පවුලේ උදවියගේ නම්වලට සමාගම් මැදුරේ ලියාපදිංචි සමාගම් කිහිපය සහ රත්නපුර, මාතලේ පෙදෙස්වල තිබූ මැණික් ඉඩම් ඔස්සේ ආදායම් විශාල ලෙස ලැබෙන බවයි. එහෙත් විමර්ශන නිලධාරින් රජයේ විගණන දෙපාර්තමේන්තුව ඇතුළු තවත් ආයතන කීපයක් ඔස්සේ ඉතා දීර්ඝ විමර්ශනයක් සිදුකරමින් බොහෝ තොරතුරු අනාවරණය කරගත්තේය. ඒ අනුව රුවන් ඇතුළු පවුලේ උදවියගේ අතිවිශාල ධනස්කන්ධය විශේෂයෙන් කොරෝනා සමයේදීත් රුවන්ගේ ආදායම් විශාල ලෙස ඉහළ යාම ගැන නිසි ලෙස හෙළිදරව් නොවීම නිසාවෙන් දෙමටගොඩ රුවන් 2021 වසරේ ඔක්තෝබර් මාසයේදී නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාස නිලධාරින් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඔහු අත්අඩංගුවට ගත්තේ අතිවිශාල ධනස්කන්ධය ද ක්‍රියා විරහිත කරමිනි.

ඒ අතර අධි සුඛෝපභෝගි මෝටර් රථ අටකට වැඩි සංඛ්‍යාවක්, දෙමටගොඩ වේළුවන ටෙරසයේ රුවන් විසූ පිහිනුම් තටාක ද සහිත තෙමහල් මන්දිරය, කෝටි ගණනින් මුදල් තැන්පත් කර තිබූ බැංකු ගිණුම් සහ එම නිවසේ තිබී රත්රන් කිලෝ 7ක් පමණ ක්‍රියා විරහිත කෙරිණි. තවද මීගමුව ප්‍රදේශයේ තිබූ සුවිසල් හෝටලයක්, තවත් ස්ථාන කීපයක වූ සුපිරි නිවාස තහනම් කරද්දී රුවන්ගේ පුත්‍රයා විසින් නාරාහේන්පිට විහාරස්ථානයක වැඩසිටි හිමිනමකට පූජා කර තිබූ සුඛෝපභෝගි මෝටර් රථයක් ද අත්අඩංගුවට ගැනිණි.

එසේ වසර කීපයක් පුරාවට සිදුවන විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස රුවන්ගේ පුතු, බිරිය සහ සහෝදරිය ද වත්මන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම ඔස්සේ ද අත්අඩංගුවට පත්වූයේ රුවන්ලාගේ දූෂිත වත්කම් ගැන විමර්ශන අඛණ්ඩව සිදුවන බව පසක් කරමිනි. 2005 පෙර කාලයේ දෙමටගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ කීර මිටි විකිණු මේ වන විට 47 හැවිරිදි රුවන් 2021 වසරේ අත්අඩංගුවට පත්වන විට සුඛෝපභෝගී මෝටර් රථ, මූල්‍ය සමාගම්, අවන්හල්, සුපිරි නිවාස, කැසිනෝ ශාලා, හාඩ්වෙයාර් ඇතුළු විශාල දේපළ වත්කම් කන්දරාවකට හිමිකව් කී අයෙකි.

විමර්ශන නිලධාරින්ගේ අනාවරණය කරගත්තේ සමාගම් මැදුරේ සමාගම් කිහිපයක් අරඹා සහෝදරිය සහ බිරිය ඇතුළු අය අධ්‍යක්ෂවරු ලෙස පත්කරගෙන සිටිය ද එම සමාගම්වලින් ලැබුණු ආදායමක් හෝ එම සමාගම්වලින් වූ කාර්යභාරයක් ද නොමැති බවය. ඔහු එම සමාගම් අරඹා තිබුණේ කූට ලෙස උපයන ආදායම එවැනි සමාගම් ඔස්සේ උපයන බවට රට්ටුන් රැවටීමට මෙන්ම ආරක්ෂක අංශ නොමඟ යැවීමට බව මේ වන විට තහවුරු වී අවසානය. අතිවිශාල ධනස්කන්ධයක් අයථා ලෙස උපයමින් දේශපාලන බලය ඇතිව සිටි මෙවැනි පුද්ගලයන්ගේ ‘පැටිකිරිය‘ සෙවීම ගැන පොලිසියට ද පැසසුම් හිමි විය යුත්තකි.

 

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division