Home » කෙහෙළිය අත්අඩංගුවට

කෙහෙළිය අත්අඩංගුවට

පැය දහයක ප්‍රකාශයකුත් ගනී

by Mahesh Lakehouse
February 3, 2024 12:46 am 0 comment

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලෝබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය වත්මන් පරිසර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිකුරාදා (02) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මියගේ නියෝගයකට අනුව සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීමට අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටියේ පසුගිය 2 වැනිදා පෙරවරු 9.00ට පමණය.

ඒ අනුව පැය දහයකට ආසන්න කාලයක් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. එම ප්‍රකාශ සටහන් කර ගැනීමෙන්

අනතුරුව රාත්‍රී 7.30 ට පමණ මෙම සිද්ධියට අදාළව අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ඉකුත් 31 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට එම දෙපාර්තමේන්තුව විසින් අමාත්‍යවරයාට දන්වා ඇති නමුත්, ඔහු දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටි බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය ඉකුත් (01) දා අධිකරණයට දැනුම් දුන්නාය. කොළඹ මහාධිකරණය හමුවේ විභාග වන නඩුවක් සහ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රාජ්‍ය වියදම් කළමනාකරණ අනුකමිටුව හමුවේ පෙනී සිටීමට එදින තමන්ට සිදුව ඇති බැවින් වෙනත් දින ලබා දෙන ලෙසට යෝජනා කරමින් අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපි දෙකක් යොමු කර තිබූ බව මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළාය.

කෙසේ වෙතත් එදින සවස පැවති කමිටුවට අමාත්‍යවරයා සහභාගි වී නොමැති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේද පෙනී නොසිටි අමාත්‍යවරයා, අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් සිටි බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළාය.

එම කරුණු සැලකිල්ලට ගත් අධිකරණය 2 වැනිදා පෙරවරු 9.00 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙසට අමාත්‍යවරයාට නියෝග කරමින් ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක්ද නිකුත් කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට ප්‍රකාශයක් ලබා දීමට අවශ්‍ය බව කියමින් ඉකුත් දෙසැම්බර් මස 25 වැනිදා අමාත්‍යවරයා කළ ඉල්ලීමකට අනුව ඊට පසු දින එනම් 26 වැනි දින අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඔහුගේ නි‌ෙවසට ගොස් ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබුණි. අත්අඩංගුවට ගත් අමාත්‍යවරයා පසුගිය 03 (සෙනසුරාදා) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මෙම සිද්ධියට අදාළව මේ වන විට සැකකරුවන් 06 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර ඉකුත් නඩු දිනයේදී එහි පස්වැනි සැකකරුට අධිකරණයෙන් ඇප නියම කිරීම සිදුවිය. එසේම අනෙක් සැකකරුවන් සම්බන්ධ ඇප නියෝගය ලබන 15 වැනිදා නිකුත් කරන බවද අධිකරණය සඳහන් කළේය.

බාල ඖෂධ ගෙන්වූ බව කියන ආයුලේට බයෝටෙක් ෆාමා නමැති සමාගමේ හිමිකරු සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ ශාන්තිනී සොලමන්, එහි ගණකාධිකාරී සැපයුම් නෙරාන් ධනංජය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත සහ වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්න කුමාර හේරත් යන අයවලුන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතර තොග පාලක සුජිත් කුමාර මහතා ඇප මත නිදහස්ව සිටි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division