Home » හොර පාරෙන් රට යැව්වොත් ඒජන්සිකරුවන්ට වසර 4ක සිරදඬුවම්

හොර පාරෙන් රට යැව්වොත් ඒජන්සිකරුවන්ට වසර 4ක සිරදඬුවම්

ලියාපදිංචි නොවී ගියොත් ශ්‍රමිකයාටත් දඩය ලක්ෂයක්

by Mahesh Lakehouse
April 27, 2024 12:45 am 0 comment

විදේශ රැකියා පිණිස යවනු ලබන සියලුම ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විදේශ රැකියා ඒජන්සි අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතු බවත් නියමිත ක්‍රියාමාර්ගවලින් බැහැරව ශ්‍රමිකයන් එතෙර යවන ඒජන්සිකරුවන්ට විරුද්ධව වසර 4ක් දක්වා සිරදඬුවම් නියම කිරීමට කටයුතු කළ හැකි බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙයි. ඊට අමතරව දඩ මුදල්ද නියම කළ හැකි බවත් කාර්යාංශය පවසයි. එසේම නියමිත ක්‍රියාමාර්ගවලින් තොරව විදේශ ගතවීමට කටයුතු කරන ශ්‍රමිකයන්ට එරෙහිවද නීති මඟින් කටයුතු කර රුපියල් ලක්ෂයක් දක්වා දඩ නියම කිරීමට කටයුතු කරන බවද කාර්යාංශය පවසයි.

එහිදී ශ්‍රමිකයෙක් ගුවන් තොටුපොළෙන් පිටත්ව විදේශ රටකට යාම අත්‍යවශ්‍ය නොවන අතර ශ්‍රමිකයා ගුවන් ප්‍රවේශ පත්‍රය ගුවන් තොටුපොළෙන් වලංගු කරවාගෙන (Boarding) යාමම පමණක් එසේ දඬුවම් ලබා දීමට ප්‍රමාණවත් බවද කාර්යාංශය පෙන්වා දෙයි.

ඇතැම් ශ්‍රමිකයන් රැකියා පිණිස එතෙර ගිය අවස්ථාවලදී පොරොන්දු වූ රැකියා ස්ථාන නොලැබීම හෝ අතරමං වීම වැනි විවිධ අකටයුතු සම්බන්ධයෙන් දිනපතාම පැමිණිලි රැසක් ලැබෙමින් පවතින බවත් මේ වසරේ පළමු මාස 4කටත් අඩු කාලයක තුළ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබී ඇතැයිද කාර්යාංශය පවසයි. එම පැමිණිලි අතුරින් පැමිණිලි 495ක් සඳහා විසඳුම් මේ වන විටත් ලබාදී ඇති අතර, පැමිණිලිකරුවන්ට රු. 53,509,520.00ක මුදලක් අය කර දීමට කාර්යාංශය කටයුතු කර ඇත. එසේම පැමිණිලි 704ක් වෙනුවෙන් අදාළ සැකකරුවන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමටද කාර්යාංශය පියවර ගෙන තිබේ.

කාර්යාංශය පෙන්වා දෙන්නේ අනුමත ඒජන්සි හරහා විදෙස් ගත වීම මෙන්ම කාර්යාංශයේ ලියාපදිංචි වීම අනිවාර්ය බවත් එසේ ලියාපදිංචියට අවශ්‍ය වන්නේ රුපියල් 23,000ක ගාස්තුවක් ගෙවීම පමණක් බවයි. එසේ ලියාපදිංචි වන්නන්ගේ ජීවිතයට හානියක් සිදුවුවහොත් රුපියල් ලක්ෂ හයක (600000) උපරිමයකට යටත්ව වන්දි ලබාදීමට විදෙස් සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කරන අතර පූර්ණ ආබාධිත තත්ත්වයකදී රුපියල් ලක්ෂ හතර (400000) දක්වා වන්දි ගෙවනු ඇත. එසේම යම් රෝගී තත්ත්වයක් හෝ හිරිහැර හා හදිසි අනතුරක් හේතුවෙන් ලංකාවට පැමිණි පසු මෙරටට පැමිණි ගුවන් ටිකට් පත් මුදල් නැවත ප්‍රතිපූරණය කිරීමේ හැකියාවද එම රක්ෂණාවරණයට අයත්ය. එමෙන්ම එවන් අවස්ථාවකදී ප්‍රතිකාර සඳහාද රුපියල් පනස් දහසක් (50000) ලබා දීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කරනු ඇත.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division