පුරාවිදු පුරාවෘත්තයක් නික්ම ගිය වගයි! | සිළුමිණ

පුරාවිදු පුරාවෘත්තයක් නික්ම ගිය වගයි!

රු පායයි; ඉර නැඟෙන විට ඒ තරු නොපෙනී යයි. සමහර තරු අහස සුන්දරත්වයෙන් ආලෝකනය කරයි. හිරු නැඟෙන විට ඒ ආලෝකයෙන් එසේ බැබළුණු තරු නොපෙනී යයි. ඇතිවී නැතිවී යන තරු සේ ම කඩා වැටුණු තරු ද අපි දැක ඇත්තෙමු. තරුවකට උරුම බැබළෙන ගුණය ද, දීප්තියේ මන්දහාසිය රැක හිරුගේ තේජස් ගුණය ද උරුම කරගත් පුරාවිදු සලකුණක් පසුගියදා සිය දිවි සැරිය නිමා කළේ ය. කඩා වැටුණු තරු අතර සිය අභිමානවත් ආලෝකයේ ලකුණ තබමින් බැබළීමට අපහසු විෂයය ක්ෂේත්‍රයක් හුදී ජනයා අතරට ගෙන යෑමේ ගෞරවය ද තුරුලු කරගෙන ම හේ ලෝ දහමට අනුව නික්ම ගියේ ය. සිරාන් උපේන්ද්‍ර දැරණියගල නාමය පුරාවිදු පුරාවෘත්තයක් සේ ජනතා මනසේ තැන්පත් වීම වළක්වන්නට සමතකු නොවන තරමට හේ ජනතාවගේ පර්යේෂකයකු වී ය.

මෙරට ප්‍රාග් ඉතිහාසය ලොවට හෙළි කිරීමේ ගෞරවය දරන්නේ ඔහු ය. ලොව විශිෂ්ටතම පුරාවිද්‍යා මහාචාර්යවරුන් හා සම ව සලකනු ලබන හේ ලාංකේය මානව වංශ නිවැරදි ව ලියන්නට මඟ පෙන්වූවෙකි. ඉතිහාසය සොයා ගිය පර්යේෂකයන් අතර ඒ සෙවූ ඉතිහාසයේ සජීවී මානව කතාව ඔහුගේ ය. එය තවත් බොහෝ දෑ සොයන්නට නව පරපුරට විවිධ මාවත් විවර කර දුන්නේ ය.

විජයාවතරණයෙන් මෙරට ශිෂ්ටාචාරය ආරම්භ වූයේ ය යන පොදු මතය සකරුණු ව බිඳ හෙළු දැරණියගලයන්, මෙරට ඉතිහාසය ඊට බෙහෙවින් ඈතට විහිදෙන්නක් පමණක් නොව මනා ශිෂ්ටාචාරගත වූවක් ය යන්න සාධක සහිත ව පළමු වතාවට ඔප්පු කළේ ය. ඉදින් ඒ පාර විසල් පාරකි. පුරාවිද්‍යා විද්‍යාර්ථීන් ට වැඩ බිමක් නිර්මාණය කෙරූවකි; පර්යේෂකයන්ට නව මානයක් විවර කිරීමකි. සුප්‍රකට බලංගොඩ මානවයා සොයා ගන්නේ මහාචාර්ය දැරණියගලයන් ගේ පියාණන් වන අතර. ඒ මඟ යමින් ලාංකේය මානව වංශ කතාව නව පරිච්ඡේදයකින් ලියැවීම ඇරඹෙන්නේ ඔහුගේ විමර්ශනශීලී හා ගවේෂණාත්මක ප්‍රතිභාව නිසා ය. ඉදින් නික්ම ගොස් ඇත්තේ පුරාවිදු පුරාවෘත්තයකැයි කීම කිසිසේත් ම අසාධාරණ නැත.

මේසා විසල් මනසක් ඔහුට උරුම වන්නට බලපෑ සාධක අතර ජාන සාධකයට ද ප්‍රමුඛත්වයක් හිමි වීම වළක්වනු නොහැකි ය. දැරණියගලයන්ගේ පියා පී. ඒ. පී. දැරණියගල; මෙරට උරුමය තැන්පත් කර සුරක්ෂිත කරන සුරක්ෂිතාගාරය වන ජාතික කෞතුකාගාරයේ පළමු ශ්‍රී ලාංකේය අධ්‍යක්ෂවරයා ය. ඔහුගේ මුත්තා, පෝල්. ඊ. පීරිස් මෙරට පරිපාලන සේවයට එක්වූ ප්‍රථම සිංහල ජාතිකයා ය. ශාස්ත්‍රීය සේවාව ම ගුරු කරගෙන උපන් දැරණියගල පරම්පරාව ම මෙරට සලකුණු තැබූ ශාස්ත්‍රධරයෝ ය. මිය යන තෙක්ම ස්වකීය ක්ෂේත්‍රයෙහි අනලස් ව යෙදුණු එය ම ජීවිතය කරගත් මහාචාර්ය සිරාන් දැරණියගල වැනි මහා ප්‍රාමාණිකයකුගේ නික්ම යෑමේ හිඩැස පිරවීම පහසු නොවන්නේ මේ වැනි වූ ඔහුගේ සතත්‍යාභසය නිසා ය.

එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් වාස්තු විද්‍යාව පිළිබඳ හදාරමින් උසස් අධ්‍යාපනය අරඹන දැරණියගලයන් පුරාවිද්‍යා විෂයය කෙරෙහි ඇති ඇල්ම නිසාම ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පීඨයට ඇතුළත් ව තිබේ. සියලු අංශවලින් ලද විශිෂ්ටත්වය හේතුවෙන් ගෝර්ඩන් වයිඩ් සම්මානය ද ලද ඔහුගේ අවැසිතාව වූයේ මහාචාර්ය සෙනරත් පරණවිතානයන් හා එච්. සී. බෙල් ගිය මාවතෙන් ඔබ්බට යෑමට ය. මානව වංශ කතාවේ නව පරිච්ඡේදයක් ඇරඹෙන්නේ ඒ අනුව ය. අපේ මානව වංශ කතාව අලුතෙන් ලියැවෙනවා යනු ලෝක මානව වංශකතාව ද අලුතෙන් ලියැවීමකි. මහාචාර්ය දැරණියගලයන් ඒ අනුව අලුතෙන් ලියන්නේ සමස්ත මානව වංශ කතාව ය.

මහින්දාගමනයෙන් පූර්වයේ සිට ම මෙරට වැසියන් බ්‍රාහ්මණ අක්ෂර මාලාව භාවිත කර තිබූ බවට සාධක සොයා ගන්නේ මහාචාර්ය දැරණියගලයන් ය. අනුරාධපුර මහාපාලිදාන ශාලාව අසල කරන ලද කැණීමේදී හමුවූ අක්ෂර සහිත මැටි බඳුන් කැබලි මෙරට පැරණිතම ලේඛනය වීමත් සමඟ ඉතිහාසය උඩි යටිකුරු වූයේ ය. අග්නිදිග ආසියාවේ ම ඉතිහාස පෙරළියක් කිරීමට එය සමත් විණි. පාහියන්ගල ලෙන් කැණීමෙන් ලැබුණු සත්ත්ව අස්ථිවලින් සකස් කරගන්නා ලද දුනු ඊතල භාවිත කළ මානවයන් වසර හාරදහස් අටසියයකට පෙර මෙරට සිටි බව සනාථ විණි. මේවා ඉතිහාසය නැවත ලියන්නට පාර කැපූ පර්යේෂණික කාරණා ය.

මානව වංශකතා ඉතිහාසය නැවත ලිවීමට පාදක වූ කරුණු සෙවීම ඇතුළු ඉතිහාසයෙන් සැඟවී යන්නට තැතැනූ බොහෝ කරුණු ඔස්සේ ඉතිහාසය අලුතෙන් ලියූ දැරණියගලයන්ට 2001 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍යසූරී උපාධි සම්මානය පිරිනැමුවේ ය. එවන් අග්‍රගණ්‍ය ප්‍රාමාණික විද්වතකු ඇගයීම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගෞරවයකි.

එදා මෙදාතුර ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව සම්බන්ධයෙන් ආසියානු කලාපයෙන් බිහි වූ විශිෂ්ටතම ආචාර්ය උපාධි නිබන්ධනයක් සේ සැලැකෙන Prehistory of SriLanka (an ecological perspective) යන නිබන්ධයට 1988 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ හාවර්ඩ් සරසවියෙන් අචාර්ය උපාධියක් ප්‍රධානය කරන්නේ මේ වටිනාකම ගැන නියමාකාර තක්සේරුවෙනි. 1983 සිට 1992 අතර කාලයේ දී පුරාවිද්‍යා කැණීම් උපදේශකයෙක් වශයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කළ ඔහු 1992 සිට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කළේ ය. ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තිය සකස් කිරීම, ලංකාවේ පුරාවිද්‍යා උරුමය සුරැකීම සම්බන්ධ ව්‍යාපෘති හා මහජනයා දැනුවත් කිරීම් ආදී කාර්යය රැසක අනලස් ව නිමග්න හේ දේශීය හා විදේශීය ශ්‍රාස්ත්‍රඥයන් හා එක් ව ලොවක් වටිනා පර්යේෂණ පත්‍රිකා රැසක් දැයට ප්‍රධානය කළේ ය.

මේසා විසල් සේවයක් කොට කිසිදු බුහුමනක් බලාපොරොත්තු නොවී ස්වකීය කාර්යය කිරීමෙහි ලා පමණක් ම ඒකමිතියෙන් ක්‍රියා කළ දැරණියගලයන්ට දුක් වීමට කිසිත් තිබුණේ නැත.

තමා උපන් දේශයට අපමණ සේවාවක් කර තෘප්තිමත් සිතැති ව හේ දැයෙන් සමුගන්නා විට ඒ සම්ප්‍රදානය ඉදිරියට ගෙන යෑමට සමත් පරපුරක් බිහි කිරීමේ ලා ද උපස්ථම්භක වීම ඊට බෙහෙවින් බලපෑම් කළේ ය.

මානව වංශකතාවේ නව්‍ය පරිච්ඡේදයක් වියත් සිතැති ව හඳුන්වා දී ලංකාවේ සත්‍ය ඉතිහාසය සෙවීමට පාරක් කපා දී නිහඬ ව ම සිට රටක් කම්පා කර නික්ම ගිය දැරණියගලයන්ට, උපහාරය මෙසේ පුද කරන්නේ ඒ සද්කාර්යය ගැන අබිමන පෙරදැරි කරගනිමිනි.

Comments