ටයිටැනික් නළු ලියනාඩෝගෙන් ශ්‍රි ලංකාවේ අලි මිය යෑම ගැන අනාවරණයක් | සිළුමිණ

ටයිටැනික් නළු ලියනාඩෝගෙන් ශ්‍රි ලංකාවේ අලි මිය යෑම ගැන අනාවරණයක්

ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ  ප්ලාස්ටික් අපද්‍රව්‍ය විවෘතව බැහැර කිරීම හේතුවෙන් අලි ඇතුන්ට සිදුවන අකරතැබ්බය පිළිබඳව සුපිරි හොලිවුඩ් නළුවකු සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශගුණික විපර්යාසය පිළිබඳ නියෝජිතයකු වන ලියනාඩෝ ඩිකැප්‍රියෝ අවධානය යොමු කර තිබේ.
 
ඔස්කාර් සම්මානලාභී නළුවකු වන ඔහු සිය නිල ටිවිටර් ගිණුම් ඔස්සේ ඇසෝසියේටඩ් ප්‍රෙස් හි ඒ පිළිබඳ ප්‍රවෘත්ති වාර්තාවක් මුදාහැර ඇත.
 
එම පුවතින් කියා සිටියේ අම්පාර දිස්ත්‍රික්කයේ පල්ලක්කාඩු ගම්මානයේ කුණු කන්දෙන් ප්ලාස්ටික් කුණු කසළ අනුභව කිරීමෙන් සති අන්තයේ තවත් අලි දෙදෙනෙකු මියගොස් ඇති බවයි.
 
නැගෙනහිර ශ්‍රී ලංකාවේ විවෘත කසළ බැහැර කරන ස්ථානයේ ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා එම කලාපයේ අලි ඇතුන් මිය යන බවට සංරක්ෂණවේදීන් සහ පශු වෛද්‍යවරුන් අනතුරු අඟවා ඇත.
 

අම්පාර දිස්ත්‍රික්කයේ පල්ලක්කාඩු ගම්මානයේ කුණු කන්දේ ප්ලාස්ටික් කුණු ආහාරයට ගැනීමෙන් අලි ඇතුන් 20ක් පමණ පසුගිය වසර අට තුළ මිය ගොස් ඇත. මියගිය සතුන් පරීක්ෂා කිරීමේදී ඔවුන් කුණු කන්දේ ඇති දිරාපත් නොවන ප්ලාස්ටික් විශාල ප්‍රමාණයක් ගිල දමා ඇති බව වනජීවී පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා පවසා ඇත.

අලි ඇතුන් ශ්‍රී ලංකාවේ ගෞරවයට පාත්‍ර වන නමුත් වඳවීමේ තර්ජනයට ලක්ව ඇත. රටේ පළමු අලි සංගණනයට අනුව ඔවුන්ගේ සංඛ්‍යාව 19 වන සියවසේ 14,000 සිට 2011 වන විට 6,000 දක්වා අඩු වී ඇත.

 

Comments