කත­න්දර දෙකක් | සිළුමිණ

කත­න්දර දෙකක්

 

මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ තත්ත්වය දැක බලාගෙන ණය ආධාරයක් ලබාදීම සඳහා ජනාධිපති සහ අගමැති හමුවීමටත් සමාජ සහ ආර්ථික විගණනයක් කිරීම පිණිසත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වූහ. ගෝඨාභයට ගෙදර යන්නැයි කියන සමාජ අරගලයේ කොටස්කරුවන් පිරිසක් එදා ජනාධිපති මන්දිරයේ සියලුම ප්‍රවේශ මාර්ග අවහිර කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම භුක්ති විඳින අතර යෝධ පිස්සුවක් කෙළින්නට පටන් ගත්හ. ඔවුන් මේ පිස්සුව කෙළියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ආධාර කිරීම වැළැක්වීම පිණිසය. මෙවැනි අරගලකාර හැතිකරයක් ලෝකයේ කිසිම රටක නොසිටිනවා වීමට පුළුවන.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණයක් දෙන්නේ නම් එයින් ප්‍රතිලාභයක් ලබන්නේ මේ රටේම ජනතාවය. ඒ සල්ලි යොදාගෙන තුන්වේලම කන්නේද මේ රටේම ජනතාවය; ඒ සල්ලි යොදාගෙන මිලට ගන්නා තෙල්වලින් ස්වකීය ත්‍රිරෝද රථය ධාවනය කර ගානක් හොයා ගන්නේ මේ රටේ ජනතාවමය. එහෙත් අරගලකරුවන් ලෙසින් පෙනී සිටින සංවිධාන වලින් සල්ලි අදින පෙර කී පිරිස කොළඹ ප්‍රධාන ප්‍රවේශ මාර්ගවල අට්ටාල හදාගෙන ඉපැරණි සිංහල චිත්‍රපටයක් වූ කොළඹ සන්නියේ ජවනිකා කිහිපයක් රඟ දක්වන ලදී. මෙහිදී වෙනදා සිටින නිවට නියාලු ස්වරූපය අත්හැර රට දැය රකින නියම මිනිසුන් සේ ඉදිරියට පැමිණි ශ්‍රී ලංකා පොලිසිය අරගලකරුවන්ට ආදර සංග්‍රහ පවත්වා අට්ටාල පිටින්ම ඔවුන් ඉවත් කිරීමට පියවර ගත්හ.

මේ සිද්ධියෙන් පසු අරගලකරුවන් ලෙස පෙනී සිටි කණ්ඩායමට අයත් කිහිපදෙනෙක් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් එදින IMF නියෝජිතයන් කොළඹට පැමිණෙන වගක් හෝ ඔවුන් ජනාධිපති සමඟ සාකච්ඡාවක් පවත්වන බවක් හෝ දැන නොසිටි බව කීහ. මෙවැනි අය සමඟ මොන අරගලද? පෙරකී සිද්ධිය වූ දවසේ අයි එම් එෆ් කණ්ඩායමක් මෙහි එන බව හතේ පන්තියෙන් ඉහළ ළමයි පවා දැන සිටියහ. අරගලකරුවන් මේ බවක් දැන නොසිටියේ නම් ඔවුන් කිසිදු වගකීමක් නැති රැලක් ලෙස නම් කිරීමට අපට සිදු වේ.

ලංකාවේ සිටින ඇතැම් පුද්ගලයන් මේ රටේ සමාජය සහ ආර්ථිකය සමඟ පිස්සු කෙළින්නේ කිසිදු වගකීමක් හෝ හැඟීමක් නැතිවය. ඒ කෙළින පිස්සු වලට දඩ සහ පොලී යන දෙකම ගෙවීමට ජනතාවට සිදුව තිබේ. පිටරට තෙල් මිල ඉතා ඉහළින් තිබෙන මොහොතක සමහර රටවල් ශ්‍රී ලංකාවට ලාබෙට තෙල් දීමට කැමති නමුත් ආණ්ඩුව ඒ ගැන වගක් නැතිව සිටින බව සමහරු කියති. මේ කතන්දරයේ ඇත්ත මෙසේය.

අඩුවට තෙල් දීමට කැමති මිනිහා ඒවා ණයට නොදෙන අතර අත්පිට ඩොලර් අපේක්ෂා කරයි. ලෝක තෙල් මිල බැරලය ඩොලර් 100 ඉක්මවා ඇති මේ මොහොතේදී රුසියාව තෙල් බැරලය ඩොලර් 30 සහ ඩොලර් 40 අතර ගණනකට ශ්‍රී ලංකාවට ලබා දීමට කැමැත්ත පළකර තිබේ. එහෙත් ඒ සඳහා ඔවුනට අත්පිට මුදල් ගෙවිය යුතුය. අපට ඇති ප්‍රශ්නය අත්පිට ඩොලර් තබා අත්පිට තඹ සල්ලියක්වත් ගෙවීමට හැකියාවක් නැති වීමය.

එබැවින් ආණ්ඩුව බලන්නේ හැකි අයුරින් ණයට බඩු ගැනීමටය. සාමාන්‍ය ජනතාව නොදන්නා කාරණයක් තිබේ. වෙ‍ෙළඳ භාණ්ඩයක් ණයට දෙන විට ඒ සඳහා වැඩි මිලක් නියම කිරීම සැපයුම්කරුගේ සිරිත වේ. සැපයුම්කරු මහ පොළවෙන් තෙල් එළියට ගන්නේ ගෙදර පිටි පස්සේ ඇති ළිඳට මෝටරයක් සවිකර වතුර අදින්නාක් මෙන් නොවේ.

තෙල් ළිඳක් කැණීම සඳහා සුවිශාල මුදලක් වැය කළ යුතුය. ඊට පෙර අදාළ ප්‍රදේශයේ තෙල් තිබේද යන්න නිරාකරණය කර ගැනීම සඳහා ඩොලර් මිලියන හය හත්සීයක් වියදම් කර ශක්‍යතා වාර්තාවක් පිළියෙල කළ යුතුය. තෙල් බැරලයක් තුළ තෙල් කර්මාන්තය සඳහා ආයෝජනය කරන මුදල්ද, තෙල්වල වටිනාකමද, බැරල් එකේ ගාස්තුව ද, තෙල් බැරල් එක නිකුත් කරන සමාගමෙන් කීර්ති නාමයට අදාළ වටිනාකම ද අඩංගු වේ.

තෙල් බැරලයක් ණයට දෙන විට එය ණය මුදලක් සේ සලකා ඒ මුදල් ආපසු ගෙවන දිනය තෙක් පොලියද ගණනය කරනු ලැබේ. මේ අනුව තෙල් ණයට දෙන විට බැරලයක් ඩොලර් 100 පැනීම ඉතාම ස්වභාවිකය. එහෙත් ණයට ගන්නේ නැත්නම් සහ විශාල තොගයක් එකවර එල් සී ඇර තෙල් මිලට ගන්නේ නම් අඩු මිලට සැපයීමට සැපයුම්කරුවන් සූදානම්ය.

රුසියාව මේ දිනවල යුද අර්බුදයක ගැලී සිටී. එහි ප්‍රතිඵලයක් වශයෙන් යුරෝපා සංගමයට අයත් කිසිදු රටක් රුසියාවෙන් තෙල් මිලට ගන්නේ නැත. එබැවින් ඇතිවන තුරු තෙල්දීමට ඔවුන්ට හැකි අතර ඒ රටේ දැනට පවත්නා අර්බුදකාරී ආර්ථික තත්ත්වය නිසා ඔවුන්ටද මුදල් අවශ්‍යය. ලංකාව වැලේ වැල් නැතුව සිටියි කියා රුසියාව තෙල් ණයට දෙන්නට යන බවක් අපි නොදනිමු. තෙල් කතාන්දරය පිළිබඳ අපි දන්නා දෙය එය ය.

මේ දුෂ්කර අවස්ථාවේදී අපේ හිතට ඇති එකම සතුට වන්නේ අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව ලබාගෙන ඇති ජයග්‍රහණ මාලාව පමණි. ඒ සතුට භුක්ති විඳිමින් ඒ ඒ මොහොත ගත කළ හැකි නමුත් බඩට කෑම නැතුව ඉන්නට නම් කොහෙත්ම බැරිය.

 

Comments