Home » ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගැටුම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගැටුම

by Mahesh Lakehouse
April 27, 2024 12:40 am 0 comment

දෙපිල මධ්‍යස්ථ මතයකට ආ යුතුයි 
– ශ්‍රීලනිප හිටපු මහලේකම් දයාසිරි ජයසේකර

පක්ෂයේ බෙදී සිටින සියලු දෙනාම යථාර්ථය තේරුම් ගෙන කටයුතු කළොත් මධ්‍යස්ථභාවයකට පැමිණිය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සිළුමිණට කීය.

එසේ නොවුණොත් ඉදිරි මාස පහක හයක කාලයක් උසාවිවල නඩු කියන්නට සිදුවන බව ඔහු පවසා සිටියේය.

‘‘මේ ගනුදෙනුව බේරගන්න පුළුවන් පහසුම ක්‍රමය මොකක්ද කියලා මේ අය කල්පනා කරන්න ඕන. ඇත්තටම ඒක අමාරු වැඩක්. නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ පාර්ශ්වය මෛත්‍රීපාල සිරිසේන නායකතුමාගේ නායකත්වය පිළිගන්නේ නැහැ. ඔහු අයින් කළ යුතුයි කියන මතයේ තමයි ඔවුන් ඉන්නේ.

මෛත්‍රීපාල සිරිසේන නායකතුමාගේ කණ්ඩායමේ ඉන්නේ විජයදාස රාජපක්ෂ මහත්තයා වැඩබලන සභාපති වෙන්න ඕන කියන අය. ඊළඟට ඔහු ජනාධිපති අපේක්ෂකයා බවට පත් කරන්න ඕන කියන ස්ථාවරයේ ඒ අය ඉන්නෙ.

අනික් පාර්ශ්වය කියන්නේ ඒ අය ආණ්ඩුවේ ඉන්නේ ඒ අයව අයින් කරලා පක්ෂය ඉස්සරහට ගෙනියන්න ඕන කියලා. මෙච්චර කාලයක් විපක්ෂයේ වැඩකටයුතු කරපු මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාගේ පිල ශ්‍රීලනිපය පළවෙනි වතාවට ආණ්ඩුවේ ඉන්න ඇමැති කෙනෙක් ගෙනාවා පක්ෂයේ සභාපතිකමට කියලා. එයා පිටස්තර කෙනෙක් අපි එයාව පිළිගන්න සූදානම් නැහැ කියලයි. ඒක මෛත්‍රීපාල සිරිසේන මහතා එක්ක හිටපු කිහිප දෙනෙක් කරපු යෝජනාවක්. එතුමා යෝජනා කළාම කවුරුවත් ඕකට විරුද්ධ වෙන්නේ නැහැ කියලයි.


ව්‍යවස්ථා විරෝධී ගමනට අපි නෑ 
– ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න

පක්ෂයේ මේ වන විට බෙදීමක් තිබෙන බව පිළිගන්නා බවත් එහෙත් විජයදාස රාජපක්ෂ හෝ මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් සමඟ පෞද්ගලික ප්‍රශ්නයක් නොමැති බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පෙන්වා දෙයි.

පක්ෂයේ ව්‍යවස්ථා විරෝධී හා සම්ප්‍රදාය විරෝධී කටයුතු පිළිබඳව පමණක් තම කණ්ඩායමේ විරෝධතාවය ඔවුන් වෙත දක්වන බවත් ඉදිරියේදී පක්ෂයේ ව්‍යවස්ථාව අනුව ගතයුතු සියලු ක්‍රියාමාර්ග විධිමත්ව ගැනීමට කටයුතු කරන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

‘‘මේ වන විට දේශපාලන මණ්ඩලය කැඳවා තිබෙනවා. මීළඟට ව්‍යවස්ථානුකූලව කැඳවිය යුතු තවත් ආයතන ගණනාවක් තියෙනවා. ඒවා මඟින් ඉදිරි තීන්දු තීරණ ගන්නවා. එසේ නොමැතිව තනි කැමැත්තට අපට තීන්දු තීරණ ගන්න බැහැ. ඒක ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි.

මේ මාසයේ වැටුපෙනුත් ඔවුන්ගේ සාමාජිකත්වය යොමු වෙලා තියෙන්නේ පොදු ජන පෙරමුණටයි. අපේ යොමු වෙලා තියෙන්නේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයට. පක්ෂ දෙකක සාමාජිකයන් විය නොහැකි බව පක්ෂ ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා තිබෙනවා.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division